බස්නාහිර පළාතෙන් පිටවීම අත්හිටුවයි

බස්නාහිර පළාතෙන් පිටවීම අත්හිටුවයි

ගාලු මුවදොර ඉදිරිපිට වැඩබිමක ඉන්දීය ජාතිකයින් 14 කට සහ කොළඹ වරාය නගර පරිශ්‍රයේ චීන ජාතිකයින් 04 කට කොරෝනා

*********************************************

බස්නාහිර පළාතෙන් පිටවීම අත්හිටුවයි

(11.11.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

මේ මොහොතේ සිට ලබන 15 වනදා ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතෙන් පිටතට යාමට කිසිවෙකුට අවසර හිමි නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++

(11.11.2020 – 18:23 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුල කොවිඩ්-19 ආසාදිත රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන්, එම පළාතේ ජනතාව සෙසු පළාත්වලට කරන සංචරණය වළක්වාලීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එසේම ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට පවතින දුෂ්කරතා සැළකිල්ලට ගෙන රට පුරා පවතින ප්‍රාදේශීය බෙහෙත්ශාලා කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කරන ලෙසද ජනාධිපතිවරයා කියා සිටියා ෴

+++++++++++++++++

(11.11.2020 – 17:53 +0530 – hirunews.lk/sinhala)

බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් කොවිඩ් ආසාදනයෙන් බේරා ගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

වෛද්‍යවරු පෙන්වා දෙන්නේ සෙසු රටවලින් මෙන්ම මෙරටින් ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93% කට හේතුව බෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බවයි.

හෘද, දියවැඩියා, වකුගඩු සහ පිළිකා ආශ්‍රිත රෝගීන් ඉතා වේගයෙන් කොවිඩ් ආසාදනයට ලක් වෙනවා.

බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ නොපෙන්වා මරණයට පත්ව ඇති අතර පසුව කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොවිඩ් අසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.

මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කොට බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ආරක්ෂා කර ගැනීමට සහ කොවිඩ් ආසාදනයෙන් වැළකී සිටීමට අදාළ උපදෙස්දීම හා දැනුවත් කිරීම් වහාම සිදු කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මෙම රැස්වීමේ දී කොවිඩ් ව්‍යාප්තිය සහ පාලනය පිළිබඳ වත්මන් තත්ත්වය මෙන්ම අනාගතයේ දී මතුවිය හැකි වෛරස ආශ්‍රිත රෝග පාලනය සහ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරනු පිණිස ගත යුතු ක්‍රියාමාර්ග සහ අධ්‍යයනය කළයුතු ක්ෂේත්‍ර ගැන ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන කලක් රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය බෙහෙත් ශාලා (ඩිස්පෙන්සරි) කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළයුතු බවද ජනධිපතිවරයා අවධාරණය කර සිටියා.

බෙහෙත් ශාලාවලට අවශ්‍ය වෛද්‍ය, හෙද, වින්නඹු සහ සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බව ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

++++++++++++++++++

(11.11.2020 – 18:36 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 309 දෙනෙකු අද (11) හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලුදෙනා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 15,024 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

*********************************************

ගාලු මුවදොර ඉදිරිපිට වැඩබිමක ඉන්දීය ජාතිකයින් 14 කට සහ කොළඹ වරාය නගර පරිශ්‍රයේ චීන ජාතිකයින් 04 කට කොරෝනා

(11.11.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

අද (11) දිනයේ මේ දක්වා කොරෝනා මරණ තුනක් (3) වාර්තාවී ඇති අතර, ඒ අනුව මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගියා.

පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.

ඔහු පොලිස් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකින් මොහු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිට ඇති අතර, කොරෝනා ආසාදනය හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයක් මරණයට හේතුව ලෙස පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

පසුගිය 01 වනදා සිට හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කැළණිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා උත්සන්න වීම නිසා ඇතිවූ හෘදයාබාධයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කොරෝනා දෙවන රැල්ල ආරම්භවී මේ වනවිට දින 40 ක් පමණ ගතවී ඇති අතර, එම කාලය තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 30 ක්.

මෙරට කොරෝනා රෝගීන් දස දහස (10,000) කින් විසි අටදෙනෙකු (28) මියයාමේ අවදානමක් පවතින බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

මේ දක්වා කොරෝනා ආසාදිතයන් 14,715 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඉන් සුවය ලැබූ සංඛ්‍යාව අද (11) දස දහස (10,000) ඉක්මවා 10,183 ක් ලෙස සටහන් වූයේ කොරෝනා ආසාදිත රෝගීන් 646 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

කොළඹ ගාලු මුවදොර පිටිය ඉදිරිපිට වැඩබිමක ඉන්දීය ජාතිකයන් 14 දෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව අද (11) වාර්තාවුණා.

එමෙන්ම කොළඹ වරාය නගර පරිශ්‍රයෙන්ද චීන ජාතිකයින් හතරදෙනෙකු (4) ඇතුලු හයදෙනෙකු (6) ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි කොළඹ වරාය නගර සමාගම ප්‍රකාශ කළේ.

ඊයේ (10) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 251 ක්.

ඉන් 55 දෙනෙකුම කොල්ලුපිටිය ප්‍රදේශයෙනුයි වාර්තා වුණේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යන පසුබිමක කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා කියා සිටියේ ලක්ෂ 6 ක් පමණ ජනතාව වෙසෙන කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 3 ක් පමණ විය හැකි බවයි.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාවද මේ වනවිට 612 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ 145 දෙනෙකුද ඒ අතර වනවා.

එමෙන්ම ඊයේ (10) දිනයේ කොටුව පොලිස් ස්ථානයෙන් පමණක් ආසාදිතයන් 82 කු හඳුනාගෙන ඇති අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම ආසාදිතයන් හඳුනාගනු ලබන්නේ නිරෝධායනය සඳහා යොමුකර ඇති පිරිස් අතරින් බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය සහ උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුලින්ද නව ආසාදිතයන් 12 දෙනෙකු අද (11) වාර්තාවූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි මහතා සඳහන් කළා.

ගම්පහ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 63 දෙනෙකු වාර්තා වන බව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා කියා සිටියා.

ත්‍රිකුණාමලය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

වාලච්චේන ප්‍රදේශය හුදෙකලා කිරීමත් සමඟ නිවාඩු ලබා පසුගිය 24 වන දා සිය ගම් ප්‍රදේශය වූ වාලච්චේන ප්‍රදේශයට පැමිණ සිටි අදාළ සේවකයාට ප්‍රදේශයෙන් පිටවීමට අවසර හිමි නොවුණ ද වැටුප් කප්පාදුවක් සිදුවිය හැකි බැවින් සේවයට පැමිණෙන ලෙස රෝහල් බලධාරීන් කළ දැනුම් දීමක් හේතුවෙන් ඔහු යළි රාජකාරිය සඳහා රෝහලට පැමිණ තිබුණා.

එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකදීයි ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇත්තේ.

හැටන් – දුඹුරුගිරිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි 18 හැවිරිදි තරුණියකට ද වෛරසය ආසාදනය වී ඇති බව අද හඳුනා ගැනුණා.

එමෙන්ම, කොළඹ හුදෙකලා තත්ත්වයට පත් කළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවශ්‍ය හදිසි ගිලන් රථ සේවා ලබා ගැනීම සඳහා 011 342 2558 යන දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

එමෙන්ම කොළඹ නගරයේ ජනතාව වෙත අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඕනෑම වේලාවක වෛද්‍යවරුන් සම්බන්ධ කර ගැනීමට දුරකථන අංක මාලාවක් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂණී දිසානායක මහත්මිය විසින් නිකුත් කර තිබෙනවා.

මේ අතර දකුණු කොරියානු පරිත්‍යාගයක් ලෙස කොරෝනා රෝගය වැළදී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන ‘රැපිඩ් ඇන්ටිජන්’ කට්ටල 30,000 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් ගෙන එන ලද එම පරීක්ෂණ කට්ටල දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ඊයේ (10) දිවයිනට එවා ඇති බවයි ගුවන් තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ.

++++++++++++++++++

(11.11.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ඉහළ දැමූ බස් ගාස්තුවට සමගාමීව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් බස් ගාස්තු ඉහළ නැංවුවද දුම්රිය ගාස්තුවල කිසිදු වෙනසක් සිදු නොකරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කොරෝනා වසංගත තත්වය හමුවේ බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාම හේතුවෙන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට සියයට විස්සකින් (20%) බස් ගාස්තු ඉහළ නැංවීමට පියවර ගැනුනා.

එසේම මගීන් රැගෙන යාමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන මාලාවක් ද ප්‍රවාහන අමාත්‍යාංශය ඊයේ (10) හඳුන්වා දුන්නා.

කෙසේ වෙතත් බස් සංගම් කොළඹදී අද (11) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ මෙම මාර්ගෝපදේශන මාලාව සකස් කිරීමේදී බස් හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් සිදු නොකළ බවයි ෴

+++++++++++++++++++

(11.11.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

මැනිං වෙළඳපල ස්ථාපිත කිරීම සඳහා ඉදි කෙරුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපල ආසන්නයේ පවතින ගොඩනැගිල්ලේ සිට වෙළඳාම් කටයුතු තවත් සතියකින් ආරම්භ කරන බව මැනිං වෙළඳපල පොදු වෙළඳ සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙහි ව්‍යා‍පාර කටයුතු කළ හැක්කේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වූ පුද්ගලයින්ට පමණක් බවයි.

පිටකොටුව මැනිං වෙළඳපලේ නාටාමිවරුන් පිරිසකට කොවිඩ් ආසාදය වීම හේතුවෙන් එහි කටයුතු පසුගියදා අත්හිටවනු ලැබුවා.

ඒ අනුව මැනිං වෙළඳපල පෑලියගොඩ පිහිටි ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියකට රැගෙන යාමටයි රජය තීරණය කළේ.

කෙසේ වෙතත් අදාළ භූමියේ වෙළඳාම් කටයුතු කිරීමට තමන් සූදානම් නොමැති බවයි මැනිං වෙළඳපල පොදු වෙළඳ සංගමය ප්‍රකාශ කළේ.

මෙම ගැටලු‍ව සම්බන්ධයෙන් මැනිං වෙළඳ පොළ පොදු වෙළඳ සංගමය සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අතර සාකච්ඡාවක් අද (11) පවත්වා තිබෙනවා.

එහිදී මැනිං වෙළඳපල ස්ථාපිත කිරීම සඳහා පෑලියගොඩ ඉදි කෙරෙන නව ගොඩනැගිල්ලේ කටයුතු කඩිනමින් අවසන් කර එහි වෙළඳාම් කටයුතු සිදුකිරීමට ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු වූ බවයි මැනිං වෙළඳපල පොදු වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා කියා සිටියේ.

++++++++++++++++++

(11.11.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව නිෂ්පාදනය කළ දැනට පර්යේෂණ මට්ටමේ පවතින ස්පුට්නික් 05 එන්නත මේ වනවිට සියයට 92 ක සාර්ථකත්වයක් ලබා ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඒ අනුව හැකි ඉක්මනින් එම එන්නත නිපදවීමේ කටයුතු ආරම්භ කරන බවයි ඔවුන් කියා සිටියේ.

පර්යේෂණ මට්ටමේ පවතින එන්නතක් ජනතාවට මුල්වරට අත්හදා බැලීමට යොමු වූ පළමු රට ලෙස රුසියාව වන අතර ඔවුන් මෙම අත්හදා බැලීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසයේදීයි ෴

++++++++++++++++++++

(11.11.2020 – 20:11 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතට පැමිණෙන සහ බස්නාහිර පළාතෙන් පිටවන සියලුම බස් සේවාවන් නොවැම්බර් 15 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටු වීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.

+++++++++++++++++++

(11.11.2020 – 20:15 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිය නිවසේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි කාන්තාවක්.

මෙය මෙරට සිදුවූ 45 වන කොවිඩ් මරණයයි.

ඒ අනුව අද (11) දිනයේ මේ වනවිට වාර්තා වූ මරණ ගණන හතරක්.

++++++++++++++++++

(11.11.2020 – 20:48 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදිතයන් නිවාස තුළ මරණයට පත්වීමේ සිද්ධීන් කිහිපයක්ම මේ දිනවල වාර්තා වුණා.

ඔවුන් කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී වීම විශේෂත්වයක්.

එලෙස රෝගය හඳුනාගැනීමට පෙරම ඔවුන් මරණයට පත්වන්නේ ඇයි ?

මේ ඒ පිළිබඳ කළ සොයා බැලීමක්.

++++++++++++++++

(11.11.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala)

අද (11) රාත්‍රී 10 සිට ඉරිදා දක්වා බස්නාහිර පළාත් සීමාවට ඇතුළුවීමට දුම්රියවලට අවසර ලබා දී ඇතත් බස්නාහිර පළාත් සීමාවෙන් පිටවීමට අවසර හිමි නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව පස්වරුවේ බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම, අඹේපුස්ස, කොව්චිකඩේ සහ අවිස්සාවේල්ල දක්වා පමණක් ධාවනය වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴

+++++++++++++++

(11.11.2020 – 21:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 316 දෙනෙකු අද (11) දිනයේ දී හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව අද (11) දිනයේ මේ වනවිට හඳුගත් ආසාදිතයින් ගණන 625 ක්.

++++++++++++++++++

(11.11.2020 – 22:02 +0530 – hirunews.lk/sinhala)

බස් ගාස්තුව සියයට 20 කින් ඉහළ දැමීමට රජය කටයුතු කළත් එමගින් බස්කර්මාන්තකරුවන් සෑහිමකට පත් නොවන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ කැඳවුම්කරු අංජන ප්‍රියන්ජිත් මහතා පවසනවා.

බස් සංගම් නියෝජිතයන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

මේ අතර අද (11) රාත්‍රී 10 සිට ඉරිදා දක්වා බස්නාහිර පළාත් සීමාවට ඇතුළුවීමට දුම්රියවලට අවසර ලබා දී ඇතත් බස්නාහිර පළාත් සීමාවෙන් පිටවීමට අවසර හිමි නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව පස්වරුවේ බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම, අඹේපුස්ස, කොව්චිකඩේ සහ අවිස්සාවේල්ල දක්වා පමණක් ධාවනය වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

+++++++++++++++++

(11.11.2020 – 22:07 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වන 46 වන කොවිඩ් ආසාදිත මරණය මේ වනවිට වාර්තා වී තිබෙනවා.

63 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මියගිය පුද්ගලයා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් වන අතර මෙම මරණයත් සමඟ අද (11) දිනයේ වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 05 ක්.

+++++++++++++++++++

කොරෝනා ආසාදනය වූ පහෙන් එකකට මානසික රෝග – ආයු අපේක්‍ෂාවද වසර 10 කින් අඩුවිය හැකියි

(11.11.2020 – 22:34 +0530 – truenews.lk)

කොරෝනා ආසාදනය වන සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන්ම එක් (1) අයකු දින 90 ක් තුළ මානසික රෝග තත්ත්වයකට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි නවතම අධ්‍යනයකින් හෙළි වී තිබෙනවා.

බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් පිරිසක් සිදුකළ එම අධ්‍යයනයෙන් අනාවරණ වී ඇත්තේ වෛරසය ආසාදනය වන පුද්ගලයන් මානසික ආතතිය, නින්ද නොයාම ආදී රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති බවයි. එබැවින් එම පුද්ගලයන් මානසික රෝගවලට ගොදුරු වීමට හේතු සහ ප‍්‍රතිකාර ක‍්‍රමවේද විමසීමට ලොව පුරා වෛද්‍යවරුන් සහ විද්‍යාඥයින් කඩිනමින් පියවර ගත යුතු බවද ඔක්ස්ෆර්ඞ් සරසවියේ මානසික රෝග විශේෂඥයන් අවධාරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ආයු අපේක්‍ෂාවද වසර 10 කින් අඩුවිය හැකි බවයි. එබැවින් කොවිඞ් රෝගය සම්බන්ධයෙන් ජනතාව මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි අවධාරණය කෙරුණේ ෴

++++++++++++++++++

හිරු මාධ්‍ය ජාලයේ සේවකයින් සිව්දෙනෙකුට (4) කොරෝනා

(11.11.2020 – sinhala.newswire.lk)

ලෝක වෙළෙද මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටි ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක් වන හිරු මාධ්‍ය ජාලයට අයත් මාධ්‍ය නාලිකාවක සේවය කරනු ලබන සේවකයින් සිව්දෙනෙකු (4) හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සේවකයින් සිව්දෙනා (4) මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා ෴

***************************************

(11.11.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

දීඝවාපි පුදබිමෙහි ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) එක්වුණා.

ආගමික වතාවත්වල නිරතවූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව පිරිත් සජ්ජායනා මධ්‍යයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල් ගල් තැබූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

දිගු කාලයක් මුළුල්ලේ ස්වභාවික හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිහානියට ලක්ව ඇති දීඝවාපි පුදබිම දශක කිහිපයක් පුරාවට ශ්‍රී ලංකා රජය සහ වෙනත් පාර්ශවයන් මගින් ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබුණා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ පූර්ණ දායකත්වය සහ සිවිල් ආරක්ෂක බලකායේ පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීමට අනුව වසර දෙකක කාලසීමාවක් තුළදී එහි වැඩකටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

***************************************

මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්

(11.11.2020 – colombotoday.com)

මෙහි ආසන්නතම සිදුවීම අලියාන්ස් රක්ෂණ සමාගමේ රක්ෂණය කර තිබූ මෝටර් රථයක් අනතුරකට ලක්වීමෙන් පසුව එහි රක්ෂණ වන්දිය නොගෙවීම නිසා උරණවූ පාරිභෝගිකයකු එම රක්ෂණ සමාගමේ රත්නපුර ශාඛාව තුළදී අලියාන්ස් නිලධාරීන් සමඟ සිදු වූ බහින් බස්වීමක වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරයවීමත් සමඟ වාර්තා විය.

එම සිද්ධියෙන් පසුව මේ සමාගම මෝටර් රක්ෂණවල රුපියල් 50,000 ට වඩා වැඩි රක්ෂණ වන්දි ගෙවීමට මැලිකමක් දක්වන බව මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව තිබේ.

රත්නපුර අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමකදී අදාළ රක්ෂණ හිමිකරුට එම සමාගම විසින් අසාධාරණයක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා විය.

මේ ගැටුමට මුල්ව ඇත්තේ දොස්තරවරියකට අයත් SP CAD 8916 දරණ ටොයොටා ඇක්වා (Toyota Aqua) වර්ගයේ මෝටර් රථයකට අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගමෙන් ලබාගන්නා ලද රක්ෂණයකි.

වත්සලා චතුරංගි නැමැති අදාළ දොස්තරවරිය ඇයට අයත් මෙම මෝටර් රථය ඇගේ ස්වාමියාගේ මිත්‍රයකුට සිය ස්වාමියාගේ පියාගේ ඖෂධ කිහිපයක් හා මිත්‍රයාගේ පෞද්ගලික කාර්යක් සිදු කර ගැනීමට ලබාදී තිබේ.

ඒ පසුගිය ඔක්තෝබර් 04 වැනිදාය. එසේ ඔහු අදාළ කාර්යයට ගොස් එන අතරතුරදී පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ලිස්සායාම නිසා අනතුරක් සිදුව තිබේ. එම අනතුර සිදුව ඇත්තේ 05 වැනිදා අළුයම් කාලයේය.

කෙසේවුවද, අනතුර සිදුවූ වහාම අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගමට ද ඒ බව දැනුවත් කර ඇති අතර අනතුර සම්බන්ධ පරීක්ෂණ පැල්මඩුල්ල පොලිසිය විසින් සිදුකර තිබේ.

එම අවස්ථාවේදී මෙය ලිස්සායාමෙන් සිදුවූ අනතුරක් බව පොලිසිය සනාථකර ඇති අතර පසුව එම මෝටර් රථය ලොරියක් මාර්ගයෙන් හිදැල්ල ප්‍රදේශයේ පිහිටි නන්දන මෝටර්ස් නම් වාහන අලුත්වැඩියා කිරීමේ ගරාජයට ගෙනවිත් අලුත්වැඩියා කර තිබේ.

එම අලුත් වැඩියාවට නන්දන මෝටර්ස් ආයතනය රුපියල් 95,000 ක බිලක් ලබාදී ඇත.

අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) සමාගම හා දොස්තරවරිය අතර ඇති රක්ෂණ ගිවිසුමට අනුව මේ මුදල එම සමාගම විසින් ගෙවිය යුතු වුවද විවිධ හේතු මතුකරමින් එය පැහැර තිබේ.

කෙසේවුවද, අදාළ රක්ෂණ වන්දිය ගෙවීම එම සමාගම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ බව හිමිකාරියට ලිඛිතව දන්වා තිබේ. පසුව ඇගේ ස්වාමියා අලියාන්ස් රක්ෂණ (Allianz Insurance) ශාඛාව වෙත පැමිණ නොගෙවීමට හේතුවිමසීමත් සමඟ මේ ගැටුම ඇති වී තිබේ.

එම අවස්ථාවේ සිදුවූ සිදුවීම පටිගතවී ඇති අයුරු :

***************************************

ලොකු තනතුරුවලට අලුත් මුහුණු! CID යේ 19 ක් දොට්ට

(12.11.2020 – aruna.lk)

සාමාන්‍ය රාජකාරීවලට යොදවලා – කාන්තා නිලධාරිනුත් ඒ අතර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් නව දෙනකු ඇතුළු දහ නවදෙනකු ඊයේ (11 වැනිදා) සිට සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් මෙම ස්ථාන මාරුවීම් කර ඇති බවත් නව නිලධාරීන් විමර්ශන සඳහා පත්කරන බවත් මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අනාවරණය කළේය.

අවශ්‍යතාව අනුව පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් ගැනීමට නියමිතව ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.

කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන්ට හා නිලධාරිනියන්ට එල්ල වී තිබු චෝදනා සැලකිල්ලට ගෙන වැඩබලන පොලිස්පතිවරයා මෙම මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම නිලධාරීන්ගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍ය බව දන්වා ස්ථාන මාරුව ලබාදී තිබේ.

ස්ථාන මාරුවීම් ලද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් අතර කාන්තා නිලධාරිනියෝ සිව්දෙනෙක් ද වෙති.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය, රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරා ගැන විමර්ශන සිදුකළ නිලධාරීහු ද මාරුවීම් ලද නිලධාරීන් අතර වෙති. මෙම නිලධාරීන් අතරේ ව්‍යාජ සාක්ෂි සකස් කර විමර්ශන කළ චෝදනාවට ලක් වූ නිලධාරීන්ද සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ, කැලණිය, ගම්පහ, කැගල්ල, කුරුණෑගල, මාතර කොට්ඨාසවලට මෙලෙස මාරුවීම් ලබා දී ඇත ෴

***************************************

ආණ්ඩුව ඉඩම් කොල්ලයකට පාර කපනවා – පරිසරවේදීන්ගෙන් චෝදනා

(11.11.2020 – 19:25 +0530 – lankaleadnews.com)

අවශේෂ කැලෑ ඉඩම් අක්කර ලක්ෂ 7 ක් අන්සතු කිරීමේ චක්‍රලේඛය නිකුත් වේ

ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් 2020/11/10 දින නිකුත්කොට ඇති චක්‍රෙල්ක අංක 2020/18 මඟින් මීට පෙර 5/2001 චක්‍ර ලේඛය මඟින් අවශේෂ කැලෑ ලෙස නම්කොට ආරක්ෂා කළ අක්කර ලක්ෂ 7 කට අධික ඉඩම් ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ බල අධිකාරියට යටත් කෙරේ.

ඒ අනුව එම ඉඩම් දේශපාලන ඉල්ලීම් මත මහා සමාගම් වලට සහ ජාවාරම්කාරයින්ට බෙදා දීමට හැකියාව ලැබෙන බව පරිසරවේදීහු පවසති.

‘ලංකා ලීඩ්’ වෙත එම චක්‍රෙල්ඛය ලබා දුන් නම සඳහන් කිරීමට අකමැති නීතිඥවරයෙකු වන පරිසරවේදියෙකු සඳහන් කළේ මෙම චක්‍රෙල්ඛය මඟින් මහා පරිමාන ඉඩම් කොල්ලයකට අවස්ථාව ලැබෙන බවය.

එම ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා හිටපු කොමසාරිස්වරිය ඉවත්කොට අනුරාධපුර ප්‍රදේශයේ ඉඩම් කොල්ලයක් පිළිබඳ චෝදනාවට ලක්ව සිටින නිලධාරියෙකු ඉඩම් කොමසාරිස්වරයා ලෙස පත්කොට ඇති බවටද ඔහු චෝදනා කරයි.

අනුරාධපුර නුවරවැව ආශ්‍රිතව ඉඩම් කොල්ලයක් පිළිබඳ තමා සතුව තොරතුරු ඇතැයි ද ඔහු පවසයි.

Circular 18 2020 by Prasad Nilanka

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *