හඬපට වලින් හෙළිවූ දේශපාලන සිරගත කිරීම

හඬපට වලින් හෙළිවූ දේශපාලන සිරගත කිරීම

*********************************************

හඬපට වලින් හෙළිවූ දේශපාලන සිරගත කිරීම

(24.11.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

විවිධ නඩු තීන්දු සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීම් සිදුකළ බවට ප්‍රථමවරට හෙලිදරව්වූයේ යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ ‘හිරු සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එලෙස ලබාදී ඇති වැරදි නඩු තීන්දු සම්බන්ධයෙන් යළි සලකා බැලීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාමය බලයක් හිමිවන බවයි.

***************************************

(24.11.2020 – 13:15 +0530 – hirunews.lk/sinhala)

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දින විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

අද (24) විවාදයට ගැනෙන්නේ බුද්ධශාසන හා ආගමික කටයුතු, පළාත් පාලන, රාජ්‍ය පරිපාලන ඇතුලු අමාත්‍යාංශ හතරක (4) වැයශීර්ෂයන්.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශයක් සිදුකළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව මුහුණදී ඇති දුෂ්කරතාවන් පිළිබඳව කඩිනම් සහන සළසන ලෙසයි.

ඊට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පිළිතුරු ලබාදුන් අතර, සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ද මැදිහත්වුණා.

***************************************

(24.11.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ලවී සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් හමුවේ මීට අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදියි.

කොරෝනා වසංගතය හේතුවෙන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සැකකරුවන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ලබාදී තිබෙනවා ෴

***************************************

(24.11.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය සහ පුත්තලම කියූ සැණින් සිහියට නැගෙන්නේ බූරුවන් පිළිබඳවයි.

එම තත්ත්වය මේ වන විට වෙනස්වෙමින් පවතින්නේ එම ප්‍රදේශවල බූරුවන් සීඝ්‍රයෙන් වඳවීමේ තර්ජනයකට මුහුණදීම හේතුවෙන්.

නමුත් මේ වන විට කල්පිටිය ප්‍රදේශයේ බූරුවන් සීඝ්‍ර වඳවීමේ තර්ජනයකට ලක්ව තිබෙනවා.

බූරුවන් යනු කල්පිටිය සහ පුත්තලම ප්‍රදේශවලට ආවේණික සත්ත්ව කොට්ඨාසයක් ලෙස හැඳින්විය හැකියි.

අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙම බූරුවන් යොදා ගනිමින් බඩු බාහිරාදිය ප්‍රවාහනය කළ බවට ඕනෑතරම් සාක්ෂි පවතිනවා.

කල්පිටිය සහ පුත්තලම ප්‍රදේශයේ පවතින වැලි කදු සහිත ස්වභාවික පිහිටීම හේතුවෙන් එකල බූරුවාගෙන් මිනිසා ලද ප්‍රයෝජනය සුළු පටු නැහැ.

ඇතැම් පොල්වතු හිමියන් පොල් කුරුමිණියන් විනාශකිරීම සඳහා බූරුවන් යොදාගත් බවටද සාක්ෂි පවතිනවා.

කෙසේ වෙතත් කල්පිටිය ප්‍රදේශයේ තෘණභූමි විනාශවීම සහ පරිසරයට බැහැර කෙරෙන පොලිතීන් ආහාරයට ගැනීම හේතුවෙන් මේ වන විට බූරුවන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වනවා.

අයාලයේ ජීවත්වන මෙම සතුන්ට වාහනවල ගැටීමෙන්ද ඇතැම්විට දිවි අහිමි වනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ හිමිකරුවන් නොමැතිව මේ වන විට මෙම සතුන් නිදැල්ලේ ගැවසීම අනාගතයේ බූරු ගහණය අඩුවීමට හේතුවක් විය හැකි බවටයි.

***************************************

(24.11.2020 – 14:37 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර 5 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අද (24) ඇප මත මුදා හැරුණා.

මඩකලපුව සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ඩී. සුසේදාසන් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරින ලෙසයි නියෝග කෙරුණේ.

2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ප්‍රදේශයේ නත්තල් දේව මෙහෙයට එක්වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදායි ෴

***************************************

(24.11.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්ත්වය හමුවේ වුවද අපරාධ නඩු 9688 ක ඉදිරි පියවර ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ එම නඩුවල චූදිතයින් 4019 කට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර අවසන් බවයි ෴

(24.11.2020 – 16:57 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්ක වල මෙම සතිය පුරා සංවිධාන කර ඇති මහ විරු සැමරුම් අත්හිටුවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් අදාළ දිස්ත්‍රික්කවල පිහිටි මහේස්ත්‍රාත් අධිකරණවල අද (24) කරුණු දක්වා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ පොලීසිය මීට පෙර කළ කරුණු දැක්වීම්වලට එරෙහිව වෙනත් පාර්ශවවලින් කරුණු දැක්වීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් උතුර පළාතට යැවීමට නීතිපතිවරයා කටයුතු කළ බවයි ෴

***************************************

(24.11.2020 – 16:21 +0530 – hirunews.lk/sinhala)

වාරිමාර්ග ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කරගැනීමේදී වන්දි ප්‍රදානය කිරීම, ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට ඊයේ (23) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනතාවට සාධාරණය ඉටුවන ලෙස වන්දි ලබාදී ඔවුන්ගේ ආශිර්වාදයද අදාළ ව්‍යාපෘතියට ලබාගත යුතු බවයි.

උමා ඔය බහුකාර්ය ජලයෝජනා ක්‍රමයේ ඉඩම් අහිමි වූ පවුල් 6000 කට තවමත් වන්දි ලබාදී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධානය යොමු කළ අවස්ථාවේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා ෴

***************************************

(24.11.2020 – 16:52 +0530 – hirunews.lk/sinhala)

2019-2020 වර්ෂවලට අදාළව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සිසුන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය පවසනවා.

ඔවුන් අද (24) නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

***************************************

(24.11.2020 – 19:28 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉහළ නංවා නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සනීපාරක්ෂක තුවා සදහා සියයට 15 ක බද්දක් පනවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ප්‍රකාශ කිරීම හේතුවෙන්.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද (24) කාරක සභා අවස්ථාවේදී විවාදයට ලක්වූ අතර, ඒවා සංශෝධන සහිතව සම්මත වුණා.

=========================================

(24.11.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ගුරුවරුන් මෙන්ම පාසල් සිසුන් පවසනවා. එමෙන්ම දිවයින පුරා සිටින අප වාර්තාකරුවන් ද සඳහන් කළේ සිසුන්ගේ පැමිණීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

කෙසේ වෙතත් ගුරු වෘත්තිය සමිති දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ පාසල් අරම්භ කිරීමේ ක්‍රමවේදය සාර්ථක නොවන අතර, සිසුන් පැමිණීමේ යම් අඩුවක්ද දක්නට ලැබෙන බවයි.

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් හයවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඊයේ (23) ආරම්භ කෙරුණා.

එමෙන්ම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (24) සිට සිකුරාදා (27) දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (23) තවත් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමගයි. කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මොහු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ගුරුවරුන් සහ සිසුන් එසේ ප්‍රකාශ කළද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසන්නේ ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) දිනයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීම අඩුවක් දක්නට ලැබෙන බවයි.

මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පාසල් ළමයින් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ හිමියන්ට අද (24) හැටන් ප්‍රදේශයේදී පොලීසිය දැඩි අවවාද සිදුකළා.

කෙසේ වෙතත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සිසුන් රැගෙන ඒමේදී සිසුන් ප්‍රමාණය අවම කිරීමට සිදුවීම හේතුවෙන් ලීසිං වාරික ගෙවීමේදී තමන්ට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව ඇති බවයි පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ සහ බස් හිමියන් පවසන්නේ.

+++++++++++++++++++++++

(24.11.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවලින් ඊයේ (23) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාදිත බන්ධනාගාර රැදවියන්ගේ සංඛ්‍යාව 717 දක්වා ඉහළ යන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 50 දෙනෙකු මේ දක්වා හඳුනාගෙන ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා. ඇය කියා සිටියේ දරු උපතකින් පසු මවගෙන් දරුවාට වයිරසය ආසාදනය වීමේ සිද්ධීන් මේ දක්වා මෙරටින් වාර්තා නොවන බවයි.

ඊයේ (23) දිනයේත් මෙරටින් ආසාදිතයන් 337 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 189 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊයේ (23) දිනයේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් එනම් නව ආසාදිතයින් 68 දෙනෙකු කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට අයත් අලුත්කඬේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් ද ඊයේ (23) අලුතින් ආසාදිතයන් ද 25 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින් 22 නෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

කොළඹ 15 ප්‍රදේශයෙන් ආසාදිතයන් 19 ක්, දෙමටගොඩින් 15 ක්, බොරැල්ලෙන් 14 ක් සහ කිරුළපනින් 11 දෙනෙකු ඊයේ (23) වාර්තා වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (23) ආසාදිතයන් 47 දෙනෙකු අලුතින් හඳුනා ගත් අතර, ඉන් 22 දෙනෙකුම වාර්තා වී ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයෙන්. වත්තල කම්කරු නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 35 දෙනෙකු හමුවීමත් සමඟ වත්තල – පල්ලිය පාරේ පිහිටි එම නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව නිවසට පැමිණි හික්කඩුව – කළුපේ ප්‍රදේශයේ තරුණයෙකු දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී සෞඛ්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහුටතරයේ අවවාද කළා.

පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ඊයේ (23) ආසාදිතයන් 11 බැගින් සොයාගෙන තිබෙනවා.

බම්බලපිටිය ප්‍රදේශයේ සිට හැටන් – ඇබොස්ලි වතුයායේ තම නිවසට පැමිණි 44 හැවිරිදි දෙදරු පියෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බව අද (24) හඳුනා ගත් බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

පසුගිය 22 වන දා ඔහු කොළඹ සිට හැටන් ප්‍රදේශයේ තම නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන – කළුගල පොලිස් මුරපොළ අසළ දී සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයෙනුයි ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම, අනුරාධපුර – තිරප්පනේ – බමුණුගම ප්‍රදේශයේ වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු ශල්‍යකර්මයක් සිදුකිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී එම දරුවාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.

කෙසේ වෙතත්, එම දරුවා දෙවන (2) වරටත් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති අතර ඉන් අනාවරණ වී ඇත්තේ දරුවාට වයිරසය ආසාදනය වී නොමැති බවටයි. ඒ හේතුවෙන් දරුවාට තවත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇති බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ බඹුණුගම ප්‍රදේශයේ වෙළඳසැල් සහ මුස්ලිම් මහා විද්‍යාලය ද තාවකාලිකව වසා දමා සංචරණ සීමා පැනවීමට කටයුතු කෙරුණා.

මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ 13 දෙනෙකුත්, පොලීසියේ 20 දෙනෙකුත් ඊයේ (23) වාර්තා වූ ආසාදිතයන් අතර වන බවයි කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ෴

කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් අද වන විට පවුල් 12,248 ක් නිරෝධායනයට ලක් කර ඇති බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(24.11.2020 – 00:00 +0530 – hirunews.lk/sinhala)

තෙවැනි වාරය සඳහා පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රමුක්වැල්ල සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරුන් මෙලෙස අදහස් පළ කලා.

++++++++++++++++++++++

(24.11.2020 – 15:56 +0530 – hirunews.lk/sinhala)

බේරුවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

දර්ගා නගරයේ පදිංචි මොහු ඇතුළු 83 දෙනෙකුට ඉරිදා දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවේ නගරයේ පදිංචිකරුවන් දෙදෙනෙකුට (2) වෛරසය වැලදී ඇති බවට පසුගිය දා තහවුරුවීම හේතුවෙන්.

ඉන් 38 දෙනෙකුගේ ප්‍රතිඵල අද ලැබී ඇති අතර, එහිදී හෙළි වී ඇත්තේ මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාට ද කොරෝනා වැළදී ඇති බවයි.

මේ අතර දැනට හුදකලා කර ඇති බණ්ඩාරගම – අටළුගම ගම්මානයේ ග්‍රාම නිලධාරී වසම් හතක පී.සී.ආර්. පරීක්ෂණ අදත් සිදු කළා.

මධ්‍යම පළාත සහ කළුතර දිස්ත්‍රික්කය තුළ යම් අවදානම් තත්ත්වයක් මතුවෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළා ෴

මෙරට තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 465 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14962 ක්.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 20,508 ක් හමුවී ඇති අතර ඉන් 5456 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා. සිදුවූ මරණ සංඛ්‍යාව 90 ක් ෴

කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟ අකුරණ – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් (2) සඳහා අද (24) සිට සංචරණ සීමා පනවා තිබෙනවා.

එලෙස සංචරණ සීමා පනවා ඇත්තේ බුළුකොහොතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම්වලටයි.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 39 දෙනෙකු හමුවී තිබෙනවා ෴

++++++++++++++++++++

(24.11.2020 – 18:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 287 ක් වාර්තාවී තිබෙනවා.

ඔවුන් සියලුදෙනා මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියාසිටියේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,795 ක් දක්වා ඉහළ යනවා.

++++++++++++++++++++++

(24.11.2020 – 19:33 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය ප්‍රදේශයේ සිට හැටන් – ඇබොස්ලි වතුයායේ තම නිවසට පැමිණි 44 හැවිරිදි දෙදරු පියෙකුට ද වයිරසය ආසාදනය වී ඇති බව අද (24) තහවුරු වුණා.

පසුගිය 22 වන දා ඔහු කොළඹ සිට හැටන් ප්‍රදේශයේ තම නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන – කළුගල පොලිස් මුරපොළ අසළ දී සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණයෙනුයි ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ.

එදිනම කොළඹ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරමින් සිට ලංගම බස් රථයකින් නාවලපිටිය ප්‍රදේශයට පැමිණි තරුණියකටද ගිනිගත්හේන ප්‍රදේශයේදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

දීපවාලි උත්සවයට පෙර සහ උත්සවයෙන් පසු බස්නාහිර පළාතෙන් වතුකරයට පැමිණි පුද්ගලයින් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (24) සිදු කෙරුණා ෴

+++++++++++++++++++

(24.11.2020 – 19:51 +0530 – hirunews.lk/sinhala)

වත්තල කම්කරු නිවාස සංකීර්ණයෙන් ආසාදිතයන් 35 දෙනෙකු හමුවීමත් සමඟ වත්තල – පල්ලිය පාරේ පිහිටි එම නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමටයි අද (24) පියවර ගැනුනේ.

මේ අතර ඇහැලියගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ කර්මාන්තශාලාවක සේවකයින් හත්දෙනෙකුට (7) කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දැමුණා.

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැදවියන්ගේ සංඛ්‍යාව මේ වනවිට 717 දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ.

අද (24) දිනයේ මේ දක්වා ආසාදිතයන් 287 දෙනෙකු අලුතින් හමුවී ඇති අතර, ඒ සමඟම මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20,795 ක් දක්වා ඉහළ ගියා ෴

+++++++++++++++++++++

(24.11.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ විද්‍යාල දෙකක (2) සිසුන්, ගුරුවරුන් 40 කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ, එම පාසල්වල ඉගෙනුම ලබන අම්බලන්ගොඩ – තිලකපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ දරුවන් දෙදෙනෙකු (2) ගේ මවට සහ පියාට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

මෙම දරුවන් දෙදෙනා (2) තෙවන වාරයේ පාසල් ආරම්භ වූ ඊයේ (23) දිනයේ පාසල් ගොස් ඇති අතර, ඒ අනුවයි ඔවුන්ගේ ආශ්‍රිතයන් වන අනෙක් සිසුන් සහ ගුරුවරුන් පිරිස නිරෝධායනයට යොමු කර ඇත්තේ.

මේ අතර, ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් ප්‍රදේශවල හයවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අදත් (24) පැවැත්වුණා.

කෙසේ වෙතත්, ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව ගුරුවරුන් මෙන්ම පාසල් සිසුන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේ ඊයේ (23) දිනයට සාපේක්ෂව අද (24) දිනයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *