මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ 80 කට කොරෝනා

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ 80 කට කොරෝනා

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101 ට නගී

බලහත්කාරෙන් ගෙනත් කොරෝනා පැතිරවූවා.. දිවුලපිටිය අවුලමින් කී කතාව මෙන්න

හිටපු ජනපති මෛත්‍රීගෙන් පාස්කු කොමිසම, පැය 7 ක් ප්‍රශ්න කරයි

‘අංගොඩ ලොක්කා’ මිය ගිය බවට ඉන්දීය බුද්ධි අංශ තහවුරු කරයි

රිෂාඩ්ගේ සොයුරා නැවත අත්අඩංගුවට ගන්න – පොලිසියට, ආණ්ඩුවට බලපෑම්

‘සැඟවීමට කිසිවක් නැහැ – ආසාදනය වූයේ කර්මාන්තශාලාව තුළින්’ – ආසාදිත කාන්තාවගේ සැමියා කියයි

තාජුඩීන්ගේ මරණය ගැන බොරු සාක්ෂි ලබාදෙන්නැයි ශානි අබේසේකර තර්ජනය කළා – පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් හෙළිදරව්වක්

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් 220 කට කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පිළිබද පරීක්ෂණ අඛණ්ඩව

පාස්කු කොමිසම, රනිල්ට සාක්ෂි දෙන්න තවත් දිනයක් දෙයි

*********************************************

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ 80 කට කොරෝනා

(05.10.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් 19 ආසාදිත තවත් සේවකන් පස් දෙනෙකු (5) වාර්තා වීමත් සමඟ ඒ හා සම්බන්ධ පොකුර මේ වන විට 80 දක්වා වර්ධනය වී තිබෙනවා.

ඊයේ (04) සිදුකල පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද (05) පෙරවරුවේ ප්‍රකාශයට පත්කළ අතර, එහිදී කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 69 දෙනෙකුට වෛරසය වැළදී ඇති බවට තහවුරු වුණා.

එමෙන්ම, අද (05) පස්වරුවේ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙදෙනෙකුට (2) වෛරසය වැළදී ඇති බවටයි තහවුරු වුණේ.

ගම්පහ – දිවුලපිටිය – බෝමුගම්මන ප්‍රදේශයේ 39 හැවිරිදි ඇඟලු‍ම් කර්මාන්ත ශාලා සේවිකාවට කොවිඩ් 19 ආසාදිත බවට හඳුනා ගැණුනේ පෙරේදා (03) දිනයේදීයි.

ඇය එදින රාත්‍රියේම ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කළ අතර පියා, සැමියා සහ දරුවන් සිව් (4) දෙනා ගාල්ල – හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා.

එහිදී කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණවලින් 16 හැවිරිදි දියණියට කොවිඩ් ආසාදිත බවට ඊයේ (04) තහවුරු වූ අතර, සෙසු සාමාජිකයන් 5 දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනය වූ දැරියද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර පවුලේ සෙසු සාමාජිකයන් 5 දෙනා තවදුරටත් හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොවිඩ් ආසාදිත මව සහ දියණියගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

වෛරසය ආසාදනය වූ ඇඟලු‍ම් සේවිකාව සේවය කරන මිනුවන්ගොඩ පෞද්ගලික කර්මාන්ත ශාලාවේ සමීප ආශ්‍රිතයන් 100 දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ (04) සිදුකළ අතර ඉන් 69 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අද (05) පෙරවරුවේ තහවුරු වුණා.

එමෙන්ම කොරෝනා ආසාදිත බවට අද තහවුරු වු 41 හැවිරිදි මොනරාගල මැදගම පදිංචි කාන්තාව කොරොනා අසාදිත බවට හදුනා ගැනුනේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නියුතුව සිටියදි නිවාඩු ලබා සිය නිවසට ගොස් සිටියදීයි.

අදාල කාන්තාව මැදගම පිහිටි රජයේ බැංකුවකට, සති පොල වෙත මෙන්ම මගී ප්‍රවාහන බස් වලින් ගමන් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රතිකාර සදහා මොණරාගල ජාතික රෝහලට ඇතුළත් කල ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා අයි.ඩි.එච්. රෝහල වෙත මේ වන විට මාරු කර එවා තිබෙනවා.

කුරුණෑගල මහ රෝහලෙන්ද කොරෝනා ආසාදනය වී ඇති බවට අද (05) වාර්තා වූ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු 48 හැවිරිදි කටුපොත – අලහිටියාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

39 හැවිරිදි අනෙක් කාන්තාව කුලියාපිටිය නාරම්මල පාර නක්කාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට හෙළි වි තිබෙනවා. ඔවුන් දෙදෙනා (2) ද වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කෙරුණා.

මේ අතර අද (05) පෙරවරුවේ සිට දහවල් දක්වා අදාළ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1280 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා.

ඒ, ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ සැදුම්ලත් කණ්ඩායම් 20 ක් මගින්.

මේ අතර ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයන් 48 ක් හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අතර ඉන් 23 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකෙරුණා.

ඇඟලු‍ම් සේවිකාවගේ කොරෝනා ආසාදිත දියණිය ඉගෙනුම ලැබු පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසු සිසුවියන් 41 දෙනෙකු, විදුහලේ විදුහල්පතිවරයා, ගුරුවරු සහ අන්‍යධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 ක් අද පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර යොමු කෙරුණා.

ඉන් සිසුන් 41 දෙනා නිරෝධායනය සඳහා මීගමුව පෞද්ගලික හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගිය බවයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී. ගුණතිලක කියා සිටියේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ අද (05) දිනයේ කොරෝනා අසාදිත ඇගලුම් සේවිකාවගේ දියණියගේ ආශ්‍රිතයන් වන පාසල් සිසු සිසුවියන් ඇතුළු 2000 කට ආසන්න පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකල බවයි.

මීට අමතරව මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 500 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, තවමත් දිවුළපිටියේ ඇඟළුම් සේවිකාවට කොවිඩ්19 ආසාදනය වූ මුලාශ්‍රය මෙතෙක් නිශ්චිතව හඳුනාගැනීමට හැකිව නැහැ.

මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැත්වුණු අතර එහිදී මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ්19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ් ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීමට යොදාගැනීමට තීරණය කර ඇත්තේ ගම්පහ මහ රෝහලයි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

කෙසේ වෙතත්, අද (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ රෝගීන් හඳුනා ගැනීමට සිදුකෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව ඉහල නැංවිය යුතු බවයි.

+++++++++++++++++

කොරෝනා වෛරසය පිළිබදව දැන ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ 1999 යන දුරකථන අංකය ඒ සඳහා වෙන් කර ඇති බවයි.

කොරෝනා වෛරසය පිළිබදව පැන නගින ඕනෑම ගැටළුවක් විසදා ගැනීම සඳහා ඒ අනුව අවස්ථාව හිමි වන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++

+++++++++++++++++

හෙට(06) දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනතාව දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කරන විශේෂ නිවේදන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පළ කරන බවයි ෴

+++++++++++++++++

+++++++++++++++++

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් දසදෙනෙකු (10) කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම්දෙනතුරු අවලංගු කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරනවා ෴

+++++++++++++++++

*********************************************

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101 ට නගී

(05.10.2020 – 22:04 +0530 – truenews.lk)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ආශ්‍රිතව හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංහය පවසයි.

මෙම ආසාදිතයින් අතරින් 78 දෙනෙක් අද (05) වාර්තා විය. දිවුලපිටියෙන් හමුවූ කාන්තාව හා ඇගේ දියණිය අනෙක් ආසාදිතයින් දෙදෙනා (2) වේ.‍

එම කාන්තාවගේ සැමියා හා පිරිමි දරුවන් දෙදෙනාට (2) මෙම වයිරසය ආසාදනය වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පිරිසගේ සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණවලදී ඇඟලුම් කම්හලේ අට දෙනෙකුට (8) කොරෝනා ආසාදනයවි ඇති බවට අද (05) තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම අට දෙනා (8) හපුවලාන මරඳගහමුල, අලුත්පිල්ල වෑගොව්ව, දුනගහසෙවණ දූනගහ, මඩුල්තැන්න අපරගම, දෙල්වගුර, දොළගැට්ටපාර උඩුගම්පල සහ කපුවත්ත ජාඇල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඇඟලුම් කම්හලේ කාන්තාවන් 18 දෙනෙකු ඊයේ (04) මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබු අතර එම පිරිසෙන් අට දෙනෙකුට (8) මෙසේ කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි තිබේ.

මෙම අට දෙනා (8) අද (05) මෙයට ටික වේලාවකට පෙර මිනුවන්ගොඩ සහ ඉරණවිල රෝහල් වෙත රැගෙන ගිය බවද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

*********************************************

බලහත්කාරෙන් ගෙනත් කොරෝනා පැතිරවූවා.. දිවුලපිටිය අවුලමින් කී කතාව මෙන්න

(05.10.2020 – 19:32 +0530 – truenews.lk)

කොරෝනා පැතිරුණු දිවුලපිටියේ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලට චෝදනා රැසක් එල්ල වනවා. තමන්ගේ බෝඩිමක ජීවත්වූ සේවිකාවන්ව සේවයට ගෙන්වා ගත්තේ එපා කියද්දී බවයි මෙම කාන්තාව චෝදනා කරන්නේ.

+++++++++++++++++

මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ යන ප්‍රදේශ වලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 52 ක් අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා ෴

*********************************************

හිටපු ජනපති මෛත්‍රීගෙන් පාස්කු කොමිසම, පැය 7 ක් ප්‍රශ්න කරයි

(05.10.2020 – 17:38 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (05) පළමුවරට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පෙනී සිට පැය 7 ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගියා.

යළිත් හිටපු ජනාධිපතිවරයාට කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත්තේ මේ මස 12 වන දායි.

පාස්කු ප්‍රහාරයේ පූර්ව තොරතුර ගැන තමන්ව ඊට පෙර එක ඇමතුමකින් හෝ දැනුවත් කළේ නම් එය අනිවාර්යයෙන් වළක්වා ගැනීමට හැකිව තිබූ බව හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ අද (05) සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළා.

++++++++++++++

මගේ පියා දෙවන ලෝක සංග්‍රාමයේ දී රට වෙනුවෙන් සටන් කළ විරුවෙක් – හිටපු ජනපති පාස්කු කොමිසමේදී කියයි

(05.10.2020 – 20:33 +0530 – sinhala.adaderana.lk)

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ලද බුද්ධි තොරතුරු පිළිබද තමාව එක දුරකථන ඇමතුමකින් හෝ දැනුවත් කළේනම් එම ප්‍රහාරය වළක්වාගැනීමට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (05) ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වන අවස්ථාවේ මෙරට විධායක ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාක්ෂි ලබාදීම සඳහා එම කොමිසමට අද (05) පැමිණියේය.

පෙ.ව. 09:40 ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභා පරිශ්‍රය වෙත පැමිණ තිබුණි.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන යන අයද හිටපු ජනාධිපතිවරයාගේ සාක්ෂි විමසීමට සවන්දීමට අද ජනාධිපති කොමිසමට පැමිණ සිටි බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඉකුත් වසරේ පාස්කු ඉරුදින මෙරට තුළ ත්‍රස්තවාදින් විසින් ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක කළ අවස්ථාවේ දී ඒ පිළිබඳ සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් පත් කළේද යන්නය.

එයට හිටපු ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නා :

“පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වන විට මම හිටියේ සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින්. රෝහලෙන් පිටවී මම රැඳී සිටි හෝටලයට පැමිණීමත් සමගම තමයි මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මට කිව්වේ ලංකාවේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. පස්සේ මම පිළිවෙළින් හිටපු ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අමතලා රට තුළ නීතිය හා සාමය පවත්වාගෙන යාම, ඇඳිරි නීතිය පැනවීම සහ ත්‍රස්තවාදින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වහා ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන්නා.”

“ප්‍රහාරය සිදුවුයේ කෙසේදැයි සොයාබලන්න කමිටුවක් පත්කරන්න මම සිතුවේ සිංගප්පුරුවේ සිටියදීමයි. මම ජනාධිපති ලේකම්වරයාට කිව්වා වහාම මේ පිළිබඳ සොයා බලා සති දෙකකින් වාර්තාවක් ලබාදෙන්න යැයි නියෝග කරලා ජනාධිපති කමිටුවක් පත්කරන්න කියලා. කමිටුවේ සාමාජිකයිනුත් ලේකම්වරයාටම තීරණය කරන්න කිව්වා. මොකද කලින් දවසෙත් රෝහල් ගත වෙලා හිටිය නිසා මගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් මට්ටමක තිබුණේ නැහැ. පිපිරීම් සිදුවුණ දවසේ රෑ 10 ට විතර තමයි ලංකාවට එන්න Flight එකක් තිබුණේ. ලංකාවට එද්දි රෑ 12 ට වගේ ඇති. පසුවදා ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවලා තිබ්බා. එතනදි මම ප්‍රහාරය ගැන සොයන්න පත්කරපු ජනාධිපති පරික්ෂණ කමිටුවේ සමාජිකයින්ට පත්වීම් දුන්නා. ඒක තමයි මලල්ගොඩ කමිටුව. ඒ කමිටුවේ නිර්දේශ මත තමයි අද දින මම මේ සාක්ෂි ලබාදෙන ජනාධිපති කොමිෂන් සභාව පත්කළේ. ඒ 2019 සැප්තැම්බර් 21 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්.” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ “2015 වර්ෂයේ සිට 2019 දක්වා අන්තවාදය සහ ත්‍රස්තවාදය වැළැක්වීමට ඔබේ පාලන කාලය තුළ ඔබ ගත් ක්‍රියාමාර්ග මොනවාද” යන්නය.

“කිසිම රටක රාජ්‍ය නායකයෙක් කැමති නැහැ තමන්ගේ පාලන කාලය තුළ රටේ ත්‍රස්තවාදය හිස ඔසවනවාට. මගේ පාලන කාලය තුළ මම උපදෙස් දුන්නේ ත්‍රස්තවාදය සහ අන්තවාදය පිළිබඳ මුල් බීජයක් ඇති වූ පමණින් එය මුලිනුපුටා දමන්න. මගේ පියා දෙවන ලෝක සංග්‍රාමයේදි රට වෙනුවෙන් සටන් කරපු විරුවෙක්. එහෙම විරුවෙක්ගේ ලේ තමයි මගේ ඇඟේ තියෙන්නෙත්. මම ත්‍රස්තවාදි ප්‍රහාර 05 කින් දිවි බේරාගෙනත් තියෙනවා,” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ කරුණු පැහැදිලි කළේය.

මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය හිටපු ජනාධිපතිවරයා බලයට පත් යහපාලන රජයේ සිටි මුස්ලිම් මන්ත්‍රීවරුන් 22 න් 11 ක් අමාත්‍ය ධුර දැරීම පිළිබඳ ප්‍රශ්න කළාය.

එයට හිටපු ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුනි,

“එතකොට තිබුණේ ද්වි පාර්ශ්වික ආණ්ඩුවක්. මුස්ලිම් ඇමතිවරු සියල්ලම පාහේ නියෝජනය වුණේ මගේ පාර්ශ්වයෙන් නෙමේ. ද්වි පාර්හ්වික ආණ්ඩුවේ අනිත් පැත්තෙන්. මම හිතන්නේ 1978 ව්‍යවස්ථාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ සහය ඇතිව අඩුම කාලයක් ආණ්ඩුව කරගෙන ගියේ මම. මම ජනාධිපති වෙලා මාස 06 ක කාලයක් පමණයි පාර්ලිමේන්තුවේ සහයෝගය ඇතුව ආණ්ඩුව කරගෙන යාමට හැකිවුණේ. ඉතිරි මුළු කාලයේම මට කියලා අගමැති කෙනෙක්, ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක් තිබුණේ නැහැ. මහබැංකු අධිපති තනතුරට අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීම, මහබැංකු බැඳුම්කර වංචාව වගේ සිද්ධිවල ඉඳලම මම ආණ්ඩුව කරගෙන ගියේ අමාරුවෙන්.”

“ඒ සමයේ ඇතැම් අවස්ථාවල යුද්ධයේදි විශාල දායකත්වයක් සැපයු ත්‍රිවිඩ හමුදා නිලධාරින්, බුද්ධි අංශ නිලධාරින් අත්අඩංගුවට ගැනීම් සිද්ධ වුණා. නමුත් මම ඒවා මඟහැරලා ආණ්ඩුව ඉස්සරාට ගෙනිච්චා. 2018 දෙසැම්බර් වෙනකල් පොලීසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගේ යටතේ තිබුණේ නැහැ. මගේ යටතට පත්වුණාට පස්සේ මම දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙන්වලා මාසිකව රැස්වීමක් තියන්න පටන් ගත්තා. සමහරු මේ කොමිසම හමුවේ සාක්ෂි දිලා තිබුණා ජාතික ආරක්ෂක මණ්ඩලය දුර්වල වුණා කියලා. නමුත් කිසිම අවස්ථාවක එහෙම දුර්වල වුණේ නැහැ. 2019 ජනවාරි, පෙබරවාරි, මාර්තුවල ජාතික ආරක්ෂක මණ්ඩලය කොතරම් රැස්වීම් පැවැත්වුවාද කියලා මගේ පෞද්ගලික දිනපොතේ තියෙනවා. ඕනේනම් මට ඒක මේ කොමිසමට දෙන්න පුළුවන්. මම ඒකේ ඊයේ පෙරේදා සටහන් ලියුවේ නැහැ. ඕනේනම් රජයේ රස පරීක්ෂකට යවලා පරික්ෂා කරවන්න. ත්‍රස්තවාදයක් පිළිබඳව මාව කවුරුත් දැනුවත් කරලා තිබුණේ නැහැ. අන්තවාදය ගැන විතරයි මා දැනුවත් කර තිබුණේ. ‘අයි.එස්’ අන්තවාදය ගැන 2017 වර්ෂයේ ඉඳලා මා දැනුවත් කළා. නමුත් 2019 ජනවාරිවල තමයි සහරාන් ‘අයි.එස්’ මතවාදය දරනවා කියලා කිව්වේ.” යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ 2017 මාර්තු 10 අලියාර් මංසන්ධියේ ඇතිවූ ගැටුමෙන් පසු වරෙන්තු නිකුත් කර තිබු සහරාන් හෂීම්ව අත්අඩංගුවට නොගත්තේ මන්දැයි පොලීසියෙන් විමසීමක් කළේද ? යන්නය.

එයට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ “වරෙන්තු ලැබ සිටින කෙනෙක්ව අත්අඩංගුවට ගන්න ජනාධිපති උපදෙස් දෙන්න ඕනේ නැහැ. මං ආරක්ෂක කවුන්සිලයේදිත් අහලා තියෙනවා ඔය වරෙන්තුකාරයෝ අල්ලන ඒවා ගැන මෙතන කථා කළ යුතුද කියලා. ඒක පොලීසියේ රාජකාරිය.” යන්නය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය “ඇයි එහෙනම් ඔබ සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා පසු අවස්ථාවක උපදෙස් දුන්නේ එය ජනාධිපතිවරයාගේ කාරණයක් නෙවෙයිනම් ?” යනුවෙන් විමසා සිටියාය.

“පසු අවස්ථාවක මම එහෙම උපදෙස් දුන්නා. ඒ වෙද්දි මට බුද්ධි අංශ වාර්තා කරල තිබුණා සහරාන් අයි.එස්. මතය අනුව යමින් සිටිනවා කියලා. ඒ නිසා මම උපදෙස් දුන්නා සහරාන්ව වහාම අත්අඩංගුවට ගන්න කියලා ” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුනි.

“ඔබතුමා ඒ දුන්න උපදෙස් පිළිපැද තිබූ බවක් 2019.04.21 වෙද්දි තේරුණාද ? යනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළාය.

පැහැදිලි ලෙසම තමා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක වී නොතිබුණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ” LTTE කාලයේදීවත් බෝම්බ 8 ක් එකදවසක පුපුරා ගියා කියල ඔබ අහල තියෙනවාද ? යන්නය.

“නැහැ. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුව තිබූ සියලු අංශ විශාල ලෙස පසුබෑමක් වෙලා තියෙනවා. ප්‍රහාරය වෙනවා කියල ඒ තොරතුර ලැබුණු අය ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි. මම මේ ප්‍රහාරය වෙද්දි ප්‍රතිකාර ගන්න සිංගප්පූරු රෝහලට පිටවෙලා හිටියේ. මම අප්‍රේල් 16 වෙනකල් ලංකාවෙ හිටියා. දැන් දැනගන්න තියෙන්නේ මේ තොරතුර ලැබිලා තිබුණේ අප්‍රේල් 04. අප්‍රේල් 08 වෙනිදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ රැස්වීම තිබුණා. මම 12 මඩකලපුවට ගියා. ඒ වෙලාවෙවත් මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මේ ගැන කියල තිබුණේ නැහැ. ඊට පස්සෙ අවුරුද්දට සුබ පතන්න හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමා දියතලාවේ ඉඳන්ම මාව හොයාගෙන ආවා. එවකට පොලිස්පති පූජිත් ජයසුන්දරත් ආවා. දෙන්නා ඇවිත් පැය දෙකක් විතර ඉඳලා දවල්ටත් කාලා ගියේ. එතනදිවත් කිව්වේ නැහැ මේ ගැන. පස්සෙ මම විදෙස් ගතවෙන්න ගුවන්තොටුපළට ගිය වෙලාවෙ එතනටත් පූජිත් ආවා. මම ගිය ෆ්ලයිට් ඒකේ ඇතුළටත් පූජිත් ඇවිල්ලා ‘සුබ ගමන් සර්’ කියල මට salute කළා. මං කිව්වා ‘මං දවස් හතරකින් එනවා. එතකල් වැඩකටයුතු කරගන්න’ කියලා. එතකොටවත් කිව්වානම් ඒ වෙලාවෙම මගේ විදෙස් සංචාරය පවා නතර කරනවා. මගේ ජනාධිපතිධුරය සමයේ මේ ඛේදවාචකය වීම මහා කම්පාවක්. මේ 04 වෙනිදා ලැබුණු බුද්ධි තොරතුර ගැන මට කිව්වේ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 22 ආරක්ෂක මණ්ඩලයේදී. මං එතකොට මවිතයට පත් වුණා. මෙවැනි දෙයක් ගැන මට කලින් දන්වලා තිබුණානම් ඒ වෙද්දි ලෝකේ වෙලා තිබුණ සිදුවීම් එක්ක මට අවබෝධයක් ගන්න පුලුවන්කම තිබුණා. මට මේ ගැන කිව්වානම් මම කාදිනල් හිමියන් දැනුම්වත් කරලා, ආරක්ෂක මණ්ඩලය රැස්කරලා අවශ්‍ය පියවර ගන්නවා. එහෙමනම් මේ ඛේදවාචකය වෙන්න දෙන්නේ නෑ. මට මේක නොකියපු එක තමයි ලොකුම ප්‍රශ්නෙ. මට මේ ගැන එක ටෙලිෆෝන් කෝල් එකකින් කිව්වානම් මං මේක නවත්වනවා ස්වාමීනි.” යැයි හිටපු ජනාධිපතිවරයා දිර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

පැය 7 කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දිමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමෙන් පිටව ගිය අතර නැවත ඔක්තෝබර් 12 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

*********************************************

‘අංගොඩ ලොක්කා’ මිය ගිය බවට ඉන්දීය බුද්ධි අංශ තහවුරු කරයි

(05.10.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී මියගිය බව ඉන්දීය බුද්ධි අංශ විසින් තහවුරු කළ බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ විෂ ශරීර ගතවීමෙන් ඉන්දියාවේදී මිය ගිය බවට මාධ්‍ය වාර්තා පළ වුණා.

පසුගිය ජූලි 3 වැනිදා ඉන්දියාවේ කොයිම්බතූර්හිදී ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇත්තේ හෘදයාබාධයක් බව පවසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියදී බවටද වාර්තා වුණා.

කෙසේ වෙතත් මතභේදයට තුඩු දී තිබූ ‘අංගොඩ ලොක්කා’ගේ මරණය ඉන්දීය බුද්ධි අංශ විසින් තහවුරු කර තිබෙනවා.

ගාල්ල පොලිසියේ දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත ගාල්ල – කරාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට සැකපිට අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 160 ක් සොයාගෙන ඇති අතර රුපියල් 26,750 ක මුදලක් පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට පත්වූ පිරිමි පුද්ගලයා ‘සන්කොල්ලා’ නම් අන්වර්ත නාමයෙන් හැඳින්වෙන 30 හැවිරිදි අයෙක්.

දෙහිවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000 ක අල්ලසක් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ගේ විදෙස් ගමන් බලපත්‍ර 88 ක්, ජාතික හැඳුනුම්පත් 26 ක්, බැංකු පොත් 6 ක් සහ රියදුරු බලපත්‍ර 3 ක් සොයාගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.

කළුතර කොට්ඨාශ අපරාධ අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 9 යි මිලිග්‍රෑම් 250 ක් සමඟ කාන්තාවක් ඇතුලු දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට ඇපමත නිදහස්ව සිටින ‘දුම්බර අක්කා’ නම් කාන්තාව විසින්.

හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇයගේ ඥාති කාන්තාවක සහ ඥාති සහෝදරයෙක් වන අතර ඔවුන් සන්තකයේ තිබී රුපියල් 42,000 ක මුදලක් සහ ජංගම දුරකථන 3 ක් පොලිස් භාරයට ගනු ලැබුවා.

නිල් මැණිකකින් නිර්මිත පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් රුපියල් කෝටි 600 ක මුදලකට විකිණීමට සුදානම් වූ චීවරධාරියෙක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු (4) මොණරාගල – කුඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මොණරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වුණා.

මොණරාගල – වෙල්ලච්චිකඩේ ප්‍රදේශයේ තිබූ නිධානයකින් මෙම බුදුපිළිමය ලබා ගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

බුත්තල – පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලද තොරතුරක් මත කොස්ලන්ද අලුත්වල ප්‍රදේශයේ ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යක්කලමුල්ල පොලිසියට ලද තොරතුරක් මත යක්කලමුල්ල – දොලමුල්ල සහ උඩුවැල්ල ප්‍රදේශයෙන් නීති විරෝධී ගිනිඅවි දෙකක් (2) සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යක්කලමුල්ල පොලිස් බල ප්‍රදේශය තුළ ගත වූ මාස 3 ඇතුළත සොයාගෙන ඇති නීති විරෝධී ගිනි අවි සංඛ්‍යාව 51 ක්.

++++++++++++++++++

පොලීසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගිය ‘රත්මලානේ රෝහා’ ගේ යැයි සැළකෙන ටී-56 වර්ගයේ ගිනිඅවි 03 ක් සහ AK-47 වර්ගයේ ගිනි අවියක් කහතුඩුව හෙරාලියවල ප්‍රදේශයේදී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා ෴

+++++++++++++++++

ජංගම දුරකතනයක් මිලදී ගැනීමේ මුවාවෙන් අම්බලන්තොට නගරයේ දුරකතන අලෙවිසැලකට පැමිණි පුද්ගලයෙකු ජංගම දුරකතනයක් සොරාගෙන පලා යන ආකාරය වෙළදසැලේ සවිකර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

*********************************************

රිෂාඩ්ගේ සොයුරා නැවත අත්අඩංගුවට ගන්න – පොලිසියට, ආණ්ඩුවට බලපෑම්

(05.10.2020 – 20:47 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් මුදා හැරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කිහිපයක් අද (05) ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිලි කළා.

ඒ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට එරෙහිවයි.

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින් සමඟ සබඳතා පැවැත්වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මාස 5 කට ආසන්න කාලයක් රඳවා ගෙන සිටි රියාජ් බදියුදීන් පසුගියදා මුදා හැර තිබුණා.

ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට එරෙහිව මහජන යුතුකම් කේන්ද්‍රය, නව සිංහලේ ජාතික සංවිධානය, සිංහලේ සංවිධානය සහ සිංහලේ ජාතික සංවිධානය, ජාතික පොලිස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින්.

මේ අතර පසුගියදා වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් පිළිබඳව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ද කරුණු පැහැදිලි කළා.

මේ අතර රියාද් බදියුදීන් මුදා හැරීම සම්බන්ධයෙන් අදත් පුජ්‍ය පක්ෂය සහ දේශපාලනඥයින්ද අදහස් පළ කළා.

+++++++++++++++

++++++++++++++

***************************************

කොරෝනා වෛරසය හා ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු සම්බන්ධයෙන් කළුබෝවිල රෝහල විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.

මේ අතර, අද (05) උදෑසන ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙලෙස අසත්‍ය තොරතුරු පළ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි ෴

*********************************************

‘සැඟවීමට කිසිවක් නැහැ – ආසාදනය වූයේ කර්මාන්තශාලාව තුළින්’ – ආසාදිත කාන්තාවගේ සැමියා කියයි

(06.10.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – දිවුලපිටිය – බෝමුගම්මන ප්‍රදේශයේ 39 හැවිරිදි ඇඟලු‍ම් කර්මාන්ත ශාලා සේවිකාවට කොවිඩ් 19 ආසාදිත බවට පසුගිය දා හඳුනා ගැනුණා.

මේ වන විට ඇගේ 16 හැවිරිදි දියණියටත් කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, සැමියා සහ ඉතිරි දරුවන් තුන් (3) දෙනා ගාල්ල – හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

නිරෝධායනයට ලක්වෙමින් සිටින අදාළ කාන්තාවගේ සැමියා හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් සඳහන් කළේ තම බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව තුළින් බවයි.

තම බිරිඳට වෛරසය ආසාදනය වීම පිළිබඳව සැඟවීමට කිසිවක් නොමැති බව ද ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියා.

කෙසේ වෙතත්, තවමත් දිවුලපිටියේ ඇඟළුම් සේවිකාවට කොවිඩ් 19 ආසාදනය වූ මුලාශ්‍රය මෙතෙක් නිශ්චිතව හඳුනාගැනීමට හැකිව නැහැ.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පලකළා.

මේ අතර, කොරෝනා ආසාදිත ඇඟලුම් කර්මාන්තශාලා සේවිකාවගේ දෙවන (2) පෙළ ආශ්‍රිතයන් සොයා අද (06) සිට විශේෂ පරීක්ෂාවන් ආරම්භ කෙරෙනවා ෴

*********************************************

තාජුඩීන්ගේ මරණය ගැන බොරු සාක්ෂි ලබාදෙන්නැයි ශානි අබේසේකර තර්ජනය කළා – පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් හෙළිදරව්වක්

(06.10.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ප්‍රමුඛ නිලධාරින් තමාට බලපෑම් කළ බව හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්මික පෙරේරා ඊයේ (05) ප්‍රකාශ කළා.

ඒ, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

2012 මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී වසීම් තාජූඩීන් ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වී පිළිස්සී මිය යෑම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2015 පෙබරවාරි සිට 2016 අප්‍රේල් දක්වා අවස්ථා 15 කට වැඩි සංඛ්‍යාවක් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු සදහන් කළේ සී.අයි.ඩී. විමර්ශන නිලධාරීන් තමන් අමතා ‘තාජුඩීන්ගේ මරණයේ පරීක්ෂණ යටගහන්න ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහතා දුරකථනයෙන් උපදෙස් දුන් බවට සාක්ෂි ලබා දෙන්න’ යැයි තමාට බලපෑම් කළ බවයි.

එක් අවස්ථාවකදී සී.අයි.ඩී. යේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමාව ඔහුගේ කාර්යාලයට රැගෙන ගොස්‍ ‘මල්ලි අපි ඔක්කොම දන්නවා. අපිට අවශ්‍ය දේ කියන්න’ ‍යනුවෙන් පැවසූ බව සුමිත් චම්මික පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළා.

ඔහු පැවසුවේ විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය ලෙස සාක්ෂි ලබා දුනහොත් රුපියල් කෝටි දෙකක (2) මුදල් ලබාදී කැනඩාවට පිටත් කර හරින බවත් එසේ නොමැති නම් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරන බවට සී.අයි.ඩී. නිලධාරීන් තමාට පොරොන්දූවූ බවයි.

විමර්ශන නිලධාරීන්ගෙන් එල්ල වූ දැඩි මානසික පීඩා තවදුරටත් ඉවසීමට නොහැකි නිසා සිය ඥාතියෙකු මාර්ගයෙන් ශානි අබේසේකර මහතා හමුවීමට තමා ගිය අවස්ථාවේ ශානි අබේසේකර ගේ මෝටර් රථයට තමාව නග්ගවාගෙන‍ ‘උඹ මේක කියපන්. ගොඩ යන්න පුළුවන්’‍ යනුවෙන් ප්‍රකාශ කළ බව සුමිත් චම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළා .

ඔහු සඳහන් කළේ අසත්‍ය සාක්ෂි ලබා දීමට නොහැකි බව තමා දිගින් දිගටම සී.අයි.ඩී. විමර්ශන නිලධාරින්ට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම යන චෝදනාව යටතේ 2016.04.20 දින තමාව අත් අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් තමාට එරෙහිව සාක්ෂි නොමැති වීම නිසා නීතිපතිවරයාගේ උපදෙස් මත 2019 අප්‍රේල් මාසයේදී තමාව නිදහස් කළ බවත් ඒ වන විට තමාගේ වැඩ තහනම් කර තිබීම නිසා යලි සේවය පිහිටුවන්නැයි පොලිස් කොමිසමට අභියාචනාවක් ඉදිරිපත් කළ බවත් සුමිත් චම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළා .

මේ පිළිබඳව සාකච්ඡා කිරිමට තමා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවූ අවස්ථාවේදී ඔහු තමන් අමතා ‘සුමිත් ඔයා අපි කියපු දේ කළේ නැහැ. ඒ නිසා මට ඔයාට ආයෙත් ජොබ් එක දෙන්න බැහැ’‍ යනුවෙන් ප්‍රකාශ කළ බව හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්මික පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහිදී කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ශානි අබේසේකර මෙන්ම නාගහමුල්ල යන අයට ලබන 14 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළා.

***************************************

පසුගියදා වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් පිළිබඳව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළා.

එහිදී ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ ගුණ වර්ණනා කිරීමක් සිදු නොකළ බවයි.

***************************************

පාතාල කල්ලි නායක සමිත්පුර සම්පත්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ගෝලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

*********************************************

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් 220 කට කොරෝනා

(06.10.2020 – 08:55 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් සේවක සේවිකාවන් 220 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ (05) සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව ඔවුන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

මීට පෙර ආසාදිත සේවිකාව සහ ඇගේ දියණිය හැර මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ 101 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ අනුව මේ වන විට කම්හලේ 321 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදය වී තිබෙනවා.

***************************************

කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන් හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් තුන්සිය දෙදෙනෙකු (302) අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණ තිබෙනවා.

තුර්කියේ ඉස්තාන්බුල් සිට පුද්ගලයින් 260 දෙනෙකු සහ කටාරයේ සිට හතළිස් දෙදෙනෙකු (42) මෙලෙස පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

දැනට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් පවතින අතර ඒවායේ පුද්ගලයින් 7211 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි සියළු ආසාදිතයින් පූර්ණ සුවය ලබා එම මධ්‍යස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා ෴

***************************************

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයට වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ මහතා පත් කර තිබෙනවා.

ඒ, එම ධුරයේ කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.

විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා

එම තනතුරට දැන් පත් කර ඇති වෛද්‍ය ප්‍රභාත් අමරසිංහ මහතා, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබෙනවා ෴

***************************************

ප්‍රධාන මාර්ගයේ යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර අද (06) දිනයේ පමණක් දුම්රිය නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අද (06) පෙරවරුවේ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති තීරණවලට අනුව යාගොඩ සහ වඳුරව දුම්රිය ස්ථාන අතර දුම්රිය නතර නොකර ධාවනය කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, අද (06) පෙරවරුවේ දුම්රියෙන් රැකියා සඳහා පැමිණි පිරිස් යළි නිවෙස් වෙත යාමට අවශ්‍ය බැවින් අද (06) දිනයේ පමණක් එම දුම්රිය ස්ථාන අතර පිහිටි ගම්පහ, දාරළුව, බෙම්මුල්ල, මගලෙගොඩ, හීන්දෙණිය – පට්ටිගොඩ සහ වේයන්ගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නතර කිරීමට තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහෙත් අද (06) දිනයේ සිට නැවත දැනුම්දෙනතුරු යාගොඩ සහ වදුරව අතර දුම්රිය ස්ථාන වලින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුවන්නේ නැහැ.

හෙට (07) දිනයේ සිට එම දුම්රිය ස්ථානයන්වල දුම්රිය නතර කිරීමක් ද සිදු නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

*********************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා පිළිබද පරීක්ෂණ අඛණ්ඩව

(06.10.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීම පිළිබඳ නැවත පරීක්ෂණයක් සිදුකරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී අද (06) පෙරවරුවේ ප්‍රකාශයක් කළ අමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් ඍජුව සම්බන්ධ නොවන බවට පරීක්ෂණවලදී තහවුරු වීම නිසා ඔහු නිදහස් කර ඇති බවයි.

***************************************

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල මහජන සේවාවන් ඔක්තෝබර් 7, 8 සහ 9 යන දිනවල සිදු නොකරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

*********************************************

පාස්කු කොමිසම, රනිල්ට සාක්ෂි දෙන්න තවත් දිනයක් දෙයි

(06.10.2020 – 11:58 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිසම විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම ඔක්තෝබර් 13 දක්වා කල් තබා තිබෙනවා

ඒ හිටපු අග්‍රාමාත්‍යවරයා රෝගාතුරව සිටිම හේතුවෙන් ඔහු විසින් කොමිසම හමුවේ කළ ඉල්ලීමක් මතයි.

ඉස්ලාම් අන්තවාදි ක්‍රියාකාරකම්වලට එරෙහිව පියවර ගතහොත් මුස්ලිම් මැතිඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්විය හැකි යැයි බිය වු නිසා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ වු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළිකළා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්.

++++++++++++

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීම, දහ නව (19) වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් සිදුකල තෝරා ගැනීමක් පමණක් වන අතර ඊට එක් වූ පාර්ශව වෙන්ව කටයුතු කිරීමට මුලසිටම සැලසුම් කර තිබු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කලා.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසම හමුවේ අද (06) සාක්ෂි ලබාදෙමින් ෴

+++++++++++++++

ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනෙක හිටපු ජනාධිපති මාව ආරක්ෂක කවුන්සිලයට කැඳවුයේ නෑ – රනිල්

(06.10.2020 – 22:25 +0530 – hirunews.lk/sinhala)

2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනි දින ඇති වූ ආණ්ඩු පෙරළියෙන් පසු කිසිදිනක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ව ආරක්ෂක කවුන්සිලයට කැඳවූයේ නැතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි ලබාදීම සඳහා උදෑසන 10 ට පමණ එහි පැමිණියේය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එකම පවුලක් ලෙස හිටපු තැන් වලත් ගැටුම් ඇතිවෙනවා නේදැයි විමසමින් 2018 ඔක්තෝම්බර් 26 ඇති වූ ආණ්ඩු පෙරළිය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීය.

“මොන පවුලේද ප්‍රශ්න නැත්තේ? 2018 ඔක්තෝම්බර් 26 ජනාධිපති මෛත්‍රී තීරණය කළා ආණ්ඩුව වෙනස් කරන්න. එයා හිතුවේ එයාට මන්ත්‍රීවරු ඉන්නවා කියලා. කොහොම හරි ඔක්තෝම්බර් 26 ආණ්ඩු පෙරළියෙන් පස්සේ ජාතික ආරක්ෂක කවුන්සිලයට මාව කැඳෙව්වේ නැහැ. කොහොමහරි දින 52 ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මහතාගෙනුත් මම අහලා බැලුවා එතුමාට එන්න කිව්වද ආරක්ෂක කවුන්සිලයට කියලා. ඔහුට එන්න කියලා දන්වලා තිබ්බෙත් නැහැ ” යනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ගෙන ඒමට තමා ඇතුළු පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කළත් පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගෙන පක්ෂග්‍රාහී වූ බවත්, මාදුළුවාවේ සෝභිත හිමි පවා ඊට දොස් පැවරූ බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ ක‍ළේය.

එහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය, “ඔක්තෝබර් 26 ආණ්ඩු පෙරළියට හේතු වූයේ ඔබ ඔය කියන සිදුවීමද, නැතහොත් එක්සත් ජාතික පක්ෂය එවකට ජනාධිපතිධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන මහතාට නිසි සහයෝගය ලබා නොදීමද?” යනුවෙන් පෙරළා විමසීය.

“හිටපු ජනාධිපතිවරයාට කිසිම දවසක හොඳ ඡන්ද පදනමක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්පූර්ණ පක්ෂපාතීත්වයක් තිබුණේ නැහැ. මමයි එතුමාට අනිත් පාර්ශ්වවල සහයෝගය අරන් දුන්නේ. ඔබතුමියත් ප්‍රශ්න අහන්නේ ඒ පැත්තෙම ඉඳන්. ඉන්න, ඒ කතා ඔක්කෝම දවසක මම සම්පූර්ණෙන් පොතක ලියන්නම්” යනුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.

මෙම අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා යම් සෞඛ්‍ය අපහසුතාවයකින් පෙළෙන බැවින් ඔහුගේ සාක්ෂි විමසීම අද (06) දිනට අවසන් කර වෙනත් දිනයක් ලබාදෙන ලෙස කොමිසමෙන් ඉල්ලීමක් කළේය.

ඒහිදී කොමිසම හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් සාක්ෂි විමසීම අද (06) දිනට අත්හිටුවූ අතර නැවතත් ඔක්තෝබර් 13 වැනි දින සාක්ෂි ලබාදීම සදහා පෙනී සිටින ලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) දහවල් 11:30 ට පමණ ජනාධිපති කොමිසමෙන් පිටව ගියේය.

***************************************

තැපැල් සේවා සහ ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එස්. වියාලේන්ද්‍රන් මහතා අද (06) පෙරවරුවේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා ඉදිරියේයි. ඔහු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ පසුගාමී ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *