පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිනොගත් ජාතික බුද්ධි ප්‍රධානියා

පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිනොගත් ජාතික බුද්ධි ප්‍රධානියා

වෙලේ සුදාගේ සමීපතමයෙකු හෙරොයින් සමඟින් අත්අඩංගුවට

ජනපති දුන් මාර්ග ඉලක්කය

දේශීය කර්මාන්තකරුවන්ට ණය පහසුකම් – අගමැති

පසුගිය රජය සිදුකළ නිවාස මූල්‍ය අක්‍රමිකතා ගැන කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය බේරාගන්න කළ පොලිස් මෙහෙයුම

පුහුණුවට තැනක් නැති මාතර ජිම්නාස්ටික් දරුවෝ

කුරුඳු සොරා පළාගිය අමුතු ක්‍රමය

මංතීරු නීති පෙරහුරු වැඩසටහන හෙට (17) සහ අනිද්දාත් (18) ක්‍රියාත්මකයි

ඉඩම් ගැසට්ටුවට පරිසරවේදීන්ගේ විරෝධය

ඥානසාර හිමිගේ නඩුවෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත් වෙයි

ගුවන් තොටුපල විවෘත කිරීම සෞඛ්‍ය නිර්දේශ අනුවයි – ඇමති ප්‍රසන්න

කොරෝනා වෛරසය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

*********************************************

පාස්කු ප්‍රහාරයේ වගකීම පිළිනොගත් ජාතික බුද්ධි ප්‍රධානියා

(16.09.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වුයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි නොපිළිගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා ගත නොහැකි වුයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත් වූ නිසා බවයි.

කෙසේවෙතත් සිසිර මෙන්ඩිස් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීමට ලබාදුන් අවස්ථාවේ බොහෝ පාර්ශව එහි රැදී නොසිටීම ජනපති කොමිසමේ දැඩි අප්‍රසාදයට ලක්වුණා.

පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස සේවය කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා හයවන (6) දිනටත් සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසම හමුවට ඊයේ (15) පස්වරුවේ පැමිණියා.

*********************************************

වෙලේ සුදාගේ සමීපතමයෙකු හෙරොයින් සමඟින් අත්අඩංගුවට

(16.09.2020 – 09:42 +0530 – hirunews.lk/sinhala)

දැනට බන්ධනාගාරගතව සිටින ‘සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදා’ගේ සමීපතමයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මීගොඩ – මාදුලාව ප්‍රදේශයේදී ඊයේ (15) හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ මොහු අත්අඩංගුවට ගත් බවයි.

‘විතානගේ දුමින්ද කුමාර’ නැමැති සැකකරු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

++++++++++++++

(16.09.2020 – 10:38 +0530)

ගැබිණි කාන්තාවක් සිදුකරගෙන ගිය කේරල ගංජා ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ, බෙන්තොට පොලිසිය මගින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී කේරල ගංජා සමඟින් ගැබිණි කාන්තාවක් පහුරුමුල්ල ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

සිය සැමියා සමඟ කේරල ගංජා තොගයක් බෙන්තොට ප්‍රදේශයේ ගැණුම්කරුවන් වෙත ලබාදීමට ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

වෛද්‍යවරයෙකු වෙත යන මුවාවෙන් දීර්ඝ කාලයක සිට මෙලෙස ගංජා ජාවාරමේ නිරත වී ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*********************************************

ජනපති දුන් මාර්ග ඉලක්කය

(16.09.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් ඉදිකිරීම 2024 වන විට අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට පවරා තිබෙනවා.

ඒ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතබා මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරුවන් යන පාර්ශ්ව දෙකෙන්ම විය යුතු බවයි.

රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු කිරීමටත් කුඩා පාලම්, වැල් පාලම් සහ ඒදඬු වෙනුවට නව පාලම් ඉදිකළ යුතු බවටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම මාර්ග ඉදිකිරීමේදී යොදා ගන්නා පස්, ගල්, වැලි අවශ්‍ය ප්‍රමාණය සපයා දීමේ වගකීම සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බවද සම්පත් සම්පාදනයට අනුමැතිය දිය යුතු පරිසර, වනජීවි වන සංරක්ෂණ සහ පුරාවිද්‍යා ඇතුළු සියලු ආයතන දිස්ත්‍රික් මට්ටමින් රැස්ව පූර්ව අනුමැතිය දිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02 ක් රෝපණය කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා.

එමෙන්ම සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පූර්ණයෙන් නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම මහල් නිවාස සංකීර්ණ, වෙළඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ දී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

*********************************************

දේශීය කර්මාන්තකරුවන්ට ණය පහසුකම් – අගමැති

(16.09.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

දේශීය කර්මාන්තකරුවන් දිරිමත් කිරීම සඳහා ඔවුන්ට ලිහිල් ප්‍රතිපත්තියක් යටතේ ණය පහසුකම් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අද (16) පෙරවරුවේ දියත උයන පරිශ්‍රයේ පැවති දේශීය කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයක් විවෘත කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

‘ශිල්ප තර්ස්ඩේ’ නමින් හස්ත කර්මාන්ත අලෙවි පොලක් හෙට (17) සිට සෑම බ්‍රහස්පතින්දාවකම දියත උයන පරිශ්‍රයේ පැවැත්වීමට කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

එම වෙළදපොල අද (16) සංකේතාත්මකව විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ෴

*********************************************

පසුගිය රජය සිදුකළ නිවාස මූල්‍ය අක්‍රමිකතා ගැන කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

(16.09.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ නිවාස ලබාදීමේ ව්‍යාපෘති වලදී මූල්‍ය අක්‍රමිකතා සහ වංචා දූෂණ සිදුකළ සියළු පුද්ගලයින්ට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කලේ වව්නියාව ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සිදුකල නිරීක්ෂන චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වව්නියාවේ පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය වෙත පැමිණියේ ඊයේ (15) පස්වරුවේයි.

එහිදී දැනට සක්‍රිය සහ අක්‍රිය තත්ත්වයේ පවතින යන්ත්‍රෝපකරණ නිරීක්ෂනය කල රාජ්‍ය අමාත්‍යවරයා එහි පාලනාධිකාරිය සමඟ ආයතනික ගැටළු පිළිබඳවද සාකච්ඡා කලා.

*********************************************

මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකුගේ ජීවිතය බේරාගන්න කළ පොලිස් මෙහෙයුම

(16.09.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

දියඇල්ලකින් පහළට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කළ 23 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත් වුණා.

මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඇබොස්ලි වත්ත හරහා ජලය ගලා බසිනා දිය ඇල්ලට ඉහළින් පිහිටි ගල් තලාවක් මත තරුණයෙකු රැඳි සිටින බව දුටු වතු කම්කරුවෙකු ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

වහාම වූ ක්‍රියාත්මක වූ හැටන් පොලිස් නිලධාරීන් එම තරුණයා සොයා ගියා.

එහිදී හෙළිවූයේ ඔහු සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ඇල්ල ඉහළට පැමිණි සිටි බවයි.

ඒ අනුව පොලිසිය ඔහු බේරා ගැනීමට මෙලෙස ක්‍රියා කළා.

මානසික ආබාධයකින් පෙළෙන බව පැවසෙන 23 හැවිරිදි එම තරුණයා හැටන් රොතැස් වතුයායේ පදිංචිකරුවෙක්.

හැටන් පොලිසිය සඳහන් කළේ දෙමව්පියන් සමඟ උරණ වී සියදිවි හානි කර ගන්නා බව පවසමින් මෙම තරුණයා නිවසින් පිටව ගොස් තිබූ බවයි.

පොලිස් භාරයට ගත් තරුණයා හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට නියමිත බවයි.

ඉන්අනතුරුව එම තරුණයාව මව්පියන් වෙත භාරදීමට කටයුතු කරන බවත් පොලිසිය සඳහන් කළා.

*********************************************

පුහුණුවට තැනක් නැති මාතර ජිම්නාස්ටික් දරුවෝ

(16.09.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

විසි (20) වසරක ඉතිහාසයකට උරුකම් කියන මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමයේ මඟපෙන්වීම හරහා දෙස් විදෙස් ක්‍රීඩා පිටියේදී ජයකෙහිළි නැංවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අති මහත්.

මාතර දිස්ත්‍රික්කයේ කනිෂ්ඨ මෙන්ම ජේෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් සිය හැකියාවන් විදහා දක්වන්නට තිබෙන එකම ජිම්නාස්ටික් සංගමය මෙය වුවත්, ජිම්නාස්ටික් ක්‍රීඩාව හරිහමන් ලෙස සිදු කරන්නට ස්ථානයක් ඔවුන්ට තවමත් නැහැ.

අහිගුන්ටකයන් ලෙසින් තැනින් තැනට ගොස් සිය ක්‍රීඩාව කර ගෙන ගිය මේ දූ දරුවන් 2014 වසරේ සිට යන්තම් හෝ සිය පුහුණුවීම් ගැටගහගත්තේ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලීය ප්‍රධාන ශාලාවට පින් සිදු වන්නටයි.

පාසලේ අධ්‍යන කටයුතු සිදු කරන විට පුහුණුවීම් සිදු නොකරන්නට වග බලා ගන්නත්, ඉන් පසු සිය ජිම්නාස්ටික් පුහුණුවීම් හැකි පමණින් කර ගෙන යන්නත්, පුහුණුකරුවන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වග බලා ගත්තා.

නමුත් වසර 6 ක් පුරා මෙම දරුවන් වැලිගම සිද්ධාර්ථ විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ සිදුකල පුහුණුවීම් වලටත් කණකොකා හඩන්නට පටන් ගත්තේ ගෙවුණු පෙබරවාරි මාසයේ සිටයි.

එම විද්‍යාලයේ ඉගෙනුම ලබන දු දරුවන්ගේ වැඩිවීමත් සමග සිද්ධාර්ථ විදුහල්පතිවරයා විසින් සිය ප්‍රධාන ශාලාවේ සිදුකරගෙන ගිය පුහුණුවීම් නවතා දමන ලෙස මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමයට දැනුම් දුන්නේ ඔහුටද වෙනත් විකල්පයක් නොමැති වීම හේතුවෙන්.

ක්‍රීඩා බලධාරීන්ට කොතෙකුත් කිව්වත් එය බිහිරි අලින්ට වීණා වයන්නාක් මෙන් පළක් නොමැති බව ගෙවුණු වසර 20 පුරාවටම සක්සුදක් සේ වටහා ගත් මේ දු දරුවන් 500 ක් පමණ දෙනා අද වන විට මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ එළිමහන් පුහුණුවීම් වල නිරත වනවා.

ජිම්නාස්ටික් ක්‍රීඩාව ඉසව් 10 කින් සමන්විත වුවත්, මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අද සිදුව ඇත්තේ ඉන් පොළොව ආධාර කරගෙන සිදු කරන ඉසව් කිහිපයකට පමණක් සිය පුහුණු කටයුතු සීමා කරන්නටයි.

මෙරට ක්‍රීඩාව යම්තාක් දුරකට හෝ ඉදිරියට එන්නට උත්සහ ගත් දා පටන් තිබෙන එකම ගැටළුව වන්නේ ඊට අවැසි සම්පත් නිසිපරිදි බෙදී නොයෑමයි.

ඊට තවත් එක් උදාහරණයක් මෙම දු දරුවන් සැපයූවත්, මෙය මෙරට එකම හෝ අවසන් අවස්ථාව ද නොවේ.

අශ්වයා ඉස්තාලයෙන් පැනයන්නට පෙර ක්‍රීඩාව කරවන බලධාරීන්ගේ නෙත් ඒ වෙත යොමුවුවතොත් එය මෙරට ක්‍රීඩාවේ හෙට දවසට යහපතක් වනු ඇති.

එහි අපිරිමිත කැපවීමේ ප්‍රතිඑළ දකුණු ලකට මෙන්ම මෙරටටත් ගෙන දෙන්නට මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණේ වරක් දෙවරක් නොවේ.

ඒ අතරින් ගෙවුණු වසරේ මැලේසියාවේදී පැවති ජාත්‍යන්තර පෙස්ටා ජිම්නාස්ටික් තරගාවලියෙදී රන් පදක්කම් 12 ක් ඇතුළුව පදක්කම් 21 ක් මෙරටට දිනා දෙන්නට මාතර ජිම්නාස්ටික් සංගමයට හැකිවීම කැපී පෙනෙනවා.

*********************************************

කුරුඳු සොරා පළාගිය අමුතු ක්‍රමය

(16.09.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

බටපොල කහටපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙක් කුරුදු අලෙවි කරන ස්ථානයකින් කුරුඳු මිටියක් සොරා ගෙන ඇති අතර, එය අලෙවි කිරීමට ගෙන ආ බව අඟවමින් වෙලඳසැල් හිමිකාන්තාව මුලාවට පත් කර තිබෙනවා.

එහිදී වෙළඳසැල් හිමි කාන්තාව අදාළ පුද්ගලයාගේ යතුරු පැදියේ යතුර ද රැගෙන ඔහු අල්ලා ගන්නා ලෙස අවට පිරිස දැනුවත් කිරිමේදී ඔහු පළා යන ආකාරය වෙළදසැලේ සවිකර ඇති CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා.

*********************************************

මංතීරු නීති පෙරහුරු වැඩසටහන හෙට (17) සහ අනිද්දාත් (18) ක්‍රියාත්මකයි

(16.09.2020 – 14:30 +0530 – hirunews.lk/sinhala)

මංතීරු නීතිය පිළිබඳ පෙරහුරු වැඩසටහන හෙට (17) සහ අනිද්දා (18) දිනවලදීත් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය ප්‍රකාශ කළා.

බස් මංතීරුවේ, ත්‍රීවිල් සහ යතුරුපැදි ධාවනය කරවීම ද එම දින දෙක (2) තුලදී සිදුකළ යුතු බවයි පොලිස් රථවාහන අංශය සඳහන් කළේ.

දින 3 ක් තිස්සේ දියත් කෙරුණු මෙම පෙරහුරු වැඩසටහන අදින් (16) අවසන් වීමට සැලසුම් කර තිබුණා.

මේ අතර මංතීරු නීතිය ලබන සඳුදා (21) සිට තදින් ක්‍රියාත්මක කරන බවද පොලීසිය ප්‍රකාශ කළා.

*********************************************

ඉඩම් ගැසට්ටුවට පරිසරවේදීන්ගේ විරෝධය

(16.09.2020 – 14:48 +0530 – hirunews.lk/sinhala)

කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි පුද්ගලයින්ට එම ඉඩම් නීත්‍යානුකූලව ලබාදීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට පරිසරවේදීන් විරෝධය පළ කරනවා.

ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් මේ දිනවල රජයේ කැලෑ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම ඉහළ ගොස් ඇති බවයි.

ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්.එම්.සී.එම්. හේරත් මහතාගේ අත්සනින් යුතුව පසුගිය 10 වැනිදා නිකුත් කර ඇති අදාළ ගැසට් පත්‍රය මගින් රජයේ ඉඩම්වල ස්ථිර නිවාස ඉදිකර කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යෑම හෝ ඕනෑම සංවර්ධන කටයුත්තක් සිදුකරමින් භුක්ති විඳින පුද්ගලයින් සඳහා නීත්‍යානුකූල හිමිකම් පත්‍ර ලබාදීමට අයදුම්පත්‍ර කැඳවන බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, යම් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලබන්නේ නම් එය කුමන පනතක ප්‍රතිපාදන යටතේ නිකුත් කරන්නේද යන්න සඳහන් කළ යුතු වූවත්, මෙම ගැසට් පත්‍රයේ එවැන්නක් සඳහන් නොවීම ගැටළු සහගත බවයි පරිසරවේදී, නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ, සහකාර ඉඩම් කොමසාරිස් සෙව්වන්දි අමරසේකර මහත්මිය ගෙන් විමසීමක් කළ අතර, ඇය කියා සිටියේ රජයේ ඉඩම් පනතේ ප්‍රතිපාදනවලට අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි.

පළමු අවස්ථාවේ සිදුවන්නේ ඉල්ලුම්පත් කැඳවීම පමණක් බවත්, අනතුරුව ඉඩම් ලබාදීමේදී සියලු නීත්‍යානුකූල අයිතීන් තහවුරු කළ යුතු බවයි ඇය කියා සිටියේ ෴

*********************************************

ඥානසාර හිමිගේ නඩුවෙන් අභියාචනාධිකරණයේ සභාපති ඉවත් වෙයි

(16.09.2020 – 14:54 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට (3) එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා අද (16) ඉවත් වුණා.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශාන්තිනී ස්කන්ධරාජා විසින් මෙය ගොනුකර ඇති අතර, අද (16) එය විභාගයට ගැනුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල ඉදිරියේයී.

එහිදී පෞද්ගලික හේතුවක් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බව අභියාචනාධිකරණයේ සභාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව අදාළ පැමිණිල්ල විභාග කිරීම සඳහා මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල නම් කරන බවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

නව විනිසුරු මඩුල්ල ඉදිරියේ පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 20 වනදා කැඳවීමටද දින නියම වුණා.

ඉකුත් වසරේ අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතුවලට අදාළව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අමතරව මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයායී.

නඩුව අද (16) කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව තම සේවාදායිකාව සහනයක් අපේක්ෂා නොකරන බැවින් ඔවුන් මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව දන්වා සිටියා. ඒ අනුව මුලතිව් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු විභාගයෙන් මුදා හැරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ.

*********************************************

ගුවන් තොටුපල විවෘත කිරීම සෞඛ්‍ය නිර්දේශ අනුවයි – ඇමති ප්‍රසන්න

(16.09.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

ගුවන් තොටුපල විවෘත කරනු ලබන්නේ සෞඛ්‍ය නිර්දේශවලට අනුව පමණක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පුද්ගලයින් පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ අතර, අද (16) වනවිට දිවයිනේ පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂ 57,477 ක් සිදුකර ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඊයේ (15) දිනයේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,810 ක්.

එසේම, ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 59 ක් තුළ පුද්ගලයින් 6,255 ක් තවදුරටත් නිරෝධානයට ලක්වෙමින් සිටිනවා.

මේ වනවිට නිරෝධායනය අවසන් වී නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සම්පූර්ණ සංඛ්‍යාව 41,192 ක්.

මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 3,271 දෙනෙකු වාර්තා වී ඇති අතර, කොරෝනා ආසාදිත සුවවූවන්ගේ සංඛ්‍යාව 3,016 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

අද (16) දිනයේදී ගුවන් මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 24 දෙනෙකු, ඉන්දියාවේ චෙන්නායි සහ මුම්බායි ප්‍රදේශවල සිට පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ වනවිට ලොව පුරා රටවලින් කොරෝනා ආසාදිතයින් 2,97,29,993 ක් ලෙස සටහන් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,39,188 ක්.

ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාව සහ ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

*********************************************

කොරෝනා වෛරසය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(16.09.2020 – 15:07 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය චීනයේ වූහාන් පළාතේ විද්‍යාගාරයක නිපදවූවක් බව චීන ජාතික වෛරස් රෝග පිළිබඳව වෛද්‍යවරියක් ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව තොරතුරු අනාවරණ කර ඇත්තේ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණ සිටින වෛද්‍ය ලී මෙන් යාන් විසින්.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇය සතුව මේ වනවිට පවතින බවයි.

මේ අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක් තුළ නිපදවූ බවට චෝදනා එල්ලවූවා.

එක්සත් ජනපද රහසිගත වාර්තාවක් උපුටා දක්වන ෆොක්ස් නිව්ස් පුවත් සේවය මීට පෙර තොරතුරු අනාවරණ කළා.

වවුල් විශේෂයකින් ලබාගත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් වෙනස් කිරීමකට ලක්කර රසායනාගාරය තුළදී එය මිනිසකුට එන්නත් කර පසුව ඔහුව බාහිර සමාජයට යවා එය ව්‍යාප්ත කරවූ බවට එම පුවතින් චීනයට චෝදනා කරනු ලැබුවා.

එක් අවස්ථාවක ඊශ්‍රායලයේ ‘මොසෑඩ්’ බුද්ධි සේවයේ විශ්‍රාමික නිලධාරියෙක් ප්‍රකාශ කළේ චීනයෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ නව කොරෝනා වෛරසය ඔවුන් විසින්ම නිපදවූ වෛරසයක් බවයි.

චීනය විසින්ම සිදුකළ රහසිගත ජිව විද්‍යාත්මක අත්හදා බැලීමකදී මෙම වෛරසය විද්‍යාගාරයෙන් පිටතට සම්ප්‍රේෂණය වන්නට ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුනේ.

නව කොරෝනා වෛරසය පැතිරීයාම වුහාන් හි පිහිටි මත්ස්‍ය අලෙවි සැලකින් ආරම්භවූ බවයි පළමුව චීනයේ බලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

නමුත් මෙම වෛරසයට ගොදුරුවූ බවට වාර්තාවූ පළමු රෝගියා සහ එම වෙළදසැල සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නැති බවට මේ වන විට කරුණු හෙළිවී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *