හිටපු ඇමති රාජිත රැකියා දුන් හැටි දේශපාලන කොමිසමේදී හෙළි වෙයි

හිටපු ඇමති රාජිත රැකියා දුන් හැටි දේශපාලන කොමිසමේදී හෙළි වෙයි

වතුකරයේ සැඟවුණු මිනුවන්ගොඩ ඇඟලුම් සේවිකාව නිරෝධායනයට

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (10) ජලය කැපේ

හිටපු පොලිස්පති පූජිත්ට දුන් අවවාද ගැන හිටපු අමාත්‍යාංශ ලේකම් හෙළිකරයි

අඩුපාඩු හදානොගත්තොත් ආණ්ඩුව පලවා හරිනවා… අපි ආණ්ඩුව හැදුවාට ළංවෙලා ඉන්නේ අහසට පොළව වගේ අයයි

“කොරෝනා වළක්වා ගන්න කළ කැප කිරීම නිසා මාව නිහඬ කළා” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සියල්ල හෙළිකරයි

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම හොඳ තීරණයක් කී එරාන්ට දසතින් විරෝධය

පාර්ලිමේන්තුවේදීද විවාදයට ලක්වූ රටේ පවතින කොවිඩ් තත්ත්වය

චෝදනා එල්ලවූ ඇතැමුන් හදිසියේ නිදහස් වීම පිළිබඳව පාර්ශ්ව රැසකට සැක මතුවෙලා

හිටපු ජනපතිගේ බලපෑම මත පොලිස් කොමිසමේ, නිර්දේශ පවා ඉවත දැමූ බවට පූජිත්ගෙන් හෙළිදරව්වක්

කටුනායක ආයෝජන කලාපය වසා දැමීමේ තීරණයක් නැහැ

කොරෝනා ආසාදිත සිසුන් පස්දෙනෙකු (5) විශේෂ මධ්‍යස්ථානයකදී විභාගයට

*********************************************

හිටපු ඇමති රාජිත රැකියා දුන් හැටි දේශපාලන කොමිසමේදී හෙළි වෙයි

(09.10.2020 – 20:16 +0530 – hirunews.lk/sinhala)

රාජිත සේනාරත්න, ධීවර අමාත්‍යවරයාව සිටියදී ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති සහකාරවරිය ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පත් කරන්නැයි තමාට බලපෑම් කළ බව එම සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ප්‍රකාශ කළා.

ඒ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (09) සාක්ෂි ලබා දෙමින්.

එවක ධීවර අමාත්‍යවරයාව සිටියදි රාජිත සේනාරත්න අවිධිමත් පත්වීම් රැසක් ලබා දෙමින් ධීවර වරාය නීතිගත සංස්ථාවට දැඩි ලෙස හානි කළ බවයි උපාලි ලියනගේ ප්‍රකාශ කළේ.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති සහකාරවරිය ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය පත් කරන්නැයි අමාත්‍යවරයා තමාට දැනුම් දුන් අවස්ථාවේ දී ඇය එම තනතුරට සුදුසු නොමැති බැවින් තමා එම පත්වීම ලබාදීම ප්‍රතික්ෂේප කළ බව ඔහු ඔහු සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා.

නමුත් අමාත්‍යවරයාගෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ රුපියල් 20,000 ක වැටුපකට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ධීවර වරාය නීතිගත සංස්ථාවේ නීති සහකාර ලෙස පත් පත්කළ බවයි ඔහු කියා සිටියේ.

එහිදී තමන් ‘ඉතිරි රුපියල් 25,000 ක මුදල රාජිත සේනාරත්න අමාත්‍යවරයාගෙන් ලබා ගන්නා බවට’‍ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කළ බවයි සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ කොමිසම හමුවේ සඳහන් කළේ.

ඔහු එහිදි වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින්, පැවසුවේ කළුතර නගර සභාවේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට රුපියල් 15,000 ක වැටුපක් ලබා දෙන ලෙසට ද රාජිත සේනාරත්න තමාට දැනුම් දුන් බවයි.

තවත් අවස්ථාවක රාජිත සේනාරත්නගේ බිරිඳ වන සුජාතා සේනාරත්නට රුපියල් 65,000 ක වැටුපක් යටතේ ධීවර වරාය නීතිගත සංස්ථාවේ සම්බන්ධීකරණ තනතුරක් ලබා දෙන්නැයි අමාත්‍යවරයා තමාට නියෝග කළ බවත් උපාලි ලියනගේ සඳහන් කළා.

මීට අමතරව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පුද්ගලයින් 24 දෙනෙකු ගේ නාම ලේඛනයක් තමා වෙත ඉදිරිපත් කරමින් එම පිරිසට වැටුප් සහිතව ධිවර වරාය නිතිගත සංස්ථාවේ සම්බන්ධීකරණ සහ උපදේශන තනතුරු ලබා දෙන්නැය බලපෑම් කළ බව ද සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.

*********************************************

වතුකරයේ සැඟවුණු මිනුවන්ගොඩ ඇඟලුම් සේවිකාව නිරෝධායනයට

(09.10.2020 – 17:25 +0530 – sinhala.adaderana.lk)

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කර වතුකරයට පැමිණ සැඟව සිටි සේවිකාවක් හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

ඇය පදිංචිව සිටි වතු නිවාස පෙළෙහි 69 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට ද පියවර ගෙන ඇත.

එම සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිට ඇති අතර ඊයේ (08) අලුයම හැටන් දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහළ කොටසේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණ තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ යුද හමුදා මුලස්ථානය විසින් නොර්වුඩ් පොලීසිය වෙත ඇය පිළිබඳව තොරතුරු ලබා දීමෙන් පසු නොර්වුඩ් පොලීසියේ නිලධාරින් විසින් ඇයව හඳුනාගෙන ඇත.

ඉන් අනතුරුව එම සේවිකාව, ඇයගේ සැමියා, එම සේවිකාවගේ මව, පියා සහ එම සේවිකාවගේ අවුරුදු 10 ක් වයසැති දැරියද නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කෙරිණි.

*********************************************

කොළඹ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (10) ජලය කැපේ

(09.10.2020 – 16:38 +0530 – sinhala.adaderana.lk)

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (10) දිනයේ කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ හෙට (10) රාත්‍රි 10 සිට පසුදින උදෑසන 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බවය.

කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙන්ම කොළඹ 01 සහ 11 යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇත ෴

*********************************************

හිටපු පොලිස්පති පූජිත්ට දුන් අවවාද ගැන හිටපු අමාත්‍යාංශ ලේකම් හෙළිකරයි

(09.10.2020 – 15:00 +0530 – sinhala.adaderana.lk)

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ධුරය දරන සමයේ ඔහුගේ නුසුදුසු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කැඳවා ඔහුට අවවාද කළ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (08) සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඒ පිළිබඳ සොයා බැලීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ මලල්ගොඩ කමිටුවේ සමාජිකයෙකු වු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඊයේ (08) දෙවන දිනට ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුනි.

එහිදී සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ, “මම සහභාගී වූ ජාතික ආරක්ෂක කවුන්සිලවලදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සැළකිය යුතු තීරණ ගැනුණු බව මට මතක නැහැ,” යනුවෙනි.

එසේම පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාස, රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි අංශය අතර වෘත්තීමය ගැටුම් පැවති බව තම සේවා කාලයේදී නිරීක්ෂණය වු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ, “පොලීසියේ තිබුණු ප්‍රශ්න මොනවද?” යන්නය.

“එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතා විවිධ උත්සවවලට සහභාගී වෙලා එහිදී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවුණා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ද පුළුල් ප්‍රචාරයක් දුන්නා. අමාත්‍යාංශයේ අදහස වුණේ මෙවැනි චර්යාවන් නුසුදුසුයි කියලා,” යැයි ජයමාන්න මහතා පිළිතුරු දුන්නේය.

එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේ අමාත්‍යාංශය තුළ පොලිස්පතිවරයා ඉවත්කළ යුතුයි කියා යම් මතයක් පළවුණා ද? යන්නය.

“අපි එවකට පොලිස්පතිවරයා ගෙනල්ලා අවවාද කළා. එවකට නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරයාව සිටි රංජිත් මද්දුමබණ්ඩාර මහතාත් පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා,” යැයි හිටපු අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න පිළිතුරු දුනි.

එසේම මෙහිදී ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් හිටපු අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ, “යහපාලන රජය තුළ නිලධාරින්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තිබු නිදහස සීමිතයි. මොකද පැවති රජය සුළු ජාතික පක්ෂ මත රැඳී තිබුණු රජයක් නිසා සුළු ජාතිකයන් සම්බන්ධ වූ ප්‍රශ්නවලට මැදිහත්වෙන්න නිලධාරින් මැලිකමක් දැක්වුවා,” යැයි ජයමාන්න මහතා වැඩිදුරටත් පැවසීය.

*********************************************

අඩුපාඩු හදානොගත්තොත් ආණ්ඩුව පලවා හරිනවා… අපි ආණ්ඩුව හැදුවාට ළංවෙලා ඉන්නේ අහසට පොළව වගේ අයයි

(09.10.2020 – 18:33 +0530 – lankaleadnews.com)

ආණ්ඩුවේ පෙන්වාදෙන අඩුපාඩු හදාගෙන ඉදිරියට නොයන්නේ නම් ආණ්ඩුව පලවා හරින්නට කටයුතු කරනවා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (08 දා) පැවසූහ.

වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා පැවිදි හඬ සංවිධානය කටයුතු කළේ කිසිදු තනතුරු හෝ වරදාන ලබාගැනීමට නොවන බවත් එකම අපේක්‍ෂාව වූවේ රටට, ජාතියට හිතකර ආණ්ඩුවක් පත්කර ගැනීම බවත් උන්වහන්සේ අභයාරාම විහාරස්ථානයේ ඊයේ (08 දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසූහ.

වැඩිදුරටත් උන්වහන්සේ මෙසේ ද කීහ :

“පැවිදි හඬ සංවිධානය ආරම්භ කළේ පසුගිය යහපාලන ආණ්ඩුව රටට හා ජාතියට ගැටලූ ඇතිවන ලෙස රටේ පාලනය ගෙනගිය නිසා එය නතර කිරීමටයි. මේ ආණ්ඩුව පත්කිරීමට කැපවී කටයුතු කළ අය වෙනුවට වෙනත් අයගේ උපදෙස් අනුව කටයුතු කරන බවක් පේන්න තියෙනවා. අපි හදපු ආණ්ඩුව අපි රැකගන්න ඕනෑ. ඒ වගේම අපි ආණ්ඩුවේ අඩුපාඩු පෙන්නුවම ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යෑම කළ යුතුයි. අපි ආණ්ඩුව හැදුවට ආණ්ඩුවට ළංවෙලා ඉන්න අය අහසට පොළොව වගෙයි. ආණ්ඩුව වැරදි මාර්ගයේ යන බව අපිට පේන නිසා එය නිවැරදි කිරීම අපේ වගකීමක්. භික්ෂු බලය අවතක්සේරු කරන්න එපා. හොද්දට දාපු කරපිංචා කොළය වගේ ඉවත දමන්න හදන්න එපා.

ආණ්ඩුව පීලි පනිනවා නම් එයට එරෙහිව කටයුතු කිරීමට අපි පසුබට වන්නෙ නැහැ. අබමල් රේණුවක වැඩක් නොකරපු අය ආණ්ඩුවේ ඉදිරියෙන් ඉන්නේ. ධනය, ශ‍්‍රමය කැපකරපු අය අමතක කරමින් යනවා. මේ අයගෙන් පරිස්සම් වෙන්න කියලා ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් අපි ඉල්ලා සිටිනවා. හොඳට හොඳයි නරකට නරකයි කියන සංකල්පයෙන් අපි කටයුතු කරනවා.

බෙල්ලන්විල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ :

“මහා සංඝරත්නය කියන්නේ බරව කකුලක් නොවෙයි. මහා සංඝරත්නය එකතුව වැඩ කළොත් මහා ශක්තියක් වෙනවා. සමහරු හිතනවා අටපිරිකරක් පූජා කරාම හරි කියලා. එහෙම හිතන්න එපා කියලා කියනවා.

රටේ නිලධාරීවාදයක් තියෙනවා. ඒකෙන් මිදෙන්න ඕනෑ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඉවත් කරලා තියෙනවා. ඔහුට කිසිම චෝදනාවක් නැහැ. තියෙනවා නම් කියන්න.

රිෂාඞ් බදියුදීන් මහතාගේ මල්ලි නිදහස් කරලා තියෙනවා. ඒක පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පිටින් යවලා හරියන්නෙ නැහැ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශයකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින කෙනෙක් නිදහස් කරන්න බැහැ. මේ පිටුපස කවුරු හෝ සිටිය යුතුයි. ඔහු කවුද කියා රටට හෙළි කරන්න.

20 වැනි සංශෝධනයට අපි විරුද්ධ නැහැ. රටක් පාලනය කරන්න නායකයෙක් සිටිය යුතුයි. රජ කාලේ වුණත් රට පාලනය කරන්න රජෙක් හිටියනේ. 19 වැනි ව්‍යවස්ථාව කොහොමත් රටට හොඳ දෙයක් නොවෙයි. ඒක වෙනස් කළ යුතුයි.”

*********************************************

“කොරෝනා වළක්වා ගන්න කළ කැප කිරීම නිසා මාව නිහඬ කළා” – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සියල්ල හෙළිකරයි

(09.10.2020 – 17:35 +0530 – lankaleadnews.com)

කොරෝනා වළක්වා ගැනීමේ වැඩපිළිවෙලට කළ කැප කිරීමට මට තෑග්ගක් ලැබුණු බවත් ඒ හරහා තමාව නිහඬ කළ බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ‘ඒෂියන් මිරර්’ වෙත පැවසීය.

“පාර්ලිමේන්තුවේදි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය කළ ප්‍රකාශය වැරදියි..ඒකට මට හිත රිදුනා. සෞඛ්‍ය ඇමැතිවරියත් ඒවගේම ප්‍රකාශයක් කළා” යැයිද ඔහු සඳහන් කළේය.

“මට තියෙන චෝදනාව වැඩ කලා වැඩියි කියන එක විතරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහල නිලධාරින් හරහා ඇතැම් පුද්ගලික ආයතන ගෙන ආ යෝජනා මම ප්‍රතික්ෂේප කළා. ආයෙත් තනතුරු බාර ගන්නේ නෑ.” යනුවෙන්ද වෛද්‍යවරයා පැවසීය.

මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්න ලෙස මේ වන විට චක්‍රලේඛ පවා නිකුත් කර ඇති බවද වෛද්‍යවරයා කියා සිටියේය.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සමඟ කළ ‘ඒෂියන් මිරර් මතවාද’ සම්පූර්ණ වැඩසටහන පහතින් :

*********************************************

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම හොඳ තීරණයක් කී එරාන්ට දසතින් විරෝධය

(09.10.2020 – 20:48 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊයේ (08) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන්, පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට බලපෑමක් එල්ලවේයැයි සැක මතුවන බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශ ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

එසේම කතෝලික පියතුමන්ලා පවසන්නේ පරීක්ෂණ මට්ටමේ පවතින මෙවන් කරුණු සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඊයේ (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම හොඳ තීරණයක් බවයි.

පාස්කු ප්‍රහාරයට ආදළව අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඔහු නිදහස් කිරීම හොඳ තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළා.

*********************************************

පාර්ලිමේන්තුවේදීද විවාදයට ලක්වූ රටේ පවතින කොවිඩ් තත්ත්වය

(09.10.2020 – 21:20 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය අද (09) පාර්ලිමේන්තුවේදීද විවාදයට ලක්වුණා.

ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය දැන් :

*********************************************

චෝදනා එල්ලවූ ඇතැමුන් හදිසියේ නිදහස් වීම පිළිබඳව පාර්ශ්ව රැසකට සැක මතුවෙලා

(09.10.2020 – 21:28 +0530 – hirunews.lk/sinhala)

චෝදනා එල්ලවූ ඇතැමුන් හදිසියේ නිදහස් වීම පිළිබඳව පාර්ශ්ව රැසකට සැක මතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ගෙන ඒමට සූදානම් වන්නේ නම් ඊට එකඟ නොවන බවයි.

***************************************

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවී ඇතිබව යුද හමුදාපතිවරයා තහවුරු කර තිබෙනවා.

එම ආසාදිතයන් අතරින් එක් (1) අයෙකු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන අතර අනෙක් 13 දෙනා ඔහුගේ ආශ්‍රිතයන් බවයි සඳහන් වන්නේ ෴

+++++++++++

පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම් හේතුවෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යව 27 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

+++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත්, අද (10) දිනයේදීත් එම පොලිස් බල ප්‍රදේශ 18 හි පිහිටි සතොස, සමුපකාර, ඔසුසැල්, සුපිරිවෙළඳසැල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් විවෘත කර තබන බව පොලිසිය ප්‍රකාශ කළා.

පසුගිය සදුදා ඇඳිරි නිතීය පැනවිම ආරම්භ කිරිමෙන් පසු ඊයේ (09) මුල්වරට විවෘත කෙරුණු මෙම වෙළඳසැල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

නිරෝධායන නීතිරීති යටතේ අද (10) උදෑසන 8 ට විවෘත වන වෙළඳසැල් රාත්‍රී 8 තෙක් විවෘතව පවතිනවා.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 97 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගතවූ කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති රථවාහන සංඛ්‍යාව 27 ක්.

මේ අතර, ලබන 12 වන දා සිට 16 වන දා දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවා ඇතුළු මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

++++++++++++++

කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු ඊයේ (09) හඳුනා ගැනීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1083 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (09) දිනයේ වාර්තා වූ 30 දෙනා අතර බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවකයින් 3 දෙනෙකු, ඒ ආශ්‍රිතයින් 24 දෙනෙකු සහ වෙනත් ආශ්‍රිතයින් 3 දෙනෙකු ද අයත්.

මෙම වෙනත් ආශ්‍රිතයින් තුන් දෙනා (3) සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර, ඊයේ (09) දිනයේදී විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින් 5 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වුණා.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 4523 ක් ලෙස සටහන් වන අතර, ඉන් 1214 ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගනිමින් පසුවනවා. සුවය ලබා නිවෙස් වෙත නික්ම ගිය සංඛ්‍යාව 3296 ක්.

මේ අතර කොළඹ සිදු කරන අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++

අහංගම – බෝගහවත්ත විහාරස්ථානයක ස්වයං නිරෝධායනයට ලක් කර සිටින හිමිවරුන් 16 දෙනාගෙන් කිසිවෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

අදාළ විහාරස්ථානයේ එක් ස්වාමීන් වහන්සේ නමක දිවුලපිටියේ තම ඥාතිවරයෙකුගේ නිවසට පසුගිය දිනෙක වැඩමවා ඇති අතර, මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවක එම නිවසට පැමිණ ඇති බව හෙළිව තිබුණා.

කෙසේ වෙතත්, අදාළ හිමිවරුන් තවදුරටත් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම කොළඹ නගරයේ අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයින්ගෙන් තවදුරටත් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළා.

මේ අතර, කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ලබන 18 වන දා දක්වා වසා දමා ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කළා.

ඒ, එම කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ සුරක්ෂා නිවාසයේ පුද්ගලයින් අතර කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ෴

++++++++++++++

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළා.

‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වන ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (10) උදෑසන එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල වෙළඳසැල් අද (10) උදෑසන 8 සිට විවෘත කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

+++++++++++

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල ඔක්තෝම්බර් 12 සිට 16 දක්වාත් මහජනතාවට විවෘත නොකිරීම තීරණය කර තිබෙනවා ෴

***************************************

යුධ හමුදාවේ 71 වන සංවත්සරය නිමිත්තෙන් නිලධාරීන් 514 කට සහ සෙසු නිලයන් 14,141 කට උසස්වීම් ලබාදෙන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

***************************************

හෙට (11) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සහ අනිද්දා (12) ආරම්භ වන උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සෞඛ්‍යාරක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

හිරු ටී.වී. ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (10) උදෑසන එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

***************************************

පොලිස් බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලද තොරතුරකට අනුව නගරයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ, ඔහු සන්තයේ තිබී පොලිස් නිළ ඇඳුමෙන් ලබා ගන්නා ලද ඡායාරූප කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු 47 හැවිරිදි නෙල්ලිය – මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

*********************************************

හිටපු ජනපතිගේ බලපෑම මත පොලිස් කොමිසමේ, නිර්දේශ පවා ඉවත දැමූ බවට පූජිත්ගෙන් හෙළිදරව්වක්

(10.10.2020 – 12:27 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ බලපෑම් මත ස්වාධීන පොලිස් කොමිසමේ නිර්දේශ පසෙකලා තමන්ට කටයුතු කිරීමට සිදුවූ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ප්‍රකාශ කළා.

හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට ඊයේ (09) පැමිණියේ දෙවන (2) දිනටයි.

*********************************************

කටුනායක ආයෝජන කලාපය වසා දැමීමේ තීරණයක් නැහැ

(10.10.2020 – 12:31 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්ත්වය හමුවේ කටුනායක ආයෝජන කලාපය සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සදහන් කළේ කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලා 3 කින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමඟ අදාළ ආයතන 3 ක් පමණක් විෂබීජහරණය සඳහා වසා දැමීමට කටයුතු කර ඇති බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා පොකුරේ ව්‍යාප්තියත් සමඟ කටුනායක ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලා 3 ක සේවක සේවිකාවන් තුන් දෙනෙකුට (3) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (09) තහවුරු වුණා.

අද (10) දිනයේ අදාළ ආසාදිතයන් වාර්තා වූ ඇඟලුම් කර්මාන්තශාලාවක තවත් සේවිකාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඊ.සී.ජී. පරීක්ෂණයක් සඳහා රෝහලකට ගිය අවස්ථාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඇය මේ වන විට අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතයන් වාර්තා වූ කර්මාන්තශාලා තුනෙහි සේවක සේවිකාවන් 3000 කට වැඩි ප්‍රමාණයක් සේවය කරන අතර, ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීම ඊයේ (09) ආරම්භ කෙරුණා.

පසුගිය 7 වන දා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු එක් ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබුණා.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ද ඇයට කොරෝනා ආසාදිත බව තවදුරටත් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, කටුනායක ආයෝජන කලාපයේ තවත් ඇඟලුම් කර්මාන්තශාලාවක ආරක්ෂක නිලධාරියෙකුට කොරෝනා ආසාදිත බව ඊයේ (09) තහවුරු වූ අතර, ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක බව අනාවරණ වී තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ තවත් කාන්තාවක් කටුනායක ආයෝජන කලාපයේ වෙනත් ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයට පැමිණ ඇති අතර ඊයේ (09) එම කාන්තාවට ද කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණා.

මේ අතර, මෙරට දිනකදී සිදුකළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව එනම් පරීක්ෂණ 7196 ක් ඊයේ (09) සිදුකළ බව කොවිඩ් නයින්ටීන් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සදහන් කළා.

එසේම කොළඹ මහ නගර සභාවේ සේවිකාවකගේ මවකට කොරෝනා ආසාදනය වීමත් සමඟ එම නගර සභාවේ කාර්ය මණ්ඩලයේ 411 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබෙනවා.

ඉන් 303 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී අවසන්. අදාළ සේවිකාවගේ මව බ්‍රැන්ඩික්ස් පොකුරේ කොරෝනා ආසාදිත කාන්තාවක්.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1083 ක්.

එසේම මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4523 ක් වනවා. පවතින තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 130 කට වැඩි පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළා.

*********************************************

කොරෝනා ආසාදිත සිසුන් පස්දෙනෙකු (5) විශේෂ මධ්‍යස්ථානයකදී විභාගයට

(10.10.2020 – 12:36 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (11) දිනයේ පැවැත්වීමට මේ වන විටත් සියළු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන සිසුන් 5 දෙනෙකුට ද විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ ස්ථානයක අවස්ථාව සලසා දී ඇති බවයි.

මේ අතර, පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ විභාග අපේක්ෂකයින්ට සිය විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි බවයි.

එමෙන්ම, හෙට (11) දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විශේෂ බස් රථ සේවාවන් ද යොදවා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ.

මේ අතර, හෙට (11) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සහ අනිද්දා ආරම්භ වන උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සෞඛ්‍යාරක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. හිරු ටී.වී. ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනට අද (10) උදෑසන එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර එම ප්‍රදේශවල පිහිටි සතොස අලෙවිසැල්, සමූපාකාර, ඔසුසැල් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළදසැල් අදත් රාත්‍රී 8 තෙක් විවෘතව තැබෙනවා. මේ වන විට ඇඳිරි නීතිය උල්ලංගණය කළ 97 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 28 ක්.

එමෙන්ම, වේරහැර සහ නාරාහේන්පිට කාර්යාල ලබන 12 වන දා සිට 16 දින දක්වා තවදුරටත් මහජනතාව සඳහා විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් කේ. අලහකෝන් මහතා සඳහන් කළා.

***************************************

පිස්තෝලයක් සහ එම පතොරොම් 6 ක් සහිත මැගසිනයක් රුපියල් දෙලක්ෂ 50,000 ක මුදලකට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොහු ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

අදාළ ගිනි අවිය බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළ ගිනි අවියක් බවට සැක කරන අතර, සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස කටයුතු කරන අයෙකු බව අනාවරණ වී තිබෙනවා.

මේ අතර, මන්නාරම වෙරළ තීරයේ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 125 යි ග්‍රෑම් 800 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ගෝනි 3 ක බහාලන ලද පාර්සල් 33 ක අදාළ කේරළ ගංජා ඇසුරුම් කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, මන්නාරම ප්‍රදේශයේ වන්කාලේ ආයුර්වේද රෝහල ආසන්නයේදී ද කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 650 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වන්කාලේ පොලිසියේ නිළධාරීන්ට ලද තොරතුරුක් මත සිදුකළ වැටලීමකදියි ෴

***************************************

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු (2) යහපාලන ආණ්ඩු සමයේ දී, රජයේ මුදල් රුපියල් දාහත් ලක්ෂ 81,776 ක් වැය කරමින් ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි ඊයේ (09) අනාවරණය වුණා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේදීයි.

2008 වසරේ මැයි මස 22 වැනිදා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ සී.අයි.ඩී. යේ සහකාර පොලිස් අධිකාරී බී.එස් තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා 2016 දෙසැම්බර් 07 වැනිදා ඕස්ට්‍රේලියාවට ගොස් ඇතැයි සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ ඊයේ (09) අනාවරණය කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *