කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 5 ක් හුදෙකලා කෙරේ

කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 5 ක් හුදෙකලා කෙරේ

*********************************************

කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 5 ක් හුදෙකලා කෙරේ

(14.11.2020 – 21:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 12 ට අමතරව තවත් පොලිස් බල ප්‍රදේශ 5 ක් සඳුදා (16) අලුයම 05:00 සිට හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් බල ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරෙන අතර කැලණිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට නියමිතයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවල හුදෙකලා කර ඇති ප්‍රදේශ හෙට (16) අලුයම 05:00 සිට එම තත්ත්වයෙන් මුදා හරින බවයි.

මේවන විට දිවයිනේ පොලිස් වසම් 27ක් සහ ග්‍රාම සේවා වසම් 5 ක් හුදෙකලා කර ඇත්තේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්.

ඒ අනුව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ පොලිස් බල ප්‍රදේශ 12 ක් හුදෙකලා කර ඇති අතර එම තත්ත්වය සඳුදා (16) අලුයම 05:00 න් පසුවද දීර්ඝ කෙරෙන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලා.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ මරදාන යන පොලිස් වසම්ද සඳුදා (16) අලුයම 05:00 සිට හුදෙකලා කෙරෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශවලින් ජා ඇළ, මීගමුව, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ තවදුරටත් හුදෙකලා තත්ත්වයෙන් පවතින අතර කැලණිය පොලිස් වසමද සඳුදා (16) සිට හුදෙකලා තත්ත්වයට පත්කරන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ හැර ගම්පහ දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල හුදෙකලා කර ඇති පොලිස් වසම් හෙට (16) අලුයම 05:00 සිට එම තත්ත්වයෙන් මුදා හැරෙනු ඇති.

එම හුදෙකලා කර ඇති ප්‍රදේශ අතරට බස්නාහිර පළාතේ පොලිස් වසම් 23 ක් අයත්.

මෙම ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරන පිරිස් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දින කිහිපය පුරාම පොලිසිය ඇතුළු ආරක්ෂ අංශ මෙහෙයුම් කියාත්මක කළා.

මේ අතර බස්නාහිර පළාතෙන් පිටවීම පනවා ඇති සීමාව අද (15) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත් බස්නාහිර පළාත් සීමාවල ස්ථාපිත කර ඇති මාර්ග බාධකවලදී අදත් රථවාහන සහ පුද්ගලයින් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණා.

එම නිවේදනය පහතින් :

+++++++++++++++++++++

(15.11.2020 – 07:48 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමඟ ජනතාව මාළු අනුභව කිරීම අවම වීම නිසා ධීවර පවුල් 130,000 ක් පමණ දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය පවසනවා.

එහි කැඳවුම්කරු හර්මන් කුමාර කියා සිටියේ ධීවර අස්වැන්නෙන් සියයට 70 ක් පමණ විකුණාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පසුගියදා සඳහන් කළේ ගොඩගැසී ඇති මත්ස්‍ය අස්වැන්න කඩිනමින් මිලදී ගැනීමට කටයුතු කරන අතර ධීවරයින්ට සහන ලබාදීමට ද සූදානම් බවයි.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය පවසන ආකාරයට මේ වන විට ධීවර පවුල් 171,000 ක් පමණ සිටින අතර ඉන් 130,000 කට ආසන්න සංඛ්‍යාවක් සිය ජීවනෝපාය පවත්වාගෙන යන්නේ කරදිය ධීවර කර්මාන්තය හෙවත් මුහුද ආශ්‍රිතව සිදුකරන ධීවර කර්මාන්තයෙන්.

පවුල් 40,000 ක් පමණ මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන අතර ඔවුන් මෙරට මත්ස්‍ය පාරිභෝජනයෙන් සියයට 17 ක් පමණ ලබාදෙන බවයි එම ව්‍යාපාරය සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ කරදිය ධීවර රැකියාවේ නිරත ධීවරයින් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ ජනතාව අනිසි බියක් ඇති කර ගනිමින් මාළු පාරිභෝජනය නොකිරීම හේතුවෙන්.

ධීවරයින් මුහුණ දී ඇති ගැටළුව සැලකිල්ලට ගෙන මත්ස්‍යයින් හරහා කොරෝනා වෛරසය ව්‍යාප්තවීමක් සිදුනොවන බවට පරීක්ෂණ පවත්වා සමාජය කඩිනමින් දැනුවත් කිරීමට රජය කටයුතු කළ යුතු බවයි ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(15.11.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ රට වැසියන් සැමට සෙත්පතා 500 නමක මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනාවක් ඓතිහාසික මිරිසවැටිය පුදබිමේ සලපතල මළුවේදී ඊයේ (14) පැවැත්වුණා.

කොරෝනා වසංගතයෙන් අත්මිදීම සඳහා ආශිර්වාද කිරීම, ජනාධිපති ධුරයට පත්ව වසරක් සපිරීම සහ අග්‍රාමාත්‍යවරයාගේ ඡන්ම දිනය නිමිතිකොට සෙත් පැතීමේ පිංකම සංවිධාන කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඒ අනුව සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ උපදෙස් මත දිවයිනේ නන්දෙසින් වැඩම කළ 500 නමක් මහා සංඝරත්නය ඊට සහභාගි වුණා ෴

++++++++++++++++++++

(15.11.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

මළ අපද්‍රව්‍ය සමඟ කොරෝනා වෛරසය ව්‍යාප්ත විය හැකි බවට විවිධ රටවලින් සාක්ෂි හමුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා.

එමෙන්ම, නළ ජලය මෙන්ම භූගත මූලාශ්‍රවලින් ලබා ගන්නා ජලය ද සෙල්සියස් අංශක 100 ක උෂ්ණත්වයක උණු කර පානය කිරීම සුදුසු බවයි ඇය සඳහන් කළේ.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජගත් විද්‍යාඥයන් සිදුකරන බොහෝ පරීක්ෂණ අවසන් නිගමනයන්ට පැමිණ නොමැති නිසා වඩාත්ම ආරක්ෂාකාරී ක්‍රියාමාර්ගය තෝරා ගත යුතු බව මහාචාර්යවරියගේ අදහසයි.

ඉක්වදෝරයේ අපජලය හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

විදෙස් රටවල අපජලය පිරිපහදු කිරීම සඳහා එක් එක් ජන කොට්ඨාශයන් කේන්ද්‍ර කර ගනිමින් පිරිපහදු ක්‍රියාවලියක් පැවතියද ශ්‍රී ලංකාවේ එවැනි පුළුල් ක්‍රියාවලියක් දක්නට ලැබෙන්නේ නැහැ.

මේ හේතුවෙන් මළ අපජලය පසට එකතුවීමේ අවදානමක් ඇති විය හැකියි.

මේ අතර, කොරෝනා වෛරසය මීයන්, මුගටියන් වැනි සතුන් හරහා වසර ගණනාවකට පසු නැවත මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමට හැකියාව පවතින බවට ද පර්යේෂකයන් පවසනවා.

ඩෙන්මාර්කයේ මුගටි විශේෂයක් තුළ වෛරසය ව්‍යාප්ත වීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලින් අනතුරුවයි එම නිගමනයට එළඹ ඇත්තේ ෴

++++++++++++++++++

++++++++++++++++++

Unilever Pureit WATER PURIFIERS

[ https://www.facebook.com/PureitSL ]

Pureit Classic 9L : Rs. 11,999/=

+++++++++++++++++

(15.11.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) අලුයම 05:00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 12 ට අමතරව තවත් පොලිස් බල ප්‍රදේශ 5 ක් හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය යන පොලිස් බල ප්‍රදේශ එලෙස හුදෙකලා කෙරෙනු ඇති.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බල ප්‍රදේශයද හෙට (16) අලුයම 05:00 සිට හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, අනෙකුත් දිස්ත්‍රික්කවල මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ හැර අනෙකුත් පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබූ හුදෙකලා කිරීම අද (15) අලුයම 05:00 සිට ඉවත් කෙරුණා.

මේ අතර, ඊයේ (14) දිනයේදීත් අලුතින් ආසාදිතයින් 389 දෙනෙකු වාර්තා වුණා.

ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,583 ක්.

ඊයේ (14) දිනයේදී තවත් පුද්ගලයින් 293 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11,324 ක් ලෙස සටහන් වනවා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5206 ක්.

මේ වනවිට මෙරටින් කොරෝනා මරණ 53 ක්ද වාර්තා වනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාතට තවදුරටත් කොරෝනා වෛරසයේ අවදානම දැඩිව පවතින බවයි.

කොළඹ මහනගර සීමාවට අයත් බල ප්‍රදේශවලට මෙම අවදානම වැඩි වශයෙන් පවතින බව ඔහු කියා සිටියා ෴

බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබූ සංචරණ සීමාව අද (15) මධ්‍යම රාත්‍රි දොලහෙන් (12) අවසන් වන බව පොලිසිය පවසනවා.

ඒ අනුව මධ්‍යම රාත්‍රි දොලහෙන් (12) පසු බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++++++

(15.11.2020 – 10:13 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) අලුයම 05:00 සිට හුදකලා කෙරෙන මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය පොලිස් වසම් වල ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්තශාලා සහ අධිකරණ කටයුතු පවත්වාගෙන යා හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම, අදාළ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවාවන් සහ රාජ්‍ය ආයතන ද පවත්වාගෙන යා හැකියි.

මෙම සියලු ආයතන සෞඛ්‍ය බලධාරින්ගේ දැඩි අධීක්ෂණය සහ මාර්ගෝපදේශ යටතේ පැවැත්විය හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටතට යාම සඳහා පනවා තිබූ සංචරණ සීමාව අද (15) මධ්‍යම රාත්‍රි 12 න් අවසන් කෙරෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මේ වනවිට පොලිස් බල ප්‍රදේශ 19 ක් හුදකලා තත්ත්වයේ පවතින අතර, හෙට (16) අලුයම 05:00 සිට එය 25 ක් දක්වා වැඩි වන බවයි.

හෙට (16) අලුයම 05:00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය හා වේල්ල වීදිය යන පොලිස් බල ප්‍රදේශ ද හුදකලා කෙරෙනු ඇති. එසේම, ගම්පහ දිස්ත්‍රික්කයේ කැළණිය පොලිස් බල ප්‍රදේශය ද හෙට (16) අලුයම 05:00 සිට හුදකලා කෙරෙනවා.

කෙසේ වෙතත්, ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, ජා-ඇල, රාගම, කඩවත, වත්තල හා පැලියගොඩ හැර අනෙකුත් පොලිස් බල ප්‍රදේශ වෙත පනවා තිබූ හුදකලා කිරිම අද (15) අලුයම 05:00 සිට ඉවත් කෙරුණා.

එසේම, කළුතර දිස්ත්‍රික්කයේ වෑකඩ බටහිර ග්‍රාම නිළධාරි වසම සහ හොරණ, ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ මාවනැල්ල යන පොලිස් වසම් ද හුදකලා බවින් නිදහස් කෙරුණා.

+++++++++++++++++++

(15.11.2020 – 12:12 +0530 – hirunews.lk/sinhala)

සියලුම බන්ධනාගාර නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එහි පාලන කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ හෙට (16) පෙරවරු 8 වනවිට සියලුම නිලධාරින් අදාළ බන්ධනාගාරවලට සේවය සඳහා වාර්තා කල යුතු බවයි.

ඊයේ (14) දිනයේදී බූස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයන් 44 දෙනෙකු අලුතෙන් හඳුනා ගැනීමත් සමඟ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 329 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++

(15.11.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට විපක්ෂය සහය ලබාදෙනවා වෙනුවට සෞඛ්‍ය අංශවල අභිප්‍රේරණය හීන කිරීමට පියවට ගනිමින් සිටින බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත චෝදනා කළා.

එසේම මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ප්‍රකාශ කළේ විපක්ෂය කිසිදු වැදගත්කමක් නොමැතිව හැසිරෙන බවයි.

මේ අතර පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

+++++++++++++++++++

(15.11.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට මුල්ලේරියාව මූලික රෝහලේ ස්ථාපිත රසායනාගාරයේ යළිත් දෝෂයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

‘හිරු ටී.වී. පත්තරේ විස්තරේ’ වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ එය අද (15) දිනයේදී යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 16,583 ක් වාර්තා වන අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රිතව වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 13,084 ක්.

ඊයේ (14) දිනයේදී එම පොකුරු දෙක ආශ්‍රිතව ආසාදිතයින් 389 දෙනෙකු වාර්තා වුණා.

ඒ අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 205 ක්.

ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 40 දෙනෙකු සහ කළුතරින් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තා වූ බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

මෙරටින් වාර්තා වන ආසාදිතයින් අතරින් 11,324 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 5,206 ක් පමණයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොරෝනා පොකුර ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

මුල්ලේරියාව මූලික රෝහලේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් පළ කළේ මෙලෙසින්.

මේ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 128 දෙනෙකු ඊයේ (14) රාත්‍රියේ සහ අද (15) අලුයම දිවයිනට පැමිණියා.

චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ දෝහා සිට මෙලෙස එම පිරිස දිවයිනට පැමිණි බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර, බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් අනතුරුව ඊයේ (14) රාත්‍රියේ ඔවුන් පොලොන්නරුව ගල්ලෑල්ල සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගියා.

එමෙන්ම, මහා මාර්ගයේදී මියගොස් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, දියවන්නා ඔයේ අධි ආරක්ෂිත කලාපයේ මාළු ඇල්ලීමට ගොස් සිටියදී සිදුවූ අනතුරකින් පසුගියදා ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණ මුල්ලේරියාව රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති බවයි.

මෙරට බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 437 ක් දක්වා ඉහළගොස් ඇතිබව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා ෴

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ වසා දමා ඇති ප්‍රදේශවල බස් රථ නැවැත්වීම සිදුනොකරන බවයි ෴

හෙට (16) දිනයේ සිට දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මේ අතර අතර හුදෙකලා ප්‍රදේශවල නොනවත්වා කොළඹ කොටුව දක්වා ද දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

පහත සඳහන් දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොකරයි :

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 18 වනදා රාත්‍රී 08:30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා ෴

කෝවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 171 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,495 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දෙනවා ෴

++++++++++++++

ශ්‍රී ලාංකික සංචාරකයින්ට විදේශ අමාත්‍යාංශයෙන් අනතුරු අඟවයි

(14.11.2020 – 09:47 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා ගෙවීම්/ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම්වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතටයන සියලුම සංචාරකයින් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

අදාළ රාජ්‍ය ආයතනවලට හැර, ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැළසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව විදේශ අමාත්‍යාංශය මෙයින් දන්වා සිටී.

මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද, නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉදිරි සතිවල දී නැවත ආරම්භ කෙරෙන බවද පෙන්වා දෙයි.

විදේශ රටවල පදිංචිව සිටින අයට වැඩිදුර නිවරැදි තොරතුරු ලබාගැනීම සඳහා ඔබේ ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය අමතන ලෙසද සඳහන් කරයි.

නැතහොත් https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’ අන්තර්ජාල ද්වාරය වෙත ඔබේ ගැටලු යොමු කරන ලෙස දැනුම් දෙයි ෴

+++++++++++++++++

(15.11.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කෝවිඩ්-19 ආසාදනය වූ තවත් රෝගීන් 171 දෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 11,495 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ආසාදිතයින් 5035 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි.

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,583 ක් ෴

+++++++++++++++++

(15.11.2020 – 16:19 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 06 වන දින පැවැත්වීමට නියමිතව තිබූ දහම් ගුරු සහතික පත්‍ර විභාගය වෙනත් සුදුසු දිනකදී පැවැත්වෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

දහම් පාසල් ගුරු භවතුන් 15,000 ට වැඩි ප්‍රමාණයක් මෙම වසරේ විභාගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

දිවයිනේ දිස්ත්‍රික්ක 22 ක් ආවරණය කරමින් පැවැත්වෙන මෙම විභාගය නැවත පැවැත්වෙන දිනය සහ විභාග මධ්‍යස්ථාන පිළිබද තොරතුරු විභාග අපේක්ෂකයින්ට ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි ෴

++++++++++++++++++

(15.11.2020 – 16:49 +0530 – hirunews.lk/sinhala)

රුසියාව නිපදවූ කොවිඩ් 19 එන්නත, ස්පුට්නික් 5, ඉදිරි සතියේ දෙවන සහ තුන්වන අදියරේ මානව පරීක්ෂාවන් සඳහා ඉන්දියාවට ලඟා වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

එහි පළමු තොගය කාන්පූර් වෙත රැගෙන ඒමට නියමිත අතර, කාන්පූර්හි වෛද්‍ය විද්‍යාලයක් ඒ සඳහා ඉන්දීය ඖෂධ පාලකවරයා වෙතින් අවසර ලබාගෙන තිබෙනවා.

රුසියානු කොවිඩ් 19 එන්නතේ පරීක්ෂාවන් සඳහා ස්වේච්ඡාවෙන් පුද්ගලයන් 180 දෙනෙකු දැනටමත් ලියාපදිංචි වී ඇති බව සඳහන්.

එන්නතෙහි සාර්ථකත්වය නිර්ණය කරනු ඇත්තේ එලෙස එන්නත ලබාදෙන පුද්ගලයින්ගේ තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමෙන් ෴

++++++++++++++++

(15.11.2020 – 18:04 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයින් 544 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙම ආසාදිතයින් සියල්ල ආශ්‍රිතයින් බවයි.

මෙම ආසාදිතයින් 544 සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 17127 දක්වා ඉහළ ගියා.

==========================================

(15.11.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

තමන් දරණ සංස්කෘතික අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අදහස් පළ කළා.

ඒ මහනුවර දිස්ත්‍රික්කයේ කලාකරුවන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පැවති වැඩසටහනකට එක්වෙමින්.

***************************************

(15.11.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට විශේෂ ලේකම් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටා ඇති මෙම විශේෂ ලේකම් කාර්යාලය මගින් ලෝක බැංකු සහ කෘෂි කාර්මික සංවර්ධන සඳහා ජාත්‍යන්තර අරමුදල යටතේ මෙරට ක්‍රියාත්මක කෘෂි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

නව තාක්ෂණික සහය, ගොවිජනතාව වෙත ලබාදීමට අදාළ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම ද, මෙම නව ලේකම් කාර්යාලය හරහා සිදුවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ෴

***************************************

(15.11.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

වැසි සමයේදී නිරන්තරයෙන් ජලයෙන් යටවන ගම්මානයක් පිළිබඳව පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මනල්තිව් ග්‍රාම නිලධාරී වසමේ සේවන්තිව් ගම්මානයේ 70 දශකයේ මුල් භාගයේදී ජනාවාස වූ අතර අද වනවිට එහි පවුල් 100 ක් පමණ ජීවත් වනවා.

මෙම ගම්මානයේ වෙසෙන බහුතර ජනතාවගේ ජීවනෝපාය ධීවර කර්මාන්තයයි.

ඒ අතරින් සැලකිය යුතු පිරිසක් කාන්තාවන් වීමද විශේෂත්වයක්.

ගම්මානයේ ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව බවට පත්ව ඇත්තේ අධික වර්ෂාවන් ඇති වන සෑම අවස්ථාවකදීම මෙම නිවාස ජලයෙන් යටවී යාමයි.

***************************************

‘ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි’ කිසිදු ගිවිසුමකින් තොරව IOC සමාගමට දීලා

(15.11.2020 – 09:21 +0530 – lankaleadnews.com)

ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගම භාවිත කරන්නේ කිසිදු බදු ගිවිසුමකින් තොරව නීතිවිරෝධීව බව චෝදනා කරමින් වෘත්තීය සමිති හතරක් (4) ඇතුළු පාර්ශ්ව පහක් එක්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුව හෙට (16 දා) විභාගයට ගැනීමට නියමිතයි.

2003 පෙබරවාරි 07 වැනි දින එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම් චරිත රත්වත්තේ, තෙල් සංස්ථාවේ සභාපති දහම් විමලසේන හා ඉන්දියන් තෙල් සමාගමේ නාගේෂ්වරන් යන අය එක්ව මූලික එකඟතාවක් මත මාස හයක් (6) තුළ ගිවිසුමකට එළඹිය යුතු බවට සඳහන් කොට තිබෙනවා.

ඒ අනුව චීන වරායේ පිහිටි තෙල් ටැංකි 99 කින් ටැංකි 14 ක් භාවිත කරන අතර එක් ටැංකියක් සඳහා වසරකට ඇමරිකානු ඩොලර් දහසක (1000) මුදලක් ගෙවීමට එකඟ වී තිබුණා.

කෙසේ වෙතත් මූලික එකඟත්වය අනුව 2003 අගෝස්තු 07 වැනි දින වන විට තෙල් සංස්ථාව හා ඉන්දියන් තෙල් සමාගම අතර ගිවිසුමකට එළඹිය යුතු වුවත් වසර 17 ක් තිස්සේ නීතිවිරෝධීව එසේ සිදු නොකොට චීනවරායේ තෙල් ටැංකි භාවිත කරනවා. එසේ භාවිත කරන තෙල් ටැංකි 14 න් එකක් කඩා කුඩා ටැංකි දෙකක් (2) ඉදි කර ඇත්තේ නීතිවිරෝධීව බව වෘත්තිය සමිති චෝදනා කරනවා.

සාමාන්‍යයෙන් එහි තෙල් ටැංකියක් සඳහා ශ්‍රී ලංකා රජයට ඉන්දියන් තෙල් සමාගම වසරකට ලබා දෙන කුලිය රුපියල් එක්ලක්ෂ අසූදහසක් (1,80,000) පමණ වනවා.

වෙතත් උතුරේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් 2007 සිට 2010 වසර දක්වා කාලයේදී එම ඉන්ධන ටැංකිවල කුලියට ගබඩාකර තෙල් සංස්ථාව උතුරට තෙල් යවා තිබෙනවා.

ඒ සඳහා වසර හතරට (4) ඉන්දියන් තෙල් සමාගම තෙල් සංස්ථාවෙන් රුපියල් මිලියන 945 ක් ඉල්ලා සිටියා. 2008 වසරේ පමණක් මිලියන 361 ක්ද, 2009 වර්ෂයේ පමණක් මිලියන 328 ක් වශයෙන් ඉල්ලා තිබෙනවා.

දැනට ත්‍රිකුණාමලය වරාය දෙසට ඇති ටැංකි 14 ඉන්දියන් තෙල් සමාගම භාවිත කරන අතර චීන වරාය මාර්ගයෙන් බටහිර දෙසට ඇති රට තුළ පිහිටුවා තිබෙන ටැංකි 85 තවදුරටත් වනයට යට වෙමින් දිරාපත් වෙමින් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *