කළු ගඟේ නිධානය රාජ්‍ය ඇමති දෙපලගේ බූදලයක් වෙයි වගේ

කළු ගඟේ නිධානය රාජ්‍ය ඇමති දෙපලගේ බූදලයක් වෙයි වගේ

පෑලියගොඩ හා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 9,492 දක්වා ඉහළට

*********************************************

කළු ගඟේ නිධානය රාජ්‍ය ඇමති දෙපලගේ බූදලයක් වෙයි වගේ

(06.11.2020 – aruna.lk)

මෙරට ගංගා පද්ධතිය අතුරින් කළු ගඟට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ශ්‍රී පාද රක්ෂිත කලාපයෙන් ආරම්භ වන කළු ගඟ දිගින් කිලෝමීටර් 129 කි. කළුතර නගරය අසලින් මුහුදට වැටෙන කළු ගඟ වඩා සුවිශේෂී වීමට හේතුවී තිබෙන්නේ සමස්ත ශ්‍රී ලංකාවම දියුණු කළ හැකි දකුණු ආසියාවේ විශාලතම මැණික් සංචිතය මේ ගඟ ආශ්‍රිතව තිබෙන නිසාය.

නමුත් අද වෙද්දී මේ දැවැන්ත මැණික් සංචිතය සිය බූදලයක් කරගන්නට වර්තමාන රජයේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙකු කටයුතු කරමින් සිටිති. කළු ගඟේ පරිසර පද්ධතියට දැවැන්ත හානියක් සිදු කරමින්, අධි බලැති යන්ත්‍රෝපකරණ යොදාගෙන මේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගේ හෙංචයියන් හොර රහසේ කළු ගඟ විනාශ කරන්නේ ප්‍රදේශය භාර ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ රැකවල් මැද්දේය.

කිරිඇල්ල, හැරනියාවක ප්‍රදේශයෙන් කළු ගඟ හීන් සැරේ ගලා යද්දී ගලතුරු ගඟ නමැති අතු ගංගාව එකතුවෙයි. කළු ගඟට ගලතුරු ගඟ එකතුවන මෝය කට පිහිටා තිබෙන ස්ථානය ඉතා ගැඹුරුය. මේ ප්‍රදේශයේ මැණික් ව්‍යාප්තිය කොතරම්දැයි කිවහොත් මෝය කට ආශ්‍රිත ගොඩ ඉඩම්වල පතල් කපා තට්ටු හතළිස් ගණන් යද්දී ඉල්ලම් හමුවීම සුලබ කාරණයකි. මේ සියලු ඉල්ලම් දිව යන්නේ කළු ගංගාව දෙසටය. මෝය කට ආසන්නයේ විශාල වශයෙන් මැණික් ඉල්ලම් හමුවීම නිසා ප්‍රදේශවාසීන් මේ ස්ථානය හඳුන්වනු ලබන්නේ ‘නිධානය’ යන නාමයෙනි. ඒ නිසා මෝය කට ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ද හොර රහසේ මැණික් ඉල්ලම් සෙවීමට පුරුදුවී සිටිති.

නිධානය නමින් හඳුන්වනු ලබන ස්ථානයේ භූ ගෝලීය පිහිටීම අනුව ඒ ආශ්‍රිතව මැණික් බහුලව පිහිටා ඇති බවට පරිසරවේදීහු පවසති. මෙම ස්ථානයේ සිට කළු ගඟේ කිලෝමීටර් කීපයක් යනතුරුම මැණික් තිබෙන බව ප්‍රදේශවාසීන් පවසන්නේ සිය අත්දැකීමෙනි. ඒ අනුව ගත් කල දකුණු ආසියාවේ විශාලතම මැණික් සංචිතය පිහිටා ඇත්තේ මේ ප්‍රදේශය ආශ්‍රිතවය.

මෙම ස්ථානය මීට වසර කීපයකට පෙරදී කොටස් කර වෙන්දේසී කිරීමට සැලසුම් කළද පරිසරවේදීන් ඊට දැඩි විරෝධයක් දැක්වීම නිසා එම සැලසුම ලත් තැනම ලොප් විය. අනතුරුව විශේෂ කාර්ය බළකායට කළු ගඟේ නිධානය ආශ්‍රිත ප්‍රදේශය ආරක්ෂා කිරීමේ කටයුතු පැවරුණි. දිගින් දිගටම හොරෙන් මැණික් ගැරීමේ කටයුතු වළැක්වීමට විශේෂ කාර්ය බළකාය කටයුතු කරමින් සිටී.

නමුත්, හොර රහසේ මැණික් ගැරීමේ කටයුතු දිනෙන් දින වැඩිවී තිබේ. පායන කාලයේදී ප්‍රදේශයේ ඇතැමුන් හොර රහසේ නිධානය නමැති ස්ථානයට පැමිණ ගඟේ වැලි අදින්නේ හතර පස්දෙනා එකතුවීමෙනි. උදැල්ලකට අඩි පනහක් හැටක් පමණ දිගැති රිටි සකස් කරගෙන කීප දෙනෙකු එකතුවී ගඟ හාරති. මෙලෙස හාරන ලද වළවල් වැසි කාලයේදී වැල්ලෙන් පිරී යන්නේය.

නමුත්, අද වන විට තත්ත්වය ඊටත් වඩා බරපතළ වී තිබේ. අද මැණික් සෙවීමේ කටයුතු සිදු කෙරෙන්නේ ‘ෂකර්’ ආදී අධි බලැති යන්ත්‍රෝපකරණ යොදා ගනිමිනි. ආරක්ෂක අංශ වලට කොටු නොවීම සඳහා මතුපිටට ජල බුබුළු මතු නොවන උපකරණ සහිත ඇඳුම් ඇඳගෙන දියයටින් ගොස් මැණික් ඉල්ලම් සෙවීමට පවා ඇතැමුන් කටයුතු කරති. මේ සියලු කටයුතු සිදු කෙරෙන්නේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාගේ පූර්ණ ආරක්ෂාව මැදය. ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ බලධාරීන්ද නිරන්තරයෙන් සහාය දක්වන බව පැවසේ.

මෙලෙස මැණික් ඉල්ලම් සෙවීම සඳහා ‘ෂකර්’ වැනි යන්ත්‍ර යොදා ගැනීම නිසා, මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල සහ කලවාන ආසන වෙන් කෙරෙන පාලමද අවදානමකට ලක්ව ඇත. කළු ගඟේ නිධානය නමැති ස්ථානයට මීටර් 750 ක් පමණ පහළින් මෙම පාලම පිහිටා ඇත්තේය. ‘ෂකර්’ වලින් නිකුත් වන අධි පීඩනය නිසා මෙම පාලමේ කණු ගිලා බැස කොයි මොහොතක හෝ කඩා වැටී විශාල හානියක් සිදුවීමේ අවදානම් තත්ත්වයක්ද පවතී. දේශපාලඥනයන්ගේ හෙංචයියන්ට අවශ්‍ය වී ඇත්තේ ප්‍රදේශයේ ජනතාව බිල්ලටදී හෝ මැණික් සම්පත දේශපාලනඥයන් අතට පත්කිරීමටය.

කෙසේ නමුත්, මෙලෙස මහා පරිමාණයෙන් මැණික් ගැරීම නිසා කළු ගඟට දැඩි හානියක් සිදුවී ඇති බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ බලධාරීන්ද පිළිගෙන තිබේ. මෙම දැවැන්ත පරිසර හානිය පිළිබඳව මුල් වරට ‘දිනපතා අරුණ’ පුවත්පත ඉකුත් 03 වැනිදා අනාවරණය කළේය.

ඉකුත් සතියේ දිනක ඉහතකී දේශපාලනඥයන්ගේ ගෝල බාලයන් කළු ගඟ ආශ්‍රිතව ‘ෂකර්’ යන්ත්‍ර යොදාගෙන මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටියදී විශේෂ කාර්ය බළකායේ සේනා විධායක නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකරන ලදි. මෙහිදී ‘ෂකර්’ යන්ත්‍ර සහ තවත් උපකරණ කීපයක් තම භාරයට ගැනීමට ඔවුන් කටයුතු කරන ලදි. මෙම වැටලීමෙන් අනතුරුව දේශපාලනඥයෙකු දිගින් දිගටම විශේෂ කාර්ය බළකායට බලපෑම් කර සිටියේ මෙම ස්ථානයේ වැටලීම් නොකරන ලෙසය. මොන බලපෑම් එල්ල වූවත් අනවසර මැණික් ජාවාරම නතර කිරීම සඳහා විශේෂ කාර්ය බළකාය කටයුතු කරමින් සිටී.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විශේෂ කාර්ය බළකායට නියෝග කර ඇත්තේ දේශපාලන බලය යොදා මැණික් ඉල්ලම් ගොඩ දැමීමේ කටයුතු වහා වැළැක්වීමට පියවර ගන්නා ලෙසය.

කිරිඇල්ල, හැරනියාවක ප්‍රදේශයේ සිදුවන අනවසර පතල් හෑරීම නතර කිරීම සඳහා එම කොටස මැනුම්ගත කර නීත්‍යනුකූලව මැණික් ගැරීම සඳහා අවසරය ලබා දීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ වෙද්දී තීරණය කර ඇත. නමුත් ගැටලුව වන්නේ වෙන්දේසියේදී මැණික් ඉල්ලම් හෑරීමේ කටයුතු යළි භාර ගන්නේ ඉහතකී දේශපාලනඥයන් විසින්ම වන නිසාවෙනි.

මෙම ස්ථානය රජය විසින්ම මැණික් ගැරීමේ කටයුතු සිදුකර මැණික් වලින් ලැබෙන ආදායම රජය යටතටම ලබා ගැනීමේ හැකියාව පවතී. මේ පිළිබඳව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ගෙන් විමසීමේදී කියා සිටියේ ඒ සඳහා මැණික් හා ස්වර්ණාභරණ පනතින් අවස්ථාවක් සලසා නොමැති බවය. කෙසේ නමුත්, හෙට අනිද්දා කළු ගඟේ නිධානය වෙන්දේසියකින් ජාවාරම්කරුවන් අතට පත්වන බව නම් නිසැකය.

සාලිය කුමාර ගුණසේකර

***************************************

(07.11.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින සහල් මාෆියාවට මුහුණදීම සඳහා රජය කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

ගන්නෝරුවේ ඊයේ (06) පැවති කුඹුරු අස්වැද්දීමේ අවස්ථාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අනුමත මිලට සහල් අලෙවි නොකරන පිරිස් සොයා වැටලීම් ක්‍රියාත්මක බවයි.

සහල් අලෙවි කළ හැකි උපරිම මිලක් නියම කරමින් පසුගියදා නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ලබන සතියේ සිට පිටකොටුව ඇතුළු සියලුම වෙළඳසැල් වලින් සහල් මිලදී ගැනිමට හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාළ ගැසට් නිවේදනයේ මිල ගණන් සම්බන්ධයෙන් ඊයේ (06) පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් හිමියන් හා සහල් නිෂ්පාදකයින් දැනුවත් කිරීමේ අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන්ට සහල් අලෙවි කළ හැකි උපරිම මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, සූදුරු සම්බා හැර සියලු සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 94 ක උපරිම මිලකට අලෙවි කළ යුතු වන අතර, නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 92 ක උපරිම මිලක් ද නියම කෙරුණා.

කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා නියම කර ඇති උපරිම මිල වන්නේ රුපියල් 89 ක් ෴

***************************************

(07.11.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ඉහළ ගොස් තිබු දිවයිනේ වායු දූෂණය අද (07) වනවිට සීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළා.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියේ යළි ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ වාහන ධාවනය අඩුවීම සහ කාර්මික කටයුතු අඩු වීම මෙන්ම, වැසි සහ සුළං සහිත කාලගුණය ඊට හේතු වී ඇති බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය වායු දූෂණය සහ කාබන්ඩයොක්සයිඩ් මට්ටම සීඝ්‍ර ලෙස පහත වැටුණා.

නිව්යෝක් හි පර්යේෂණ කණ්ඩායමක් සඳහන් කළේ පසුගිය වසරට සාපේක්ෂව මෝටර් රථවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය මෙම වසරේදී සියයට 50 කින් පමණ අඩුවී ඇති බවයි ෴

***************************************

(07.11.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

තලවාකැලේ – ලිඳුල නගර සභාව යටතේ පවතින තලවාකැලේ – ලිඳුල සමූපකාරය සතු කල් ඉකුත් වූ පරිප්පු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක් මුද්‍රා තැබීමට මධ්‍යම පළාත් සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාලයේ විමර්ශන නිලධාරින් කටයුතු කළා.

ඒ, මධ්‍යම පළාත් සහකාර පළාත් පාලන කොමසාරිස්වරයා වෙත පාරිභෝගිකයින් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව, එම කාර්යාලයේ විමර්ශන නිලධාරින් හා තලවාකැලේ ලිඳුල නගර සභාවේ ලේකම්වරයා විසින් ඊයේ (06) අදාළ කල් ඉකුත් වූ ආහාර තොගය ගබඩා කර ඇති බව කියන ගොඩනැගිල්ල පරීක්ෂාවට ගොස් ඇති අතර, එහිදී සමූපකාරය මගින් අදාළ ගොඩනැගිල්ල වසා ඉබි යතුරු දමා තිබූ නිසා එම ගොඩනැගිල්ලට මුද්‍රා තැබීමට ඔවුන් පියවර ගෙන තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තලවාකැලේ ලිදුල නගර සභාවේ ලේකම් පී.බී.ඕ. බණ්ඩාර මහතා කියා සිටියේ සහකාර කොමසාරිස්වරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි ෴

***************************************

(07.11.2020 – 09:56 +0530 – hirunews.lk/sinhala)

කළුතර දකුණ – හීනටියන්ගල සෙන්ට්‍රල් මංසන්ධියේදී ජීව අත්බෝම්බ 01 ක්, ටී-56 පතොරම් දෙකක් (2), කඩු 04 ක් සහ මන්නා පිහි 06 ක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ නිලධාරීන් විසින් ඊයේ (06) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කලමුල්ල, නාගොඩ සහ මතුගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 ත්, 36 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඔවුන් අද (07) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(07.11.2020 – 11:11 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා වන අයවැය විවාදයේ කටයුතු තීරණය කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ලබන සතියේ කැඳවා තිබෙනවා.

ඒ සඳහා පක්ෂ නායකයින් ද කැඳවා ඇති අතර, එම රැස්වීමේදී අයවැය විවාදය පවත්වන නිශ්චිත දින ගණන සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

2021 අයවැය ලබන 17 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හමුවේ එම විවාදය දින 10 කටත් අඩු සංඛ්‍යාවකට සීමාවනු ඇති බව ආරංචි මාර්ග අනාවරණ කළා.

සාමාන්‍යයෙන් අයවැය විවාදයක් මාසයක් පුරා පැවැත්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය වුව ද, මෙවර පවතින කොරෝනා අර්බුදය හමුවේ එය සීමාවනු ඇති බවයි ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙකු ද සඳහන් කළේ.

මේ අතර, 2020 වසර සඳහා වන අයවැය ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය එදිනම විවාදයට ගෙන අවසන් කරනු ඇති.

එසේම, පාර්ලිමේන්තු සභාවේ දෙවන රැස්වීම ලබන අගහරුවාදා පෙරවරු 10 ට කතානායක නිල නිවසේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

***************************************

(07.11.2020 – 11:48 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – කටුගස්තොට මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඒ අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (06) රාත්‍රී 10:45 පමණ එම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

එම අනතුරෙන් ඉන්ධන පිරවුම්හලට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

***************************************

දේශප්‍රේමය ඉස්සරහට දාගෙන මේ ආණ්ඩුව රට විකුණනවා – පූජ්‍ය මැඩිල්ලේ හිමි (05-11-2020)

++++++++++++++

Billionaire Adani set to develop Sri Lanka’s port terminal

*********************************************

පෑලියගොඩ හා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 9,492 දක්වා ඉහළට

(07.11.2020 – 08:10 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 400 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 12,970 දක්වා ඉහළ ගියා.

ඊයේ (06) වාර්තා වූ ආසාදිතයින් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව එම පොකුරුවලින් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9,492 ක්.

එමෙන්ම, වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ (06) තහවුරු කළා.

ඒ අතර, කාන්තා රැඳවියන් විසි දෙදෙනෙකු (22) වනවා.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් අවදානමකට මුහුණ දී ඇති බන්ධනාගාර රැඳවියන් ඉන් ආරක්ෂා කරගැනීම සඳහා බන්ධනාගාර තුළ පවතින තදබදය අවමකර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (06) අමාත්‍යංශයේදි පැවැත්වුණා.

එහිදී රස පරික්ෂක වාර්තා ප්‍රමාද වී ඇති රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රැඳවියන් 8,302 දෙනෙකුගේ එම වාර්තා කඩිනම් කර, ඔවුන් සම්බන්ධ අධිකරණ පියවර ක්‍රියාත්මක කිරීම කෙරෙහි රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අවධානයට ලක් වුණා.

එසේම, මෝදර ධීවර සංස්ථාවේ සේවකයන් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පෙරේදා (05) දිනයේදී එම ධීවර සංස්ථාවේ සේවකයින් පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇති අතර, ඉන් අනතුරුව එහි සේවකයන් කීපදෙනෙකු සේවා කටයුතු සඳහා පොළොන්නරුව, හිඟුරක්ගොඩ ධීවර සංස්ථා ශාඛා වෙත යොමුකර තිබෙනවා.

ඊයේ (06) දිනයේදී අදාල පී.සී.ආර්. වාර්තා පැමිණීමත් සමඟ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙම ධීවර සංස්ථාවේ සේවකයින් 4 දෙනා වැලිකන්ද මූලික රෝහල වෙත යොමුකළ බවයි හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති මෙම ධීවර සංස්ථාවේ සේවකයින් 4 දෙනා කළුතර සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය අනුව මූලික පොකුර ආශ්‍රිතව අනු පොකුරු වර්ධනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුන්වන මට්ටමේ සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (06) ප්‍රකාශ කළා. ඒ අනුව සැකසූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශද ඊයේ (06) නිකුත් කර තිබෙනවා.

කොරෝනා අවදානම හමුවේ සිදුකළ යුතු පොදු ක්‍රියාකාරකම් එමඟින් දක්වා ඇති අතර, නිවසින් පිටත්ව යා හැකි සංඛ්‍යාව, පොදු ප්‍රවාහන කටයුතු සහ කාර්යාල කටයුතු මෙන්ම අනෙකුත් කර්මාන්තවලට අදාළ මාර්ගෝපදේශ ඊට ඇතුළත්.

එමෙන්ම, කොළඹ මහ නගර සභාව තුළ වාර්තා වන කොරෝනා අසාදිතයින් ප්‍රමාණය ඉහළ යාම පාලනය කිරිම සඳහා මේ වනවිට නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කර ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා ෴

+++++++++++++++++

(07.11.2020 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඊයේ (06) දිනයේ පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 21 ක් බවයි.

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 2,600 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් රථවාහන සංඛ්‍යාව 403 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ෴

+++++++++++++++++++++

(07.11.2020 – 08:22 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි ලබන වසරේ ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළා.

මේ අතර, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සහ සියලුම පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්වුණා.

එහිදී සියලු පාසල්වල සිසුන් සියයට 50 බැගින් ගෙන්වා ගෙන පාසල් වේලාව වෙනස් නොකර, දුරස්ථභාවය සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් විමසා තිබෙනවා.

කෙසේ වෙතත්, පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ නොලැබුණහොත් අධ්‍යාපන කටයුතු අඛන්ඩව කරගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමුවුණා.

රජයේ පාසල්වල තුන්වන (3) වාරය නොවැම්බර් 9 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය සති දෙකකට (2) කල් තැබුණා ෴

++++++++++++++++++++

(07.11.2020 – 08:28 +0530 – hirunews.lk/sinhala)

ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද (07) සහ හෙට (08) වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම ප්‍රදේශවල ජනතාව සති අන්තයේ සංචරණය සීමා කර නිවසටම වී ගත කළ යුතු බවයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ජනතාව ද නිරෝධායන රීති අනුව කටයුතු කළ යුතු බවටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කළා.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කෙරුණු කළුතර දිස්ත්‍රික්කයේ මතුගම – බදුගම නව ජනපදය ඊයේ (06) පස්වරුවේ සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා.

කෙසේ වෙතත්, බස්නාහිර පළාත සහ කුලියාපිටිය මෙන්ම ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශ හා කුරුණෑගල මහනගර සභා සීමාවට පනවා ඇති, නිරෝධායනය ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

එසේම, ගිරිඋල්ල, සහ මාවනැල්ල, හෙම්මාතගම යන පොලිස් බල ප්‍රදේශ තවමත් හුදකලා ප්‍රදේශ ලෙසටයි නම්කර ඇත්තේ.

මේ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වුණු, ඇදිරි නීතිය ක්‍රියාත්මක කුරුණෑගල – නගරයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පොලේ සවි කර ඇති රූපවාහිනි තිරයක අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයා ද පොලීසියට දැනුම්දී ඇති අතර, එම නගර සභාවේ ආරක්ෂක අංශ ප්‍රධානියා විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

එසේම, කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හමුවේ තලාතුඔය නගරයේ වෙළඳසැල් අද (07) සිට දින 3 ක් වසා තැබීමට තීරණය කළ බව තලාතුඔය වෙළඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා සඳහන් කළා.

දැනට එම ප්‍රදේශය ආශ්‍රිතව ආසාදිතයින් 7 දෙනෙකු පමණ වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් කිහිපදෙනෙකු නගරයේ වෙළඳසැල් වෙත සංචරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

++++++++++++++++++++++

(07.11.2020 – 10:21 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු අද (07) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් 18 දෙනෙකු පැමිණ ඇත්තේ දෝහාකටාර් සිටයි.

ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අතර, අබුඩාබි සිට එක් (1) පුද්ගලයෙකු මෙරටට පැමිණි බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඔවුන් සියලුදෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

මේ අතර ඊයේ (06) දිනය තුලදී මෙරට තුළ පී.සී.ආර්. පරීක්ෂණ 11,824 ක් සිදුකර ඇති අතර, මේ වනවිට සිදුකර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 5,80,598 ක් වනවා ෴

++++++++++++++++++++

(07.11.2020 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කරනු ලැබුවේ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන්.

ඊයේ (06) දිනයේදී කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී 58 හැවිරිදි මෙම වෛද්‍යවරයාට සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද (07) දහවල් අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා ෴

පැරණි බෝගම්බර බන්ධනාගාරයට යොමුකර සිටි රැඳවියන් 7 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

ඔවුන් වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා ෴

+++++++++++++++++++

පුද්ගල දුරස්ථභාවය ගැන අලුත් අනාවරණයක්

(07.11.2020 – 09:31 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයෙකු කිවිසුම් යවනවිට නිකුත්වන කෙළ බිඳිතිවලට අඩි හයකට (6) වඩා දුරක් ගමන් කළහැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

කිවිසුම්යවන පුද්ගලයාට වඩා උසින් අඩු අයට, විශේෂයෙන්ම ළමයින්ට එම බිඳිතිවලින් වැඩි අවදානමක් පවතින බවත් එහිදී හෙළිවී ඇත.

එබැවින් යොවුන් වියේ පසුවන අය හා උසින් අඩු පුද්ගලයන් සමග උසින් වැඩි අය මීටර් දෙකක (2) පරතරයක් පවත්වාගත යුතු බව අදාළ වාර්තාවෙන් පෙන්වා දෙයි ෴

++++++++++++++++++++

‘වගකියන්න ඕන ජනතාව නෙමයි – කොරෝනා ඉවරයි කියලා උත්සව තිබ්බා ජනපති ඇතුළු ආණ්ඩුව’ (06-11-2020)

+++++++++++++++++

(07.11.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පිරිමි රැදවියන් 7 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා කියා සිටියේ ආසාදිත රැඳවියන් හත්දෙනාම වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඩකඩ සීමිත වීමත් සමඟ එහි රැඳවියන්ට පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවුණා.

ඒ අනුව, එලෙස යැවූ රැදිවියන් පිරිසකටයි මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.

මේ අතර, වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (06) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 300 තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවුණු බව ද බන්ධනාගාර පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *