ජන ගැටළු විසඳන්න ජනපති ගමට යයි

ජන ගැටළු විසඳන්න ජනපති ගමට යයි

නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බිහි කරන බව ජනපති කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත

කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

ගොඩනැගිල්ල කඩා වැටී මියගිය තිදෙනා(3)ගේ අවසන් කටයුතු අද (23)

කිලිනොච්චි වෙරලේ සිදු කෙරෙන ජාවාරමක තොරතුරු හෙලිවේ

බස්, කාර්යාල සහ පාසල් ප්‍රවාහන සේවා අද (23) සිට එකම මංතීරුවක

වැල්ලවාය ඉන්ධන පිරවුම්හලේ හදිසියේ ගිනි ගත් ත්‍රී රෝද රථය – CCTV දර්ශන

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

බත්තරමුල්ල බන්ටිගේ සමීපතමයින් 4 ක් අත්අඩංගුවට

හේමසිරිට සහ පූජිත්ට එරෙහි විමර්ශන අවසන් බව සී.අයි.ඩී ය අධිකරණයට කියයි

හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් නොතීසි

ඛනිජ වැලි හේතුවෙන් දඹුල්ල – කණ්ඩලම ජනතාව අසීරුතාවක

විදේශීය උපාධිය ගත් මෙරට වෛද්‍ය සිසුන් කොළඹ විරෝධතාවක

*********************************************

ජන ගැටළු විසඳන්න ජනපති ගමට යයි

(22.09.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

ජනතාව අතරට ගොස් ඔවුන් මුහුණ පා සිටින විවිධ ගැටළු ඝෘජුවම හඳුනාගෙන නොපමාව විසඳුම් දීම පිණිස ගමින් ගම චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබෙනවා.

ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක් ගැනවිලි තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම ජනපතිවරයාගේ අපේක්ෂාවයි.

ප්‍රථම චාරිකාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තෝරාගෙන ඇති අතර ජන හමුව හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න විද්‍යාලයේ දී ලබන සිකුරාදා (25) උදේ 10:00 ට ඇරඹෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ගම්බද ජනතාව බොහෝ කල් නොවිසඳී ඇති ආර්ථික හා සාමාජයීය ගැටළු නිසා දුෂ්කරතා පිරි ජීවිතයක් ගත කරන බව ජනාධිපතිතුමා ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේ රට පුරාම පාහේ කළ චාරිකාවලදී පසක් වූ අතර ජීවනෝපාය ගැටළු, ඉඩම් හා නිවාස හිඟය, ඉඩම්වලට නිරවුල් ඔප්පු නොතිබීම, සෞඛ්‍ය සහ ප්‍රවාහන සේවා ප්‍රමාණවත් නොවීම, දරුවන්ගේ අධ්‍යාපන ගැටළු සහ පාසල් අඩු පාඩු, වගා සහ පානීය ජල හිඟය, වන අලි ගම්වැදීම, කෘෂි නිෂ්පාදන අළෙවි කර ගැනීමේ අපහසුව එසේ හඳුනාගත් ප්‍රශ්න අතර ප්‍රධාන තැනක් ගන්නා බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ගම්බද ජනතාවට ඇති දුෂ්කරතා අවබෝධ කොටගෙන ඒවා කඩිනමින් විසඳීමට සහය විය යුතු රාජ්‍ය ආයතනවල උදාසීනතාව සහ අකාර්යක්ෂමතාව තවත් මුල් පෙළේ ගැටළුවක් බවද එම නිවේදනයේ සඳහන්.

ජනාධිපතිවරයාගේ ග්‍රාම නිරීක්ෂණ චාරිකා සංවිධාන කෙරෙන්නේ ජනතාවට ප්‍රමුඛත්වය දෙමින් වන අතර වැය කරන මුදල හැකි අවම මට්ටමේ තබා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

නිලධාරී කණ්ඩායම් කොළඹින් රැගෙන නොයන අතර ජන ගැටළු විසඳීමේ දී ප්‍රදේශයේ නිලධාරිහූ පමණක් මේ සඳහා සහභාගි කර ගන්නා බවයි එහි සඳහන් වන්නේ.

ජන හමුවලට පැමිණ තමන්ට ඇති ප්‍රශ්න දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉදිරිපත් වන ගැටළුවලට හැකි සෑම විටම එසැණ විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාව බවත් විසඳීමට කල්ගත වන ගැටළු පමණක් පසුව නිරාකරණය පිණිස සටහන් කොට ගන්නා බවත් එහි සඳහන්.

සිකුරාදා නිරීක්ෂණ චාරිකාව සඳහා තෝරාගෙන ඇති හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 02 ක් ඒවායේ පවුල් 222 ක් පදිංචිව සිටින අතර ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී, ගම්මිරිස් සහ කුරුඳු වගාව හා හේන් ගොවිතැනයි.

ජන හමුව පැවැත්වෙන කුමාරතැන්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 17ක් බවද අදාළ නිවේදනයේ සඳහන්.

*********************************************

නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බිහි කරන බව ජනපති කියයි

(22.09.2020 – 22:53 +0530 – hirunews.lk/sinhala)

නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ‘සුහුරු තාක්ෂණවේදීන්’ (Smart Technocrats) නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බවයි එහිදී ජනපතිවරයා පෙන්වාදී ඇත්තේ.

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත්, අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකදී ආරඹීමේ ඇති අවශ්‍යතාවද ජනපතිවරයා අවධාරණය කර තිබෙනවා.

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිවරයා කලා විෂයන්, හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය, හෙද සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් හැකියාවන් වර්ධනය කර ගත හැකි යැයිද සඳහන් කළා.

පර්යේෂණ දිරි ගැන්වීමට රජයක් ලෙස සෑම සහයක්ම දෙන බව ජනාධිපතිවරයා පැවසූ අතර නවෝත්පාදන ක්‍රියාවලියට සහයවීමට උපදෙස් හා සේවාවන් සැපයීම එකම ආයතනයක් යටතට ගෙන එන බව රාජ්‍ය ඇමතිණි වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළා.

ග්‍රහලෝකාගාරය වත්මනට ගැළපෙන අයුරින් නවීකරණයටත්, නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ බයෝ තාක්ෂණ උද්‍යානය (Bio Tec Park) එකම පරිශ්‍රයක ස්ථාපනයටත් පියවර ගැනීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය විසින් සාකච්ඡාවට ලක් කෙරුණා.

ජාතික මුලික අධ්‍යයන ආයතනය (NIFS) සහ නැනෝ තාක්ෂණ ආයතනය ඒකාබද්ධව පර්යේෂණ සහ නව නිපැයුම් සදහා යොමුවීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

විශ්ව විද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කාර්මික විද්‍යාලවල පාඨමාලා සහ විෂය නිර්දේශ නූතයට ගැළපෙන පරිදි හඳුන්වාදීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටළු රැසකට විසඳුම් දිය හැකි යැයි විශේෂඥයෝ පෙන්වා දුන්නා.

තාක්ෂණ විෂයන්ට අදාළ ආචාර්යවරු සහ උපදේශකවරු බඳවා ගැනීමේ දී පහළ මට්ටමක පවතින වැටුප් පරිමාවන් දැඩි සේ බලපා ඇතැයි ආයතන ප්‍රධානීහු කියා සිටියා.

සාගර ආර්ථිකයේ ඵල අත්කර ගැනීමට ධීවර ප්‍රජාව අතරට ගොස් තාක්ෂණික දැනුම සහ පුහුණුව දීමට සාගර විශ්ව විද්‍යාලය කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කලා.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ විද්වත්හු සාකච්ඡාවට එක්ව සිටියා.

*********************************************

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සමගි ජනබලවේගය අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර විසින් මෙය ගොනුකළ බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ඊයේ (22) දිනයේදී මෙම පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥවරයෙකු වන ඉන්දික ගාල්ලගේ ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළ අතර, එමගින් ඔහු ඉල්ලා තිබුණේ මෙම පනත් කෙටුම්පත තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ෴

++++++++++++++

වාචික ප්‍රශ්න විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සම අවස්ථාවක් ලබාදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යෝජනා කිරීමත් සමඟ අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

++++++++++++

+++++++++++++

කෝපා හෙවත් රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතා පත්කර තිබෙනවා.

එම කාරක සභාව අද (23) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේ මෙම පත්කිරීම සිදුකර ඇති අතර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසිනුයි ඔහුගේ නම යෝජනා කර ඇත්තේ.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එය ස්ථිර කර තිබෙනවා.

මේ අතර කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාවේ රැස්වීම් සජිවීව විකාශය කිරීමට හා එහි ආවරණ කටයුතු කිරීම සඳහා අවස්ථාව ලබාදීමට එම සභාව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මාධ්‍යට විවෘත නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක් වුණේ සමගි ජන බලවේගය ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරිම් හේතුවෙන්.

අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද අද (23) සභාවේදී අවධානය යොමුවු අතර, මැතිවරණ කොමිසන් සභාවේ කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදයක්ද අද (23) පැවැත්වුණා.

++++++++++++++++

++++++++++++++++

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව දෙමළ ජාතික සන්ධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් සඳහන් කර ඇත්තේ අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව 20 සංශෝධනය අභියෝගයට ලක් කරමින් මේ වනවිට විවිධ පාර්ශව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 06 ක් ගොනුකර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

++++++++++++++

23-09-2020

*********************************************

කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව වසා දමයි

(23.09.2020 – 07:08 +0530 – hirunews.lk/sinhala)

කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊයේ (22) සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ එම තානාපති කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඒ අනුව, එළඹෙන ඔක්තෝම්බර් මස 5 වනදා දක්වා තාවකාලිකව මෙලෙස තානාපති කාර්යාලය වසා දමා ඇති අතර, කන්සියුලර් සේවාවන් සඳහා විද්‍යුත් තැපෑල ඔස්සේ සේවා කටයුතු ලබා ගත හැකි බවයි එම තානාපති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ඊයේ (22) දිනයේදී කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3313 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 7 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණි තුන්දෙනෙකු (3), එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු (2), ඉන්දියාවේ සිට පැමිණි ඉන්දීය ජාතිකයෙකු සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවයි.

ඒ අනුව, දැනට රෝහල් ගතව ආසාදිතයින් 181 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව මුළු සංඛ්‍යාව 3,118 ක්.

*********************************************

ගොඩනැගිල්ල කඩා වැටී මියගිය තිදෙනා(3)ගේ අවසන් කටයුතු අද (23)

(23.09.2020 – 07:24 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධියෙන් ජීවිතයෙන් සමුගත් මාස එකහමාරක් (1½) වයසැති බිළිඳිය සහ ඇගේ මව්පියන්ගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ වනවිට ඔවුන්ගේ දේහයන් බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි අසල්වැසි නිවසක තැන්පත් කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු පෙරේදා (21) රාත්‍රියේ ඔවුන්ගේ දේහ මහනුවර ජාතික රෝහලේ සිට එම නිවසට රැගෙන එනු ලැබුවා.

ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පොලිස් නිලධාරින් 5 දෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබෙනවා.

++++++++++++

මහනුවර – බූවැලිකඩ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් විධිමත් පරීක්ෂණයක් සිදුනොවන බවට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ගොඩනැගිල්ලට යටවීමෙන් මියගිය මාස එකහමාරක් වයසැති බිළිඳිය සහ ඇගේ දෙමව්පියන්ගේ අවසන් කටයුතු අද (23) පස්වරුවේ මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

පසුගිය ඉරිදා අලුයම අදාළ පස්මහල් ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මොවුන් ජිවිතක්ෂයට පත්වූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස් නිලධාරින් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය, සිද්ධියට අදාළව අසල පිහිටි නිවෙස්වල සී.සී.ටී.වී. දර්ශන සහ ගොඩනැගිල්ල අයත් අනුර ලෙව්කේ නමැත්තාගෙන් විධිමත් ප්‍රකාශයක් මෙතෙක් ලබා ගෙන නොමැති බවයි.

මේ අතර, මෙම සිද්ධියෙන් පසුව මහනුවර නගරයේ අවිධිමත් හා අනවසර ගොඩනැගිලි පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පත් කළ කමිටුව අද ප්‍රථම වරට රැස්වුණා.

ඒ දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලයේදීයි.

කමිටුව රැස්වීමෙන් පසු නගරයේ අවිධිමත් සහ අනවසර ගොඩනැගිලි පරීක්ෂා කිරීමට ද නියමිතව තිබෙනවා ෴

*********************************************

කිලිනොච්චි වෙරලේ සිදු කෙරෙන ජාවාරමක තොරතුරු හෙලිවේ

(23.09.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස උතුරට රැගෙන එන මත්ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ කිලිනොච්චි මුහුදු වෙරළට ගොඩබෑමේ ජාවාරමක් පිලිබඳ තොරතුරු පොලීසිය හෙළි කරගෙන තිබෙනවා.

කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ මීට දින තුනකට (3) පෙර ද බෝට්ටු මගින් රැගෙන ආ කේරළ ගංජා කිලෝ 77 ක් සෙරුක්කායි වෙරළේ නවතා තිබූ බෝට්ටුවක තිබී සොයා ගනු ලැබූ බවයි.

ඒ අනුවයි, මෙලෙස ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් නීතිවිරෝධී දැ රැගෙන ඒම පිළිබඳ තොරතුරු අනාවරණ කර ගෙන ඇත්තේ.

යාපනය සහ මන්නාරම ප්‍රදේශවල නාවික හමුදාව සහ සෙසු ආරක්ෂක අංශ වලින් දැඩි ආරක්ෂාවක් සපයා ඇති බැවින් ජාවාරම්කරුවන් කිලිනොච්චිය මුහුදු වෙරළ දෙසට අවධානය යොමුකර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර, යාපනය – කොලොම්බුතුරෙයි ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ තරුණියක් හෙරොයින් මිලිග්‍රෑම් 185 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනය සුරාබදු කාර්යාලයේ නිලධාරින් සිදුකළ වැටලීමකදී සැකකාරිය ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, ටී-56 ගිනි අවියක් සහ එම පතොරම් 13 ක් සමඟ කඳාන – නාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් දෙදෙනා (2) දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) අවසර ලබාදී තිබෙනවා.

පෑලියගොඩ කොට්ඨාශයේ අපරාධ අංශයේ නිලධාරින් පෙරේදා (21) අත්අඩංගුවට ගත් සැකකරුවන් පුද්ගල ඝාතනයක් සඳහා සූදානම්ව සිටි බවට ද අනාවරණය වී තිබෙනවා.

මේ අතර, රුපියල් විසිලක්ෂයක් (20,00,000) පමණ වටිනා බදු නොගෙවූ දුම්වැටි 30,000 ක් සමඟ 65 හැවිරිදි පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

+++++++++++++

(23.09.2020 – 08:42 +0530)

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඉහළගමගේ දර්ශන හෙවත් අයි.ඩී. නමැත්තාගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදා හරින්නා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඊයේ (22) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 100 ක් සොයා ගෙන තිබෙනවා.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිකඩ බන්ධනාගාරයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැඳවියෙකු ගුද මාර්ගයෙහි ජංගම දුරකථනයක් සඟවා සිටි බවට අනාවරණ කරගෙන තිබෙනවා.

පසුව රැඳවියා කොළඹ ජාතික රෝහලට යොමුකර ඇති අතර එම ජංගම දුරකථනය විමර්ශනය සඳහා පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම තවත් රැඳවියෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත්තේ සිම්කාඩ්පතක් ලග තබා ගැනීම හේතුවෙන් ෴

++++++++++++++++

පෑලියගොඩ – නුගේ පාර ප්‍රදේශයේදී හෙරොයින් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මොහු එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි අයෙකු බවයි.

මේ අතර, නුගේගොඩ – බුවනෙකබාහු මාවතේදී ද පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 6 ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

*********************************************

බස්, කාර්යාල සහ පාසල් ප්‍රවාහන සේවා අද (23) සිට එකම මංතීරුවක

(23.09.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

අද (23) සිට බස් ප්‍රමුඛතා මංතීරුවේ ධාවනය කළ හැක්කේ මගී ප්‍රවාහන බස්රථ, පාසල් සේවා බස් සහ වෑන් රථ, කාර්යාල සේවා බස් රථ සහ වෑන් රථවලට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත්, කොළඹ සහ තදාසන්න ප්‍රධාන මාර්ග 4 ක් කේන්ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය යළි ක්‍රියාත්මක කරනු ලැබුවේ පසුගිය 14 වනදා සිටයි.

ඒ අනුව, හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ – අනුලා විද්‍යාලය අසල සිට පිත්තල හන්දිය දක්වාත්, බේස්ලයින් මාර්ගයේ කැළණි පාලම සිට හයිලෙවල් බේස්ලයින් හන්දිය දක්වාත්, ගාලු පාරේ වැල්ලවත්ත – විලියම් හන්දියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වාත්, පාර්ලිමේන්තු මාර්ගයේ පොල්දූව හන්දියේ සිට ලිබර්ටි වටරවුම දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට බස් ප්‍රමුඛතා මංතීරුව හැර අනෙකුත් මංතීරු භාවිත කළ හැකි බවයි ෴

+++++++++++++

*********************************************

වැල්ලවාය ඉන්ධන පිරවුම්හලේ හදිසියේ ගිනි ගත් ත්‍රී රෝද රථය – CCTV දර්ශන

(23.09.2020 – 09:20 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය නගරයේ ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්දන පිරවුම්හලේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ඉන්ධන පිරවීමට පැමිණි ත්‍රී රෝද රථයක් හදිසියේම මෙලස ගිනි ගෙන ඇති බවයි අප වාර්තාකරු අප වෙත පැවසුවේ.

එම ගින්න ඉන්ධන පිරවුම්හලේ සිටි තරුණයින් පරිසක් විසින් නිවා දැමීමට ගත් උත්සහය මෙලෙස සීසීටීවී කැමරාවේ සටහන්ව තිබුණා.

*********************************************

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක්

(23.09.2020 – 09:36 +0530 – hirunews.lk/sinhala)

කොළඹ බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ උඩුමහලෙහි ගින්නක් හට ගෙන තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අද (23) උදෑසන වායුසමීකරණ යන්ත්‍රයක හට ගත් මෙම ගින්න මේ වනවිට ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ මැඩපවත්වා ඇති බවයි.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව ද අප වාර්තාකරු සඳහන් කළා.

*********************************************

බත්තරමුල්ල බන්ටිගේ සමීපතමයින් 4 ක් අත්අඩංගුවට

(23.09.2020 – 10:50 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘බත්තරමුල්ලේ බන්ටි’ නමැත්තාගේ සමීපතමයන් 4 දෙනෙකු බත්තරමුල්ල – අකුරේගොඩ ප්‍රදේශයේදී අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ තලංගම පොලීසිය විසින්.

ඒ අතරට, කාන්තාවක් සහ ගුවන් හමුදාවෙන් පලා ආ සෙබලෙකු ද අයත්.

ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 300 ක්, අයිස් ග්‍රෑම් 20 ක් සහ කේරළ ගංජා තොගයක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගියදා හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බත්තරමුල්ල තැපැල් කාර්යාලයේ වැඩතහනමට ලක්වූ තැපැල් සේවකයාගෙන් ලද තොරතුරුවලට අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ඉහළගමගේ දර්ශන’ හෙවත් ‘අයි.ඩී.’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන ප්‍රධාන පුද්ගලයා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (22) ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදීයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 100 ක් සොයා ගැණුනා.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සෝදිසි කරන ස්ථානයේදී ගුද මාර්ගයෙහි ජංගම දුරකථනයක් සඟවා ගෙන සිටි රැඳවියෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිරීක්ෂණයට ලක් කර තිබෙනවා.

ඔහු කොළඹ ජාතික රෝහලට යොමු කිරීමෙන් පසු අදාළ ජංගම දුරකථනය සහ අමතර බැටරියක් සෙයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කලේ.

එමෙන්ම, තවත් රැඳවියෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (22) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිම්කාඩ්පතක් ලග තබා ගැනීම හේතුවෙන්.

*********************************************

හේමසිරිට සහ පූජිත්ට එරෙහි විමර්ශන අවසන් බව සී.අයි.ඩී ය අධිකරණයට කියයි

(23.09.2020 – 11:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව සිදු කළ පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.යු. ජයසූරිය මහතා ඉදිරියේ අද කැදවූ අවස්ථාවේදීයි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරි පැහැර හැර මිනීමැරීම යන චෝදනාව මොවුන්ට එල්ල වී තිබෙනවා.

එහිදී විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ කටයුතු අවසන් බැවින් මොවුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවයි.

*********************************************

හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් නොතීසි

(23.09.2020 – 11:39 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වාට සහ කොළඹ අගරදගුරු පදවියේ සහායක මැක්ස්වෙල් සිල්වා, ඇන්ටන් රංජිත්, ජේ.බී.ඇන්තනී ජයකොඩිට යන රදගුරුතුමන්ලා අද (23) පස්වරු 2 ට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම අද (23) නොතීසි නිකුත් කළා.

ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අසත්‍ය බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුවයි.

එමෙන්ම, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද (23) උදෑසන පැමිණියා.

ඒ එම ඒකකය සිදුකළ කැඳවීමකට අනුවයි.

*********************************************

ඛනිජ වැලි හේතුවෙන් දඹුල්ල – කණ්ඩලම ජනතාව අසීරුතාවක

(23.09.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

පුල්මුඩේ සහ වෙනත් ප්‍රදේශවල මුහුදු වෙරලෙහි ඇති ඛනිජ වැලි දඹුල්ල – කණ්ඩලම ප්‍රදේශයට රැගෙනවිත් එම ස්ථානයේ ගබඩා කොට පිරිපහදු කිරීමේදී ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වනවා.

අදාළ ඛනිජ වැලි වෙන්කර ඒවා කලක සිට විදෙස් රටවලට යැවීම සිදුකරන අතර, මෙමඟින් කණ්ඩලම, ලිහිණියාගොල්ල සහ රත්මල්ගහඇල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන්ට බලපෑම් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කළේ.

මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ගේ සමේ රෝග සහ සුව නොවන රෝග තත්ත්වයන්ද ඇති වී තිබෙනවා.

දඹුල්ල – කණ්ඩලම ප්‍රදේශයේ පිහිටි අදාළ මධ්‍යස්ථානයේ සිදුවන ක්‍රියාවලිය සොයා බැලීම සඳහා ඊයේ (22) ප්‍රදේශවාසීන් සහ හිරු දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස මහතා එම ස්ථානයට ගිය අවස්ථාවේ එහි සිටි කළමනාකාරවරයෙකු බාධා කර තිබුණා.

මේ අතර, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය අතුල සේනාරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ රට මැද මෙම පිරිපහදු මධ්‍යස්ථානය පිහිටීම හේතුවෙන් විකිරණශීලි අපද්‍රව්‍ය රැසක් ඉන් පිටවන බවයි.

*********************************************

විදේශීය උපාධිය ගත් මෙරට වෛද්‍ය සිසුන් කොළඹ විරෝධතාවක

(23.09.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා පවත්වනු ලබන විභාගය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා විදේශ රටවල අධ්‍යාපනය ලැබූ මෙරට වෛද්‍ය සිසුන් පිරිසක් කොළඹදී විරෝධතාවක නිරත වුණා.

ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති ස්ථානයේ මෙලෙස විරෝධතාවයේ නිරත වූ අතර ඉන් කිහිපදෙනෙකු මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් සඳහා රැගෙන ගොස් තිබෙනවා.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට අදාළ විභාගය නොපැවැත්වුණු බවයි මෙම සිසුන් චෝදනා කළේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සහ රුසියානු වෛද්‍ය විද්‍යාල 3 ක් වෛද්‍ය සභාවේ වෙබ් අඩවියෙන් ඉවත් කිරීම පිලිබඳව අද (23) පැවැත්වෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභා රැස්වීමේදී සාකච්ඡා කරන බවයි.

මේ අතර, පොරොන්දු වූ රැකියා දස දහස (10,000) ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය ද මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වනවා.

ඔවුන් කොටුව දුම්රිය ස්ථානයේ සිට පාගමනින් ජනපති ලේකම් කාර්යාලය අසලට පැමිණියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *