විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විෂය නිර්දේශ ඉගැන්වීමට යයි

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විෂය නිර්දේශ ඉගැන්වීමට යයි

සති පොළක දිවි ගෙවන හිසට සෙවනක් නොමැති අසරණ වූ පවුල

*********************************************

විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විෂය නිර්දේශ ඉගැන්වීමට යයි

(09.11.2020 – 15:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය හේතුවෙන් අඩපණ වී ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉගැන්වීම් ත්‍රෛභාෂාවෙන් ලබන 15 වන දින සිට විද්‍යුත් මාධ්‍ය සහ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ වැඩසටහනක් සකස් කර තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි එම් සේදර මහතා කියා සිටියේ රූපවාහිනී නාලිකාවල සහය ඒ සඳහා මේ වනවිටත් ලැබී ඇති බවයි.

ඒ අනුව දිවා කාලයේ දී ප්‍රාථමික අංශයේ 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා ප්‍රධාන විෂයන් ද, 6 සිට 11 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන් ද, උසස් පෙළ සියලු විෂය ධාරාවන්ගේ ප්‍රධාන විෂයන් සඳහා ද සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශන කටයුතු ලබන 15 වන දින සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

2020 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරය සඳහා අදාළ ශ්‍රේණිවල විෂයන්ට අදාළව විෂය නිර්දේශය අනුව වැඩසටහන් සකස් කර ඇති බවයි ආධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනේ.

නොවැම්බර් 15 වන දිනට පෙර, ශ්‍රේණි සහ විෂයන්ට අදාළ විකාශන කටයුතු සිදුවන නාලිකා සහ කාලසටහන පිළිබඳව පසුව දැනුවත් කරනු ඇති.

මෙම අධ්‍යාපන වැඩසටහන් රජයේ ප්‍රමුඛ පාසල්වල ප්‍රවීණ ගුරුවරුන් විසින් සම්පාදනය කර නිෂ්පාදනය කරනු ලබන අතර, විෂය අධ්‍යක්ෂවරුන් විසින් අධීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා ෴

++++++++++++++++++

ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට දැනුම්දීමක්

(09.11.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගතය හමුවේ වුවත් සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මනු කියවීම සහ බිල්පත් නිකුත් කිරීමට සිය නිවෙස් වෙත පැමිණෙන නිලධාරියාට සෞඛ්‍යාරක්ෂිතව ඔහුගේ රාජකාරිය සිදුකිරීමට ඉඩ ලබාදෙන ලෙසයි.

මනු සටහන්කරු සමඟ කතා කිරීම හෝ හමුවීම අවම කරන ලෙසත්, බිල්පත සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් එහි සඳහන් දුරකථන අංකයෙන් විමසන ලෙසත් එම මණ්ඩලය දැනුම් දෙනවා.

එමෙන්ම, www.waterboard.lk වෙබ් අඩවිය ඔස්සේ ද ජල බිල්පත් ගෙවිය හැකි බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ ෴

++++++++++++++++

(09.11.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරසය ජන ජීවිතයට මෙන්ම මෙරට ආර්ථිකයටද එල්ල කර ඇත්තේ සුළුපටු බලපෑමක් නොවේ.

ධීවර කර්මාන්තයේ නියැලෙන පිරිස් මෙම වසංගත තත්ත්වයෙන් සෘජු බලපෑම් එල්ල වී ඇති පාර්ශ්වයක්.

දිවි පරදුවට තබා මහ සයුර හා ගැටෙන මේ පිරිසට අද වනවිට අත්ව ඇති ඉරණම පිළිබඳවයි මේ අනාවරණය.

+++++++++++++++++

(09.11.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – පූජාපිටිය ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මෝදර පොලිස් ස්ථානයේ සේවය කර ඇති ඔහු, ස්ථාන මාරුවක් ලබා පසුගිය 3 වනදා පූජාපිටිය ප්‍රජා පොලිස් ඒකකයේ වැඩභාරගෙන ඇති අතර, ඊට පසුදින ඔහු නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්.

ඒ අතරතුර සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේදී මෙම උප පොලිස් පරීක්ෂකවරයාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

ඔහු මේ වනවිට ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(09.11.2020 – 14:24 +0530 – hirunews.lk/sinhala)

නිකවැරටිය නගරයේ සියලු වෙළඳසැල් අද (09) සිට දින තුනක (3) කාලයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු නගරයේ වෙළඳසැල් වෙත පැමිණ ඇති බවට තහවුරුවීමත් සමඟයි.

පසුගිය ඔක්තෝම්බර් මස 20 වනදා සිට එම නගරය තුළ පවුල් 125 ක් නිරෝධායනය අවසන් කර ඇති අතර, තවත් පවුල් 98 ක් නිරෝධායනයට යොමුකර ඇති බවයි නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගාමිණී එදිරිසිංහ මහතා සඳහන් කළේ ෴

තවත් ආසාදිතයින් 595 දෙනෙකු අද (09) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 8880 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 5014 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 13,929 ක් ෴

කොවිඩ් ආසාදනය වී ඇති වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ සංඛ්‍යාව 99 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ෴

++++++++++++++++

(09.11.2020 – 17:25 +0530 – hirunews.lk/sinhala)

කඩුවෙල මහ නගර සභාවේ රියදුරෙකුටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පසුගිය සෙනසුරාදා නගර සභා සේවකයන්ට සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල අද (09) පෙරවරුවේ ලැබී ඇති අතර, එහිදී අදාළ රියදුරා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අදාළ රියදුරා නගර සභාවට පැමිණ නැහැ.

එහෙත් අද (09) පෙරවරුවේ එම රියදුරා නගර සභා පරිශ්‍රයට පැමිණීම හේතුවෙන් පැය කිහිපයක් එය වසා දමා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සේවා සඳහා විවෘත කළ බවයි නගරාධිපතිවරයා කියා සිටියේ.

එමෙන්ම ආසාදිත රියදුරාගේ ආශ්‍රිතයන් අටදෙනෙකු (8) ද නිරෝධායනය සඳහා යොමුකළ බව ඔහු ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය නිර්දේශ ලැබෙනතුරු පිටකොටුව – මැනිං පොදුවෙළඳපල විවෘත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා ෴

++++++++++++++++

කොවිඩ් මර්දනය කළ හැකියි – අවශ්‍යවන්නේ මහජන සහයයි – ජනපති කියයි

(09.11.2020 – 17:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

“කොවිඩ් වසංගතය සෞඛ්‍ය ගැටළුවක්. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරනවා,”

“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප තුනක් තිබෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ‘ලොක් ඩවුන්’ කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය,”

“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාරදෙමින් පළමු අදියරේදීම සුවපත්කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍යම නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකීසිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුයි,”

“කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතුය. දින 40 කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනීයන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි,”

“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළ යුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ථ ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරුවීමෙන් වැළකීසිටීමට පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්” යනුවෙන් ජනාධිපතිවරයා පවසා සිටියා ෴

++++++++++++++++

(09.11.2020 – 17:52 +0530 – hirunews.lk/sinhala)

මූලික පරීක්ෂණයකට අනුව Pfizer and BioNTech විසින් නිපදවන ලද පළමු කොරෝනා වෛරසයට එරෙහි එන්නත මඟින් 90% කට වැඩි පිරිසකට කෝවිඩ් ආසාදනය වීම වළක්වා ගත හැකි බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා ෴

+++++++++++++++++

(09.11.2020 – 18:05 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල සහ කුලියාපිටියේ ග්‍රාම නිලධාරී වසම් 05 ක් හැර අනෙක් ප්‍රදේශ හුදකලා බවින් මුදා හැරේ.

කුරුණෑගල මහා නගර සභා බල ප්‍රදේශයේ සහ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් පහක් (5) හැර අනෙක් ප්‍රදේශ හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කුරුණෑගල මහ සභා බල ප්‍රදේශයේ ඉලිප්පු ගෙදර සහ කඩවීථිය ග්‍රාම නිලධාරී වසම් හැර එම නගර සීමාවේ අනෙකුත් ප්‍රදේශ මෙන්ම කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර, හම්මලව සහ ඉහළ කළුගොමුව යන ග්‍රාමනිලධාරී වසම් හැර සෙසු ප්‍රදේශ මෙලෙස හුදකලා බවින් මුදාහැරීමට පියවර ගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර බස්නාහිර පළාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද (09) අලුයම 5 ට ඉවත් කෙරුණු නමුත්, අදාළ ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු සහ අනෙකුත් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණේ නැහැ.

ඇතැම් වෙළදසැල් වසා දමා තිබූ අතර මගී ප්‍රවාහන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුනොවූ බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

ඇතැම් බස් රථවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමකින් තොරව මගීන් රැගෙන යන අයුරු දක්නට ලැබුණා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ බොහෝ දුම්රිය ස්ථානවල දෑත් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා නොතිබූ බවයි.

මේ අතර, කාර්යාල ප්‍රවාහන පහසුකම් සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අවශ්‍ය නම් 077 105 6044 යන අංකයට ඇමතීමෙන් අදාළ පහසුකම ලබා ගැනීමට හැකි බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා කියා සිටියේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ මගී ප්‍රවාහන කටයුතු සිදුකරන්නේ නම්, ගාස්තු සියයට 50 කින් පමණ ඉහළ දැමිය යුතු බව බස් සංගම් දිගින් දිගටම ප්‍රකාශ කරනවා.

ඇතැම් බස් සංගම් ප්‍රකාශ කර සිටියේ ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන්නේ නම්, ඉන්ධන සහනාධාරයක් හෝ ලබාදීමට රජය කටයුතු කළ යුතු බවටයි.

කෙසේ වෙතත්, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ මෙම අවස්ථාවේ බස් ගාස්තු ඉහළ දැමීමක් සිදුනොකරන බවයි.

මේ අතර, ගාස්තු ඉහළ දැමීමකින් තොරව මගී ප්‍රවාහන කටයුතු සිදුකිරිමට සූදානම් බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසන්නේ ෴

++++++++++++++++++

(09.11.2020 – 18:38 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 172 ක් අද (09) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

ඒ අනුව මෙරට කොව්ඩ් ආසාදිතයින් ගණන 14,000 ඉක්මවා ගොස් තිබෙනවා.

14,101 ක් ලෙසයි ඒ අනුව මෙරට කොව්ඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ ෴

++++++++++++++++++

අඟුලාන උතුර සහ දකුණ ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපතිවරයා පවසනවා ෴

කඳාන සහ මහබාගේ ප්‍රදේශ මේ මොහොතේ සිට හුදෙකලා ප්‍රදේශ බවට පත් කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴


*********************************************

සති පොළක දිවි ගෙවන හිසට සෙවනක් නොමැති අසරණ වූ පවුල

(09.11.2020 – 13:51 +0530 – hirunews.lk/sinhala)

හිසට සෙවනක් නොමැතිව අසරණ වූ පවුලක් පිළිබඳ පුවතක් සූරියවැව වෙනිවැල්ආර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

එම අසරණ පවුල මේ වන විට ජීවත්වන්නේ වෙනිවැල්ආර සතිපොල භූමියේයි.

සූරියවැව – වෙනිවැල්ආර ප්‍රදේශයේ මාර්ගයේ ගසක් යට තම බිරිද සහ දරුවා සමඟ දිවිගෙවමින් සිටි 44 හැවිරිදි මෙම පුද්ගලයාට ගම්වාසීන් විසින් වෙනිවැල්ආර සතිපොල භූමියේ රැදී සිටීමට ඉඩ ලබා දී තිබෙනවා.

පොලිසිය සහ සූරියවැව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබුණද සතියක පමණ කාලයක සිට මෙම පවුල දිවිගෙවන්නේ සතිපොල භූමියේයි.

මීට ඉහතදී මොවුන් කුලී නිවසක ජීවත් වුවත්, එයද මේ වන විට අහිමි වී තිබෙනවා.

***************************************

දහස් ගණනක නුවණැස පෑදූ මිතැන්වල මහා විද්‍යාලයට අවසානයේ අත්වූ ඉරණම

(09.11.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

දරුවන් දහස් ගණනක නුවණැස පෑදූ කුරුණෑගල අධ්‍යාපන කලාපයේ මාවතගම අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි මිතැන්වල මහා විද්‍යාලයේ වත්මන් තත්ත්වය ඛේදනීයයි.

සිසු සිසුවියන් නොමැතිවීමේ පසුබිම මත මෙම පාසල වැසී ගොස් මේ වනවිට වසර 5 කට අධිකයි.

අක්කර එකහමාරක (1½) පමණ ඉදි වූ ගොඩනැගිලි 3 ක් ඇති මෙහි එක් ගොඩනැගිල්ලක් පමණක් මේ වනවිට ආයුර්වේද බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යාම සඳහා භාවිත කරනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, උසස් පෙළ දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති මිතැන්වල පාසලෙන් විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරුවන්ද බිහිවූ බවයි.

කෙසේ වෙතත්, මෙලෙස දිරාපත්ව කැඩී ගිය ගොඩනැගිලි මේ වනවිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ සහ විවිධ අපචාරවලට සම්බන්ධ පුද්ගලයින්ගේ රජදහනක් බවට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම ගොඩනැගිලි කඩිනමින් ප්‍රතිසංස්කරණය කර යළිත් සිය ගම්මානයට සේවාවක් ලැබෙන පරිදි යොදා ගැනීම ගම්වැසියන්ගේ අපේක්ෂාවයි.

***************************************

රට වටේම වැඩබිම්වල දිරාපත්වන කෝටි ගණන් වාහන අලුත්වැඩියා කර භාවිතයට ගන්න ඇමතිගෙන් උපදෙස්

(09.11.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

දිවයිනපුරා මාර්ග සංවර්ධන අධිකාරියට හා මග නැගුම ආයතනයට අයත් කාර්යාල භූමි තුල වටිනා මෝටර් රථ, කැබ් රථ, ජීප් රථ, ටිපර් රථ, එස්කැවේටර්, ඩෝසර් ඇතුළු රථ වාහන හා මාර්ග සංවර්ධනයට යොදා ගන්නා යන්ත්‍රෝපකරණ දිරාපත් වන්නට ඉඩ හැර ඇති බවත් වහාම මෙම වාහන අළුත් වැඩියා කර භාවිතයට ගන්නා ලෙසත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති හා මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

මගනැගුම මාර්ග ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ සමාගමේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාල වල හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

පසුගිය යහපාලන රජය සමයේ මෙම වාහන හා යන්ත්‍රෝපකරණ පිළිබඳව සොයා නොබැලීම හේතුවෙන් වල් බිහිවී විනාශ වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එහිදී අදාළ රථවාහනවල වටිනාකම්ද තක්සේරු කර තමන් වෙත ලබා දෙන ලෙසයි අමාත්‍යවරයා බලධාරීන් වෙත උපදෙස් දී ඇත්තේ.

***************************************

ප්‍රවීණ ගායන ශිල්පී W.D. ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

(09.11.2020 – 15:18 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ අද (09) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කළක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු මියයන විට 64 හැවිරිදි වියේ පසුවුණා.

මා ළඟටම තව ළං වෙලා, මහ වැස්සට පෙර අඳුර ගලනවා, විකසිත පෙම් පොකුරු පියුම් වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ඔහු අති දක්ෂ තබ්ලා වාදකයෙකු ද වනවා ෴

***************************************

(09.11.2020 – 15:46 +0530 – hirunews.lk/sinhala)

සැකකරුවන්ට ඇප ලබාදීම සහ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශන මාලාවක් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පිළිබඳව සැළකිල්ලට ගනිමින්.

කොරෝනා වසංගතය හමුවේ බන්ධනාගාරයේ පවතින තදබදය අවම කරමින් එහි කටයුතු පවත්වාගෙන යාම මෙහි අරමුණ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ ෴

***************************************

(09.11.2020 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ලබන කන්නයේ සිට රජය විසින් ආරක්ෂිත සහල් තොගය පවත්වාගෙන යන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ අද (09) ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින්.

සහල් මාෆියාව අවසන් කර දේශීය ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිල ගණන් වලට සහල් සැපයීමේ පූර්ව සූදානමක් ලෙස මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ෴

***************************************

(09.11.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

2019 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේදී සිදුව ඇති අසාධාරණයට එරෙහිව නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය තංගල්ල නගරයේදී අද (09) විරෝධතාවක නිරතවුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි සාමාජික වසන්ත මුදලිගේ කියා සිටියේ නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමාන කඩඉම් ලකුණු නිකුත් කිරිම අසාධාරණ බවයි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජාතික ප්‍රතිපත්තියක් මත විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීම සිදුකර ඇති බවයි.

මෙවර විශ්වවිද්‍යාලයට තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීම ලබන සතියේදී ආරම්භ කරන බවද සභාපතිවරයා සඳහන් කළා ෴

***************************************

(09.11.2020 – 19:24 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර සඳහා වන අයවැය විවාදය පැවැත්වෙන දින ගණන සම්බන්ධයෙන් අවසන් එකඟතාවකින් තොරව අද (09) පැවති පක්ෂ නායක රැස්වීම අවසන්වී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් යෝජනා කර ඇත්තේ රට තුළ පවතින සෞඛ්‍ය අවදානම සළකා අයවැය විවාදය දින 10 කට සීමා කළ යුතු බවටයි.

කෙසේ වෙතත් ඊට විරෝධය පළ කර ඇති සමඟි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය, සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන මුළු දින ගණන එනම්, දින 26 ක් අයවැය විවාදය පැවැත්විය යුතු බවට සඳහන් කර තිබෙනවා.

මෙහිදී අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකිවීම නිසා ලබන 12 වනදා නැවත පක්ෂ නායක රැස්වීමක් පවත්වා, ඒ පිළිබඳ තීරණයක් ගැනීමටයි තීරණය වී ඇත්තේ.

එමෙන්ම ලබන 12 වනදා මේ වසරට අදාළ අයවැය දෙවන වර සහ තුන්වන වර කියවීම එකවර පැවැත්වීමටත් එය පෙරවරු 10 ට ආරම්භ වී පස්වරු පහට (05:00) අවසන් කිරීමටත් එකඟ වී තිබෙනවා.

පස්වරු පහෙන් (05:00) පසුව රාත්‍රි අට (08:00) දක්වා කාලය තුළ රටේ වත්මන් තත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටද අද (09) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පළ වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එළඹෙන 17 වනදා පස්වරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන වසරේ අයවැය කථාව ඉදිරිපත් කිරීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා තේරී පත්වී තිබෙනවා.

ඒ, එහි සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ගේ සහ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ යෝජනා ස්ථීරත්වයෙන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *