කොළඹ මහ නගර සභා සේවිකාවකටත් කොරෝනා – නගරාධිපතිනියටත් පී.සී.ආර්. පරීක්ෂණයක්

කොළඹ මහ නගර සභා සේවිකාවකටත් කොරෝනා – නගරාධිපතිනියටත් පී.සී.ආර්. පරීක්ෂණයක්

නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනිය අත්සන් තබයි

ඇමති මහින්දානන්දට මුදල් දුන්නේ නීත්‍යානුකූල ලෙසයි – සී.අයි.ඩී.ය අධිකරණයට කියයි

*********************************************

කොළඹ මහ නගර සභා සේවිකාවකටත් කොරෝනා – නගරාධිපතිනියටත් පී.සී.ආර්. පරීක්ෂණයක්

(15.10.2020 – 14:49 +0530 – hirunews.lk/sinhala)

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1,770 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් පුද්ගලයින් 49 දෙනෙකු ආසාදිතයින් බවට අද (15) දිනයේ තහවුරු වීමත් සමඟයි.

ඉන් 13 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා ඇඟළුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් 23 දෙනෙකු අද (15) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 3,380 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1,777 ක්.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර වාර්තා විමත් සමග සෞඛ්‍ය ධාරිතාව දරා ගැනිමට ඇති හැකියාව ඉක්මවා යාමේ දැඩි අවධානමක් උද්ගත වි ඇති බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.

නව කොරෝනා පොකුරේ ව්‍යාප්තිය මර්දනය කිරිම සඳහා ඊයේ (14) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවී යෝජනා 10 ක් ඉදිරිපත් කළ බවයි එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

කොළඹ මහා නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

ඒ, අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙහි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මාතෘ හා ළමා අංශය හැර සෙසු සියළු අංශ වසා දමා තිබෙනවා.

කොළඹ මහ නගර සභාවට ජනතාවට පැමිණීම සීමා කර ඇති අතර, හෙට (16) දිනයේදී නගරාධිපතිනිය ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ද පී.සි.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බවයි කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ.

මේ අතර, මුදල් අමාත්‍යංශය යටතේ පවතින රක්ෂණ භාරකාර අරමුදලේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇත්තේ එහි සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තාවීමත් සමඟයි.

එමෙන්ම, කොළඹ ටී.බී. ජයා මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක ප්‍රධාන කාර්යාලයේ සේවකයෙකුටද කෙරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

එසේම, විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාවේ නිලධාරිනියකට කොරෝනා වෛසරය ආසාදනය වී ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කොළඹ මැනිං වෙළඳපොළේ සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා අසාදනයවීමෙන් එහි වෙළඳසැල් 23 ක් වසා දමා එහි සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (15) පස්වරුවේ සිදු කෙරුණා.

වැලිගම තරු පහේ හෝටලයක් වසා දැමීමට කටයුතු කර ඇත්තේ, කොරෝනා වැළඳුණු බ්‍රැන්ඩික්ස් ආයතනයේ කළමනාකරුවෙකු ඔක්තෝම්බර් 03 සහ 04 යන දිනවල එහි නවාතැන් ගැනීම සඳහා පැමිණ තිබීම හේතුවෙන්.

මේ වනවිට කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් ආසාදිතයින් 117 ක් වාර්තා වී ඇති අතර, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ගාමිණි රත්නායක මහතා කියා සිටියේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

මේ අතර, මගීන් අඩුවීම නිසා උසස් පෙළ විභාගයෙන් පසු පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

මේ අතර, මුඛ ආවරණ පැළඳ නොසිටි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයින් 50 දෙනෙකු අද (15) දඹුල්ල පොලිසිය විසින් සිය භාරයට ගත් අතර, පසුව අවවාද කර මුදා හැර තිබෙනවා.

ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේ කොරෝනා වසංගත හේතුවෙන් ලබන 31 වනදා දක්වා දිවයිනේ සියලුම සිනමා ශාලා වසා තැබීමට පියවර ගත් බවයි.

පවතින තත්ත්වයත් සමඟ ආරක්ෂක අමාත්‍යංශයටද සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව සීමා කර තිබෙනවා.

එබැවින් ලබන වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරිමේ කටයුතු තවකාලිකව කල් දමා ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කළා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රැඳවියන්ට සිය ඥාතීන් හමුවීම අත්හිටුවා තිබීම හේතුවෙන් හෙට (16) සිට රැඳවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ග ඔස්සේ සිය නිවෙස්වලට නොමිලේ ඇමතීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය අවස්ථාව ලබාදී තිබෙනවා.

++++++++++++++

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා නිවැරදි නිරෝධායන නිර්නායක සකස් කර ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරියට නියෝග කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට සිවිල් සමාජ ක්‍රියාකාරීන් 05 දෙනෙකු අද (15) රිට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එමඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ පවතින කොරෝනා අවදානම හේතුවෙන් ඇඟළුම් සේවක සේවිකාවන් ගැටලු බොහොමයකට මුහුණ දී ඇති බවයි.

දිවුලපිටිය ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වූ මොරටුමුල්ල – ශ්‍රී ප්‍රේමරත්න මාවතේ පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇය වාසය කළ මාවතේ නිවාස 12 ක පුද්ගලයින් ස්වයං නිරෝධානයට ලක් කර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

එසේම, ඇය සමඟ මංගල උත්සවයට සහභාගි වූ පිරිස ගමන්ගත් බස් රථයේ සිටි මොරටුමුල්ල, විල්ලෝරාවත්ත, රාවතාවත්ත, කඩොලාන, එගොඩඋයන සහ කොරලවැල්ල ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසක්ද ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනවා.

මාළිගාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රාසා උපකාරක පන්තියක ගුරුවරුන් දෙදෙනෙකු සහ සිසුන් 28 දෙනෙකු ඊයේ (14) ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනවා. ඒ, නිරෝධායන රෙගුලාසි කඩකරමින් උපකාරක පන්ති පැවැත්වීම හේතුවෙන්.

++++++++++++++

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1770 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයින් 49 දෙනෙකු අද (15) දිනයේ වාර්තා වීමත් සමඟයි.

ඉන් 13 දෙනෙකු නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා ඇඟළුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++

කොරෝනා වසංගත හේතුවෙන් ලබන 31 වනදා දක්වා දිවයිනේ සියලුම සිනමා ශාලා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

එය යළි විවෘත කරන දින වකවානු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++

නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට (16) උදැසන 08:00 සිට රාත්‍රී 10:00 දක්වා විවෘතව තැබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරනවා ෴

***************************************

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘අරුමාහන්දි ජනිත් මධුසංක ද සිල්වා’ හෙවත් ‘පොඩි ලැසී’ නැමැති සැකකරු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (15) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නා.

ඒ, එම දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ අවස්ථාවේදීයි.

මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාර මෙරිල් රන්ජන් ළමාහේවා කරුණු දක්වමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් මත්කුඩු එහි නිලධාරීන් පිරිසක් ජාවාරම් කළ බවට වන සිද්ධියේ විමර්ශන සඳහා මෙම සැකකරුගෙන්ද ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවයි.

ඒ සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරුට රැඳවුම් නියෝග ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරය හිමි වී ඇති බව ඔහු සඳහන් කළා.

එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ‘පොඩි ලැසී’ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත්කරන ලෙසයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ.

දැනට ඔහු ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, එම නඩුව හෙට (16) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා ෴

***************************************

වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හදුගල – කිරමආර හරහා කැකිරියෝබඩ යාකෙරෙන නව පාලම ඉදිකරන තෙක් තාවකාලිකව ඉදිකළ යකඩ පාලම ද දැන් පත්ව ඇත්තේ අබලන් තත්ත්වයකටයි.

2017 වසරේ මැයි මාසයේ ප්‍රදේශයට බලපෑ ජල ගැලීම් හේතුවෙන් මෙහි තිබූ පැරණි පාලම විනාශවී තිබෙනවා.

අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී යහපාලන රජය සමයේ නව පාලමක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කෙරුණේ රුපියල් ලක්ෂ 411 ක පමණ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින්.

නමුත් මේවනවිට එම කටයුතු අතරමග නවතා දමා තිබෙනවා.

තේ, කුරුඳු ආදී අපනයන භෝග වගාවන් සිදුකරමින් දෛනික ජීවනෝපාය සරිකර ගන්නා අවට ගම්මාන රැසක ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

ප්‍රදේශශවාසින් මැසිවිලි නගන්නේ මේ පිළිබඳ අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද නිසි අවධානයක් යොමු නොවන බවටයි.

මහජන මුදල් විශාල ලෙස වැය කරමින් දියත්කෙරෙන මෙවැනි ව්‍යාපෘති අතරමග නතර කරනවා වෙනුවට වැඩ අවසන් කර ජනසතු කිරීම බලධාරීන් සතු වගකීමක් නොවේද..?

***************************************

වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට අයත් කුරුගම ග්‍රාමනිලධාරි වසමේ මොරහෙල ගම්මානයේ පවුල් හැටකට (60) අයත් පුද්ගලයින් දෙසීයකට (200) අධික පිරිසක් මේ වනවිට මුහුණදී සිටින්නේ උග්‍ර පානීය ජල අර්බුදයකටයි.

මිනිසාගේ පැවත්මට පිරිසිදු ජලය අත්‍යවශ්‍ය සාධකයක් වුවත් මොරහෙල ගම්මානයේ ජනතාව දීර්ඝ කාලයක සිට බීමට පවා ගන්නේ අපද්‍රව්‍ය මිශ්‍ර ජලයයි.

ගම්වාසීන් බොහෝ දෙනෙක් අතර නිදන්ගත වකුගඩු රෝගය පැතිර ඇත්තේද එහි ප්‍රතිඵලයක් ලෙසින්.

කෘෂිකර්මය ජිවනෝපායකර ගත් ගම්වාසීන්ට වගා කටයුතු සිදුකිරීම සදහා ද ප්‍රමාණවත් ජල පහසුකම් නැහැ.

තම ගැටලු පිලිබදව බලධාරීන්ට කොතෙකුත් දැනුවත් කලද ඔවුන්ට ලැබී ඇත්තේ ඉටු නොවූ පොරොන්දු පමණයි.

***************************************

මේ වනවිට පරිසර හානි වැඩි වශයෙන් සිදුවන බැවින් එය අවම කිරීම සඳහා ඒ බව දැනුම් දීමට නව දුරකථන අංක 3 ක් හඳුන්වා දී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව 1991 දුරකථන අංකය මගින් පරිසර අමාත්‍යාංශයත්, 1981 දුරකථනය ඔස්සේ මධ්‍යම පරිසර අධිකාරියත්, 1921 යන අංක ඔස්සේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයත් ඇමතිය හැකියි.

එමෙන්ම, අමාත්‍යවරයාගේ පෞද්ගලික දුරකථන අංකය වන 070 755 5666 ට වට්ස් ඇප් පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් මෙන්ම පරිසර හානි සිදුකර ඇති ස්ථාන පිළිබඳ දර්ශන එවන ලෙසයි එම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ෴

***************************************

පරිප්පු, සීනි, ලොකු ලූණු සහ ටින් මාළු වල ආනයනික බදු ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.

එහි සෝදුපත් පරීක්ෂා කිරිම සඳහා ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරියට මේ වන විට යොමු කර තිබෙනවා.

එය අනුමත වී පැමිණි පසු අදාළ ගැසට්ටුව මුද්‍රණය කරන බවයි රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන් මහතා කියා සිටියේ රජය අඩු කළ මිලට භාණ්ඩ ලබාදීමට තවත් සති දෙකක (2) පමණ කාලයක් ගත වන බවයි.

එමෙන්ම, අඩුකළ මිලට අලෙවි කිරීම සඳහා භාණ්ඩ තමන්ට නොලැබෙන බව වෙළදුන් කිහිපදෙනෙකු ද ප්‍රකාශ කළා.

භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණි පාරිභෝගිකයින් කිහිප දෙනෙකු ද මෙලෙස අදහස් දක්වා සිටියා.

සීනි රුපියල් 80 කටත්, ලොකු සැමන් ටින් එකක මිල රුපියල් 200 කටත්, බී ලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 100 මිලකට අලෙවි කරන ලෙසට සහ පරිප්පු සඳහා වන ආනයනික බද්ද ද රජය ඉවත් කරනු ලැබුවා ෴

++++++++++++

දිස්ත්‍රික් ලේකම්වරු හරහා දේශීය ලොකු ලූණු කිලෝවක් රුපියල් 100 කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ලොකු ලූණු සඳහා පනවා තිබූ ආනයනික බදු ඉවත් කිරීමට පෙරේදා (14) තීරණය කෙරුණු අතර, අනතුරුව දේශීය ලොකු ලූණු ගොවීන් ප්‍රකාශ කළේ මේ හේතුවෙන් තම අස්වනු නිසි මිලකට අලෙවි කරගත නොහැකි වී ඇති බවයි.

එම කරුණු සැලකිල්ලට ගනිමින් අනුරාධපුරය, පොලොන්නරුව, වව්නියාව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්ට ලොකු ලූණු කිලෝවක් රුපියල් සියයකට (100) මිලදී ගැනීම සඳහා මුදල් වෙන්කළ බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ.

මේ අතර, වෙළඳ අමාත්‍යාංශයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ සතොස හරහා දේශීය ලොකු ලූණු කිලෝග්‍රෑමයක් රුපියල් 130 ක මුදලකට මිලදී ගැනීමට කටයුතු කරන බවයි.

***************************************

පානදුර – හේනමුල්ල ප්‍රදේශයේදී අධික වේගයෙන් ගමන් කළ යතුරුපැදි දෙකක් (2) පානදුර – උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් කළ ජීප් රථයේ ගැටීමෙන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තුන්දෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් ස්ථානාධිපතිවරයාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදුවී ඇති අතර ඒ සඳහා ශෛල්‍යකර්මයක් සිදුකරන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

ඊයේ (14) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා (2) ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් එක් අයෙකු ද මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අධික වේගයෙන් යතුරුපැදි දෙකක් (2) පානදුර – වලාන ප්‍රදේශයේ සිට පල්ලිමුල්ල ප්‍රදේශය හරහා ධාවනය වන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව පානදුර – උතුර පොලිස් ස්ථානධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායම් එම ස්ථානයට ගොස් ඇත්තේ ඊයේ (14) රාත්‍රී 12 ට පමණයි.

පසුව මාර්ගය අසළ රැදී සිටි තරුණයින් පිරිසක් සෝදිසි කරමින් සිටින අතරතුර වලාන ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණි එක් යතුරුපැදියක් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඇඟේ ගැටී තිබෙනවා.

අනෙත් යතුරුපැදිය ජීප් රථයේ ගැටී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

යතුරුපැදිවල ගමන් කළ දෙදෙනා 18 හැවිරිදි පානදුර – උතුර ප්‍රදේශයේ පදිංචිකරුවන්.

*********************************************

නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනිය අත්සන් තබයි

(15.10.2020 – 17:07 +0530 – hirunews.lk/sinhala)

නව නිරෝධායන නීති ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (15) අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව එම ගැසට් පත්‍රය අද (15) රාත්‍රියේ නිකුත් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට රුපියල් දස දහසකට (10,000) නොවැඩි දඩයක්, මාස 06 ක සිරදඬුවමක් යන දඬුවම් දෙකම (2) හෝ එක් දඬුවමක් ලබාදීමට මෙමඟින් හැකියාව ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම ගැසට් පත්‍රයෙන් ව්‍යාපාරික සහ සේවා ස්ථානවලට ඇතුළුවීම මෙන්ම පවත්වාගෙන යාම පිළිබඳවද කරුණු ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළුවන සෑම තැනැත්තෙකුම මුඛ ආවරණ පැළඳ සිටීම, දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු දුරස්ථභාවයක් පවත්වාගෙන යෑම සේවා ස්ථානයට ඇතුළුවීමට පෙර සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම අනිවාර්ය වනු ඇති.

එසේම, විෂබීජනාශක දියර සමඟ ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීමද සිදුකළ යුතුයි.

සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව, ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමද ඒ අතර වනවා.

එසේම, ඇතුළුවන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ ඔහුව සම්බන්ධ කරගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛණයක්ද පවත්වා ගත යුතු බවයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

++++++++++++

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1789 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

ඉන් 09 දෙනෙකු නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයින් වන අතර, අනෙක් 10 දෙනා ඇඟළුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා ෴

***************************************

ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයා සහ සැලසුම් නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, වැල්ලවාය – හඳපානාගල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ඉඩමේ සැලැස්ම වැල්ලවාය ප්‍රාදේශීය සභා කමිටු රැස්වීමේදී අනුමත කරදීම සඳහා අල්ලස් ලෙස රුපියල් 14,000 ක මුදලක් ලබා ගැනීමට යාමේදීයි.

අදාළ මුදල සැලසුම් නිලධාරීයා විසින් ඉල්ලා ඇති අතර, එය ඌව පළාත් අධ්‍යක්ෂවරයා වෙත ලබාදෙන ලෙසයි සඳහන් කර ඇත්තේ.

ඒ අනුව අදාළ මුදල බදුල්ලේ පිහිටි ඌව පළාත් නාගරික සංවර්ධන අධිකාරී කාර්යාලය තුළදී ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීනි පද්මිණී වීරසූරිය මහත්මිය සඳහන් කළා ෴

***************************************

නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකර අප්‍රමාදව කටයුතු කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණවීරට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද වීම පිළිබඳව කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (15) දහවල් නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේදීයි.

නැවත පදිංචිකිරීමේ අමාත්‍යවරයාව සිටියදී පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේ අවතැන් වූ ඡන්දදායකයින් මන්නාරම ප්‍රදේශයට ශ්‍රී ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම තුළින් මහජන දේපළ සාපරාධී ලෙස අවභාවිතා කිරීම සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීමේ චෝදනා මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට නියෝග කළේ පෙරේදා දිනයේදීයි.

මේ අතර, තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු එහි නිලධාරීන් 07 දෙනෙකු වගඋත්තකරුවන් ලෙස නම් කර ඇති අදාළ පෙත්සමෙන් ඔහු ඉල්ලා ඇත්තේ රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල කර ඇති චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවයි.

තමා අවතැන් වූ ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සිදුකරනු ලැබුවේ එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ අනුමැතිය යටතේ බවයි ඔහු සිය පෙත්සමෙන් අවධාරණය කර ඇත්තේ.

++++++++++++++

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ කොළඹ පිහිටි නිවසේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

+++++++++++

රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට දරණ උත්සාහය දේශපාලන පළිගැනීමක් බව සමගි ජන බලවේගය පවසනවා.

ඒ අනුව එම උත්සාහ හෙළා දකින බවයි සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ අතර රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා.

***************************************

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලයේ කොටසක් විනාශ කර අදට (15) මාස 03 ක් සැපිරීම නිමිත්තෙන් එම ස්ථානයට පැමිණි හස්ති ශෛලපුර රාජසභාව සුරැකීමේ ජනතා පවුරේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික නාමල් කරුණාරත්න සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ට පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

අද (15) එම ස්ථානයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව කුරුණෑගල පොලිසිය අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේ පොලිසිය සහ හස්ති ශෛලපුර රාජසභාව සුරැකීමේ ජනතා පවුරේ කැඳවුම්කරු, නාමල් කරුණාරත්න ඇතුළු පිරිස අතර කතාබහක් සිදුවූ අතර, ප්‍රදේශවාසීන්ද ඔවුන්ට දැඩි විරෝධයක් එල්ල කළා.

*********************************************

ඇමති මහින්දානන්දට මුදල් දුන්නේ නීත්‍යානුකූල ලෙසයි – සී.අයි.ඩී.ය අධිකරණයට කියයි

(15.10.2020 – 20:49 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේට ලබාදී තිබුණේ විධිමත් ක්‍රියා පටිපාටියට අනුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ, අමාත්‍යවරයාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩුවක් අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරිගෙන් විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි හරස් ප්‍රශ්න විමසා සිටියා.

මෙම විමර්ශනවලදී විත්තිකාර මහින්දානන්ද අලු‍ත්ගමගේ ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳව විමර්ශනයක් සිදු කළේ දැයි එහිදී ඔහු ප්‍රශ්න කළා.

විත්තිකරුගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු නොකළ බව සාක්ෂිකරු එහිදී පිළිගත්තා.

විත්තිකරුගේ පියාට අයත්ව තිබූ රත්නපුරයේ පිහිටි ඉඩම් අක්කර 92 ක්, මාතර ප්‍රදේශයේ පිහිටි ඉඩම් අක්කර 44 ක් සහ තේ කර්මාන්ත ශාලාවක් යනාදිය වර්තමානයේ විත්තිකරුට අයත්ව තිබෙන අතර, ඉන් විත්තිකරුට ලැබුණු ආදායම් පිළිබඳව මෙම විමර්ශනය මගින් සොයා බැලු‍වේ දැයි ලද්දුහෙට්ටි ප්‍රශ්න කළා.

සාක්ෂිකාර විශ්‍රාමික පොලිස් පරීක්ෂක පද්මසිරි සඳහන් කළේ තමා එම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් නොකළ බවයි.

විත්තිකරු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකරන්නේ නම්, ඔහුට අයත් දේපළ පිළිබඳවද විමර්ශනය කිරීම ඉතාම අත්‍යවශ්‍ය නොවේදැයි ජනාධිපති නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු කියා සිටියේ එම කරුණු පිළිබඳ තමා විමර්ශනය නොකළ බවයි.

මෙම නඩුවේදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන රුපියල් ලක්ෂ 39 ක මුදල අදාළ වෘත්තීය සමිතියේ මහා සභාව විසින් නීත්‍යනුකූල අන්දමින් විත්තිකරු වෙත ණය මුදලක් වශයෙන් ලබාදී තිබූ බව විමර්ශනවලින් හෙළි වූයේ දැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා.

අදාළ මුදල ණය මුදලක් වශයෙන් විත්තිකරු වෙත ලබාදී තිබු බව විමර්ශනවලදී හෙළි වූ බවයි පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ.

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එහිදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සාක්ෂිකරු, මෙම නඩුවට පාදක වන රුපියල් ලක්ෂ 39 ක මුදල විත්තිකාර මහින්දානන්ද අලු‍ත්ගමගේ වෙත අදාළ වෘත්තීය සමිති විසින් ලබාදී තිබුණේ විධිමත් ආකාරයකට බවද සඳහන් කළා.

ඔහු පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම වෘත්තියේ සමිති කිසිදු සාමාජිකයෙක් මේ දක්වා පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර නොමැති බවයි.

මෙම විමර්ශනය සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු හා දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු වූ වසන්ත සමරසිංහ කළ පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

මෙම සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වීමෙන් පසුව පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ අධිකරණයට දන්වා සිටියේ මීළඟ නඩු දිනයේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කරමින් දීමනා ලබාගෙන තිබූ බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ පසුගියදා හෙළිවී තිබුණා.

නඩුවට අදාළ පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන්වීමෙන් පසු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තමා ඉල්ලීමක් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණයට දැනුම් දුන්නේ.

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *