රට ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්න රජය සූදානම් – අධිකරණ ඇමති

රට ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්න රජය සූදානම් – අධිකරණ ඇමති

වනාතවිල්ලුව වන විනාශයට සම්බන්ධ තවත් පස්දෙනෙකු (5) සොයයි

කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා (09) ජල කප්පාදුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු 3 දෙනෙකුට සිතාසි

බද්දේගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසින් ගිනි අවි ඇතුළු ආයුධ රැසක්

රන් බදු ඉවතට

වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවට, වනඅලීන්ගෙන් දැඩි පීඩා

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා, රවුෆ් හකීම් සහ මුජිබර් රහුමාන් පාස්කු කොමිසමට

මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර, හෙට (08) පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීමට විරුද්ධත්වයක් නැහැ – වැඩබලන පොලිස්පති

පළාත් සභා මැතිවරණය ගැන පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන්ගෙන් ඉල්ලීමක්

සහරාන්ගේ හෂිම්ගේ ප්‍රතිපත්තිවලට එකඟ වූ දේශපාලන පක්ෂ කිහිපයක් ගැන අනාවරණය වෙයි

නව ව්‍යවස්ථාව ගැන පක්ෂ විපක්ෂ අදහස්

පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාව උණුසුම් වෙයි

*********************************************

රට ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගන්න රජය සූදානම් – අධිකරණ ඇමති

(07.09.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

රට ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට වත්මන් රජය නොපැකිලිව කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

කළුතර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++

*********************************************

වනාතවිල්ලුව වන විනාශයට සම්බන්ධ තවත් පස්දෙනෙකු (5) සොයයි

(07.09.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති සංස්ථාවට අයත් වනාතවිල්ලුව – එළුවන්කුලම – කූරටියා මොහොට්ටේ ප්‍රදේශයේ ඉඩමක සිදුවු පරිසර විනාශය පිළිබදව සොය බැලීමට වනජීවී අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 4 දෙනාගේ ප්‍රකාශ වලට අනුව තවත් 5 දෙනෙකු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

කුකුළු ගොවිපළක් ආරම්භ කිරිම සඳහා අදාළ වනාන්තර කොටස එළිපෙහෙළ කළ බවයි අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ.

හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (06) කළ අනාවරණයත් සමඟ ඒ පිළිබදව බලධාරීන්ගේ අවදානය යොමුව වු අතර, ඒ අනුව මෙම ඉඩම පිළිබද සොයා බැලීම සඳහා ඊයේ (06) පස්වරුවේම සිමෙන්ති සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණා.

කෙසේ වෙතත්, වනජීවී රැකවරණය අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුලූ ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැළෑ නැවත වගා කිරිම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නිතීය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර, ආනවිලුන්දාව රැම්සා තෙත් අභය භුමියේ කොටසක් ඉස්සන් වගාව සඳහා නිතීවිරෝධිව ඩොසර් කිරිමේ සිද්ධීයට සම්බන්ධ දේශපාලඥයාගේ සහෝදරයා සොයා පොලිස් කණ්ඩායම් 03 සහ හලාවත කොට්ඨාශ බුද්ධි ඒකකය ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ආරච්චිකට්ටුව පොලිසිය ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා මේ වනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

*********************************************

කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා (09) ජල කප්පාදුවක්

(07.09.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (09) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලටයි ෴

*********************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු 3 දෙනෙකුට සිතාසි

(07.09.2020 – 14:44 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු තුන්දෙනෙකුට (3) ඔක්තෝම්බර් 29 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ මහාධිකරණය අද (07) සිතාසි නිකුත් කළා.

ඒ, 2014 වසරේදී මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට වන නඩුව අද (07) කැදවූ අවස්ථාවේදියි.

පසුගිය අගෝස්තු මස 20 වනදා අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුළු තුන්දෙනෙකුට (3) එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මීට අදාළව අධි චෝදනා ගොනුකළා.

අද (07) නඩුව කැදවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයාට අමතරව මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබුවේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන පුද්ගලයින්ටයි.

*********************************************

බද්දේගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසින් ගිනි අවි ඇතුළු ආයුධ රැසක්

(07.09.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – බද්දේගම – නැගෙනහිර ගනේගම ප්‍රදේශයේ අද (07) සිදුකළ වැටලීමකදී නිවසක සඟවා තිබූ ටී-56 ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් ඇතුළු තවත් ආයුධ රැසක් සොයා ගත්තා.

බද්දේගම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදීයි මෙම අවි ආයුධ සොයා ගනු ලැබුවේ.

ටී-56 ගිනි අවියට අමතරව වායු රයිෆලයක්, ජීව උණ්ඩ 8 ක්, මැගසින් එකක්, කඩුවක් සහ රම්බෝ පිහි 4 ක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව නිවසේ තිබූ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

සිද්ධියට අදාළව එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු බද්දේගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රීවරයෙකු ද වනවා.

මේ අතර, කහවත්ත – ගල්ඉන්න ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී ජීව උණ්ඩ කිහිපයක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, යාපනය – වඩලිඅලෙප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කඩු 3 ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) අත්අඩංගුවට ගත් 32 හැවිරිදි මොහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, කඩු කොපුවක් හා මුගුරක් ද ඔහු සන්තකයේ තිබී සොයා ගැනුණා.

++++++++++++++

(08.09.2020 – 08:22 +0530)

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘මකිලන්ගමුවේ සංජීව’ගේ ගෝලයෙකු වන ‘වැලිපේ සුරාජ්’ නැමැත්තෙකු මිනුවන්ගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ අදාළ සැකකරු සතුව තිබී හෙරොයින්, වායු රයිෆල් 1 ක් සහ තියුණු ආයුධ කිහිපයක් ද සොයා ගත් බව සඳහන් ෴

*********************************************

රන් බදු ඉවතට

(07.09.2020 – 17:21 +0530 – hirunews.lk/sinhala)

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14% ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්තරන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරුණා.

මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත වූවා.

2018 වසරේ දී රත්‍රන් ආනයනය සඳහා 15% ක බද්දක් පනවනු ලැබූ අතර ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී තිබෙනවා.

අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට පියවර ගත යුතු යැයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

මැණික් සඳහා වන ලෝක වෙළෙඳපොළේ කේන්ද්‍රය බවට පත්වීමට ශ්‍රි ලංකාවට නොහැකිවීම ආශ්‍රිත ගැටළු නිරාකරණයට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඉදිරිපත් කළ යෝජනා 14 ක් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

මෙරටදී හමු නොවන ලෝකයේ වෙනත් රටවලට ආවේණික මිල අධික මැණික් ආනයනයට පහසුකම් සැලසීමේ සහ මැණික් සංචිත පවත්වා ගෙන යාමේ වැදගත්කම අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මැණික් කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අදාළ සියලු ආයතන එක් තැනක ස්ථාපනය කරන්නැයි ජනාධිපතිතුමා පැවසීය.

ස්වර්ණාභරණ නිෂ්පාදකයන් සහ සාම්ප්‍රදායික ස්වර්ණාභරණ ශිල්පීන්ට රත්‍රන් මිලදී ගැනීමට රාජ්‍ය බැංකු මගින් 4% ක සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 10 ක ණය මුදලක් සපයන ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය බැංකුවලට උපදෙස් දී තිබෙනවා.

වතු සමාගම්වලට අයත් මැණික් ඉල්ලම් සහිත වගා නොකළ ඉඩම් මැණික් කර්මාන්තයට නිදහස් කර ගැනීමට ඇති බාධක ඉවත් කර කැණීම් සඳහා පවරා ගැනීමට තීරණය කරනු ලැබූ අතර රත්නපුර, දෙමුවාවත ඉදිකිරීමට සැලසුම් කර ඇති මැණික් අළෙවි සංකීර්ණයේ සහ පුහුණු මධ්‍යස්ථානයේ වැඩ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

*********************************************

වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවට, වනඅලීන්ගෙන් දැඩි පීඩා

(07.09.2020 – 17:57 +0530 – hirunews.lk/sinhala)

වනඅලීන් ගම්මානවලට කඩා වැදීම වියළි කලාපය ආශ්‍රීතව නිරන්තරයෙන් වාර්තා වන සිදුවීමක්.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ද නිරත්නරයෙන් වනඅලීන්ගේ තර්ජනයට ලක්වනවා.

පොළොන්නරුව – වැලිකන්ද – රුහුණුකෙත ගම්මානය ද කලක පටන් වනඅලීන්ගේ ආක්‍රමණයන්ට නිරත්තරයෙන් ගොදුරු වන ගම්මානයක්.

මේ ඉකුත් දින රාත්‍රීයේ පැමිණී වනඅලීන් වැලිකන්ද – රුහුණුකෙත ගම්මානයේ නිවාස කිහිපයකට පහර දී අලාභහානි සිදුකර ඇති ආකාරයයි.

මේ ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ රැකියාව වී ගොවිතැන වන අතර, මේ වනවිට එම අස්වනු නෙලීමේ කටයුතු සිදුවෙමින් පවතිනවා.

ගොවීන් සඳහන් කරන්නේ සෝමාවතිය රක්ෂිතය ආශ්‍රිතව ඇති තම කුඹුරුවල අස්වනු බුක්ති විඳීමට රක්ෂිතයේ සද්ධන්තයින් නිරන්තරයෙන් පැමිණෙන බවයි.

නමුත්, බොහෝ අවස්ථාවල ගම්මාන වෙත ද කඩා වදින වනඅලීන් මෙලෙස නිවාස වෙත ද පහර දෙනු ලබනවා. ඒ, එම නිවාසවල ගබඩා කර ඇති වී අස්වනු ආහාරයට ගැනීම සඳහායි.

මේ පසුගිය දිනෙක සෝමාවතිය රක්ෂිතයේ සිට ගම්මාන දෙසට වනඅලීන් පැමිණෙන ආකාරයයි.

ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ තම ගම්මානවල ආරක්ෂාවට විදුලි වැට තිබුණ ද එය විධිමත්ව ක්‍රියාත්මක නොවීමෙන් තමන් වනඅලීන්ගේ තර්ජනයන්ට නිරන්තරයෙන් ගොදුරු වන බවයි.

*********************************************

හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා, රවුෆ් හකීම් සහ මුජිබර් රහුමාන් පාස්කු කොමිසමට

(07.09.2020 – 18:26 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (07) පළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා.

ඒ, ඔවුන්ට කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (07) යළිත් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා.

පසුගිය 3 වනදා ද මන්ත්‍රීවරයා මෙහි පැමිණියේ කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

මීට අමතරව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුලු පිරිසක් ද අද (07) කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුලු මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට (3) දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයන ජනපති කොමිසම අද (07) සිතාසි නිකුත් කරනු ලැබුවා.

ඒ, හිටපු දිවි නැගුම අධ්‍යක්‍ෂ ආර්.ඒ.ඒ.කේ. රණවක එම කොමිසම හමුවේ සිදුකළ පැමිණිල්ලකට අනුව අද (07) පෙනී නොසිටීම හේතුවෙන්.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්දිරන් සහ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට සහ නීතීඥ ජේ.සී. වැලිඅමුණ ටද සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 19 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි මොවුන්ට සිතාසි නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ.

එමෙන්ම, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම නිකුත් කළ සිතාසියකට අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද අද (07) උදෑසන එහි පැමිණියා.

මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද අද (07) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම වෙත රැගෙන විත් තිබෙනවා.

ඒ, හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩී.කේ.පී.දසනායක කොමිසමට ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලකට අදාළාවයි.

*********************************************

මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර, හෙට (08) පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙයි

(07.09.2020 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර හෙට (08) මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

ඒ, ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නීතිමය බාධාවක් නොමැති බවට අභියාචනාධිකරණය අද (07) ලබාදුන් නියෝගයක් සමඟයි.

ඒ අනුව හෙට (08) පස්වරු 01:00 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා අවසර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය අද (07) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළේ මන්ත්‍රීවරයා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ඇතුලු විනිසුරු මඩුල්ල හමුවේ අද (07) විභාගයට ගත් අවස්ථාවේදියි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර තේරි පත්වීම නීතිවිරෝධි බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බව එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියළු හිමිකම් භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපතිවරයා, ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී නොයන බවයි කියා සිටියේ.

පෙත්සම් විභාගය සඳහා අවසර ලබාදුන් අභියාචනාධිකරණය පෙත්සම යළි කැදවන මේ මස 29 වනදා එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කළා.

*********************************************

ලලිත් ජයසිංහ නැවත සේවයේ පිහිටුවීමට විරුද්ධත්වයක් නැහැ – වැඩබලන පොලිස්පති

(07.09.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

දැනට වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ අද (07) ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වූ නිර්දේශ ඉදිරි දිනකදී පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බවයි.

*********************************************

පළාත් සභා මැතිවරණය ගැන පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන්ගෙන් ඉල්ලීමක්

(07.09.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන තෙක් පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදහස් පළ කළා.

*********************************************

සහරාන්ගේ හෂිම්ගේ ප්‍රතිපත්තිවලට එකඟ වූ දේශපාලන පක්ෂ කිහිපයක් ගැන අනාවරණය වෙයි

(07.09.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala)

2015 මහමැතිවරණයට පෙර සහරාන් හෂිම් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් එකඟත්වය පළ කර තිබු බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදි අද (07) ය වුණා.

ඒ කොමිසම හමුවේ ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ හිටපු මන්ත්‍රී සිබ්ලි ෆාරුක් මහතා සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.

*********************************************

නව ව්‍යවස්ථාව ගැන පක්ෂ විපක්ෂ අදහස්

(07.09.2020 – 22:57 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ ජනාධිපතිවරයා සතු වන බලය පිලිබඳ කිසිදු අධිකරණයක විමර්ශනයකට ඉඩ ලබා නොදීම ඉතාමත් භයානක තත්වයක් වන බවයි.

මේ අතර පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (07) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ 19 වන ව්‍යවස්ථාව අවුල් සහගත එකක් බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවා මේ වන විට ප්‍රකශ කරන බවත්, නව ව්‍යවස්ථාවක් ගෙන ඒම තම ආණ්ඩුවේ මැතිවරණ පොරොන්දුවක් බවත්ය.

18 වන ව්‍යවස්ථාවවෙන් සිදුවූ වැරැද්ද 19 වන ව්‍යවස්ථාව තුළින් නිවැරදි කර ගත්තද, නැවතත් යෝජිත 20 වන ව්‍යවස්ථාවවෙන් සිදු වන්නේ රාජාණ්ඩු ක්‍රමයකට රට පරිවර්තනය කිරීමක් බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර 20 වන ව්‍යවස්ථාව සංශෝධනය හරහා කොමිෂන් සභා අහෝසි කිරීමක් සිදු නොකරන අතර කොමිෂන් සභා හතක අඛණ්ඩ පැවැත්ම සහතික කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල් .පිරිස් මහතා අද (07) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට වසර 40 ක දේශපාලන ගමනට සමුදීමට සිඳු වූයේ 19 වන ව්‍යවස්ථාව පිලිබඳ ජනතාව ප්‍රකශ කළ කැමැත්ත අකමැත්ත හේතුවෙන් බවයි වරාය ආමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (07) පවතී මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

+++++++++++++++++++++

*********************************************

පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාව උණුසුම් වෙයි

(07.09.2020 – 23:12 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික පුවත්පතක පළ වූ ලිපියක් සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

අදාළ ලිපිය සකස් කළ මාධ්‍යවේදියා ඊට ප්‍රතිචාර දැක්වීමත් සමඟ එහි ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *