දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි : කොටි සැමරූ සුමන්තිරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඥානසාර හිමියෝ කියති

දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි : කොටි සැමරූ සුමන්තිරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඥානසාර හිමියෝ කියති

*********************************************

දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි : කොටි සැමරූ සුමන්තිරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඥානසාර හිමියෝ කියති

(22.11.2020 – colombotoday.com)

අධිකරණය මගින් මහවිරු සැමරීම වලක්වා ඇති අවස්ථාවක පුදුම සහගත ලෙස අධිකරණ නියෝගය ලබාදී පැය 24 ක් යාමට මත්තෙන් 1954 වසරේ ඉපදුන 1985 වසරේ මියැදුණු කැප්ටන් පාන්ඩිතර් නැමැත්තාගේ නිවසට ගොස් මහා විරු සැමරීම සිදුකර එහි ඡායාරුප තමාගේ facebook පිටුවට එක් කිරීමට දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් විසින් කටයුතු කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (22) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අධිකරණ නියෝගය කඩ කරපු සුමන්තිරන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කර සිටි ඥානසාර හිමි ‘දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි’ යැයි පැවසීය.

නීතිඥවරයෙක් ලෙස මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමේදී රට බෙදුම්වාදයකට ත්‍රස්තවාදයකට තුඩු දෙන ක්‍රියාකාරකමක නොයෙදෙන බවත් එවැනි ක්‍රියාවකට අනුබල නොදෙන බවටත් දිවුරුමක් ලබා දෙන බව පැවසූ ඒ හිමියෝ ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මෙන්ම නීතිඥවරයෙක් ලෙස සපයන ආදර්ශය මෙය නම් අර හැගීම් බර වෙච්ච, කැලෑවල ජීවත් වුනු දමිල තරුණයෝ අවි අතදැරීමට සිත් පෙළඹවීමක් සිද්ධ වන්නට ඉඩ නැද්ද? ඒ නිසා වහාම අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා සුමන්තිරන්ට නීතිය ක්‍රියාත්මක කරන්න’ යැයි සඳහන් කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ :

“විශේෂයෙන්ම සහෝදර දෙමල හින්දු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සුමන්තිරන්ලා අටවන මර උගුල්වලට හසු වෙන්න එපා කියලා. මොකද මේ කාලකන්නි යුද්ධය නිසා දෙමල සමාජය කඩාගෙන වැටුනා. අපි ඔවුන් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගනිම්න් ඉන්න අවස්ථාවක සුමන්තිරන් වැනි අවස්ථාවාදී දේශපාලකයන් නිසා තවමත් අවි අත දැරීමට බලාපොරොත්තුවෙන් සිටින අඳුරු සෙවනැලිවලට උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා වහා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි මතක් කරන්න අවශ්‍යයි.”

+++++++++++++++++

***************************************

අලි සබ්රි ඕනවට වඩා වැඩියි, සාලි, මුජිබර්ලා කලින් ආණ්ඩුව කෑවා වගේ අලි සබ්රි තනියෙන් මේ ආණ්ඩුව කනවා

(22.11.2020 – YouTube : News Center)

https://www.youtube.com/watch?v=0_jeM1gH1wA

***************************************

***************************************

අවුරුදු 9 දී ඒ-ලෙවල් ගණිත අංශයෙන් ලියන්න ඉල්ලන අරුමපුදුම චෙනුලි (20.09.2020)

***************************************

“සිංගප්පූරු පන්නයේ වෙබ් අඩවි මර්දනයකට ආණ්ඩුව සැරසෙනවා” – රසික ජයකොඩි

(23.11.2020 – 14:02 +0530 – truenews.lk)

වත්මන් රජය මේ වන සිංගප්පූරු පන්නයේ වෙබ් අඩවි මර්දනයක් සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන සකස් කරමින් සිටින බව සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රකාශ කළා.

ඔහු ප්‍රකාශ කළේ සිංගප්පූරුවේ පසුගිය වසරේ සම්මත කරන ලද අන්තර්ජාල ව්‍යාජ ප්‍රවෘත්තිවලින් ආරක්ෂා වීමේ පනත (Protection if Online Falsehood and Manipulation Act) අනුව යමින් ශ්‍රී ලංකාවේ ද නව නීති සහ නියාමන යාන්ත්‍රණයක් ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බවට ආණ්ඩුවට අයත් ඩේලි නිව්ස් පුවත්පත වාර්තා කොට තිබෙන බවයි.

“සිංගප්පූරුවේ සම්මත කරන ලද මේ පනත අතිශය දරුණු සහ මර්දනකාරී එකක්. ඒ හරහා ආණ්ඩුවට එරෙහි මත පළ කරන විවේචනාත්මක වෙබ් අඩවි මර්දනය කරන්නටත් ඒවා පවත්වා ගෙන යන ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන්නටත් පුළුවන්. මේ මොහොතේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති ප්‍රබල ජනතා අප්‍රසාදය ප්‍රකාශය පත් වෙන ප්‍රධාන ම මාධ්‍ය වන්නේ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල අවකාශයයි. ඒ නිසා රජය මේ වන විට සිංගප්පූරු පන්නයේ මර්දනකාරී නීති හරහා අන්තර්ජාලයේ මත පළ කරන්නන් මර්දනය කිරීමට සැරසෙනවා.

සිංගප්පූරු පනතට අනුව ඕනෑම වෙබ් අඩවියකින් ඕනෑම තොරතුරක් ඉවත් කරන්න වගේ ම තමන්ට අවශ්‍ය ඕනෑම වෙබ් අඩවියක බලහත්කාරයෙන් නිවැරදි කිරීම් පළ කරන්නට ආණ්ඩුවට පුළුවන්. එමෙන් ම ආණ්ඩුවේ නියෝග ක්‍රියාත්මක නොකරන වෙබ් මාධ්‍යවේදීන් 10 වසරක සිර දඬුවමකට හෝ ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක දඩයකට යටත් කරන්න හැකියාව ලැබෙනවා. මෙය ඉතාම භයානක නීතියක් වන්නේ ඒ නිසයි.

ඊට අමතරව මෙහි තියන අතිශය භයානක පැතිකඩක් වන්නේ මේ හරහා වෙබ් අඩවි වලින් එම අඩවි පරිශීලනය කරන්නන්ගේ දත්ත ලබා ගැනීමට ආණ්ඩුවට ලැබෙන හැකියාවයි. එම දත්ත ආණ්ඩුව කුමන කටයුතු සඳහා භාවිතා කරයිද කියලා බරපතළ සැකයක් මතු වෙනවා. එම දත්ත නිසා පුද්ගලික නිදහසට මොන හානි වෙයිද? ප්‍රජාතන්ත්‍රවාදයට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට මොන විදියේ බලපෑමක් එල්ල වෙයිද? මේ කරුණු ගැන සමාජයේ පුළුල් සංවාදයක් මතු කළ යුතුයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ මේ යාන්ත්‍රණය තවත් සති දෙකක් තුළ ක්‍රියාත්මක කරනවා කියලා. මොකක්ද මේ හදිසිය? ඇයි මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන එක්ක සාකච්ඡා කරන්නේ නැත්තේ? ඇයි මේ ගැන සියලු ම පාර්ශ්වයන් එක්ක එකඟත්වයක් ඇති කරගැනීමට කටයුතු කරන්නේ නැත්තේ? ව්‍යාජ පුවත් සහ අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව පියවර ගැනීම කළ යුතුයි. ඒත් ඒ මුවාවෙන් ආණ්ඩුවර එරෙහි විවේචනාත්මක අදහස් මර්දනය කරන්නට සැරසීම හෙළා දැකිය යුතු ක්‍රියාවක්. මේ සැරසන්නේ ඒ මර්දනයට!” යැයි ද ඔහු අවධාරණය කළා ෴

***************************************

හිටි හැටියේ PCR පොසිටිව් එක නෙගේට්ව් වෙන්නේ නෑ. අමා මොහො ඇලි සැබ් ගේ නැන්දා ගැන සත්‍ය හෙළි කරන්න – රසායනාගාර වෘත්තීයවේදීන් රජයට කියයි

(23.11.2020 – colombotoday.com ඇසුරෙන්)

අධිමරණ අමා මොහො ඇලි සැබ්‍ ගේ නැන්දනියක් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල හුවමාරු වන කරුණු පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් රජය නිකුත් කල යුතුව ඇති බව රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කර සිටිනවා.

අමාගේ ඥාතියා භූමිදානය කිරීම සඳහා වාර්තාවක් අසත්‍ය ලෙස ලබා දුන් බවට කාරණාවක් ඉදිරිපත්වී තිබෙන බවත් මේවා මහජනතාව තුල ප්‍රශ්න හැටියට ඉතුරු නොකරන ලෙසත් තමන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රකාශ කර සිටි ඒ මහතා රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ලෙස තමන්ටත් මේ වාර්තා සොයා ගත නොහැකි වී තිබෙන බවත් අද (23) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

අන්තර්ජාලය තුල හුවමාරුවන වාර්තාවලට අනුව අමාගේ නැන්දනියක් මියගොස් ඇති අතර සිදුකල PCR පරීක්ෂණයකදී වාර්තාව පොසිටිව් වී ඇත. කෙසේ වෙතත් යලිත් PCR පරීක්ෂණයක් සිදුකර ඇති බවත් එය සැක සහිත ලෙස නෙගෙටිව් වී ඇති බවත් පසුව දේහය භූමදානය කල බවත් එම වාර්තාවල දැක්වේ. ශ්‍රී ලංකාව තුල දැනට වාරණය කර ඇති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට අයත් Facebook පිටුවේ මේ පිළිබඳව දීර්ග විස්තරයක් සඳහන් කර ඇත.

***************************************

කටගස්දිගිලියේ පුරාවිද්‍යා රක්ෂිතයක නිවාස ඉදිකරලා

(23.11.2020 – 13:59 +0530 – lankadeepa.lk)

කහටගස්දිගිලිය රත්මල්ගහවැව මාර්ගයේ කුරුක්කුරාගම හා අළුත් දිවුල්වැව මුස්ලිම් ගම්මානවලට මායිම්ව පිහිටා ඇති නැට්ටුක්කන්ද (නැටුම් කන්ද) පුරාවිද්‍යා රක්ෂිතය ආක්‍රමණය කර නිවාස 100 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබේ.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 201 කොක්මඩුව ග්‍රාම නිළධාරී වසමේ පිහිටි නැට්ටුක්කන්ද නොඑසේනම් නැටුම්කන්ද පුරාවිද්‍යා රක්ෂිතය වංශකතාවල සඳහන්වන්නේ නාගිරිකන්ද නමිනි.

මෙම පරිශ්‍රය ක්‍රි.ව. 5 වන 6 වන සියවස්වලට අයත් අති පෞරාණික බෞද්ධ ආරාමික භූමි භාගයක් බව එහි ඇති සෙල්ලිපි හා අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධක අනුව ඔප්පු වී ඇති බව පුරාවිද්‍යා මතයයි. එහෙත් මේ වනවිට මේ මුළු භූමියම ආක්‍රමණය කරමින් නිවාස, මාර්ග , පොදු ගොඩනැඟිලි ආදී සියළු ඉදිකිරීම් සිදුවී අවසන්ය. තව තවත් ඉදිවෙමින් ද පවතී.

කටාරම සහිත එක් ලෙනක කොටා ඇති පර්වත ලිපියකින් (දළ වශයෙන්) කියැවෙන්නේ අමාත්‍යවරයකු විසින් එම විහාරයට කරන ලද කිසියම් ප්‍රදානයක් පිළිබඳවයි. එම ලිපියේ අක්ෂර රටාව අනුව එය ක්‍රි.ව. 5 වන 6 වන සියවස්වලට අයත්විය හැකි බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි.

මේ පිළිබඳව කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගෙන් විමසූවිට ඒ මහතා මෙසේ පැවසීය.

“පුරාවිද්‍යා භූමියේ ඔය ගෙවල් හදලා තියෙන්නේ අද ඊයේ නෙමේ. අවුරුදු ගාණක ඉඳල. කවුරුවත් ඒ ගැන හොයල බලල නෑ. මේක තනිකරම පූජා භූමියක්. මම මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්. කහටගස්දිගිලියේ වැඩ බැලීමක් කරන්නේ. ඒ නිසා ඔය ගැන වැඩි විස්තරයක් මම දන්නේ නෑ. ඒ උනත් දැන් මේ කොට්ඨාසෙ අයිති මට හින්දා මං ඒ ගැන හොයලා බලන්නම්.”

කෙසේ වෙතත් වසර 1500 කට වඩා දිගු ඉතිහාසයක් ඇති මෙවැනි පූජා භූමියකළ පුරාවිද්‍යා රක්ෂිතයක අනවසරයෙන් නිවාස හා මාර්ග ආදිය වසර ගණනාවක් තිස්සේ ඉදිකරමින් තිබීම අදාල අංශවල ඇස නොගැටීම පිළිබඳව ප්‍රදේශවාසීහු විමතිය පළකරති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *