පී.සී.ආර්. පරීක්ෂණ මගහරින්නන්ට අපරාධ නීතිය යටතේ නඩු

පී.සී.ආර්. පරීක්ෂණ මගහරින්නන්ට අපරාධ නීතිය යටතේ නඩු

හිටපු ජනපති මෛත්‍රී අවසන් වරට දුන් පාස්කු සාක්ෂිය

*********************************************

පී.සී.ආර්. පරීක්ෂණ මගහරින්නන්ට අපරාධ නීතිය යටතේ නඩු

(26.11.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (25) දිනයේ ආසාදිතයින් 262 කු වාර්තා වී තිබෙනවා.

කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ මට්ටක්කුලිය සහ අලුත්කඬේ ප්‍රදේශවලින් පමණක් ආසාදිතයන් 42 කු බැගින් සොයාගෙන ඇති බවයි.

ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයෙන් ද ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් ඊයේ (25) වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 31 ක්. කිරුළපණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 28 දෙනෙකුත්, වැල්ලවත්තෙන් 23 දෙනෙකුත් සොයාගැනුනා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (25) දිනයේ ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වී ඇති අතර, කටුනායකින් 33 දෙනෙකු සහ වත්තලින් වාර්තා වන ආසාදිතයින් 28 දෙනෙකු ද ඊට අයත්.

කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (25) ආසාදිතයන් 46 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් 38 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයෙන්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද ඊයේ (25) ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, ඊයේ (25) දිනයේත් පොලීසියේ ආසාදිතයින් 42 නෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට 1123 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

++++++++++++++++++++++

(26.11.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මාර්ග සංඥා ලාම්පු අසළ සිට සිඟමනේ යෙදෙන්නන් සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට මුදල් ලබාදුන් රියදුරන් ඇතුලු පුද්ගලයින් 30 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

රියදුරන්ට අමතරව වාහනවල ගමන් ගත් පුද්ගලයින් කිහිපදෙනෙකුද අදාළ පිරිසට අයත්. එමෙන්ම මාර්ග සංඥා ලාම්පු අසළ සිට සිඟමනේ යෙදෙන්නන් සහ ඇතැම් ද්‍රව්‍ය අලෙවි කරන්නන්ටද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

පොලිස් බල ප්‍රදේශ 18 ක් සහ ග්‍රාමසේවා වසම් 11 ක් තවදුරටත් හුදකලා කර ඇති අතර, ඊයේ (25) රාත්‍රියේ මහනුවර ග්‍රාමසේවා වසම් දෙකක් (2) සහ බණ්ඩාරගම ග්‍රාමසේවා වසම් තුනක්ද (3) හුදකලා කෙරුණා.

මේ අතර අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන්ද කොරෝනා වසංගත තත්ත්වයේ යම් ඉහළ යාමක් හේතුවෙන් අක්කරෙයිපත්තුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ, අහඹු ලෙස එම ප්‍රදේශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 20 කින් 10 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.

එමෙන්ම ගතවූ පැය විසි හතරේ (24) මුව ආවරණ පැළඳ නොසිටි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 72 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට එලෙස අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 660 කට ආසන්නයි.

කොරෝනා ව්‍යාප්තිය පැවතියද බස්නාහිර සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත වුවද අද (26) දිනයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ යම් අඩුවක් දක්නට ලැබුණා. ගුරු සංගම් ප්‍රකාශ කළේ සිසුන්ගේ පැමිණීම බොහෝ ප්‍රදේශවල ඉතාමත් අවම මට්ටමක පැවති බවයි.

මේ අතර මවට සහ පියාට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් දෙකෙහි (2) සිසුන් දෙදෙනාට (2) කොරෝනා වෛසරය ආසාදනය වී නොමැති බවට හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාළ පාසල් සිසුන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් තවදුරටත් දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කරන බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

++++++++++++++++++++++

(26.11.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතාගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.

පස්සර ප්‍රදේශයේ පදිංදි 43 හැවිරිදි ඔහු හෘද සැත්කමකට ද භාජනය වී සිටි අයෙකු බව සඳහන්.

ගිනිගත්හේන – හිටිගේගම ප්‍රදේශයේ එකම පවුලේ පස්දෙනෙකුට (5) කොරෝනා ආසාදනය වී ඇති බව අද (26) තහවුරු වුණා.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ පිරිමි පුද්ගලයන් තුන්දෙනෙකු (3), එක් කාන්තාවක් (1) සහ අවුරුදු තුනක (3) කුඩා දැරියකට (1) මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

එම පවුලේ වැඩිමහල් දියණිය කොළඹ රැකියාවක නිරතව සිට නිවසට පැමිණි අවස්ථාවේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ඇයට කොරෝනා ආසාදනය වී ඇති අනාවරණ වූ අතර, පවුලේ අය නිරෝධායනයට ලක් කෙරුණා.

පසුව කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියේ.

ඇඹිලිපිටිය – පනාමුර බණ්ඩොක්ක යාය සහ දියපොට ප්‍රදේශයෙන් ද ආසාදිතයන් දෙදෙනෙකු (2) වාර්තා වී ඇති බව ඇඹිලිපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.කේ. බණ්ඩාර මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ කොළඹ සිට පැමිණි පනාමුර – බණ්ඩොක්ක යාය ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සාමාජිකයෙකු නිවාස නිරෝධායනයට ලක් කර සිටියදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම, කටුනායක – ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු පනාමුර – දියපොට ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ද වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත්තේ මාසයක කාලයක් නිවසේ සිට එම ඇඟලුම් කර්මාන්තශාලාවට ගිය අවස්ථාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදියි.

එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද කටුනායක රැකියාවේ නිරත වන අතර ඔවුන් දෙදෙනාම නිවාස නිරෝධායනයට ලක් කර තිබුණ ද පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කර නැහැ.

ඔවුන් නිවසේ සිට කටුනායක රැකියාවට යාමට පෙර දින 14 ක නිවාස නිරෝධායන කාලය අවසන්වීමෙන් පසු මොණරාගල – දඹගල්ල ප්‍රදේශයට සහ පොළොන්නරුව ප්‍රදේශයට ද ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබියදී පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිට මගහරින පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මේ දක්වා මෙරටින් ආසාදිතයන් 21,469 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 15,447 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. එමෙන්ම, මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 96 ක් ලෙසයි ෴

+++++++++++++++++++

(26.11.2020 – 21:32 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පිටියේ ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටියදී හදිසියේ මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ.එම්. නිලන්ත මහතාගේ දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහුට කොවිඩ් 19 වැළඳී නැති බවට තහවුරු වී තිබෙනවා ෴

+++++++++++++++++++

(26.11.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට (27) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

එම ප්‍රදේශයේ සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවයි නැගෙහිරපළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සදහන් කළේ.

අක්කරෙයිපත්තුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 20 දෙනෙකු සහ සයින්දමරදු ප්‍රදේශයෙන් කොරෝනා රොගියෙකු (1) මෙලෙස හමුවී තිබුණා.

ඊයේ (25) දිනයේදී මහනුවර නගර සීමාවේ සියළුම පාසල් ද සතියක කාලයකට වසා දැමීමට බලධාරීන් කටයුතු කළේ කොරෝනා වෛරස අවදානම හේතුවෙන්.

එමෙන්ම, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ද සියළුම පාසල් මේ වන විට වසා දමා තිබෙනවා.

මේ අතර, රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ පාසලක් ද අද (26) තාවකාලිකව වසා දැමීමට පියවර ගත්තා.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ පාසලේ 9 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මවකට කොරෝනා ආසාදනය වීම ඊට හේතුව බවයි.

ඒ අනුව සිසුන් පිරිසක් නිරෝධානයට ලක් කර ඇති අතර, විදුහල්පතිවරයා සඳහන් කළේ ලබන මස 10 වන දා දක්වා පාසල වසා තබන බවයි.

එසේම හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කාර්ය සහයක නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟ එම කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා ෴

+++++++++++++++++++++

(26.11.2020 – 14:41 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

++++++++++++++++++++++++

(26.11.2020 – 14:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 369 දෙනෙකු අද (26) දිනයේත් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ ගියා.

ඒ අනුව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයින් 5557 ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 21,469ක් දැක්වෙනවා ෴

=========================================

(26.11.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකර උතුරු පළාතේ සෑම නිවසකම හෙට (27) දින පහනක් දල්වන ලෙසට දෙමළ පක්ෂ නියෝජිතයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ උතුරේ කිසිදු සැමරීමක් සිදුකිරීමට අවස්ථාවක් නොමැති බවත්, එසේ කළහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවයි.

එමෙන්ම යාපනය සහ මුලතිව් ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමින් යාපනය සහ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විසින් ද ඊයේ (25) වාරණ නියෝග නිකුත් කළා. නමුත් දෙමළ පක්ෂ නියෝජිතයින්, යාපනය ප්‍රදේශයේ ඊයේ (25) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, අනතුරුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, පිරිස් ඒකරාශි කරගනිමින් මහවිරු සැමරුම් පැවැත්වීම අධිකරණය තහනම් කර තිබෙන නිසා අදාළ ඉල්ලීම සිදුකරන බවයි.

මෙම සාකච්ඡාවට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්ෂයේ ලේකම් එම්.කේ. සිවාජිලිංගම් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම උතුර පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ. ශිවඥානම් ද එක්ව සිටි බව හිරු වාර්තාකරු කියා සිටියා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ තහනම් ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් සමරා කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට සැමරීම් සිදුකිරීමට අවස්ථාවක් ලබා නොදෙන බවයි ෴

***************************************

(26.11.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව් (4) වන දිනය වන අද විවාදයට ගැනෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රසායන පොහොර හා කෘමිනාශක භාවිත නියාමන සහ පශු සම්පත් හා ගොවිපළ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.

සමෘද්ධිලාභීන්ගේ සමාජ ආරක්ෂණ අරමුදල අවභාවිත කිරීම සම්බන්ධයෙන් විගණනයක් සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර යොමු කළ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දුන් අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් සහ අශෝක් අබේසිංහ මෙන්ම විපක්ෂයේ ප්‍රධාන සංචිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ද ඊට මැදිහත් වුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව් වන (4) දිනය වන අද (26) විවාදයට ගැනෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රසායන පොහොර හා කෘමිනාශක භාවිත නියාමන සහ පශු සම්පත් හා ගොවිපළ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.

***************************************

(26.11.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

සිය පියා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ දරුවන් තුන්දෙනා (3) මතුගම පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පිරිමි දරුවන් දෙදෙනා (2) සහ දියණියයි. ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (25) සිදුවූ පහරදීමකදී මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ මතුගම – කරගම්පැතර – නවතුඩුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙක් ෴

+———————

අපගේ බුදුරජාණන් වහන්සේ විසින් ආනන්තරීය පාප කර්ම 5 ක් පෙන්වා දී තිබෙනවා.

(1) මව මැරීම
(2) පියා මැරීම
(3) රහතුන් ඝාතනය කිරීම
(4) දුෂ්ඨ සිතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම හෙවත් ලෝහිතුප්පාදය
(5) සංඝභේදය

මෙහිදී සංඝභේදය නම් ආනන්තරීය පාපකර්මය සිදුවන්නේ ‘උපසම්පදා භික්ෂුවක්’ සමගිසම්පන්න සඟ පිරිසක් බිඳුවා හතරනමකට වැඩි භික්ෂු පිරිසක් සමගින් වෙනම පොහොය කිරීම හා විනය කර්ම සිදුකිරීම තුලිනි. එම නිසා ගිහි අයට හෝ සාමණේර පැවිද්දන්ට එම සංඝභේද ආනන්තරීය පාපකර්මය සිදුවීමට ඉඩක් නොමැත. එමෙන්ම දුෂ්ඨ සිතින් බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවීමක් මෙකල සිදු නොවේ.

මව මැරීම සහ පියා මැරීම යන ආනන්තරීය පාපකර්ම දෙකකි. විශේෂයෙන් විදේශ රටවල මව්පියන්ට අසාධ්‍ය රෝග වැලඳුන විට වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත මව-පියා මියයෑම පිණිස එන්නත් විදීමට දරුවන් ක්‍රියාකරනු ලබයි. මෙය වළක්වා ගතයුතු බරපතල අකුසල කර්මයකි.

යම් හෙයකින් ආනන්තරීය පාපකර්මයක් සිදුවූවෝතින් උපපජ්ජවේදනීය ලෙස කර්මානුරූපව අනිවාර්යයෙන්ම මරණින්මතු නිරයේ උපතක් කරා යාමට සිදුවේ. එවන් අයෙකුට විසඳුම ලෙස ඇත්තේ පියා මැරූ අජාසත් රජතුමා පසුව කරුණු වටහාගෙන, තෙරුවන් සරණ ගොස්, පින් රැස්කරමින් ශාසනික කටයුතුවලට දායකත්වය ලබාදුන් අයුරින් ඉතිරි ජීවිත කාලය ධර්මයේ හැසිරීමයි. එවිට නිරයේ කල්ප ගනනක් දුක්විඳීමෙන් පසු මතුභවයකදී සුගතිගාමීව, ධර්මාවබෝධ කිරීමේ අවස්ථාව සළසා ගත හැක. අජාසත් රජතුමා නිරයෙන් අතමිදුනු පසු පසේබුදුවරයෙකු බවට පත්වන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබේ ෴

*********************************************

හිටපු ජනපති මෛත්‍රී අවසන් වරට දුන් පාස්කු සාක්ෂිය

(26.11.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදී ක්‍රියා හිස එසවීමට මුල් වූ අන්තවාදී සංවිධාන පිටුපස සිටිමින් ඔවුන්ව ආරක්ෂා කළේ මුස්ලිම් දේශපාලන නායකයන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ අවසන් වරට සාක්ෂි ලබාදෙමින් පැවසුවා.

මේ අතර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නීත්‍යානුකූල නොවන ක්‍රියා රැසක් සිදුකර ඇතැයි කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (25) කැඳවා තිබුණේ අවසන් දිනටයි.

ජනාධිපති කොමිසම් කොමසාරිස්වරිය :
“ඔබ මීට පෙර පවසා තිබුණා මේ පිළිබඳව කුමන්ත්‍රණ හෙළි කර ගැනීමට කටයුතු කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නා කියලා “

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :
“එසේය ස්වාමිනි. අපට දැනගන්නට ලැබුණා මෙම අන්තවාදී සංවිධානයේ නායකයා සහරාන් නොවන බව. මට සැකයක් තියනවා සහරාන් විදේශ හස්තයක මෙහෙයවීමෙන්, විදේශ සම්බන්ධතා උඩ මෙම ප්‍රහාරය එල්ල කළා කියලා. එහෙම තේරෙන නිසයි මම ඒවගෙ ප්‍රකාශයක් කළේ “

ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු :
“ඔබගේ කාලයේ බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කිරීම සිදු වුණා. ඒ පිටුපස NGO තියනවද.?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :
“ඔව්. බුද්ධි අංශ විතරක් නෙවෙයි ඒ කාලය තුළ හදන අණ පනත් NGO වලින් තමයි හදල දීලා තියෙන්නේ. ත්‍රස්තවාදී පනත අහෝසි කළ යුතුයි කියා ප්‍රධාන විදේශ රටවල්වලින් බලපෑම් එල්ල වුණා. තිබුණු ත්‍රස්තවාදී පනත අහෝසි කර දුර්වල පනතක් හදන්න NGO බලපෑම් තිබුණා. අන්තවාදී සංවිධාන ඔලුව ඉස්සුවේ එම NGO වලින් ලැබුණ බලපෑම් නිසා. ත්‍රිවිධ හමුදාව දුර්වල කිරීම හා එම නිලධාරීන්ට නඩු පැවැරීම පිටුපස සිටියේ NGO ආයතන. මේ වනවිට රටින් පැන සිටින හිටපු ප්‍රධාන CID නිලධාරියෙක් NGO ආයතන සමග එක්ව බුද්ධි අංශ දුර්වල කරන්න කටයුතු කළා.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා :
“ඔබගේ පාලනය කාලය තුළ බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විශාල පිරිසක් සක්‍රීය සේවයේ යෙදී සිටියදී කිසිම ආකාරයකින් ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඔබට තොරතුරක් ලබා ගත හැකි වුණේ නැ. ඔබ රටේ ප්‍රධානියා ලෙස කොහොමද මෙහෙම වුණේ.?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :
“හමුදා නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සිදු කිරීම තුළින් නිලධාරීන් තමන්ගේ රාජකාරිය හරියාකාරව ඉටුනොකළ බව පෙනී ගියා. එසේ වුවත් සියලු අංශවල ප්‍රධානීන් තමන්ගේ විෂය ක්ෂේත්‍රය තුළ පුළුල් අවබෝධයක් ඇතිව වැඩ කළ යුතුයි. එය හැම අංශයේම වගකීමක් වෙනවා.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා :
“ඔබේ පාලන සමයේ වන්නි, මඩකලපුව වැනි ප්‍රදේශවල ඉඩම් බලෙන් අත්පත් කරගෙන එහි මුස්ලිම් ගම්මාන හා පල්ලි ඉදිකිරීම් වැනි ක්‍රියා ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් සිදු කළ බව ඔබ දැනුවත් වි සිටියාද?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :
“මා ඒවා මර්දනය කරන්න කටයුතු කරන විට සමහර ඇමැතිවරු මා සමග අමනාප වුණා. මට අමාරු වුණා ඒ තත්ත්වය මත කටයූතු කරන්න.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා :
“ඉස්ලාම් අන්තවාදීන් ඔබේ පාලනය සමය තුළ හිස ඔසවා කටයූතු කළා. කොහොමද එලෙස සිදු වුණේ.?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :
“මුස්ලිම් ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් ඔවුන්ට දුන්න රැකවරණ තමයි හේතුව. දේශපාලන පක්ෂ, ආගම, ජාතිය, භාෂාව මුල් කරගෙන තමයි බිහි වෙලා තියෙන්නේ. එය රටට විශාල ව්‍යසනයක් සහ ඛේදවාචකයක්. මොන වැරැද්ද කළත් ඔවුන්ව රැක්කා මුස්ලිම් ඇමතිවරු. මම වරදකරුවන්ට කිසිම බුරුලක් දුන් කෙනෙක් නෙවෙයි. මං තීන්දු තීරණ ගත්තත්, පහළට යන විට එම තීන්දු වැළකීලා තියනවා. විවිධ බලයන් මත තමයි එහෙම වෙන්නේ.”

ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරිය :
“ඇයි ඒ මුස්ලිම් ඇමතිවරු නීතිවිරෝධීව කටයුතු කළත් ජනපති විදියට ඔබට ඒවා පාලනය කරන්න බැරි වුණේ ?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :
“ඊට කලින් ආණ්ඩුවලත් ඒ අන්තවාදී මුස්ලිම් සංවිධානවල ක්‍රියාකාරීත්වය තිබුණා. දැන් තත්ත්වය අනුව මුස්ලිම් අය නැතුව කිසිම ආණ්ඩුවක් කරන්න බැහැ. පහුගිය දවස්වල අපි දැක්කනෙ 20 වෙනි සංශෝධනය ඡන්දෙ වුණත්. ඒ වගේම කියන්න ඕනේ ආරක්ෂක විෂය මට භාර වුණේ අන්තිම මාස හතරෙ (4). මුල් අවුරුදු හතරෙ (4) තමයි අන්තවාදය හිස එසවූවෙ. ඒවට ඒ ඇමතිවරු වගකියන්න ඕනෙ. අවුරුදු හතරක් (4) ගිය දුර මට මාස හතරෙන් (4) කපන්න පුලුවන් කමක් තිබුණේ නැහැ ස්වාමීනි. ආණ්ඩුව රැකගන්න නම් මට කිසිම වුවමනාවක් තිබුණෙ නෑ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරුවරයා :
“මේ කොමිසමේ අනෙක් පාර්ශ්වවලට ඔබෙන් හරස් ප්‍රශ්න අහන්න අවස්ථාව ලබාදුන්නා. දේශපාලන වශයෙන් ඔබේ ප්‍රතිවාදියා වන රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔබෙන් කිසිම හරස් ප්‍රශ්න විමසීම කළේ නැ. නමුත් ඔබගේ අත්සනින්ම පත් කළ ආරක්ෂක ලේකම් හා පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉතාම දරුණු ලෙස ඔබෙන් ප්‍රශ්න කර සිටියා. ඇයි එහෙම වුණේ.?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන :
“පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා මා පෞද්ගලිකව අඳුනන්නේ නැ. නමුත් මා ඔවුන් වසර ගණනාවක සිට දන්නවා. පූජිත් ජයසුන්දර නියෝජ්‍ය පොලිස්පති වෙලා ඉන්නකොට ගොඩක් හොඳින් වැඩ කළ කෙනෙක්. මට පුදුමයි ඔහු පොලිස්පති වුණාට පස්සේ මෙහෙම වුණේ ඇයි කියලා. මේ සිද්ධිය පිළිබඳ ඔවුන්ගේ සාක්ෂි දීමේදී මා දන්නවා කොහොමද සාක්ෂි දීම වුණේ කියලා. අපි එකට පවුලක් වගේ හිටියා. මේ ප්‍රහාරය සිදු විමෙන් අපි වෙන් වුණා. මෙවා සැලසුම් කළ අයගේ අරමුණු කොටසක් හෝ ඉටු වුණා. අපි රට වෙනුවෙන් එකතු වී වැඩ කළ අය. දැන් අපි අපිටම චෝදනා කරගනිමින් සිටිනවා.”

ජනාධිපති කොමිසම් කොමසාරිස්වරිය :
රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ එහි නිලධාරීන් පමණද වගකිව යුතු වන්නේ. ප්‍රසංසා ලැබීමේදී එහි ප්‍රධානියාට ඊට සම්මාන ගන්නවා වගේම දෝෂාරෝපණ එල්ල වීමේදී එයත් ප්‍රධානියා බාර ගත යුතුයි නේද ?”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා :
“එසේය ස්වාමිනි. අවසාන වශයෙන් කියන්න ඕනේ මං ඉතා සතුටින් මුල් දවසෙ මේ කොමිසමට පැමිණියේ. මේ අන්තිම දවසෙත් මං සතුටින් යන්නේ “

+ + + + +

මේ අතර ඊයේ (25) රාත්‍රියේ තුන්වෙනි (3) දිනටත් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණා.

එහිදී ඔහුගෙන් ජනාධිපති කොමිසම ප්‍රශ්න කළේ ඔහු විසින් ඉදිකළ නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන්.

රජයේ අධිනීතිඥවරයා :
“මෙතරම් සුවිසල් ඉදිකිරීමක් කරන්න ඔබට කොහෙන්ද සල්ලි හම්බුණේ ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර :
“මම සෞදියෙ ඉස්ලාම් බැංකුවකට ගියා මුලින්. ඒක සාර්ථක වුණේ නැහැ. ඊටපස්සෙ තමයි එහෙ ඉන්න අලි අබ්දුල්ලා අල් ජුෆාලි චැරිටි එක මුදල් දෙන්න එකඟ වුණේ.”

රජයේ අධිනීතිඥවරයා :
“ඔබ හැදූ මේ විශ්වවිද්‍යාලයේ පාඨමාලා තියෙනවා නේද ඉස්ලාමීය විෂය හා ශරියා නීතිය පිළිබඳ ඉගෙන ගන්න ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර :
“ඔව් අන්තර්ගත වෙනවා.”

රජයේ අධිනීතිඥවරයා –
“මේ විශ්වවිද්‍යාලය පිළිබඳ කරුණු අධ්‍යයනයට පාර්ලිමේන්තු කමිටුවක් පත්කළා ඔබට මතකද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර :
“ඔව්. ඒ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව රැස්වුණේ ආශු මාරසිංහගේ සභාපතිකමෙන්. එයාට මං මේකට අදාළ සියලුම වාර්තා දුන්නා. සල්ලි ගත්ත ඒවා, ඉඩම් ගත්ත ඒවා. ඒ හැම එකම දුන්නත් ඒ එකක්වත් බැලුවේ නෑ. එයාගෙ තනි මතයට ඕනෙ විදියට තමයි වාර්තාව හදලා කිව්වෙ මේක කිසිදු අවසරයක් නැතිව හැදූ එකක් කියලා.”

මෙම ශරියා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට පෙර ඊට මුදල් ලබාගැනීම සඳහා හිස්බුල්ලා මහතා විසින් සෞදියේ රැඳී සිටින ප්‍රබල ව්‍යාපාරිකයන්ට අවස්ථා තුනකදී (3) කොන්දේසි මත ගිවිසුම් ඉදිරිපත් කර ඇති බව මෙහිදී ජනාධිපති කොමිසම නිරීක්ෂණය කළා.

එම ගිවිසුම්වලට අදාළ සියලු අනුමැතිය ලැබී තිබුණත් හිස්බුල්ලා මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇත්තේ එක් ගිවිසුමක තොරතුරු පමණක් බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි හෙළිවුණා.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“මේ ගිවිසුම් ඔබ කියන විදියට වෙනස් කළා කියලා පෙන්වන්න ලියකියවිලි තිබෙනවා ද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර :
“නෑ ස්වාමීනි සල්ලි දුන්නේ නැති නිසා මංම ගිවිසුම ඉවත් කළා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ඔබ හැදූ මේ විශ්වවිද්‍යාලයේ පාඨමාලා තියෙනවා නේද ඉස්ලාමීය විෂය හා ශරියා නීතිය පිළිබඳ ඉගෙන ගන්න ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර :
“ඔව් අන්තර්ගත වෙනවා “

රජයේ අධිනීතිඥවරයා –
“මේ විශ්වවිද්‍යාලය පිළිබඳ කරුණු අධ්‍යයනයට පාර්ලිමේන්තු කමිටුවක් පත්කළා ඔබට මතකද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර :
“ඔව්. ඒ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව රැස්වුණේ ආශු මාරසිංහගේ සභාපතිකමෙන්. එයාට මං මේකට අදාළ සියලුම වාර්තා දුන්නා. සල්ලි ගත්ත ඒවා, ඉඩම් ගත්ත ඒවා. ඒ හැම එකම දුන්නත් ඒ එකක්වත් බැලුවේ නැ. එයාගෙ තනි මතයට ඕනෙ විදියට තමයි වාර්තාව හදලා කිව්වෙ මේක කිසිදු අවසරයක් නැතිව හැදූ එකක් කියලා.”

මෙම ශරියා විශ්වවිද්‍යාලය ඉදිකිරීමට පෙර ඊට මුදල් ලබාගැනීම සඳහා හිස්බුල්ලා මහතා විසින් සෞදියේ රැඳී සිටින ප්‍රබල ව්‍යාපාරිකයන්ට අවස්ථා තුනකදී (3) කොන්දේසි මත ගිවිසුම් ඉදිරිපත් කර ඇති බව මෙහිදී ජනාධිපති කොමිසම නිරීක්ෂණය කළා.
එම ගිවිසුම්වලට අදාළ සියලු අනුමැතිය ලැබී තිබුණත් හිස්බුල්ලා මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇත්තේ එක් ගිවිසුමක තොරතුරු පමණක් බව ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි හෙළිවුණා.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“මේ ගිවිසුම් ඔබ කියන විදියට වෙනස් කළා කියලා පෙන්වන්න ලියකියවිලි තිබෙනවා ද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර :
“නෑ ස්වාමීනි සල්ලි දුන්නේ නැති නිසා මංම ගිවිසුම ඉවත් කළා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ඔබ ගොඩක් නීත්‍යානුකූල නොවෙන වැඩ කරලා තියෙනවා හිස්බුල්ලා මහත්මයා. අනික ඔබ විසින් මෙහෙම ප්‍රබල විදෙස් ආයතන තුනකට කොන්දේසි පනවලා ගිවිසුම් ඉදිරිපත් කළා කියන්නෙම ඔබ කොතරම් බලගතුද කියලා වැටහෙනවා.”

+++++++++++++

***************************************

(26.11.2020 – 16:12 +0530 – hirunews.lk/sinhala)

වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් වනජීවි නිලධාරීන්ට තර්ජනය කිරීමට විරෝධය පළ කරමින් දිවයින පුරා හෙට (27) දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේ කරමින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට සහ ගෘහස්ත ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරීමට ඉඩ ලබාදෙන ලෙසට තම සංගමයේ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි.

ඊයේ (25) දිනයේදී වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ඇතුලු පිරිසක් පොළොන්නරුව – ලංකාපුර – වෙහෙරගොඩ යාය ප්‍රදේශයට ගොස් ඇත්තේ ඒ පිළිබඳව සොයාබැලීම සඳහායි.

කෙසේ වෙතත් ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් කරුණු පැහැදිලි කිරීමත් සමඟ රාජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ට මෙලෙස බැන වැදී තිබුණා ෴

++++++++++

(26.11.2020 – 20:36 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – මයුරපුර ප්‍රදේශයේ මහවැලි ඉඩම්වල අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත්කිරීමට බලධාරීන් අද (26) පියවර ගත්තා.

කෙසේ වෙතත් පදිංචිකරුවන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ හටගත්තේ උණුසුම් තත්ත්වයක්.

මේ අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් දිවයින පුරා වනජීවි නිලධාරීන් හෙට (27) දින සංකේත වැඩවර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසනවා.

හම්බන්තොට – මයුරපුර මහවැලි කාර්යාල බලප්‍රදේශයට අයත් – පළුගස්වල – බැල්ලගස්වැල සහ අරවනමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉඩම්වල අනවසර පදිංචිකරුවන් ඉවත්කිරීම සිදුකෙරුණේ අද (26) පෙරවරුවේදී.

පදිංචිකරුවන්ගේ විරෝධයද මධ්‍යයේ මහවැලි අධිකාරියේ නිලධාරීන් පොලිස් ආරක්ෂාවද ලබාගනිමින් අනවසර ඉදිකිරීම් කඩා ඉවත්කිරීමට කටයුතු කළේ මෙලෙසයි.

මෙම ඉඩම් මීට පෙර අවස්ථාවක වෙනත් පිරිසක් වෙත ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.

නමුත් ඔවුන් ඒවායේ පදිංචියට නොපැමිණීම හේතුවෙන් මීට වසර එක හමාරක පමණ පෙර සිට තමන් අදාල ඉඩම්වල පදිංචි වූ බව මෙම ජනතාව පවසනවා.

අනවසර ඉදිකිරීම් කඩා ඉවත්කෙරෙන අතරතුර මෙම ප්‍රදේශයේම තවත් පිරිසක් තවත් ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටින අයුරුද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මයුරපුර මහවැලි කොට්ඨාස කළමනාකාරවරයා සඳහන් කළේ මේ වන තෙක් කිසිවෙකුටත් බලපත්‍ර ලබාදී නොමැති බවයි.

එසේනම් ඔවුන් ඉවත් නොකිරීමට හේතුව විමසීමේදී කොට්ඨාස කළමනාකාරවරයා අදහස් දැක්වූයේ නැහැ.

මේ අතර පොළොන්නරුව ජලගැළුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරි ගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබාදෙන ලෙස යාබද ප්‍රදේශවල වෙසෙන ගම්වාසීන් කර තිබූ ඉල්ලීමක් පිළිබඳව සොයා බැලීමට වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා නිරීක්ෂණයක නිරත වුණා.

ගොවීන්ගේ ඉල්ලීමට වනජීවි නිලධාරීන් එකඟනොවීම හේතුවෙන් අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

+++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *