‘හිරු CIA’ හෙළිකරගත් අලුත්ම ජාවාරම

‘හිරු CIA’ හෙළිකරගත් අලුත්ම ජාවාරම

පහසුකම් නොමැති බවට මාධ්‍යයට කරුණු කී, 1990 සුවසැරියේ 3 දෙනෙකු සේවයෙන් නෙරපයි

*********************************************

‘හිරු CIA’ හෙළිකරගත් අලුත්ම ජාවාරම

(26.11.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

වැලි, පස් සහ බොරළු ප්‍රවාහනයේදී රජයට අයවිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් අහිමිකරමින් සිදුකර ගෙන යන මහා පරිමාන ජාවාරමක් පිළිබදව ‘හිරු සි.අයි.ඒ.’ තොරතුරු හෙළි කරගත්තා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ලේඛනවල තොරතුරු වෙනස් කරමින් සිදුකරගෙන යන එම මහා පරිමාන ජාවාරම පිළිබදවයි අද (26) සී.අයි.ඒ.අනාවරණය.

කුරුණෑගල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සදහා පෞද්ගලික ආයතන විසින් මේ දිනවල මහා පරිමානයෙන් බොරළු සැපයීම සිදුකරනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, දෙවක්කර, හීනමකුලාන ආදී ප්‍රදේශ ගණනාවකින් මෙම බොරළු සැපයීම් සිදුකරන අතර එහිදී ව්‍යාජ බලපත්‍ර මෙන්ම බලපත්‍රවල සදහන් තොරතුරු වෙනස් කිරීම සදහා විශේෂිත පෑනක් භාවිත කරන බවයි ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුනේ.

ඒ අනුව අප පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් සමග අදාල ස්ථාන පරීක්ෂාවකට ලක් කළා.

රත් වු යමක් සමීපකළ විට මැකීයන පරිදි විශේෂිත පෑනක් භාවිතයෙන් අදාළ බලපත්‍රවල මෙම සටහන් යොදා ඇති බව එහිදී හෙළිවුණා.

මෙම වැටලීමේදී හෙළිවුයේ මෙතෙක් කලක් බොරළු ප්‍රවාහනය සිදුකර ඇත්තේද මෙලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බවයි.

බොරළු මෙන්ම වැලි හා පස් ප්‍රවාහනයේ දී ද ජාවාරම්කරුවන් භාවිත කරන සටහන් මකා දැමීමේ මෙම ක්‍රමවේදය හරහා ඔවුන් මේ වන විටත් රජයට විශාල මුදලක් අහිමි කර අවසන්.

මෙම වැටලීමේදි ටිපර් රථ තුනක් (3), රියදුරන් තිදෙනෙකු (3) හා විශේෂිත පෑනක් මගින් වංචනිකව සටහන් තැබීමට කටයුතු කළ පුද්ගලයා ද පොලිසිය අත්අඩංගුවට ගත්තා.

***************************************

(26.11.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

හෙට (27) සිට දින 14 ක කාලයක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 07 ක මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් කරමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණය අද (26) තහනම් නියෝග නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ත්‍රිකුණාමලය මූලස්ථාන, වරාය, උප්පුවේලි, කින්නියා, පුල්මුඩෙයි, උච්චවේලි සහා නිලාවැලි යන පොලිස් බල ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම තහනම් වනු ඇති.

එමෙන්ම යාපනය සහ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ විසින් ද ඊයේ (25) වාරණ නියෝග නිකුත් කළේ යාපනය සහ මුලතිව් ප්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීම වළක්වාලමින්.

කෙසේ වෙතත්, යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකර උතුරු පළාතේ සෑම නිවසකම හෙට (27) දින පහනක් දල්වන ලෙසට දෙමළ පක්ෂ නියෝජිතයින් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

දෙමළ පක්ෂ නියෝජිතයින්, යාපනය ප්‍රදේශයේ ඊයේ (25) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, අනතුරුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, පිරිස් ඒකරාශි කරගනිමින් මහවිරු සැමරුම් පැවැත්වීම අධිකරණය තහනම් කර තිබෙන නිසා අදාළ ඉල්ලීම සිදුකරන බවයි.

***************************************

(26.11.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (26) සවස 04:00 ට පමණ දුන්හිඳ පහළ වංගුවේ මත්පැන්සැලක් ඉදිරියේදී වේල්ලක ගැටී අනතුරකට ලක්ව තිබෙනවා.

එහි ගමන් ගත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි බදුල්ල පොලීසිය ප්‍රකාශ කළේ

අනතුරෙන් තුවාල ලැබූවන් අතර හිමි නමක් සහ කාන්තාවන් 4 දෙනෙක්ද සිටින බව සඳහන්.

කෙසේ වෙතත් එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය පාලනය කරගැනීමට නොහැකිව, එහි රියදුරු විසින් එය ප්‍රපාතයට යාම වැළැක්වීම සඳහා බස් රථය වේල්ල දෙසට ධාවනය කර තිබෙන බවයි අප වාර්තාකරු කියා සිටියේ.

***************************************

(26.11.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල ගොඩකිරීම්වලට එරෙහිව පියවර නොගත් එම තෙත් බිම අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සියළුම පරිසර නිලධාරීන්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස එම අධිකාරියට කළ දැනුම්දීමට අනුවයි.

එසේම මෙම ගොඩකිරීම්වලට සම්බන්ධ බෝපිටිය පොලීසියේ උසස් නිලධාරියෙකු සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ඇති බව සඳහන් ෴

***************************************

(26.11.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙකුගෙන්ම ලබන කන්නයේ සිට හෙක්ටයාරකයින් වී කිලෝ 1000 ක් මිල දී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශ කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රුපියල් 50 ක සහතික මිලකට අදාළ වී මිල දී ගන්නා බවයි.

***************************************

(26.11.2020 – 21:09 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා.

======================================

විදුහල්පති හා ගුරු සංගම් එකමුතුවෙන් ජනපතිට ලිපියක්

(26.11.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේ ජනවාරි දක්වා දිවයිනේ සියළුම පාසල් වසා දැමීමට පියවර ගන්නා ලෙස විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙම අවස්ථාවේ සේවයට වාර්තා කරන්නේ ඔවුන්ගේ රැකියාව ආරක්ෂා කර ගැනීමට මිස කොරෝනා වසංගතයට බිය නොමැතිකම නිසා නොවන බවයි ඔවුන් අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ.

මේ අතර, පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (26) පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද අදහස් දක්වා සිටි අතර ඔහු කියා සිටියේ ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට ආරම්භ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ තීරණයක් ගන්නා බවයි ෴

++++++++++++++++++

(26.11.2020 – 17:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 30 වන දා කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කෙරුණා.

ඒ, මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදී ඉල්ලා සිටියේ පෙත්සම්වලින් ඉල්ලා තිබෙන සහනය හදිසි කටයුත්තක් සේ සලකා අද (26) දිනම මෙය සලකා බලන ලෙසයි.

එහෙත් අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නියමිත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්වී සිටීම හේතුවෙන් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි නිසා පෙත්සම සලකා බැලීම වෙනත් දිනයකට කල් දමන ලෙස ඔහුගේ කණිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙවැනි පෙත්සමක් සලකා බැලීමේදී සියළු පාර්ශව අධිකරණය හමුවේ පෙනී සිටීම වැදගත් බව පෙන්වා දුන් විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා එය සලකා බැලීම 30 වන දා දක්වා කල් දමන බවයි සඳහන් කළේ.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මිය ගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව 11 ක් විසින් මෙම මූලික අයිතිවාසිමක් පෙත්සම් ගොනු කර තිබෙනවා.

මේ අතර, කොරෝනා මරණ භූමදානය කිරීමට අවසර ඉල්ලා කොළඹ මහනගර සභාවේ සියළු මුස්ලිම් මන්ත්‍රීවරුන් අද (26) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හමුවීමට පැමිණියා.

++++++++++++++++++++

(26.11.2020 – 18:19 +0530 – hirunews.lk/sinhala)

අද (26) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයන් 342 නෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිත සංඛ්‍යාව 21,811 දක්වා ඉහළ ගියා.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 369 දෙනෙකු අද (26) දිනයේත් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15,816 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

*********************************************

පහසුකම් නොමැති බවට මාධ්‍යයට කරුණු කී, 1990 සුවසැරියේ 3 දෙනෙකු සේවයෙන් නෙරපයි

(26.11.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් රෝහල් වෙත රැගෙන යාමට යොදාගන්නා ‘1990 සුවසැරිය ගිලන් රථ’ සේවකයින්ට පහසුකම් නොමැති බවට චෝදනා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ එම ගිලන් රථ සේවක සංගමයේ සාමාජිකයින් තිදෙනාගේ (3) සේවය අත්හිටුවා තිබෙනවා.

එලෙස සේවයෙන් ඉවත් කර ඇත්තේ 1990 සුවසැරිය සේවක සංගමයේ සභාපතිනි, උපසභාපති සහ උපලේකම් යන අයගේ සේවයයි.

කෙසේ වෙතත්, ඊයේ (25) රාත්‍රියේ සුවසැරිය පදනමේ කළමනාකාරීත්වය විසින් තමන් ඇතුළු තිදෙනාගේ (3) සේවය අත්හිට වූ බවට දැනුම් දුන් බවයි අද (26) දිනයේ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් සුව සැරිය සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය කියා සිටියේ.

කෙසේ වෙතත්, මොවුන් සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් 1990 සුවසැරිය සේවා පදනම නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ආයතනයේ නීති උල්ලංගණය කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් මෙම සේවකයින්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවයි.

අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව හරහා සදහන් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන සුවසැරිය පදනම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ සිය ආයතනයේ සියළුම සේවකයින්ට නියමිත පරිදි ආරක්ෂක උපාංග සපයා ඇති බව ද සදහන් කරනවා.

එමෙන්ම, සිය ගිලන් රථ සියල්ල හොඳ තත්ත්වයෙන් පවතින බව සහ ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියේ ආයතන මගින් නඩත්තු කරන බවයි සුවසැරිය පදනම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

++++++++++++++++++++

(26.11.2020 – 20:17 +0530 – hirunews.lk/sinhala)

හලාවත පොලිස් වසමේ ග්‍රාමසේවා වසම් පහකින් (5) ගතවූ සති දෙකක (2) කාලය තුළ කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු වාර්තාවීමත් සමඟ එම ග්‍රාමසේවා වසම්වලට අද (26) සිට සංචරණ සීමා පනවා තිබෙනවා.

උතුරු වෙරළබඩ, කුරුසපාඩුව, දකුණු වෙරළබඩ, එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්‍රාම නිලධාරී වසම් සඳහා එලෙස සංචරණ සීමා පැනවෙන බවයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ.

++++++++++++++++++++++

(26.11.2020 – 20:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනක ස්ථාන මාරුකර යැවූ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා යළි අනුයුක්ත කිරීමට විරෝධය පළ කරමින් එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (26) සිට සේවයෙන් ඉවත්ව තිබෙනවා.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරි වේලාව සංශෝධනය කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ යොමු කළ ලිපියකට විරෝධය පළ කරමින් එම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද තම දෛනික රාජකාරි පස්වරු 04:30 න් අවසන් කිරීමට තීරණය කළා.

මේ අතර අලුතින් ආසාදිතයන් 37 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ බන්ධනාගාරවලින් වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාවද අද (26) වනවිට 790 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා නොවූ මීගමුව බන්ධනාගාරයෙන්ද ආසාදිතයෙකු වාර්තාවී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මහර බන්ධනාගාරයේදී කොරෝනා ආසාදිත බවට පසුගියදා හඳුනාගැනීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පොළොන්නරුව – ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරුකර යවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ඊයේ (25) ඇප නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව එහි වාර්තාව ලැබෙනතුරු තවදුරටත් මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටිනවා.

මේ අතර, ඊයේ (25) දිනයේත් පොලීසියේ ආසාදිතයින් 42 නෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව මේ වන විට 1123 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අද (26) උදෑසන ගාලුමුවදොරපිටියේ ව්‍යායාම් සිදුකරමින් සිටියදී හදිසියේ ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ අතර, ඔහුගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට හුදකලා කර ඇති වනාතමුල්ල – හල්ගහවත්ත ප්‍රදේශයේ ජනතාව අද (26) විරෝධතාවක නිරතවුණේ තමන්ට සහන නොලැබෙන බවට චෝදනා කරමින්.

කොරෝනා වෛරසයේ බලපෑමට ලක්වූ අසරණ පවුල් සඳහා භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් කොළඹ මහ නගර සභාව විසින් බොරැල්ල දුම්රිය ක්‍රීඩාපිටියේදී සිදු කළා. එහිදී ජනතාව චෝදනා කළේ එම වැඩපිළිවෙල නිසි ක්‍රමවේදයකින් තොරව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තමන් අපහසුතාවට පත්වන බවටයි.

මේ අතර, කොරෝනා ආසාදිතයන් වාර්තාවීමත් සමඟ වරායේ මෙහෙයුම් කටයුතුවලට එල්ලවී තිබූ බලපෑම් යථා තත්ත්වයට පත් කරමින් කොළඹ වරායේ සියලු පර්යන්තයන්හි මෙහෙයුම් මේ වනවිට යථාවත් කර ඇති බව වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ භාණ්ඩ නිෂ්කාශණ කටයුතුවලදී යම් අපහසුතාවක් ඇත්නම් පහත දුරකථන අංකවලට අමතා ඒ පිළිබඳව අවශ්‍ය විමසීම් සිදුකරන ලෙසයි.

ඒ අනුව පෑලියගොඩ බහලුම් මධ්‍යස්ථානයේ කාර්යභාර නිලධාරි 071 853 1859 අංකයෙනුත්, කොළඹ වරායේ සේවා සැපයුම් කොට්ඨාසයේ සේවා භාර නිලධාරී 071 868 8361 අංකයෙනුත්, ඕනෑම වේලාවක සම්බන්ධ කරගැනීමට හැකියාව පවතිනවා.

එමෙන්ම වරාය සේවා හා පර්යන්ත මෙහෙයුම් පිළිබඳ විමසීම් සඳහා 011 232 0405 අංකයට හෝ 071 688 9452 අංකයට අමතා වරාය අධිකාරියේ මෙහෙයුම් කුටියේ කාර්ය භාර නිලධාරියා සම්බන්ධ කරගත හැකි බවයි වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

කොවිඩ්-19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 211 දෙනෙකු අද (26) හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ෴

++++++++++++++++++++

(26.11.2020 – 23:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 03 ක් අද (26) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහළ ගියා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *