නාකොටික් හෙරොයින් ජාවාරමේ මහ මොලකරු අල්ලන්න වරෙන්තු

නාකොටික් හෙරොයින් ජාවාරමේ මහ මොලකරු අල්ලන්න වරෙන්තු

කුරුණෑගල නගරාධිපති ඇතුලු සැකකරුවන්ට නීතිපතිවරයාගෙන් විරෝධතා

විස්ස හැදුවේ කවුද ? කමිටුව පස්වරුවේ රැස්වෙයි

අම්බලන්ගොඩ – රන්දොඹේ මුහුදු ඛාදනය හේතුවෙන් නිවාස රැසකට හානි

පහසුකම් නැති බලංගොඩ මූලික රෝහල

වෙලේ සුදාගේ මස්සිනා රක්ෂිත බන්ධනාගාරයට

මෙරට 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි

රවී පරදවා, එජාපයේ නියෝජ්‍ය නායක තනතුර රුවන් විජේවර්ධනට

පාස්කු කොමිසමේදී එලියට ආ දුරකථන හඬ පටය

වනාතවිල්ලුවේ පරිසර විනාශය ගැන සොයන්න අමාත්‍ය සී.බී. රත්නායක යයි

2030 දී සමස්ත විදුලිය ඉල්ලුමෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන්

රුසියානු තානාපති කාර්යාලයට සන්දේශයක්

*********************************************

නාකොටික් හෙරොයින් ජාවාරමේ මහ මොලකරු අල්ලන්න වරෙන්තු

(14.09.2020 – 16:59 +0530 – hirunews.lk/sinhala)

දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පොඩි ලැසී නමැත්තාගේ ඥාති සහෝදරයෙකු වන උදාර සම්පත් නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය අද (14) වරෙන්තු නිකුත් කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.

දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහමොළකරු මොහු වන අතර, මීට අදාළ නඩුවේ 14 වන සැකකරු ලෙස ‘උදාර සම්පත්’ නමැත්තා නම් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ඔහු වෙනත් අයෙකුගේ නමකට ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර ඩුබායි රාජ්‍යයට පලාගොස් එහි සිට මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.

එමෙන්ම, රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී තීරුබදු නොගෙවූ දුම්වැටි 8000 ක් ඇතුළත් කාටුන් 40 ක් සමඟ සැකකරුවෙකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශීය රටක නිෂ්පාදිත මෙම දුම්වැටි තීරුබදු රහිත ලේඛනය යටතේ නිකුත් කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කල්මුණේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව, කල්මුණේ – තුරෙයිනීලවනී කලපුවේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවියක් අද සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම, කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ‘එස්. එෆ්. ලොක්කා’ හෙවත් ‘ඉරෝන් රණසිංහ’ගේ නමින් ඔහුගේ පියාගේ, මවගේ, සහෝදරයාගේ, සහෝදරියගේ සහ පෙම්වතිය බවට පැවසෙන කාන්තාවකගේ ඇතුළු 10 දෙනෙකුගේ නමින් ඇති බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය අද (14) පොලීසියට නියෝග කළා.

ඒ ඊට අදාළ නඩුව අනුරාධපුර අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

*********************************************

කුරුණෑගල නගරාධිපති ඇතුලු සැකකරුවන්ට නීතිපතිවරයාගෙන් විරෝධතා

(14.09.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – රාජසභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ල කඩා බිඳ දැමීමට වගකිවයුතු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුලු සැකකරුවන් පස්දෙනා (5) අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගතකිරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද (14) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, කුරුණෑගල නගරාධිපති ඇතුලු සැකකරුවන් ගොනුකර තිබූ පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරිය ඒ බව දැනුම් දුන්නා.

ඒ අනුව නීතිපතිවරයාගේ ලිඛිත විරෝධතා අධිකරණය හමුවේ ලබන නොවැම්බර් 12 වනදා ගොනු කරන ලෙසට විනිසුරු මඩුල්ල නියෝග කළා.

එසේම මෙම පෙත්සම් විභාගය එදින ආරම්භ කිරීමටයි විනිසුරු මඩුල්ල නියෝග කර ඇත්තේ ෴

*********************************************

විස්ස හැදුවේ කවුද ? කමිටුව පස්වරුවේ රැස්වෙයි

(14.09.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ 09 දෙනෙකුගෙන් යුත් කමිටුව අද (14) පස්වරුවේ රැස්වීමට නියමිතයි.

ඒ එම කමිටුවේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීර්ස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විවිධ අදහස් හා මතවාද අධ්‍යයනය කර ඒ පිළිබඳව තමන්ට වාර්ථා කිරීම සඳහා අත්‍රාමාත්‍ය වරයා විසින් පසුගියදා මෙම කමිටුව පත් කළා.

අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාහාජිකයින් වන්නේ ජනාධිපති නීතීඥ අලි සබ්රි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය වරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත් එස්. වියලේන්ද්‍රන් ඇතුළු 09 දෙනෙක්.

මේ අතර යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++

14-09-2020

+++++++++++++++

14-09-2020

*********************************************

අම්බලන්ගොඩ – රන්දොඹේ මුහුදු ඛාදනය හේතුවෙන් නිවාස රැසකට හානි

(14.09.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ – රන්දොඹේ ප්‍රදේශයේ මුහුදු වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ පිළිබඳව බලධාරීන් දැනුම්වත් කළද මෙතෙක් කිසිදු පියවරක් නොගත් බවටයි.

අම්බලන්ගොඩ – රන්දොඹේ මුහුදු වෙරළ ඛාදනය වීම හේතුවෙන් මේ වනවිට අවට නිවාසවලට හානි වී ඇති ආකාරයයි මේ.

මෙම ප්‍රදේශයේ කලක පටන් මෙම විනාශය සිදුවෙමින් තිබූ අතර මේ වනවිට එම තත්ත්වය උග්‍ර වී ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ මේ සඳහා ගල් බැම්මක් ඉදිකර දෙන ලෙසයි.

*********************************************

පහසුකම් නැති බලංගොඩ මූලික රෝහල

(14.09.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

නිදහස් සෞඛ්‍ය සේවයේ ප්‍රතිලාභ ලබන ජනතාවගේ අවශ්‍යතා සපුරණ රෝහල් පද්ධතිය නිසි පරිදි පවත්වාගෙන යාම බලධාරීන්ගේ වගකීමක්.

කෙසේ වෙතත්, බලධාරීන්ගේ ඇස නොගැටීම නිසා මේ වනවිට ලෙඩ වී ඇති රෝහලක් පිළිබඳවයි අද (14) ‘රතු මිනිත්තුවේ’ අවධානය.

බලංගොඩ සහ ඒ අවට ප්‍රදේශ රැසක ජනතාවට සිය සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ඇති ප්‍රධාන රෝහලක් වන්නේ, බලංගොඩ මූලික රෝහලයි. මෙමගින් විශාල ජනතාවක් දෛනිකව ප්‍රතිකාර ලබාගන්නවා.

කෙසේ වෙතත්, රෝහලේ මේ වනවිට මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් රෝගී ජනතාව පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකටයි.

රෝහලට නවීන ස්කෑන් යන්ත්‍රයක් රජය මගින් ලබා දී තිබුණද එහි මූලික උපාංග කිහිපයක් නොමැතිවීම හේතුවෙන් තවමත් එයින් ප්‍රයෝජනයක් ගත නොහැකිව වෙනත් රෝහල් කරා යාමටයි ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට සිදුව ඇත්තේ.

මේ වනවිට රෝහල සතුව පැරණි ස්කෑන් යන්ත්‍රයක් පවතින නමුත්, එමගින් ස්කෑන් කළ හැක්කේ උදරය ආශ්‍රිත ප්‍රදේශ පමණයි.

කෙසේ වෙතත්, එම ස්කෑන් යන්ත්‍රය මගින් සිදුකරන ස්කෑන් පරීක්ෂණවල වාර්තා සම්බන්ධයෙන් විශ්වාසය තැබීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නොමැති බවට වන සාක්ෂියි මේ.

එමෙන්ම බලංගොඩ මූලික රෝහලේ තවත් ගැටලුවක්ව තිබෙන්නේ, කාන්තා වාට්ටුවේ පවතින අධික තදබදයයි.

සුළු සුළු ක්‍රියාමාර්ග හරහා මෙම ගැටලු සියල්ල නිරාකරණය කිරීමට හැකියාව තිබියදීත් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය මෙතෙක් ඒ වෙත යොමු නොවීම කණගාටුවට කරුණක්.

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටේ සිටීම වත්මන් රජයේ තවත් එක් මූලික අපේක්ෂාවක් වූ පසුබිමක, මෙවැනි ගැටලු කඩිනමින් විසඳීම සෞඛ්‍ය බලධාරීන්ට බැහැර කළ නොහැකි වගකීමක්.

බලංගොඩ මූලික රෝහලේ පවතින මෙම ගැටලුවලට කඩිනමින් ප්‍රතිකාර කරන තෙක් ‘හිරු රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

වෙලේ සුදාගේ මස්සිනා රක්ෂිත බන්ධනාගාරයට

(14.09.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට බන්ධනාගාර ගත කර සිටින ‘සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදා’ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වී සිටි පුද්ගලයා මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගාල්ල ඉමදූව – ඇල්ලගොඩ ප්‍රදේශයේදී සැකකාර ‘ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර’ නමැත්තා ඇතුළු තවත් තුන් දෙනෙකු (3) හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත්තේ පසුගිය සෙනසුරාදායි.

ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කර ඇති මොහු ‘චූටි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා තිබෙනවා.

අද (14) දිනයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ සැකකරු තම මස්සිනා වන ‘වෙලේ සුදා’ නිදහස් වේවායි ප්‍රාර්ථනා කරමින් ගවයින් 20 කට ද අභයදානය ලබාදී ඇති බවයි.

එමෙන්ම, කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ රෝගීන්ට මෙම සැකකරු විසින් මුදල් පරිත්‍යාගයක් ද සිදුකර ඇත්තේ ‘වෙලේ සුදා’ට නිදහස පතමින්.

පසුගිය වසරක පමණ කාලයක් තුළ සැකකරුගේ බැංකු ගිණුමෙන් රුපියල් විසිලක්ෂයකට (20,00,000) අධික මුදලක් සංසරණය වී ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

+++++++++++++

(15.09.2020 – 07:19 +0530)

හෙරොයින් පැකට් 100 ක් සමගින් බදුල්ල නගරයේ දී අත්අඩංගුවට ගත් ‘සීනිකූරා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා.

බදුල්ල කටුපැලැල්ලේගම පදිංචි මෙම සැකකරු වැල්ලම්පිටියේ සිට මෙම හෙරොයින් පැකට් කකුළේ බැඳ බස් රථයකින් බදුල්ලට රැගෙන එමින් සිටියදීයි අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (14) දිනයේදීයි.

එමෙන්ම, ගාල්ල නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල ඊයේ (14) සිදුකරන ලද විශේෂ වැටලීමකදී කුඩු තරංගා නමැති කාන්තාව ද හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 560 ක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, මහව – කැත්පහුව ප්‍රදේශයේදී ඊයේ (14) සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ හෙරොයින් ග්‍රෑම් 2 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව, පැල්මඩුල්ල – දෙඹගහවින්න ප්‍රදේශයේදී 8 දෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණේ පැරණි කාසි 900 ක් අලෙවි කිරීමට යමින් සිටියදීයි ෴

කේරළ ගංජා කිලෝග්‍රෑම් 9 ක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු (2) මීරිගම – පල්ලෙවෙල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) අත්අඩංගුවට ගත් මොවුන් අතර නාවික හමුදාවේ හිටපු සෙබලෙකු ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ ෴

*********************************************

මෙරට 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි

(14.09.2020 – 16:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා වෛරස් මරණය අද (14) වාර්තා වුණා.

ඒ හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි ආසාදිත පුද්ගලයෙකු මියයාමත් සමඟයි.

නාවිකයෙකු ලෙස කටයුතු කළ ඔහු බහරේනයේ සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය දෙවනදායි.

එම අවස්ථාවේදී මොහු කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගෙන නොමැති අතර, නිරෝධායනයට ලක් කරමින් සිටින අතරතුර පසුගිය 9 වනදා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හෘදයාබාධයක් මොහුගේ මරණයට ආසන්නතම හේතුව ලෙස සැලකෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව අද (14) 3000 ඉක්මවූවා.

තවත් ආසාදිතයන් 9 දෙනෙකු අද (14) සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3005 දක්වා ඉහළ ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඒ අනුව, කොරෝනා වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 217 දෙනෙකු පමණයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3235 ක්.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා මූලස්ථානයේ අද (14) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ජනතාව තවදුරටත් කොරෝනා මර්දන වැඩපිළිවෙලට සහය දැක්විය යුතු බවයි.

මේ අතර, ලෝක් සභා ලෙස හඳුන්වන ඉන්දීය පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරුන් 17 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ බව අනාවරණ වූයේ ඉන්දීය පාර්ලිමේන්තුවේ මෝසම් සැසිවාරය අද (14) උදෑසන ආරම්භ වීමට පෙර සිදුකළ පරීක්ෂාවන්හිදීයි.

පාර්ලිමේන්තු සැසිය ආරම්භ වීමට පෙරම ඉන්දීය රජයේ අමාත්‍යවරුන් 7 දෙනෙකුට සහ මන්ත්‍රීවරුන් 25 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 48 ඉක්මවන අතර, කොරෝනා මරණ සංඛ්‍යාව 80,000 කට ආසන්නයි.

+++++++++++++++

(15.09.2020 – 07:40 +0530)

ඊයේ (14) දිනයේදීත් තවත් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගියා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 11 දෙනෙකුත්, ඉන්දියාවේ සිට පැමිණි නාවිකයින් 5 දෙනෙකුත්, බහරේනයේ සිට පැමිණි නාවිකයින් 4 දෙනෙකු සහ බංග්ලාදේශයෙන් පැමිණි 4 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස ඊයේ (14) හදුනා ගැණුනා.

ඊට අමතරව, කටාර්, වියට්නාම් සහ කුවේට් යන රටවලින් පැමිණි තුන්දෙනෙකුටත් (3) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 244 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3005 ක් දක්වා ඉහල ගියා.

මේ අතර, මෙරට 13 වන කොරෝනා මරණය ලෙස ඊයේ (14) වාර්තා වූ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු හලාවත – මාදම්පේ ආදාහනාගාරයේදී සිදුකෙරුණා.

ඒ සඳහා ඔහුගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු පමණක් සහභාගි වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මොහු හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහු බහරේනයේ නාවිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය දෙවනදායි (02).

එම අවස්ථාවේදී ඔහු කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගෙන නොමැති අතර, නිරෝධායනයට ලක් වෙමින් සිටින අතරතුරයි පසුගිය 09 වනදා හලාවත මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවේ.

එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් ෂී ෂෙල්ස් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 170 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලින් ඊයේ (14) මෙරටට පැමිණියා.

පසුව ඔවුන් සියලුදෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකළ බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ.

කෙසේ වෙතත්, තමන් ඇතුළු තවත් කාන්තාවන් කිහිපදෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් කුවේටයේ සිට මෙරටට පැමිණීමට නොහැකිව රැදී සිටින බවයි එහි රැදී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

*********************************************

රවී පරදවා, එජාපයේ නියෝජ්‍ය නායක තනතුර රුවන් විජේවර්ධනට

(14.09.2020 – 18:13 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට රුවන් විජේවර්ධන අද (14) පත් කරගනු ලැබුවා.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි.

එහිදී නියෝජ්‍ය නායක ධුරය සඳහා එම පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ නියෝජ්‍ය මහලේකම් රුවන් විජේවර්ධන අතර රහස් ඡන්දයක් පවත්වා තිබෙනවා.

ඒ නියෝජ්‍ය නායක ධුරය සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ එකඟතාවයකට පැමිණීමට නොහැකිවීම හේතුවෙන්.

එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන ඡන්ද 28 ක් ලබාගෙන ඇති අතර, රවී කරුණානායකට ඡන්ද 10 ක් හිමිවී තිබෙනවා.

එමෙන්ම, ලබන ජනවාරි මාසය වනතුරු රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් දැරිය යුතු බවට ද කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (14) තීරණය කර තිබෙනවා.

*********************************************

පාස්කු කොමිසමේදී එලියට ආ දුරකථන හඬ පටය

(14.09.2020 – 20:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් පසු එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අතර සිදුවු විශේෂ දුරකථන සංවාදයක හඬපටයක් අද (14) ජනාධිපති කොමිසම හමුවට පළමුවරට ඉදිරිපත් කෙරුණා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා විසින් පටිගත කර ඇති මෙම දුරකථන සංවාදය තුළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද පූර්ව අනතුරු ඇඟවම් ලැබි තිබියදි එය වළක්වා ගැනීමට කටයුතු නොකළ වගකියුත්තන් වසන් කිරීමට තැත් කළාද යන්න සම්බන්ධයෙන් කොමිසමේ සැකය පල වුණා.

එහි සභාපති විනිසුරුවරයා මෙහිදී නියෝග කළේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික ජංගම දුරකතනය තුළ පටිගතකරන ලද තවත් සංවාද ඇත්දැයි පරික්ෂා කිරීම සදහා එය වහාම කොමිසමේ පොලිස් විමර්ශන එකකය භාරයට ගන්නා ලෙසයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබාදීම සදහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට අද (14) පැමිණියේ 22 දිනටයි.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු නිලන්ත ජයවර්ධනට නියෝග කළේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ සාක්ෂිකරු අතර ඇතිවුයේ යැයි මීට පෙර පැවසූ දුරකතන සංවාදය කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

එහිදී සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය අදාළ හඩපටය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සිදුකරන්නේ නම් එය මාධ්‍ය නොමැතිව සිදුකරන ලෙස ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති කොමිසම අදාළ පටිගත කරන ලද දුරකතන සංවාදය විවෘත කොමිසම හමුවේ වාදනය කරන ලෙස නියෝග කළා.

අදාළ දුරකථන සංවාදයේ සම්පුර්ණ කාලය මිනිත්තු 25 යි තත්පර 04 ක්.

+++++++++++++++++++++

හේමසිරි ප්‍රනාන්දු සහ නිලන්ත ජයවර්ධන අතර සිදුවූ සම්පූර්ණ දුරකථන සංවාදය

(14.09.2020 – 19:05 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ තමන් අතර සිදුවු විශේෂ දුරකථන සංවාදයක හඬපටයක් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (14) ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළේය.

මේ අතර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයාගේ පෞද්ගලික ජංගම දුරකථනය තුළ පටිගතකරන ලද තවත් සංවාද ඇත්දැයි පරික්ෂා කිරීම සදහා එය වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙසද කොමිසමේ සභාපතිවරයා නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

පටිගත කරන ලද අදාළ දුරකතන සංවාදයේ සම්පුර්ණ කාලය මිනිත්තු 25 යි තත්ත්පර 04 කි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා 22 වැනි දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා අද (14) පැමිණියේය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කර සිටියේ සාක්ෂිකරු මීට පෙර කොමිසමේ සදහන් කළ පරිදි ඔහු සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අතර ඇතිවුයේ යැයි පැවසෙන දුරකතන සංවාදය විවෘත කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙසය.

කෙසේ වෙතත් එම නියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය ඉල්ලා සිටියේ අදාළ හඩපටය සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සිදුකරන්නේ නම් එය මාධ්‍ය නොමැතිව සිදුකරන ලෙසය.

කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ජනාධිපති කොමිසම, එම දුරකථන සංවාද පටිගත කිරීම විවෘත කොමිසම හමුවේ වාදනය කරන ලෙස නියෝග කළේය.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අතර මෙම දුරකථන සංවාදය සිදුවී ඇත්තේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමෙන් පසු අප්‍රේල් මස අවසාන සතියේ හෝ මැයි මස මුල් සතියේ බව ජයවර්ධන මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන – ‘සර්… අපි මේක දැනගෙන හිටියා. මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නැහැ’ කියලා Statement එක දුන්න එකයි වැරැද්ද. මම Statement දෙන්න ගියේ නැහැනේ.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු – හොඳයි. ඔයා කියන්න මාව දැනුවත් කළා කියලා. මම අයි.ජී. ව දැනුවත් කරලනේ තිබ්බේ.

නිලන්ත – සර්ට මම 7 වෙනිදා දැනුවත් කළාම, Well Received කියලත් සර් එව්වනේ.

හේමසිරි – දැන් මෙතන තියෙන ප්‍රශ්නය ජනාධිපතිට කිව්වේ නැති එකනේ.

නිලන්ත – මගෙන් ඇහුවේ නැහැ ජනාධිපතිට කිව්වද කියලා. පත්තර වල යන්නේ ජනාධිපතිතුමාට නොකීම ප්‍රශ්නයක් කියලා. කොහොමටත් මම කිව්වේ නැහැ.

හේමසිරි – හරි ඔයා කිව්වෙත් නැහැ. මම කිව්වෙත් නැහැ.

නිලන්ත – දැන් ජනාධිපති තුමා 20 ලංකාවේ හිටියෙත් නැහැනේ. එහෙමනම් මම අගමැතිට කියන්න එපැයි. මම අගමැතිට කිව්වෙත් නැහැ. ඒක රාජකාරි පැහැර හැරීමක් වෙන්නේ නැහැ. මේක ලොකු Issue එකක් වෙන්නේ නැහැ. පත්තර වලින් තමයි මේක Issue එකක් කරලා තියෙන්නේ. ඇත්තටම මේක Political Issue එකක්.

හේමසිරි – වැරදි කාගේ අතිනුත් වෙනවා. දැන් මේගොල්ලෝ මාව Arrest කරන්න යන්නේ. මම ආරක්ෂක ලේකම්ධුරයෙන් අයින් වුණා.

නිලන්ත – IG Resign වුනාද ?

හේමසිරි – නැහැ. IG යන්නේ නැහැයි කියලා අපි දෙන්නාටම ගහන එක හරි නැහැ.

නිලන්ත – සර්, මම හිතන්නේ සර් ජනාධිපතිතුමාව හම්බුනොත් හොදයි නේද ?

හේමසිරි – නැහැ. ජනාධිපතිව හම්බෙන්නේ නැහැ මම ඉතාමත් සුහදව කථා කරලා ඇවිල්ලා පහුවෙනිදා ඉඳලා තමයි එයා මට ගහන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ සද්ද නැතුව හිටියානං ඉවරයිනේ.

නිලන්ත – මම මේකට හිරවෙලා ඉන්නේ හැම පැත්තෙන්ම. මට ගහනවා ජනාධිපතිගේ ගෝලයා කියලා. මාව අයින් කරන්න ඕනේ කියනවා. දැන් ඔතන මහේෂ් සේනානායක මහත්තයත් කියනවා ‘දන්නේ නැහැ’ කියලා.

හේමසිරි – ඔව් ඒකනේ එයාලා මේ ගැන කතාකරපු සාකච්ඡාවේ හිටියනේ.

නිලන්ත – 9 වෙනිදා IG ට කිව්වට පස්සේ, 16 වෙනිදා කාන්තන්කුඩි පිපිරීමෙන් පස්සේ සහරාන්ගේ ඩ්‍රයිරන් එකක් කියලා Report 3 කුත් ගැහුවා. 20 සවසත් කිව්වා. පංචිකාවත්ත, කොච්චිකඩේ බලන්න කිව්වා. හෝටල්වලට ගහනවා කියලත් මම කිව්වා. කාටවත් කියන්න බැහැ මම දන්නේ නැහැ කියලා. 07 වෙනිදා ඉඳලා මට මේක ලෙඩක් කියලා තේරුණා.

හේමසිරි – ඒ වෙලාවේ ඔයා මට කිව්වනං අයි.ජී. ට කියන්න මේ මේ දෙවල් කරන්න කියලා…

නිලන්ත – සර්, මම කිව්වේ නැහැනේ කොළඹට ගහනවා කියලා. මම නිශ්චිත තොරතුරු දුන්නා. අනික සර් කියන්න ඕනේ නැහැ අයි.ජී. ට අතනට රෝඩ් බ්ලොක් දාන්න; මෙතනට රෝඩ් බ්ලොක් දාන්න කියලා. හැබැයි සර් ජනාධිපතිට නොකිව්ව එක ගැනනම් පොඩි අවුලක් තියෙනවා. හැබැයි අපි මේ ගැන නොකිව්වට Big Picture එක ගැන 2015 ඉඳලම කියලා තියෙන්නේ.

හේමසිරි – අපි දෙන්නගේ සුහදතාවයටවත් ඔයා මට කිව්වානං මම අරූට කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර හරහා මාධ්‍ය ප්‍රකාශයක් කරනවා. පල්ලි වලට ගහනවා; මෙන්න මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා. එහෙම කරානම් අපි ඔක්කොම බේරිලා.

නිලන්ත – දැන් අපිට වෙලා තියෙන්නේ අපි ඕක කරේ නැහැ කියන එකනේ. හැමෝම මේකෙන් දේශපාලන වාසි ගන්න හදනවා. මට හිතෙන තරමටනම් අපි 09 වෙනිදා රැස්වීමෙදි මේක ගත්තා මදි. දැන් ඔය නැහැ කිව්වට මම චුලාට කිව්වා, එයා බ්‍රිගේඩියර් කෙනෙක් වුනාට ‘අයිසේ මේ ගැන තොරතුරු හොයනවා’ කියලා.

හේමසිරි – එයා එක දවසක්වත් සහරාන්ලා ගැන කියලා නැහැ. එයා කතාකරන්නේ වෙන වෙන දේවල් ගැන. පත්තර වලින් බලලයි එයා තොරතුරු කියන්නේ.

නිලන්ත – චුලා කියනවා එයා දන්නේ නැහැ කියලා. අඟහරුවාදා රැස්වීමේ එයා හිටියා. සිසිර මෙන්ඩිස් මහත්තයා ඇහැව්වා මල්ලි මේකට මොකද කරන්නේ කියලා. මම කිව්වා ‘පිස්සු කෙළින්න එපා සර් ඕක ලෙඩක් ඕක දාන්න’ කියලා.

හේමසිරි – සි.එන්.අයි. ට වැරැද්දක් එනවද ආමි එකට නේවි එකට කිව්වේ නැහැ කියලා. එයා ඉතිං කොහොමත් යන්න බලන් ඉඳපු කෙනානේ.

නිලන්ත – එයා ඉතිං කිව්වානං අඟහරුවාදා රැස්වීමෙදි කතා කළා කියලා එයා නිදහස්.

පටිගත කරන ලද දුරකථන සංවාදය වාදනය කිරීම අවසානයේ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේ ඔබ මෙම සංවාදය පටිගත කිරීමේ අරමුණ කුමක්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ ‘පාස්කු ප්‍රහාරයෙන් පසු තොරතුරු ලැබී තිබියදි දැනුම් නොදුන්නේ’ යැයි රාජ්‍ය බුද්ධි සේවයට සහ එවකට එහි අධ්‍යක්ෂකව සිටි තමන්ට පාර්ශව ගණනාවක් චෝදනා එල්ල කළ බැවින් තමාගේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ කිර්තිනාමය රැකගැනීමට සාක්ෂි අවශ්‍ය වු බැවින් මෙම දුරකථ න සංවාදය පටිගත කළ බවය.

මෙහිදි කොමිසම් සභාව හමුවේ නැගී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා කියා සිටියේ සාක්ෂිකරු විසින් මෙලෙස පටිගත කර ඇත්තේ තම සේවාදායකයා වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු එම ධුරයෙන් ඉවත්විමෙන් පසු ලබාගත් පෞද්ගලික දුරකථන සංවාදයක් බවය.

එබැවින් සාක්ෂිකරු මෙම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින්ගේ පෞද්ගලික දුරකථන සංවාද පටිගත කර ඇත්දැයි විමසීම සදහා ඔහු එකළ භාවිතා කළ පෞද්ගලික ජංගම දුරකථනයද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර පරීක්ෂා කළ යුතු බව නීතිඥවරයා තර්ක කර තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරු හිටපු ජනාධිපතිවරයා සමග කළ දුරකථන සංවාදද පටිගත කර ඇත්දැයි සැක සහිත බවය.

කෙසේ වෙතත් නිලන්ත ජයවර්ධන මහතා විසින් විමර්ශනයට අවශ්‍ය හඬපටය සම්පුර්ණයෙන් ඉදිරිපත් කර ඇති බව පවසමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ජයවර්ධන මහතා එවකට භාවිතා කළ පෞද්ගලික ජංගම දුරකතනය පරික්ෂාවට ලක්කිරීමට සිය විරෝධය පළ කළාය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ඉල්ලීමට තමන්ද විරුද්ධ බව පැවසු අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ මෙම සාක්ෂිකරු ලබාදී ඇති හඬපටය සංස්කරණය කර ඇති බව අනාවරණය වෙනවානම් පමණක් සාක්ෂිකරුගේ පැරණි ජංගම දුරකථන පරික්ෂාවට ලක්කළ යුතු බවය.

මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ජයවර්ධන මහතාගෙන් විමසා සිටියේ ‘පටිගතකරන ලද වෙනත් හඬපට ඔබ සන්තකයේ පවතින්නේද‘’ යන්නයි.

එයට පිළිතුරුදෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ තම ලැප්ටොප් පරිගණකය තුළ මීට පෙර රහසිගතව කොමිසමට ඉදිරිපත් කළ ජාතික බුද්ධි ප්‍රධානියා සම්බන්ධ වන පටිගත කිරීම හැරුණු විට තවත් එක් හඬපටයක් ඇති බවයි.

එම කරුණු සලකා බැලු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ නිලන්ත ජයවර්ධන මහතා ලබා දී ඇති සාක්ෂිය තුළ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ යම් පුද්ගලයින් ආරක්ෂා කිරීමක් පිළිබද ව්‍යාංගයෙන් කතාවෙන ස්වරූපයක් කොමිසම නිරීක්ෂණය කළ බවය.

එසේම අද (14) දින ඉදිරිපත් කළ හඬපටය ආරම්භයේ සිට නොමැති බවත් ‘කිසිවෙකු අමාරුවේ දැමීමට අවශ්‍ය නැහැ’ යන්න කියවීම තුළද සැක පහළ වන බව සභාපති විනිසුරුවරයා සදහන් කළේය.

එබැවින් මෙම කොමිසමේ මුඛ්‍ය පරමාර්ථය පාස්කු ප්‍රහාරයට අදාළ සියලු කරුණු ආවරණය කිරීම වන බැවින් නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ භාවිත කළ පෞද්ගලික දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය වහාම ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට භාර දෙන ලෙස සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

එසේම සභාපතිවරයා ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතාට සහ එහි අධ්‍යක්ෂ ප්‍රියන්ත ලියනගේ මහතාට නියෝග කර සිටියේ ඔවුන් දෙදෙනා විශේෂයෙන් මෙම විමර්ශනයට සහභාගි වී සාක්ෂිකරු විසින් ලබාදෙන ලද උපකරණ තුළ කොමිසමේ විෂය පථයට සම්බන්ධ පටිගත කරන ලද තවත් සංවාද වෙතොත් උකහා ගන්නා ලෙසය.

පොලිස් විමර්ශන ඒකකයේ පරික්ෂාවට ලක්කිරීමෙන් පසු අද (14) දින ඉදිරිපත් කරන ලද හඬපටය සංස්කරණය වී ඇත්දැයි විමර්ශනය කිරීම සදහා එම සී.ඩි. පටය, ජංගම දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය රජයේ රස පරික්ෂකවරයාට යොමුකරන ලෙසද කොමිසමේ ලේකම්වරයාට සභාපති විනිසුරුවරයා නියෝග කළ බව අප වාර්තාකරු පැවසීය.

*********************************************

වනාතවිල්ලුවේ පරිසර විනාශය ගැන සොයන්න අමාත්‍ය සී.බී. රත්නායක යයි

(14.09.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

වනාතවිල්ලුව කූරටියාමොහොට්ටේ ප්‍රදේශයේ සිදුව ඇති පරිසර විනාශය අද (14) නිරීක්ෂණය කිරීමෙන් පසු විනාශ වූ වන බිම මසක් තුළ යළි හරිත බිමක් ලෙස සකස් කිරීම සඳහා වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා අදාළ සිමෙන්ති සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් එම නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාව මෙම වන විනාශය රටට හෙළිකළ මාධ්‍යයට විවෘත වූයේ නැහැ.

*********************************************

2030 දී සමස්ත විදුලිය ඉල්ලුමෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන්

(15.09.2020 – 06:42 +0530 – hirunews.lk/sinhala)

2030 වසර වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

දේශගුණික විපර්යාසය හේතුවෙන් ගල් අඟුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන අතහැර ලොව සියලු රටවල් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වෙමින් සිටිනවා.

මෙරට විදුලි ඉල්ලුමේ වාර්ෂික වැඩිවීම සියයට 6 ක් බවත් සංවර්ධන ව්‍යාපෘති ඇරඹීමත් සමඟ බලශක්ති ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

අනාගත පරපුරට ප්‍රතිඵල භුක්ති විදීමට හැකි තිරසර සංවර්ධනයකට මඟ සැකසනු පිණිස හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ව්‍යාපෘතියකට අනුමැතිය දීමේ බලය ඇති ආයතන ශක්‍යතා වාර්තා සකස් කර තබාගත යුතු අතර, අනුමැතිය කඩිනමින් ප්‍රදානය කළයුතු බවටයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

යම් ව්‍යාපෘතියකට අනුමැතිය ඉල්ලූ විට දින 14 කදි ඊට පිළිතුරක් නොදුනහොත් එය අනුමත වූවක් ලෙස සැලකීම උචිත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට රජය ඉහළ ප්‍රමුඛත්වයක් දී ඇති අතර ඊට අවශ්‍ය සහය දෙන ලෙස සියලු ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබාදුන්නා.

ටෙන්ඩර් පරිපාටියෙන් තෝරාගන්නා සියලු ව්‍යාපෘති තෙමසකදී (මාස 3) ආරම්භ නොකළහොත් නිකුත් කළ බලපත්‍ර අවලංගු කළයුතු බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියා ෴

*********************************************

රුසියානු තානාපති කාර්යාලයට සන්දේශයක්

(15.09.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ වෛද්‍ය විද්‍යාල 3 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු ප්‍රශ්නයක් බව මහජන යුතුකම කේන්ද්‍රය ප්‍රකාශ කළා.

එහි මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ඇතුළු පිරිසක් ඊයේ (14) රුසියානු තානාපති කාර්යාලයට ගොස් ඒ පිලිබඳ විශේෂ සංදේශයක් භාරදෙනු ලැබුවා.

රුසියාවේ වෛද්‍ය විද්‍යාල 3 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය යළි සලකා බැලීමට තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පසුගියදා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම සතිය තුළ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ උපාධි කමිටුව රැස්කරන ලෙස ලේඛකාධිකාරිවරයාට උපදෙස් ලබා දුන් බවයි.

වෛද්‍ය සභාව ගත් තීරණය බලාත්මක වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ද අනුමැතිය හිමිවිය යුතු වුව ද, වෛද්‍ය සභාව විසින් එවැනි අනුමැතියකින් තොරව අදාළ තීරණය වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ පළ කර තිබුණා.

එය යම් දෝෂයකින් සිදුවූ බවට වෛද්‍ය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළ අතර ඒ පිලිබඳව සොයා බලන බවයි ඔහු කියා සිටියේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *