කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්

ලබන මාසයේ මන්නාරමේ පළමු සුළං බලාගාරය විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති විප්ලවය අරඹනවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

*********************************************

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්

(12.11.2020 – sinhala.news.lk)

දැනට පවතින කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව පවතින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදයක් ඔස්සේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරන ලදී.

දැනට ක‍්‍රියාත්මක වන ‘ගුරුගෙදර’ සහ ‘ඊ-තක්සලාව’ වැඩසටහන් වලට අමතරව 3 වන පාසල් වාරයට අදාල ප‍්‍රධාන විෂයන් ආවරණය කිරීමේ අරමුණින් මෙම නව වැඩසටහන් මාලාව ජාතික රූපවාහිනියේ අයි නාලිකාව සහ නේත‍්‍රා නාලිකාව ඔස්සේ දැනට දිනකට පැය 16 ක කාලයක් විකාශය කිරීම ආරම්භ කරන ලද අතර ඉදිරියේදී අවශ්‍යතාව අනුව මෙම කාලය දීර්ඝ කිරීමට හා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සම්බන්ධ කර ගනිමින් ගුවන්විදුලිය ඔස්සේද විකාශය කිරීමට කටයුතු කරන බව අමත්‍යවරයා පැවසීය. මෙහිදී මුළු දිවයිනම ආවරණය වන පරදි හා සියලුම දරුවන්ට සහභාගී වීමට හැකි වන පරදි මාධ්‍ය කිහිපයක් ඔස්සේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට හා අවශ්‍යතා හදුනාගනිමින් මුද්‍රිත පාඩම් මාලාවක් ලෙසද දරුවන් අතට පත් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ ප‍්‍රධාන පාසල් වල විදුහල්පතිවරුන්ගේ සහයෝගය ඇතිව ප‍්‍රවීන ආචාර්ය වරුන් 200 ක ගේ දායකත්වය ලබා ගනිමින් හා දෙමළ මාධ්‍ය සඳහා යාපනය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පාසල් වල ආචාර්ය වරුන් සහභාගී කරගනිමින් ශබ්ධාගාර 6 ක් තුල පටිගත කිරීම් සිදුකරමින් නොවැම්බර් මස 16 වන දින පෙ.ව. 04:00 සිට සිට සතියේ දින 7 තුලදීම විකාශනය වන අතර තව දුරටත් පටිගත කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවද, පාසල් නැවත ආරම්භ වුවද මෙම වැඩසටහන නොනවත්වා පවත්වාගෙන යාමට කටයුතු කරන බවද අමත්‍යවරයා පවසන ලදී.

පාසල් වල 3 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ ප‍්‍රධාන විෂයන් හා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා 4 ක් සහ ජනවාරි මස පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන විශේෂ පුනරීක්ෂණ පාඩම් මාලාවක්ද මෙම වැඩසටහන ඔස්සේ ආවරණය කිරීම අමාත්‍යාංශයේ අරමුණයි. මෙම වැඩසටහනට ඉදිරියේදී ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වැනි ආයතන සම්බන්ධ කරගෙන තව දුරටත් ව්‍යාප්ත කිරීමට හා ජාතික අධ්‍යාපන ආයතනය මගින් යූටියුබ් නාලිකාවක් ඔස්සේද දරුවන්ට සමීප කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව අමාත්‍ය තුමාගේ අදහස් දැක්වීමේදී අනාවරණය විය.

මේ සම්බන්ධව දරුවන්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට අදාල ගුරුවරුන් සම්බන්ධ කර ගැනීමට 1377 විශේෂ දුරකථන අංකයක් ලබා දී ඇති අතර 011 760 1702, 071 449 131(?) යන දුරකථ අංක ඔස්සේද මේ සම්බන්ධව විමසීම් කළ හැක. මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා කැපවූ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමාට, අමාත්‍යංශ ලේකම්වරුන්ට ජාතික අධ්‍යාපන ආයතනයට, විෂය අධ්‍යක්ෂකවරුන්ට විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අමාත්‍යතුමාගේ විශේෂ ස්තුතිය හිමිවිය. මෙම අවස්ථාවට අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නවරත්න යන මහත්වරුන්ද සහභාගී විය.

++++++++++++

මේ අතර ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ පුනරීක්ෂණ පන්ති ‘දෙරණ නාලිකාව’ ඔස්සේ විකාශන කටයුතු සිදුකිරීමට මේ වන විට කටයුතු සුදානම් කර ඇත.

+++++++++++++++++++

මැදි වයසේ අය කොවිඩ්වලින් මියයෑමේ ප්‍රවණතාවය වැඩිවෙලා – වෛද්‍ය හරිත අලුත්ගේ

(12.11.2020 – 13:54 +0530 – sinhala.adaderana.lk)

මෙරට සිදුවු කොවිඩ් මරණ රැසක් වයස්ගත ජනතාව ආශ්‍රයෙන් සිදුවුවත් මේ වන විට මැදි වයසේ පුද්ගලයින් ද බොහෝමයක් එම තත්ත්වයට මුහුණ පා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව වයස අවුරුදු 40 – 50ත් අතර මැදි වයසේ පුද්ගලයින් කොවිඩ් සංකූලතා හා හෘදයාබාධ හේතුවෙන් මියයෑමේ වැඩි ප්‍රවණතාවයක් අවසන් දින කිහිපය තුළ දක්නට ලැබුණ බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

එමෙන්ම කොවිඩ් මරණ විශ්ලේෂණයේ දී, නිවෙස් තුළ මියගිය බොහෝමයක් බෝනොවන රෝගවලින් පෙළෙන අය බව ද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

එවැනි පිරිස් රැක ගැනීම සඳහා දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් පාලනය කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවත් එසේ වුවහොත් කොවිඩ් පාලනය පහසු වනු ඇතැයි ද වෛද්‍යවරයා පැවසීය.

මේ අතර ඊයේ (11) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 635 ක් වාර්තා වු අතර ඉන් ඉදිකිරීම් කේෂ්ත්‍ර ආශ්‍රිතව පුද්ගලයින් 78 දෙනෙක් වාර්තා වී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය හරිත අලුත්ගේ මහතා,

“අලුත්ම අපිට ප්‍රවණතාවය මතුවෙලා තියෙන්නේ ඉදිකිරීම් කේෂ්ත්‍ර ආශ්‍රිතව යම් රෝගීන් ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඊයේ (11) දිනයේ දී විදෙස් ජාතිකයින් පවා මේ ඉදිකිරීම් කේෂ්ත්‍ර ආශ්‍රිතව පොසිටිව් වුණා. මේක යම් බැරෑරුම් තත්ත්වයක් ලෙස අපි දකිනවා. ඒක නිසා විශේෂ අවධානය ඉදිරියේ දී මේ වගේ ජාලයක් මේ වගේ පොකුරක් ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත යුතුයි.”

+++++++++++++++++

කොරෝනාවෙන් මියෙන මුස්ලිම් මලසිරුරු…: ඇමති විමල්ගෙන් ඇමති සබ්රිට පහරක්..

(12.11.2020 – 22:33 +0530 – lankacnews.com)

කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු ගන්නා තැනක් නොවන බවත් එබැවින් මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ වළ දැමීම පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත් එවැන්නක් සිදු කරන්නේ නම් ඊට හේතු රට හමුවේ තැබීම ද ඉහත කී ප්‍රාමාණික විද්වතුන් විසින් සිදුකළ යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද (12) කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මාලඹේ ග්‍රාම සේවා වසම් කිහිපයක කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට රුපියල් 5000/- දීමනාව ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් හාරලක්ෂ පනස්දහසකට රුපියල් 5000 ක දීමනාව ලබා දුන් බවත් එසේම නිරෝධායනයට ලක් වන පවුල් 9000 කට රුපියල් දසදහසේ (10,000) සහන මලු ලබාදී ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

කොවිඩ්-19 රෝගය වැළඳී මිය යන අයගේ සිරුරු භූමදාන නොකල යුතු බවටත් ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දු කරනු ලැබුවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් පිරිසක් විසින් බව පැවසූ වීරවංශ මහතා එම තීන්දුව කිසිසේත්ම වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තුළ තීන්දුවක් නොගත් බව අවධාරණය කළේය.

අවාසනාවට අධිකරණ අමාත්‍යවරයා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ එවැනි තීන්දුවක් ගත් බවට හැඟවෙන සටහනක් තබා තිබූ බැවින් රට තුළ මේ පිළිබඳ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වූ බව ද වීරවංශ මහතා මෙහිදී පැවසීය.

කොවිඩ්-19 රෝගය යමකුට වැළදෙන්නේ හෝ එමගින් මිය යන්නේ ජාති – කුල – මල ආගම් භේද බලමින් නොවන නිසා එම භේද පෙරට දමමින් එය තම දේශපාලනයට යොදා ගැනීම කවරකු විසින් හෝ නොකළ යුතු බවට ද මෙහිදී වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. කතෝලික ජනතාවගේ ද මෘතදේහ භූමදාන කිරීම බයිබලයෙහි සඳහන් වූවත් එවැනි ඉල්ලීම් මෙම බරපතළ වසංගත තත්වය හමුවේ එම සමාජයෙන් ඉදිරිපත් නොවන බවත් එවැනි විශ්වාසයක් බෞද්ධයන් තුළ පැවතියා නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ලෝක වසංගත තත්වය හමුවේ ඒ වෙනුවෙන් පෙනී නොසිටින බව තමන් විශ්වාස කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මෘතදේහවලට කළ යුතු දේ ගැන විවාද කිරීම පසෙක දමා මේ මොහොතේ මේ රටේ ජනතාව කොවිඩ්-19 වසංගතයෙන් මුදවා ගැනීමට පටු වාද භේද අතහැර සියලු ශ්‍රී ලාංකිකයන් අත්වැල් බැඳගත යුතු බව ද වීරවංශ ඇමතිවරයා පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ, කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

++++++++++++++++

අලි සබ්රි අධිකරණ ඇමැති වුණු පළියට රටේ නීති වෙනස් කරන්න දෙන්න බැහැ

(13.11.2020 – 06:40 +0530 – lankaleadnews.com)

මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්රි මහතා අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි යැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

එහෙයින් කොරෝනා රෝගය නිසා මියැදෙන කිසිදු පුද්ගලයකුගේ මෘතදේහයක් භූමදානය නොකළ යුතු බව ද උන්වහන්සේ කීහ.

එම රෝගය හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට ගෙන ඇති තීරණයට දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණ බලවත් විරෝධය පළ කරන බව සඳහන් කළ බෙංගමුවේ නාලක හිමියෝ මුළු රටේම ජනතාවගේ ආරක්ෂාව පතා රජය නිවැරදිම තීන්දුව මෙහිදී ගත යුතු බව අවධාරණය කළහ.

ස්වකීය මෘතදේහ භූමදානය කිරීම මුස්ලිම් ආගමික සිරිතක් වුවද, කොරෝනා වැනි භයානක විෂබීජයක් ශරීරගතව මියගිය විට එම මෘතදේහයන් භූමදානය නොකර ආදාහනය කිරීමට තරම් මුස්ලිම් ආගමික නායකයන් නම්‍යශීලී විය යුතු බව උන්වහන්සේ පැවසූහ.

ජල උල්පත් සහිත, ළිං ජලය බහුලව පරිභෝජනය කරන අප වැනි රටක මෙවැනි මළ සිරුරු භූමදානය කිරීමෙන් ජලය හරහා එම විෂබීජ විශාල ලෙස පැතිර යෑමේ අනතුර ඉහළ බව ද බෙංගමුවේ නාලක හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ ෴

++++++++++++++++++

ලෙඩේ හැදෙන කොට නොබලපු දෙයියෝ …
ඇඳේ මැරෙන හැටි නොදැකපු දෙයියෝ …
කුණේ දැවෙනවට අකමැති දෙයියෝ …
වලේ ඔබනකොට මොකටද ගොයියෝ …

– lankaleadnews.com

++++++++++++++++++++

රෝහලේ සිට ‘කොරෝනා ගැන’ ලැබුණු පණිවිඩය

(13.11.2020 – 03:22 +0530 – truenews.lk)

කොවිඩ්-19 හෛවත් කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් අනතුරුව රෝහල් ගත කරන ආසාදිතයින්ට ලැබෙන්නේ කුමන ආකාරයේ ප්‍රතිකාරයක් ද?

එම ප්‍රශ්නයට ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා වීඩියෝවකින් පිළිතුරක් ලබාදී තිබේ.

ඔහු සදහන් කරන්නේ කොරෝනා ආසාදනය වූ ආසාදිතයෙකුට රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදී කිසිදු ඖෂධයක් ලබානොදෙන බවත්, තරමක උෂ්ණත්වය ඇති දියර වර්ගම පමණක් පානයට ලබාදෙන බවයි.

හිසරයකදී පමණක් පැරසිටමෝටල් වර්ගයක් ලබාදෙන බව ඔහු සදහන් කරයි.

ප්‍රධාන වශයෙන් උණු ජලයට ලුණු එක්කර උගුර සෝදන බවත්, ඊට අමතරව සෑම පැය භාගයකට වරක් උණුවෙන් යම් පානයක් ලබාගන්නා බවයි.

විශේෂයෙන්ම කොවිඩ් ආසාදිතයෙකු වූ බව දැනගත් පසු තමන් මානසික මට්ටම හොද තත්ත්වයක තබාගත යුතු බව ඔහු සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් දක්වන අදහස් පහතින් :

+++++++++++++++

නිරෝධනයේ සිටි පොලිස් නිලධාරීන් ගමේ ගිහින්

(13.11.2020 – aruna.lk)

බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇත.

මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නියෝග කර තිබේ.

බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයන් පිරිසක් වාර්තාවීමත් සමග ඒ අසලම පිහිටි පොලිස් නිල නිවාසයද නිරෝධායනයට යොමු කරන ලදී.

නිරෝධායනයට ලක් කළ නිවාසවලට වියළි සලාක මලු බෙදාදීමට යාමේදී නිවාස හතක් (7) වසා දමා තිබීමෙන් මේ බව හෙළිව ඇත.

මේ අතර බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ආසාදිතයන් බවට පත් වූ හේතු සොයා පොලිස් බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. පොලිස්පති යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශය යොදවා මෙම විමර්ශනය අරඹා තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් ගැනීමට ගිය පොලිස් මුළුතැන්ගෙවල්වල සේවය කළ අයට කොවිඩ් වැලඳීමෙන් එය පොලිසියට ව්‍යාප්ත වූ බව මුලදී අනාවරණය විය.

කෙසේ වෙතත් මුළුතැන්ගෙයක් නොමැති තානාපති අංශයේ රාජකාරිවල නිරත තිදෙනකුට (3) ද කොවිඩ් වැලඳී තිබුණි.

ඊයේ (12 වැනිදා) උදෑසන වන විට පොලිස් පොකුරේ ආසාදිතයන් 639 ක් වාර්තා වූ අතර 3740 ක් නිරෝධායනයට යොමුකර ​ඇත. බොරැල්ල හා කොටුව පොලිස් ස්ථානවලින් වැඩිම රෝගීන් වාර්තා විය. බස්නාහිර පළාතේ පොලිස් පොකුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහායට නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර මහතා පත් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත ෴

++++++++++++++++++

කොරෝනා නසන ප්‍රතිශක්තිය වඩන ආහාර මෙන්න

(13.11.2020 – aruna.lk)

කොවිඩ් ​රෝගීන් මෙන්ම මේ දිනවල සෙසු ජනතාව ද සෞඛ්‍ය ආරක්ෂිත ආහාර, එළවළු, පලතුරු පරිභෝජනයට ගැනීම ඉතා වැදගත්ය.

විශේෂයෙන් ශරීරයේ ත්‍රිදෝෂ සමතුලිතව තබා ගැනීම නිරෝගී භාවයට මහත් සේ ඉවහල් වන බව හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ම.හේ. නිමල් කරුණාසිරි මහතා පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, නිරතුරුව ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා කෘත්‍රිම ආහාර වෙනුවට කොළ පැහැති එළවළු, පලාවර්ග, කහ පැහැති සහ රතු පැහැති එළවළු සහ පලාවර්ග ආහාරයට ගැනීම සුදුසු බවය.

විශේෂයෙන් කොවිඩ් රෝගීන්ට දේශීය සහල්වලින් පිසින ලද බත්, කැඳ වැනි දේ ලබා දීම ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට උපකාරී වන බවද හෙතෙම සඳහන් කළේය.

ශරීරය තුළ ඇති බැක්ටීරියා පාලනය කර ගැනීමට අප ගන්නා ආහාර රටාව වැදගත් බවද ඔහු කීය.

විශේෂයෙන්ම කොවිඩ් රෝගීන්ට වැඩි වශයෙන් පලතුරු වර්ග හා ඇඹුල් රසැති පලතුරු ලබාදීම වඩාත් ගුණදායක බවද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.

උදාහරණ ලෙස සඳහන් කළොත් දොඩං, නාරං, කාමරංකා, ඇඹරැල්ලා වැනි පලතුරු වර්ග වඩාත් ගුණදායක වන අතර කටුක රසයෙන් යුත් ආහාර වර්ගද මෙම රෝගීන්ට සුදුසු බව ඔහු කීය.

කුරුඳු, ඉඟුරු, ගම්මිරිස්. තිප්පිලි, සියඹලා, ගොරකා වැනි දෑය.

දින දෙකකට වරක්වත් මෙවැනි කටුක රස ඇති ද්‍රව්‍ය යොදා සාදා ගන්නා හොදි වර්ග (රසම්) මෙම රෝගීන්ට ලබාදීම වඩා යහපත් බව ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා වැඩිදුරටත් පැවසීය ෴

++++++++++++++++

(13.11.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 373 දෙනෙකු ඊයේ (12) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,723 ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් මරණ දෙකක් (2) ද ඊයේ (12) වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහල යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (12) දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 369 ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර ඉතිරි හතර දෙනා (4) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි අය බවද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

මිනුවන්ගොඩ සහ පෑලිගොඩ කොවිඞ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 12,227 ක් දක්වා ඉහල යන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5022 ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 10,653 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ සිදුවූ කොරෝනා මරණ වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවනවා.

එලෙස මියගිය බහුතරයක් විවිධ නිධන්ගත රෝගවලින් ඇතිවූ සංකූලතා මත නිවෙස් තුළදීම මියගොස් තිබුණා.

මාසයකුත් දින 15 කට ආසන්න කාලයක් තුළදී කොරෝනා මරණ 37 ක් වාර්තා වී ඇති අතර, පසුගිය සිකුරාදා සිට මේ දක්වා දින හතක් (7) තුළ මරණ 17 ක් වාර්තාවීමද විශේෂත්වයක්.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වෛරසය ආසාදනය වූ 12 දෙනෙකු ඊයේ (12) වාර්තාවී තිබෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක සේවය කර පැමිණීම හේතුවෙන් නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් 35 දෙනෙකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලිනුයි මොවුන් ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇත්තේ.

එමෙන්ම කොළඹ මහල් නිවාස සංකීර්ණවල රැඳි සිටින පුද්ගලයින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් දැඩි අවදානමක් ඇතිවිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා.

මෙවන් පසුබිමක මහල් නිවාස සංකීර්ණවල රැඳී සිටින ජනතාව නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ක්‍රියාකළ යුතු බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ජපානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකු ඊයේ (12) සහ අද (13) දිවයිනට පැමිණියා ෴

++++++++++++++++++

(13.11.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කර ඇති අතර, බස් රථ ධාවනය වන්නේ ඉතා අවම වශයෙන්.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල පුද්ගලයින් පොදු ප්‍රවාහනය භාවිත නොකිරීම නිසා දෛනිකව රුපියල් මිලියන 50 ක පමණ පාඩුවක් සිදුවන බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව කොවිඩ් 19 දෙවන රැල්ල හේතුවෙන් මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයට සිදුව ඇති පාඩුව අවම වශයෙන් රුපියල් මිලියන 520 ඉක්මවනවා.

මේ අතර ලංගම බස් රථවල විෂබීජනාශක දියර සහිත බෝතල් සවි කිරීම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමඟ මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බව එහි සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව දිවයින පුරා ධාවනය වන බස් රථ 4,000 ක් සඳහා විෂබීජනාශක දියර බෝතල් ඉදිරියේදී සවි කිරීමට කටයුතු කරනු ඇති.

එමෙන්ම හෙට (14) සහ අනිද්දා (15) බස් ධාවනය කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (13) පවත්වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම දින දෙකෙහි මගී දුම්රිය ධාවනය නොකිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++

(13.11.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහය ලබාගැනීමට විශ්‍රාමික සේවකයන් සේවයට කැඳවා තිබෙනවා.

එමෙන්ම සුදුසුකම් ලත් බාහිර ආයතනවලින්ද සේවා ලබාගැනීමට තීරණය කර ඇති බවයි වරාය සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ.

පවතින තත්ත්වය මත කොළඹ වරායට පැමිණි නෞකා 14 ක් පමණ වරායට ඇතුලුවීම ප්‍රමාදවී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් වරායෙන් පිටත දින කිහිපයක් නැංගුරම් ලා ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12) සඳහන් කළේ මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් නෞකා 25 ක වරාය පිටත සීමාවේ නැංගුරම් ලා ඇති බවයි.

ඒවායේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග පවතින බවද ඔහු කියා සිටියා.

අප මේ පිළිබඳව වරාය සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ කොළඹ වරායේ සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහය ලබාගැනීමට විශ්‍රාමික සේවකයන් සේවයට කැඳවා ඇති බවයි.

කොළඹ වරායේ සේවය කරන බහුතර සේවක පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වන අතර, සැළකිය යුතු පිරිසකට කොරෝනා ආසාදනය වී හෝ නිරෝධායනයට ලක් කර ඇති බවයි වර්තාවන්නේ.

කොරෝනා ආසාදනය වූවන් අතරට ගැන්ට්‍රි දොඹකර හසුරුවන සේවකයින් පිරිසක්ද ඇතුළත්.

තවත් පිරිසක් කොළඹ නගර සීමාවේ හුදකලා කරන ලද ප්‍රදේශවල සිටීම හේතුවෙන් ඔවුන් සේවා කටයුතු සඳහා ගෙන්වාගැනීමේ අවදානමත් සමඟ ගැටළුකාරී තත්වයක් උද්ගත වී ඇති බවයි වරාය සභාපතිවරයා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(13.11.2020 – 08:41 +0530 – hirunews.lk/sinhala)

හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුට (2) කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් හිනිදුම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු 16 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එමෙන්ම අදාළ පොලිස් නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (13) දිනයේ සිදුකිරීමටද නියමිතයි.

හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා (2) උඩුගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බූස්ස බන්ධනාගාරය වෙත යොමු කරනු ලැබුවා.

එහිදී මොවුන් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගැණුනු අතර ඒ අනුවයි පොලිසියේ නිළධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත්තේ.

කෙසේ වෙතත් පොලිස් ස්ථානය මෙතෙක් වසා දමා නොමැති අතර, ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස හැර අනෙකුත් නිලධාරීන් යොදවා පොලිස් ස්ථානයේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවටයි වාර්තාවන්නේ ෴

========================================

*********************************************

ලබන මාසයේ මන්නාරමේ පළමු සුළං බලාගාරය විවෘත කිරීමෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති විප්ලවය අරඹනවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

(13.11.2020 – sinhala.news.lk)

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පළමු ධූර කාලයේ දෙවන වසර ඉක්මවීමට ප්‍රථම ඒනම් 2021 නොවැම්බර් 16 දිනට පෙර ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 100% ක් බවට පත්කිරීම නියතයක් යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා පොළොන්නරුවේදී පැවසීය.

‌පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවිම පිළිබද කාර්ය සාධක කමිටුවේ රැස්වීමට සහභාගි වෙමින් විදුලිබල අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මෙම රැස්වීම පොළොන්නරුව දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා …

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් විදුලිය නොමැති පවුල් සංඛ්‍යව 1359 ක් සිටිනවා. වත්මන් ආණ්ඩුව විසින් විදුලිය සලකන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙසින්. ඒ නිසා ඈත දුෂ්කර කඳු මුදුන් මත නිවෙස් තනා ජීවත්වන පුරවැසියන් වෙත ප්‍රධාන ජාලයට ලගාවිය නොහැකිනම්, එවැනි අතිදුෂ්කර ප්‍රදේශයන් වෙත සූර්ය බලයෙන් හෝ විදුලිය ලබාදීමට විදුලිබල අමාත්‍යාංශය කැපවී කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය කළහැකි ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිට ඒ සඳහා යොදාගෙන ඇති බැවින්, විදුලි උත්පාදනය වෙනුවෙන් විකල්ප මූලාශ්‍ර සෙවීමට සිදුවී ඇතිබවත්, එහිදී මිල අවම මෙන්ම පරිසර හානියෙන් තොර මාධ්‍යයන් වෙත යෙමුවීම වැදගත් බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. එවැනි මිල අවම , පරිසර දූෂණයෙන් තොර, අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලි සැපයුමක් වෙනුවෙන් මේ වනවිට ශ්‍රී ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ දිශානතිය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවි ඇති බව පැවසූ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරම මහතා, අතිගරු ජනධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කරගැනීම සඳහා, වසර 2030 වනවිට පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය 70% ක් දක්වා වර්ධනය කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

එමෙන්ම ජලය, සුළඟ සහ හිරු ප්‍රමුඛව පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය කිරීමේ ප්‍රධාන විභවයන් බවට පත්කර ගැනීම 2030 වනවිට යතාර්ථයක් බවට පත්කරගන්නා බව පැහැදිළි කළ විදුලිබල අමාත්‍යවරයා, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ මේ වනවිට සූර්ය බලයෙන් විදුලිය ලබාගන්නා ප්‍රමාණය නිවාස 193 ක් වීම කණගාටුවට කරුණක් බවද, සූර්ය කිරණ වඩාත් ශක්තිමත් කලාපයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්ක යේ එම සංඛ්‍යාව අවම වශයෙන් 2021 අවසන් වනවිට නිවාස 3000 ක් දක්වා වර්ධනය කිරීමට පියවර ගන්නා බවද පෙන්වා දුන්නේය.

ලබන මස මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පළමු සුළං බලාගාරය මන්නාරමේ විවෘත කිරිමෙන් බලශක්ති විප්ලවයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කිරීමට කටයුතු කරන බවත්, රටක් වශයෙන් ඩීසල් කෙරෙහි දක්වන අසීමිත ඇල්ම වෙනුවට ස්වභාව ධර්මයට ප්‍රේම කිරීමට ශ්‍රී ලාංකික විදුලිබල ක්ෂේත්‍රය යොමු කරන බවත් මෙහිදී විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට, ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ බතික් කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, යන අමාත්‍යවරුන් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ ෴

***************************************

මාතලේ මහ රෝහලට පැන CCTV ලේන්සුවෙන් වසා මත්පෙති ගන්න දොස්තරගේ සීල් එක ඉස්සූ මාතලේ මෙහෙයුම

(13.11.2020 – gossiplankanews.com)

මාතලේ මහ රෝහලේ මනෝ වෛද්‍ය සායන කාමරයේ වෛද්‍යවරයාගේ රබර් සීල් මුද්‍රාව සොරකම් කළ පුද්ගලයන් තිදෙනකු මාතලේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.එම්. තිලකවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. පසුගියදා (6 දා) රාත්‍රි මෙම පුද්ගලයන් ත්‍රීවීල් රථයකින් රෝගී පුද්ගලයෙක් රෝහලේ නතර කරන බවට වෛද්‍යවරයාට පෙන්වා ලියාපදිංචි කර වාට්ටුවට යන ආකාරයෙන් ගොස් සායන ගොඩනැඟිල්ලට ඇතුළු වී සායනයේ අසල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා ලේන්සුවකින් වසා වෙනත් අතකට කැමරාව හරවා දොර කඩා රබර් සීල් මුද්‍රා සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිදුවීමත් සමඟ 7 වැනි දින වෛද්‍යවරයා සායනයට එන විට මුද්‍රාව නොමැති බව පෙනී ගිය හෙයින් පසු විපරම් කිරීමේදී කැමරා කාච පරීක්ෂා කිරීමේදී සිද්ධිය අනාවරණය විමත් සමඟ වෛද්‍යවරයා විසින් මාතලේ මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඉන්පසු අපරාධ අංශයේ විශේෂ දැනුම ඇති පොලිස් නිලධාරීන් පිරිස සී.සී.ටී.වී. කැමරා සෝදිසි කරමින් පරීක්ෂණ ආරම්භ කිරීමේදී මෙම පුද්ගලයන් කුඩුවලට ඇබැහි වූවන් බවට අනාවරණය කරගෙන ඇත. මෙම වෙද්‍යවරයාගේ රබර් සීල් මුද්‍රාව සොරකම් කිරීමට හේතුව පරීක්ෂා කිරීමේදී මත්පෙති මිලදී ගන්නට හා වෙනත් රහසිගත දේවල් කිරීමට මෙම මුද්‍රාව උපයෝගී කරගත හැකි බවටත් වෙළෙඳපොළේ ඇති මත්පෙති ගැනීමට සහ එම මත්පෙති රුපියල් 500 ක් වැනි මුදලට අලෙවි කිරීමට හැකියාව පවතින බවට අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයන් තිදෙනා අධික ලෙස මත්කුඩුවලට ඇබැහි වූවන් බැවින් රාත්‍රි කාලයේ ආරක්ෂක අංශවලටත් හොරෙන් සායනයට යෑමත්, සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී රෝහල් පරිපාලනයේ සහාය පොලිසියට නොලැබීම ගැනද පොලිසිය මවිතය පළ කර ඇත. මොවුන් ගමන් කළ ත්‍රීවීල් රථයද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ළඟ තිබී එක් අයකු ළඟ හෙරොයින් මිලිග්‍රෑම් 1,600 ක් සහ දෙවැනි පුද්ගලයා සතුව මිලිග්‍රෑම් 1,450 ක් තිබී ඇත. සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාතලේ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ සහ දිස්ත්‍රික් 01 භාර පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චානක ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.එම්. තිලකවර්ධන මහතාගේ මෙහෙය වීම මත උප පොලිස් පරීක්ෂකවරුන් වන ඩබ්.ජී. ඒකනායක, හෙට්ටිආරච්චි සහ බණ්ඩාර යන අය සහ සැරයන් බණ්ඩාරනායක (6922), දිමුතු (35809), ලසන්ත (57197) යන අය වැටලීමට සහභාගි වූහ ෴

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *