හෙට (23) සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තවත් වෙනසක්

හෙට (23) සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තවත් වෙනසක්

කෝප් කමිටු සභාපති ධුරය චරිත හේරත්ට

මත්කුඩු පාලනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ සතුටුදායකයි – කාදිනල් හිමි

‘පානීය ජලය’ නිසි පරිදි නොලැබීමෙන් දුක් විඳින ගම්වැසියෝ

දෑස් නොපෙනෙන, අපූරු නිර්මාණකරුවා

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින්, පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර රැසක් ගැනීමට සූදානම් – ඇමති විමල්ගෙන් සහතිකයක්

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවකයන් ආයතන ගොඩනැගිල්ලෙන් ඉවත් වෙයි

අනුරාධපුර මුල් යුගයට අයත් කාසි මුට්ටියක් මන්නාරමෙන් හමුවෙයි

රක්‍ෂිත වනාන්තර විනාශය ගැන නීතිය ඉල්ලා කළ පැමිණිල්ලට සති 2 ක් ගියත් විමර්ශනයක් නෑ – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

වෙබ් හා සමාජ මාධ්‍ය ඔස්සේ බොරු කිව්වොත් දැඩි දඬුවම්

පොල් මිල පාලනයට රජයෙන් වැඩසටහනක්

*********************************************

හෙට (23) සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතියේ තවත් වෙනසක්

(22.09.2020 – 16:13 +0530 – hirunews.lk/sinhala)

හෙට සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට දෙවන මංතීරුව භාවිත කරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළා ෴

*********************************************

කෝප් කමිටු සභාපති ධුරය චරිත හේරත්ට

(22.09.2020 – 14:58 +0530 – hirunews.lk/sinhala)

පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පත් කර තිබෙනවා.

හිරු පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ ඔහුගේ නම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් යෝජනා කළ අතර එය ස්ථිර කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර විසින්.

කෝප් කමිටුව පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 5 දී අද පස්වරු 2.30 ට රැස්වූ අතර, එම කමිටුව සාමාජිකයින් 22 දෙනෙකුගෙන් සමන්විතයි.

*********************************************

මත්කුඩු පාලනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ සතුටුදායකයි – කාදිනල් හිමි

(22.09.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ගංජා වගා ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් වහාම එය නැවැත්වීමට රජය කටයුතු කළ යුතු බවත් ජූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන් පවසනවා.

ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් උන් වහන්සේ මේ බව සඳහන් කළා.

ඊට සහභාගී වෙමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ මත්කුඩු පාලනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතුට පළ කරන බවයි.

++++++++++++++++++

ගංජා වෙද්දුන්ට, ගංජා සාදුලට එරෙහිවූ ආගමික නායකයෝ

(22.09.2020 – 15:17 +0530 – lankadeepa.lk)

= ගංජා නීති ලිහිල් කිරීමට ආගමික නායකයෝ එරෙහි වෙති =

ගංජා ප්‍රවර්ධනය කිරීමට, නීතිගත කිරීමට හෝ නීති ලිහිල් කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට ආගමික නායකයෝ කොළඹදී අද (22) රජයෙන් ඉල්ලීමක් කළහ.

ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ආගමික නායකයින් මේ බව පැවසූහ.

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට ඇතැම් පිරිස් දරණ උත්සාහය ගැන කණගාටුවට පත්වන බවද ආගමික නායකයෝ එහිදී අවධාරණය කළහ.

පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායාක හිමියෝ, පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහනායක හිමියෝ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යානී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායාක හිමියෝ :

“1912 වසරේ සිට ශ්‍රී ලංකා අමධ්‍යප මහාසභාව මත්ද්‍රව්‍යවලට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටිනවා. මත්කුඩු සහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව දැනට ගෙන යන වැඩපිළිවෙළ ගැන ජනාධිපතිවරයාට අමද්‍යප සභාව වෙනුවෙන් අපි ස්තුතිය පුද කරනවා.

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් තවදුරටත් ශක්තිමත් කරලා මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම ගංජා සම්බන්ධ නීති දැඩිව ක්‍රියාත්මක කර ගංජා රටින් තුරන් කිරීමටත් රජය සෑම උත්සාහයක්ම දැරිය යුතුයි. ගංජා සම්බන්ධව සිදුකරන සියලුම ප්‍රවර්ධන කටයුතු වහාම නවතා දැමීමටත් රජය කටයුතු කළ යුතුයි.

ගංජා වගාව ක්‍රියාත්මක වුණොත් සමස්ත ජාතියම විනාශයට පත්වෙනවා. ගංජා ප්‍රවර්ධනය වැළැක්වීමට මාධ්‍ය පියවර ගත යුතුයි. මේ ගංජා වගාව පිළිබඳ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ගංජා ඇතුලු මත්ද්‍රව්‍ය උවදුරින් රට මුදා ගැනීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට අනිකුත් ඇමතිවරු උදව් කළ යුතුයි.

ගංජා වගාව ප්‍රවර්ධනයට ඇතැම් පිරිස් දරන උත්සාහය මුළුමනින්ම පරාජය කළ යුතුයි. ඒ සඳහා රජයට විශාල වගකීමක් පැවරෙනවා” යැයිද උන්වහන්සේ එහිදී පැවසූහ.

පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහනායාක හිමියෝ :

“මේ මත්ද්‍රව්‍ය ජාවාරම මහා ජාතික ව්‍යසනයක් බවට අද පත්ව තිබෙනවා. කිසිදු මත්ද්‍රව්‍යක් අපට අගය කරන්න බැහැ. ඇතැම් පිරිස් දේශීය ආයුර්වේදය ඉදිරියට දමාගෙන ගංජා ප්‍රවර්ධනය කරන්න කටයුතු කරනවා. මේ ක්‍රියාත්මක වෙන්නේ විජාතික බලවේග වල සූක්ෂම උපක්‍රමයක්.

දේශීය චින්තනය, දේශීය ආර්ථිකය පිළිබඳ මේ රජය විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ චින්තනය මුල්කරගෙන අවස්ථාවාදීන් ගංජා ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගන්න හදනවා.

පෞද්ගලික ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණින් ඇතැම් පිරිස් මේ විදිහට කටයුතු කරනවා. එක එක්කෙනාගෙ නොමග යැවීම් මත ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා ගංජා ප්‍රවර්ධනය කිරීම ගැන සිදුකරන ප්‍රකාශ පිළිබඳ අපි කණගාටු වෙනවා.

රටට ආදරය කරන අනාගත පරම්පරාව ගැන හිතෙන කිසිවෙක් මේවට අනුබල දෙන්න එපා. දැනට තියෙන නීති රීති යටතේ ආයුර්වේද සංස්ථාවට අවශ්‍ය වගා කටයුතු සිදු කළ හැකියි. ඒ නිසා මේ ගැන වෙනම ප්‍රවර්ධනයක් නොකරන ලෙසට මහා සංඝරත්නය විදියට අපි ඉල්ලා සිටිනවා.

විෂ මත්ද්‍රව්‍ය මර්දනයට එරෙහිව සියලු මාධ්‍යයත් එක්ව කටයුතු කළ යුතුයි. සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැම් පිරිස් මේවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනවා. ජාතිය ගැන කල්පනා කරල එවැනි ප්‍රචාරයන් ලබා නොදෙන ලෙසට අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා” යැයිද උන්වහන්සේ එහිදී පැවසූහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් :

“පහුගිය දිනවල ගංජා භාවිතය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් යම්කිසි මතයක් සමාජයේ ගොඩනැගිලා තිබුණා. ඒ මතය සමහර ඇමැතිවරුන්ට පවා ප්‍රකාශ කරල තිබුණා. ඇතැම් තානාපති කාර්යාල ජාත්‍යන්තර සංවිධාන පවා මේ පිළිබඳ සාකච්ඡා කරලා කියලා මාධ්‍ය වාර්තා පළ වුණා. මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින අවස්ථාවක ගංජා ප්‍රවර්ධනය කිරීම ගැන අපි කණගාටුවට පත් වෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් රාජසූරිය මහතා :

“බිං කොහොඹ, වල්ලපට්ට ප්‍රවර්ධනය කිරීමට නැති උනන්දුවක් ගංජා ප්‍රවර්ධනය කිරීමට අද ඇතිවෙලා තියෙනවා. මම දන්න හැටියට ගංජා ඖෂධයක් නෙමෙයි. ඖෂධ සෑදීමේ අමුද්‍රව්‍යයක් විදිහට ඉතා සුළු ප්‍රමාණයක් යොදා ගන්නවා. බරපතළ මානසික රෝග අනතුරු වලට ගංජා භාවිතය හේතු වෙනවා කියලා සොයාගෙන තියෙනවා.

අපේ රටේ ගංජා නීතිගත කිරීමට විශාල උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. ජාත්‍යන්තර බහුජාතික සමාගම් මෙහි පිටුපසු ඉන්නවා. ගංජා ප්‍රවර්ධනය කරලා ආර්ථික අරමුණු ජය ගැනීම ඔවුන්ගේ අරමුණයි.

ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ නියෝජ්‍ය සභාපති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය :

“විෂ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයට සියලුම ලාංකිකයන්ගේ සහය ලැබී තිබෙනවා. ගංජා ප්‍රවර්ධනය කිරීමට ඇතැම් අය දරන දරණ උත්සාහය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පටහැනියි.

මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය හය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ගෙන් 6000 ක් පමණ සිරගත කර තිබෙනවා. ගංජා වගාව නීති ගත කලොත් සැපයුම සහ භාවිතය වැඩි වෙනවා. ගංජා නීතිගත කර ඇති රටවල මානසික රෝග, ළමා අපචාර වැඩිවෙලා තියෙනවා කියලා සමීක්ෂණ වලින් හෙළි වෙලා තියනවා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

********************

*********************************************

‘පානීය ජලය’ නිසි පරිදි නොලැබීමෙන් දුක් විඳින ගම්වැසියෝ

(22.09.2020 – 15:08 +0530 – hirunews.lk/sinhala)

මිනිසාගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන ‘පානීය ජලය’ නිසි පරිදි නොලැබීමෙන් දුක් විඳින ගම්වැසියන් පිරිසක් පිළිබඳව අපට මීගහකිවුල – අග්ගලා උල්පත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ – මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අග්ගලා උල්පත ග්‍රාම සේවා වසමේ කුඩුමිරිස්කැටිය සහ 16 කණුව ගම්මානයි.

මේ ගම්මාන දෙකෙහි පවුල් 120 කට අයත් ජනතාවක් දිවි ගෙවන අතර ඔවුන් සිය ජීවිකාව ගෙවන්නේ දැඩි ජල අර්බුදයකට මැදිවයි.

උල්පත් ජලය හරහා 1983 වසරේ දී ප්‍රජාමූල සංවිධානය යටතේ තම ගම්මානයට ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් දියත් කළ ද පසුකාලීනව එම උල්පත්වල ජලය සිඳීයාමේ තත්ත්වයක් මතුව තිබෙනවා.

මේ වනවිට ගම්මාන දෙකෙහි ගම්වැසියන් සිය ජල අවශ්‍යතා සපුරා ගන්නේ අමුනේකඳුරින් ගලා එන ජලය මෙලෙස එක්රැස් කොට තබා ගනිමින්.

ගම්වැසියන් පවසන්නේ කිසිඳු ආයතනයක නිර්දේශයකින් තොරව මෙම ජල පරිභෝජනය සිදුවන අතර දින 4 කට වරක් විනාඩි 10 ක් වැනි කාලයකට එක් නිවසකට පමණක් ජලය සැපයෙන බවයි.

ගම්වැසියන් චෝදනා කරන්නේ බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද මේ වනතෙක් ඊට නිසි විසඳුමක් නොලැබුණු බවයි.

සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි රජයන් කිහිපයක් යටතේ අමාත්‍යාංශ මෙරට තුළ ස්ථාපිත කර තිබුණ ද මේ අසරණ ගම්වැසියන්ගේ හඬට මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැතිවීම කනගාටුවට කරුණක්.

අදාළ බලධාරීන් මේ සඳහා මැදිහත්ව නිසි විසඳුමක් ලබාදෙන තෙක් ‘රතු මිනිස්තුව’ අවධානයෙන්.

*********************************************

දෑස් නොපෙනෙන, අපූරු නිර්මාණකරුවා

(22.09.2020 – 15:12 +0530 – hirunews.lk/sinhala)

දෑස් නොපෙනුණ ද තම දෙනෙතින් සුන්දර නිර්මාණ දකින අපූරු මිනිසෙකු පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හිරු කැමරා කාචය මෙලෙස සමත් වුණා.

නිට්ටඹුව – කෝන්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි ඩබ්.පී.කරුණාරත්න මහතා ගේ දෑස් අන්ධ වන්නේ වයස අවුරුදු හතරේ (4) දී වැළදුණු රෝගී තත්ත්වයක් හේතුවෙන්.

එතැන් පටන් කොතෙක් වෙදකම් සිදුකළ සිය දෙනෙත් සුව කර ගැනීමට ඔහුට හැකි වී නැහැ.

දෑස් නොපෙනීම හේතුවෙන් තනිකඩ ජීවිතයකට උරුමකම් කිවූ කරුණාරත්න මහතා මෙතෙක් කල් දිවි ගෙවා ඇත්තේ සිය සහෝදරියගේ උපකාරයෙන්.

කාලය නිකරුණේ නාස්ති නොකර එයින් නිසි ප්‍රයෝජනයක් ගැනීම සඳහා පොල්කටු වලින් අපුරු නිර්මාණ කිරීමට ඔහු පෙළෙඹෙන්නේ මේ අතරතුරයි.

දෑස් නොපෙනුන ද පොල්කටුව ස්පර්ශ කරමින් ඔහු සිදුකරන මේ අපූරු නිර්මාණ දෑස් පෙනෙන පිරිස් පවා මවිතයට පත් කිරීමට සමත් වුණා.

ඔහු පවසන්නේ පිහියක ආධාරයෙන් නිර්මාණයේ නියැලෙන තමන්ට ඒ සඳහා උචිත යන්ත්‍රයක් ලැබෙන්නේ නම් මෙය ව්‍යාපාරයක් ලෙස දියුණු කළ හැකි බවයි.

දෑස් පෙනෙන මිනිසුන් මුදල් සෙවීමට සිදුකරන සමාජ විරෝධී ක්‍රියා මධ්‍යයේ දෑස් නොපෙනන මේ අපූරු මිනිසා සමාජයට කෙතරම් නම් ආදර්ශයක්ද?

*********************************************

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින්, පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර රැසක් ගැනීමට සූදානම් – ඇමති විමල්ගෙන් සහතිකයක්

(22.09.2020 – 17:22 +0530 – lankaleadnews.com)

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය.

පොල්කටු යොදාගනිමින් විස්මිත භාණ්ඩ රැසක් නිපදවා විදෙස් වෙළඳපොළ ජයගත් ප්‍රවීණ හස්ත කර්මාන්ත ශිල්පියකු වන මහනුවර, බෝවල, කොකා සෙලා ෂෙල් ක්‍රාෆ්ටිං ආයතනයේ (Coca Sela shell Crafting) හිමිකරු ඇම්. වසන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (21) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී තමන් හමු වූ අවස්ථාවේ වීරවංශ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවෙන් අනතුරුව වසන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය :

“මම 1970 සිට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටිනවා. පොල්කටු භාණ්ඩ නිෂ්පාදකයන් බොහෝ විට සිය නිෂ්පාදන සිදු කරන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කර ගෙනයි. මා ක්‍රම ක්‍රමයෙන් ජාත්‍යන්තරය දිනාගත හැකි පොල්කටු භාණ්ඩ නිෂ්පාදනය සිදු කළා. මගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා මගේ ශිල්පීය දැනුම මේ ක්ෂේත්‍රයේ කර්මාන්ත ශිල්පීන්ට ලබා දී ඔවුන් ද ජාත්‍යන්තරය ජයගත හැකි පොල්කටු භාණ්ඩ නිර්මාණකරුවන් බවට පත් කිරීමට. එය මට තනිවම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍යයි.

අද මා කර්මාන්ත අමාත්‍යතුමන් හමු වී මගේ භාණ්ඩ ද එතුමන්ගේ අවධානයට ලක් කර මෙම කර්මාන්ත ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ මගේ බලාපොරොත්තුවත් ඒ සඳහා වන මගේ අදහසුත් පවසා සිටියා. ඊට සාවධානව ඇහුම්කම් දුන් විමල් වීරවංශ ඇමතිතුමා දීපව්‍යාප්තව පොල්කටු නිෂ්පාදන කර්මාන්තය සිදු කිරීමටත් කර්මාන්තයේ නියැලෙන පිරිස් වෙත ජාත්‍යන්තර තලයේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමටත් මා ද සම්බන්ධ කර ගනිමින් ව්‍යාපෘතියක් සකසන ලෙස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතාට ඒ මොහොතේම උපදෙස් දෙනු ලැබුවා.

මෙම ‘පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය’ සමෘද්ධිලාභීන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට හැකියාව ඇති කර්මාන්තයක්. ගමේ පොළ ඉලක්ක කර ගෙන පොල්කටු භාණ්ඩ නිපදවා පලක් නැහැ. අපිට සාර්ථක ව්‍යවසායකයන් පිරිසක් බිහි කළ හැක්කේ විදෙස් වෙළඳපොළ ඉලක්කකරගත් පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයක් බිහි කළහොත් පමණයි. මේ ශිල්පීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය ලබා දීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් එකඟතාව පළ කළා. මෙම ජාත්‍යන්තර තලයේ පොල්කටු භාණ්ඩ නිෂ්පාදනය රට තුළ සිදුවන විට ඊට අදාළ අපනයන වෙළඳපොළ අවස්ථා නිර්මාණය කර දීමට ද අමාත්‍යතුමන් සූදානම් බව පැවසුවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Image may contain: indoor
No photo description available.

*********************************************

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවකයන් ආයතන ගොඩනැගිල්ලෙන් ඉවත් වෙයි

(22.09.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටියේ පිහිටි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේවකයින් අද (22) දහවල් සේවයෙන් ඉවත්වී එම ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියා.

ඒ අදාළ ගොඩනැගිල්ලේ කොටසක් ගිලාබැස ඇති බව සහ බිත්ති පුපුරා ගොස් ඇති බව පවසමින්.

අධිකාරිය පිහිටි ගොඩනැගිල්ලට ආසන්නයේ ඉදිකෙරෙන නව ගොඩනැගිල්ලක් නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ ෴

*********************************************

අනුරාධපුර මුල් යුගයට අයත් කාසි මුට්ටියක් මන්නාරමෙන් හමුවෙයි

(22.09.2020 – 15:10 +0530 – mawbima.lk)

මන්නාරම, නානට්ටන් ප්‍රදේශයේ ගෙබිමක් සකස් කළ කණ්ඩායමකට ඉතා පැරණි කාසි මුට්ටියක් හමුව ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මන්නාරම කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා පවසයි.

ඔහු පැවසුවේ, ගෙබිමක් සකස් කරමින් සිටි පිරිසක් අදාළ කාසි මුටිටිය දැක අනතුරුව මන්නාරම පොලිස් නිලධාරීන් වෙත භාර දී තිබූ බවය.

මන්නාරම පොලිස් නිලධාරීන් අදාළ කාසි මුටිටිය සම්බන්ධයෙන් මන්නාරම පුරාවිද්‍ය නිළධාරීන්ගේ උපදෙස් ලබාගෙන තිබිණ.

හමුවූ කාසි මුටිටිය තුළ අනුරාධපුර මුල් යුගයට අයත් හස්සබු කාසි නමැති කාසි විශේෂයට සමාන යැයි අනුමාන කරන කාසි 1850 ක සංඛ්‍යාවක් පවතින බව පුරාවිද්‍යා නිලධාරීහු පැවසූහ.

උතුරු පළාතෙන් එකවර මෙපමණ පැරණි කාසි තොගයක් හමුවු පළමු අවස්ථාව මෙය වන බව ද පුරාවිද්‍යා නිලධාරීහු සඳහන් කරති.

පුරාවිද්‍යා නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ, හමුවූ කාසි තුළ මසුන්, කඩු ඇතුළු ලාංඡන පවතින බවය.

මීට පෙර පොළොන්නරු යුගයට අයත් කාසි මුටිටියක් වවුනියාව මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ ජල නළ පද්ධතියක් සකස් කළ කම්කරුවන් පිරිසකට පැරණි කාසි 300 කට ආසන්න ප්‍රමාණයක් හමුවිණි.

‘හස්සබු කාසි’ නමැති කාසි, කාසි මුද්‍රණය කිරීමේ මුල් යුගයට අයත් වන බවට පුරාවිද්‍යා නිලධාරීහු අනුමාන කරති.

හමුවු කාසි සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මන්නාරම කලාප භාර නිලධාරී එම්. චමින්ද සිල්වා මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

වර්තමානයේ මන්නාරම අතීතයේ මාතොට ලෙස හැඳින්වූ අතර, මාතොට අතීතයේ මෙරට ප්‍රධානතම වෙළෙඳ වරාය ලෙස ක්‍රියාත්මක විණ.

මාතොට වෙළෙඳ වරාය හරහා පෙර අපර දෙදිග වෙළඳ කටයුතු අතීතයේ සිදුවිණ.

*********************************************

රක්‍ෂිත වනාන්තර විනාශය ගැන නීතිය ඉල්ලා කළ පැමිණිල්ලට සති 2 ක් ගියත් විමර්ශනයක් නෑ – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

(22.09.2020 – 14:03 +0530 – lankaleadnews.com)

පසුගිය මාස දෙකක් (2) තුළදී රටේ විවිධ පළාත්වල රක්ෂිත වනාන්තර විනාශ කරමින් සිදු කර ඇති පරිසර හානිය පිළිබඳව සොයා බලා නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තමා විසින් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලට මේ වන විට සති දෙකකට (2) ආසන්න කාලයක් ගතව ඇතත් ඒ පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුව නැතැයි ‘සුරකිමු ශී‍්‍ර ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

අදාළ පාරිසරික විනාශය පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ලිපි මගින් දැනුවත් කර ඇතත් මේ දක්වා සාධනීය මැදිහත්වීමක් කර නොමැති නිසා ලබන මස 03 දා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

රට තුළ විවිධ ප‍්‍රදේශවල පාරිසරිකව වැදගත් සංවේදී කලාප, රක්ෂිත සහ පරිවාර වනාන්තර මේ අයුරින් විනාශමුඛයට ගෙන යමින් සිටින බවද පූජ්‍ය ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

  • පුත්තලම දිස්ති‍්‍රක්කයේ වනාතවිල්ලුව එළුවන්කුළම කුරටියාමුල්ල වනාන්තර පද්ධතියක අක්කර 10 ක් ගස් කපා විනාශ කිරීම,
  • උඩවලව ජාතික වනෝද්‍යානයේ තණමල්විල බෝදාගම අක්කර 40 ක වනාන්තරයක් ඩෝසර් කිරීම,
  • හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ එලල්ල ගම්මානය ආශ‍්‍රිත යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ අක්කර 150 ක වනාන්තරයක් විනාශ කිරීම,
  • පුත්තලම ආනවිලුන්දාවේ රම්සා අභයභූමියට අයත් ආරක්ෂා කළ යුතු භූමියේ අක්කර 2.5 ක් ඩෝසර් කිරීම,
  • හොරොව්පතාන රත්මලේ රක්ෂිතයේ අක්කර 150 ක් ඩෝසර් කිරීම,
  • සිංහරාජ රක්ෂිතය හරහා ඉදිවන නෙළුව-ලංකාගම-පිටදෙනිය මාර්ගය වෙනුවෙන් ලෝක උරුම සිංහරාජ වනාන්තරයෙන් වර්ග මීටර් 1320 ක් විනාශ කිරීම,
  • පොළොන්නරුව වැලිකන්ද සෝමාවතිය රක්ෂිතයේ අක්කර 100 ක් ගස් කපා හෙළි කර දහයියා දමා ගිනි තැබීම සහ
  • හන්තාන, නකල්ස්, රන්දෙණිගල, මොරවැව, කිරින්ද සහ මඩකලපුව ඇතුළු ප‍්‍රදේශ ගණනාවක රක්ෂිත වනාන්තර විනාශ කරමින් සුවිශාල පරිසර හානියක් සිදු කර ඇතැයිද

සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති ෴

*********************************************

වෙබ් හා සමාජ මාධ්‍ය ඔස්සේ බොරු කිව්වොත් දැඩි දඬුවම්

(22.09.2020 – 13:26 +0530 – lankaleadnews.com)

අසත්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් වූ නීති රීති දැඩි කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

විශේෂයෙන්ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව රජය හඳුනාගෙන ඇත.

පවතින නීති රීති ප්‍රමාණවත් නොවන බැවින් හා නව තාක්ෂණය යටතේ විවිධ මාධ්‍ය මගින් පළකරන ප්‍රචාරක කටයුතු සඳහා පියවර ගැනීමේ අරමුණින් නීති රීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

අසත්‍ය පුවත් පළකිරීමට අදාළව මේ වනවිටද නීති රීති ප්‍රකාශයට පත් කර තිබේ. මේ සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතක් අධිකරණ ඇමැති අලි සබ්රි ඇමැති මණ්ඩලයට ඊයේ (21 වැනිදා) යොමු කර තිබුණි.

ඒ 20/1328/330/007 දරන ඇමැති මණ්ඩල සංදේශය යටතේය ෴

***************************************

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් රැසක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබෙනවා. අදාළ වැටලීම සිදුකර ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේදී බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. කොළඹ අපාරාධ කොට්ඨාශයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

*********************************************

පොල් මිල පාලනයට රජයෙන් වැඩසටහනක්

(22.09.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පොල් මිල පාලනය කිරිම සඳහා රුපියල් 60 ක මිලකට පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය දියත් කර තිබෙනවා.

හලාවත සහ කුරුණෑගල වැවිලි සමාගම් ලොරි යොදා ගෙන දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මෙලෙස පොල් අලෙවි කිරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවා විතාන මහතා සඳහන් කළේ.

එහි ආරම්භක වැඩසටහන අද (22) ක්‍රියාත්මක කෙරුණේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ගේ සහභාගීත්වයෙන්.

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

***************************************

හලාවත ආදහනාගාරයට පසුගිය ඉරිදා ගුවනින් දැලක් පතිත වී තිබෙනවා. එම අවස්ථාව ජංගම දුරකථනයක පටිගත වී තිබුනේ මෙලෙසින්.
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *