දීඝවාපියෙන් හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේම දැයි නිර්ණය කිරීමට කාබන් පරීක්ෂණයක්

දීඝවාපියෙන් හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේම දැයි නිර්ණය කිරීමට කාබන් පරීක්ෂණයක්

කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගැනීමට වඩාත් යෝග්‍ය කුමන පරීක්ෂණය ද ? – වෛද්‍ය මතය

*********************************************

දීඝවාපියෙන් හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේම දැයි නිර්ණය කිරීමට කාබන් පරීක්ෂණයක්

(26.11.2020 – 23:01 +0530 – hirunews.lk/sinhala)

අම්පාර, ඓතිහාසික දීඝවාපිය දාගැබ් පරිශ්‍රයෙන් ශෛලමය මංජුසාවක තිබී හමු වූ ධාතූන්වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේමදැයි නිර්ණය කිරීම සඳහා කාබන් පරීක්ෂණයක් සිදුකළ යුතු බව පුරා විද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසනවා.

මේ අතර රන්කරඬු තුළ තිබී හමු වූ සන්නසක තිබූ අපර බ්‍රාහ්මී අක්ෂර අද (26) පුරා විද්‍යා නිලධාරීන් විසින් කියවනු ලැබුවා.

අම්පාර ඓතිහාසික දීඝවාපී දාගැබ ආශ්‍රිත කැණීම්වලදී එහි දකුණු වාහල්කඩින් ශෛලමය මංජුසාවක් හමු වූ අතර එහි තිබී රන් කරඬු 4 ක් සොයා ගැනුණා.

පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට පුරා විද්‍යා කැණීමකදී එකම ස්ථානයකින් හමු වූ වැඩිම කරඬු ප්‍රමාණය මෙය බවයි.

එම කරඬු පුරා විද්‍යා නිලධාරීන් විසින් මෙලෙස පරීක්ෂා කළා.

රන් කරඬු තුළ තිබූ රනින් නිම කළ සන්නස් පත්‍රයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අබිලේඛන සහ නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතා විසින් කියවනු ලැබුවා.

මෙම රන් සන්නසට සමාන සන්නසක් 1987 වසරේ ජනවාරි 23 වැනි දින දීඝවාපී දාගැඹේ බටහිර වාහල්කඩින් සොයා ගත් මංජුසාවේද තිබූ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම රන් සන්නස රචනා කර ඇත්තේ අපර බ්‍රාහ්මීය අක්ෂරවලින්.

මෙම සර්වඥ ධාතූන්වහන්සේලා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුවිශේෂී මණ්ඩපයක තැන්පත් කිරීමටයි පියවර ගැනුණේ.

දීඝවාපී පුදබිමෙන් හමු වූ මෙම ධාතූන්වහන්සේලා පිළිබඳව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා මෙලෙස අදහස් පළ කළා.

+++++++++++++

+++++++++++++++++++

වසර 1800 කට පෙර සිටි මහානාග රජපුත් මළතිසගේ රන්කරඩුව සොයාගනී

(26.11.2020 – 06:05 +0530 – lankadeepa.lk)

ඓතිහාසික දීඝවාපි දැගැබේ දකුණු වාහල්කඩ කැණීමේදි පුරා විද්‍යා කැණීම් අංශය මගින් සොයා ගනු ලැබු ශෛලමය මංජුසාව තුළ වු රන් කරඬු හතරින් (4) එක් (1) කරඬුවක බ්‍රාහ්මීය අක්ෂර සහිත රන් සන්නසක් මතු කර ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නාණක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු මහතා එම රන් සන්නස කියවා, එහි අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ‘සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ’ යනුවෙන් සදහන් වන බවද, එය සිංහල බසට නැගූ විට ‘යහපතක් වේවා! මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිටතිස්ස) රජුගේ රන් කරඩුව’ යනුවෙන් සදහන් වන බවද පැවසීය.

මෙම සන්නසට සමානව 1987 ජනවාරි 23 වන දින දීඝවාපි දාගැබේ බටහිර වහල්කඩින් සොයා ගත් මංජුසාවේද රන් සන්නසක් තිබු බව ඒ මහතා පැවසීය.

මේ සන්නසට අනුව මහල්ලකනාග මහ රජු නාමයෙන් හැඳින්වෙනුයේ ප්‍රදානයට අදාල රජුගේ පියාය. එතුමා ක්‍රිස්තු වර්ෂ 134 සිට 140 දක්වා පාලනය කල බවත් ඒ රජුගේ පුත් කණිට්ඨතිස්ස රජතුමා මෙය ප්‍රදානය කර ඇති බවත්, මළිතිස හෙවත් කණිට්ඨතිස්ස යන නාමය මෙහිදි කියවෙන බවත්, ඒ මහතා පැවසීය. කණිට්ඨතිස්ස ක්‍රිස්තු වර්ෂ 164 -192 තෙක් රජ කළ බව මහා වංශයේ සදහන්වේ. අදින් වසර 1800 පමන ඉතිහාසයක් මෙහි ඇති බව මෙහිදී දැනගන්නට ලැබිණි.

එමෙන්ම මෙම රන්කරඬු තුල ඇති සංඛේත ලක්ෂණ අනුව සර්වඥ ධාතුන් වහන්සේලා මෙම මංජුසාව තුළ තැන්පත් කර ඇති බවට සාධක තිබෙන බව නාමල් කොඩිතුවක්කු මහතා සදහන් කළේය. ඒ අනුව නෙළුම් මලක් සිරිපා සළකුණක් මෙම ධාතුන් තැන්පත් කිරීමට යොදා ගත් රන්පත්වල නිර්මාණය කර තිබේ.

මෙම සොයාගැනීම් පිළිබදව අම්පාර දිසා ලේකම් කාර්යාලයෙදි තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි ෴

*********************************************

කොවිඩ් ආසාදිතයෙක් හඳුනාගැනීමට වඩාත් යෝග්‍ය කුමන පරීක්ෂණය ද ? – වෛද්‍ය මතය

(26.11.2020 – 22:37 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිතයෙක් රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කළ දින සිට, දින 10 ක් ගතව යාමෙන් පසු ඔහුගෙන් වෙනත් අයෙකුට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නැතැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ අංශයේ ප්‍රධානී මහාචාර්ය මලික් පීරිස් මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රෝගය තවත් අයෙකුට ආසාදනය කිරීමේ හැකියාව ඇති ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වඩාත් යෝග්‍යතම පරීක්ෂණය වන්නේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය බවය.

ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කර තිබු විද්වත් සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූළික වෛද්‍ය උපාධිය ලබාගත් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් මහතා අද වනවිට ලෝකයේ වෛරසවේදය පිළිබඳ විද්‍යාඥයින් අතර ප්‍රමුඛස්ථානයක් හිමිකරගැනීමට සමත්ව තිබෙන විද්‍යාඥයෙකි.

ලොව පිළිගත් විද්‍යා සඟරා සඳහා පර්යේෂණ පත්‍රිකා 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කර ඇති මහාචාර්ය මලික් පීරිස් මහතා ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේද සාමාජිකයෙකි.

2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනාගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා මහාචාර්ය මලික් පීරිස් මහතා සිදුකළ කාර්යභාරය ලොව පුරා විද්‍යාඥයින්ගේ පැසසුමට ලක්වූ අතර ඔහු 2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහා ද සුවිශේෂි දායකත්වයක් ලබාදුනි.

ඔහු වර්ථමානයේදී හොංකොං විශ්වවිද්‍යාලයේ සමාජ සෞඛ්‍ය පිළිබඳ විද්‍යායථනයේ වෛරස් අධ්‍යයන විද්‍යාව පිළිබඳ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඒ මහතා පසුගියදා, ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමය සංවිධාන කර තිබු සාකච්ඡාවකට එක් වුණි.

එම සාකච්ඡාවේ දී අදහස් දැක් වූ ලංකා කායික රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා :

“මේ නව රෝගය මහජනතාව අතර විශාල බියක්, අනපේක්ෂිතභාවයක් ඇති කරලා තියෙනවා. මේ රෝගය වටා නිර්මාණය වන වැරදි මිත්‍යා මත සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වීම තවත් නරක අතර හරවා තිබෙනවා. අද මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා කොවිඩ් වසංගතය පිටුපස ඇති සැබෑ විද්‍යාත්මක සත්‍ය පිළිබඳ අපිව දැනුවත්කරන්න අපිත් එක්ක ලෝකයම පිළිගන්නා විශේෂඥයෙක් එක්වෙනවා.ඒ මහාචාර්ය මලික් පීරිස් මහතා.”

එම සාකච්ඡාවේ දී අදහස් දැක් වූ හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා :

“රෝගය පැතිරයාම ගැන අවධානය යොමු කරද්දි අපි තේරුම්ගැනීම වැදගත් වැඩියෙන්ම රෝගය බෝවෙන්නේ, සියයට 44 ක් පමණ රෝගය තවත් අයෙකුට ආසාදනය කිරීමේ හැකියාව තියෙන්නේ පුද්ගලයෙක් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න කලින්. ඉන් පසු දින තුන හතර තුළදීත් රෝගය බෝවීම සිදුවුණත් දින 5, 6, 7 පසු කිරීමෙන් පස්සේ තවත් අයෙකුට බෝවීමේ හැකියාව ඉතාම වේගයෙන් අඩුවෙනවා.”

++++++++++++++++++++++

නළු-නිළියන් 14 කට කොරෝනා

(26.11.2020 – 17:55 +0530 – lankaleadnews.com)

ලංකාවේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුනිළියන් 14 දෙනකුට කොරෝනා රෝගය වැළදී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මීට පෙර එක් නළුවකුට කොරෝනා රෝගය වැළදී තිබුණු අතර රෝග ව්‍යාප්තිය නොතකා දිගින් දිගටම රූගත කිරීම් සිදුකිරීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව දැනට මෙම පිරිස නිරෝධායනයට ලක් කොට ඇති බවද දැනගන්නට තිබේ ෴

======================================

බුර්කාවක් හැඳගත් පිරිමියෙකු දෙහිවලින් අත්අඩංගුවට

(27.11.2020 – colombotoday.com)

බුර්කාවකින් සැරසී දෙහිවල ප්‍රදේශයේ සැරිසැරූ පිරිමි පුද්ගලයකු දෙහිවල පොලිසිය විසින් ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන පසුව ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

දෙහිවල, ගාලු පාරේ පිහිටි සුපිරි වෙළෙදසලක සිට පැමිණි බුර්කාවකින් සැරසුණු අයෙකුගේ නුහුරු ගමන් විලාසය ගැන සැක සිතුණු ප්‍රදේශවාසීන් එක්ව බුර්කාව ඇඳ සිටි පුද්ගලයා අල්ලා ප්‍රශ්න කිරීමේදී බුර්කාව හැඳ සිට ඇත්තේ කාන්තාවක නොව පිරිමි පුද්ගලයකු බව අනාවරණය කරගෙන ඒ පිළිබඳව දෙහිවල පොලිසිය දැනුවත් කර ඇත.

ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා සැකකරු රුපියල් ලක්ෂ 10 ක පෞද්ගලික ඇප මත මුදා හැර ඇති අතර අංගොඩ මානසික රෝහලේ මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු මුණගැසී ඒ සම්බන්ධව වාර්තාවක් සමග නැවත ජූනි 10 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත ෴

***************************************

හොර මරණ සහතිකයක් සාදා මුස්ලිම් ජාතිකයෙකු භූමිදානය කරලා. නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර.

(27.11.2020 – colombotoday.com)

වැල්ලම්පිටිය කුමාරදාස පෙදෙසේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් වෙසෙන නිවසක මියගිය පුද්ගලයෙකු පෙරේදා (25) නිරෝධායන නීතිවලට පටහැනිව භූමිදානය කර තිබෙනවා. අදාළ නිවසේ මින් පෙර කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු (2) සිට ඇති බව ද වාර්තා වෙනවා.

පෙරේදා උදැසනම මියගිය පුද්ගලයාගේ නිවැසියන් විසින් මෘත ශරීරය රහසේම දෙමටගොඩ ප්‍රදේශයේදී ව්‍යාජ ආකාරයට මරණ සහතිකයක් සාදා භූමිදානය කර ඇති බව වාර්තා වෙන බවත් එම ව්‍යාජ සහතිකය යම් මරණ පරීක්ෂක වරයෙකු නිකුත්කර තිබෙනවා නම් ඔහුට විරුද්ධව ද කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බවත් කූට ලේඛන සහ නිරෝධායන නීති යටතේ මේ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවත් යම් ආකාරයක මරණයක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත දැන්වීම අනිවාර්ය කරුණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේ ෴

***************************************

(27.11.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

මාදුරුඔය ජාතික උද්‍යානයේ දැවැන්ත වන විනාශයක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එහි ඇති වටිනාකමින් යුත් දැවැන්ත ශාඛ මේ වන විටත් විශාල සංඛ්‍යාවක් කපා දමා ඇති බවටයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඒ පිළිබදව බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි අම්පාර මාදුරුඔය ජාතික උද්‍යානය අවට ගම්මානවල ජීවත් වන ජනතාව ප්‍රකාශ කළේ.

***************************************

(27.11.2020 – 08:32 +0530 – hirunews.lk/sinhala)

ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ යුද කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු මුදවාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉතියෝපියානු කාර්යාලය සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි අදාළ පිරිස මුදාගෙන ඇත්තේ.

ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි.

එම පිරිස ඉතියෝපියාවේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතුව තිබෙනවා.

ඔවුන්ට අමතරව තවත් විදේශිකයින් රැසක් ද එම මෙහෙයුමේදී මුදවාගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

***************************************

(27.11.2020 – 09:39 +0530 – hirunews.lk/sinhala)

මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් කර තිබියදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරාවුර් ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති මොවුන් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, යාපනය – චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශය තුළ ද මහවිරු සැමරුම් හෝ ත්‍රස්ත සැමරුම් පැවැත්වීම තහනම් කරමින් චාවකච්චේරි මහේස්ත්‍රාත් ගජනිධි බාලන් මහතා ඊයේ (26) නියෝගයක් නිකුත් කළා.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුවයි.

එමෙන්ම, මීට පෙර යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මුලතිව් අධිකරණ මගින් ද සැමරුම් තහනම් කරමින් නියෝග නිකුත් කර තිබුණා.

මේ අතර, වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදෙන අද (27) දින සිහි කරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංකේතාත්මක පුෂ්පය ලෙස සැලකෙන නියගලා මල සහ එම සංවිධානයේ වීරත්වය උද්දීපනය වන වැකි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැගිල්ලේ ප්‍රක්ෂේපණය කිරීමට එරට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් කටයුතු කර තිබූ බව ‘ටැමිල් ගාඩියන්’ වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මහවිරු සැමරුම් මෙරට තුළ සිදුකිරීමට කිසිදු අවස්ථාවක් ලබානොදෙන බවයි.

***************************************

(27.11.2020 – 09:54 +0530 – hirunews.lk/sinhala)

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් මූලස්ථානයේදී අද (27) සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා.

අනිවාර්ය නිවාඩු යවන ලද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙන් පසු වසර දෙකකට (2) ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඔහු කටයුතු කළා.

කෙසේ වෙතත්, නව පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම පසුගිය දා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබූ අතර, එය පාර්ලිමේන්තු සභාව විසින් ද අනුමත කරනු ලැබුවා.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් මොහු උපාධි හිමිකරගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

***************************************

(27.11.2020 – 10:09 +0530 – hirunews.lk/sinhala)

ජපන් ජාතික ව්‍යාපාරිකයෙකුගේ බාල වයස්කාර දියණියක් ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් විවාහ කරගත් ශ්‍රී ලාංකික තරුණයා දෙසැම්බර් මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම, එම බාල වයස්කාර දැරිය පරිවාස භාරයට යොමු කිරීමටයි මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කළේ.

ඇය මේ වනවිට පස්මස් (5) ගැබිණියක්.

එමෙන්ම, මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැණුනු 3 දෙනෙකු ශරීර ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

මොවුන් මීට මාස පහකට (5) පෙර දිවයිනට පැමිණ ඇත්තේ මෙම ජපාන ජාතික දියණියගේ මව මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධත්වය පළ කිරීම හේතුවෙන් බවට ප්‍රශ්ණ කිරිම්වලදී අනාවරණය වී ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කළා.

ශ්‍රී ලාංකික තරුණයා අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර සිය පෙම්වතියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ.

මව මෙම සම්බන්ධයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් පෙම්වතියගේ ද කැමැත්ත මත තරුණයා ඇය ශ්‍රී ලංකාවට කැදවාගෙනවිත් තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් මෙම දැරියගේ මව ජපාන තානාපති කාර්යාලය දැනුම්වත් කර තිබූ අතර මොවුන් දෙදෙනා (2) ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන්තොටුපළට තානාපති කාර්යාලයේ නියෝජිතයන්ද පැමිණි සිටි බවයි වාර්තා වුණේ.

පසුව මොවුන් දෙදෙනා (2) තරුණයාගේ නිවස ආසන්නයේ තානායමක රඳවා ඇති අතර ජපාන ජාතික මව ශ්‍රී ලංකාවට පැමිණි දිනට පෙර මොවුන් එම ස්ථානයෙන් පැනගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් නුවරඑළිය, දියතලාව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල හෝටල් කිහිපයක නවාතැන් ගෙන සිටි බවයි.

පසුව කොච්චිකඩේ පොලිසියට ලද තොරතුරක් අනුව ඊයේ (26) මූදුකටුව ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

(27.11.2020 – 10:58 +0530 – hirunews.lk/sinhala)

කැළණි ගඟ දූෂණය වීම වැළැක්වීමට යාන්ත්‍රණයක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අමාත්‍යාංශ 3 කට නිර්දේශ කර තිබෙනවා.

ඒ, පරිසර, ජල සම්පාදන සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යාංශ සඳහායි.

‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ පළමු වරට කෝප් කමිටුව ඊයේ (26) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, එහිදී මෙම නිර්දේශ සිදුකර තිබුණා.

කැළණි ගඟ ආශ්‍රිතව කර්මාන්ත ශාලා 2946 ක් පවතින බවත් ඉන් කර්මාන්තශාලා 41 ක් පාරිසරික බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන බවයි හෙළිවුණේ.

එමෙන්ම, කර්මාන්ත 205 ක පාරිසරික බලපත්‍ර අත්හිටුවා ඇති අතර සීතාවක අපනයන සැලසුම් කලාපයේ භූගත ජලය පිළිබද සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි කෝප් කමිටුව මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ කරනු ලැබුවේ ෴

***************************************

(27.11.2020 – 11:29 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේදී ටිපර් රථයක් අනතුරට ලක්වන අයුරු කැමරාවේ සටහන්ව තිබෙනවා.

අදාළ අනතුර සිදුව ඇත්තේ හාලිඇල බෝගහමඩිත්ත ප්‍රදේශයේදීයි.

මාර්ගයෙන් ඉවතට පැන නතරවීතිබූ ටිපර් රථය මද වෙලාවකින් ප්‍රපාතයට පෙරලී යන අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබෙනවා.

ප්‍රපාතයට පෙරළී ගිය ටිපර් රථය කොස්ගසක රැඳීම හේතුවෙන් විශාල අනතුරක් වැළකීගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

කෙසේ වෙතත් ඒ අවස්ථාව වන විට ටිපර් රථයේ රියදුරු රථයෙන් ඉවතට පැමිණ සිටීම හේතුවෙන් අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නෑ.

එම අවස්ථාව පහතින් :

===================================

(27.11.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රෝගාශ්‍රිතයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධානය නිසි ලෙස සිදුකරගෙන යාම සඳහා නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර තිබෙනවා.

එය නිරීක්ෂණ කාර්යය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පැවරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

ආර්ථික සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන, පවුල් සෞඛ්‍ය සේවා, ග්‍රාම නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීන් මෙම කණ්ඩායමට ඇතුළත්.

රෝගාශ්‍රිතයන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින් දින 14 ක කාලයක් පුරා නිරෝධායනයට ලක්විය යුතු අතර, නිරීක්ෂණ කමිටුවට අයත් නිලධාරීන් සතියේ එක් එක් දිනවල අදාළ නිවෙස් වෙත ගොස් එකී ක්‍රියාවලිය නිරීක්ෂණය කළ යුතු වනවා.

සියළු නිවැසියන් නිවෙස්වල සිටින බව ඔවුන් තහවුරු කළ යුතු අතර, කිසියම් පාර්ශවයකින් ලැබෙන පැමිණිලි විමර්ශනය ද අදාළ කණ්ඩායමේ වගකීමක්.

රෝගීන්ගේ සහ ආශ්‍රිතයින්ගේ පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයින් බැදී සිටිනවා.

නිවෙස්ගත නිරෝධානය ආරම්භ වන සෑම විටම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අදාළ ග්‍රාම නිලධාරීවරයා වෙත ඒ බව දැනුම් දිය යුතුයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් සහ දිස්ත්‍රික් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් විශේෂ දැනුම්දීමක් ද කර තිබෙනවා ෴

++++++++++++++++++++

(27.11.2020 – 08:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 100 ට ආසන්න වී තිබෙනවා.

ඊයේත් (26) කොරෝනා මරණ 3 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට මුළු මරණ සංඛ්‍යාව 99 දක්වා ඉහල ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේදී ඊයේ (26) මියගොස් ඇති අතර කොරෝනාත් සමඟ බැක්ටීරියා ආසාදනයක් සහ නිධන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මිය ගිය අනෙක් පුද්ගලයා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80 ක් වයසැති පිරිමි පුද්ගලයෙක්.

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මොහු මිය ගොස් ඇති අතර අධිරුධිර පීඩනය, නියුමෝනියාව තත්ත්වය සහ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ හෘදයාබාධයක් මෙම මරණයට හේතු වී තිබෙනවා.

73 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ද මෙලෙස මියගිය පිරිස අතරට වාර්තා වන අතර ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ පසුගිය 23 වනදායි.

අධිරුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනයත් සමඟ ඇති වූ ආඝාත තත්ත්වයක් මෙම මරණයට හේතු වී තිබෙනවා.

මේ අතර, ඊයේ (26) නව කොරෝනා ආසාදිතයින් 559 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 553 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ හා සම්බන්ධ ආශ්‍රිතයින් වනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොරෝනා පොකුර 18,491 දක්වා ඉහළ ගියා.

ඊට අමතරව තුර්කිය, මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණි තුන් දෙනෙකු (3) මෙන්ම ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු ද කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වුණා.

නාවිකයෙකු ද කොරෝනා ආසාදිතයෙකු බවට ඊයේ (26) හදුනා ගැනුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,028 ක් ලෙස දැක්වෙන අතර ආසාදිතයන් 6113 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සංඛ්‍යාව 15,816 ක්.

මේ අතර, ඇහැලියගොඩ – දිවුරුම්පිටිය ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවකින් ආසාදිතයන් 44 දෙනෙකු අලුතෙන් හඳුනා ගැනීමත් සමඟ එම කර්මාන්තශාලාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හමුවේ ඇහැලියගොඩ ප්‍රදේශය තුළ අවදානම් තත්ත්වයක් මතුව ඇති බවයි.

ඒ හේතුවෙන් දැනටමත් පාසල් කිහිපයක් වසා දැමීමට කටයුතු කර ඇති අතර, ඇහැලියගොඩ කලාපයේ සියළු පාසල් තවත් සතියක කාලයක් වසා දැමීම පිළිබදව අද (27) දිනයේ තීරණය කරන බව ඔහු කියා සිටියා.

කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් අද (27) සිට සතියක කාලයක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබෙනවා.

ඒ, අම්පාර දිස්ත්‍රික්කයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් ආසාදිතයින් 21 දෙනෙකු හඳුනා ගැනීමෙන් අනතුරුවයි.

පවතින අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන අක්කරෙයිපත්තු, සයින්දමරදු සහ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ ජනතාවට සංචරණය සීමා කරන ලෙස ද නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාරවරිය ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරි වේලාව සංශෝධනය කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ යොමු කළ ලිපියකට විරෝධය පළ කරමින් තම දෛනික රාජකාරි පස්වරු 04:30 න් අවසන් කිරීමට ගත් තීරණයත් සමඟ රෝගීන් රෝහල් ගත කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ඊයේ (26) පස්වරුවේ වාර්තා වූ රෝගීන් 7 දෙනෙකු මෙම තත්ත්වය හමුවේ රෝහල් ගත කිරීමට ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් ගිලන් රථ යොමු කර තිබුණ ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොමැතිවීම හේතුවෙන් ආපසු හරවා යැවීමට සිදුව තිබුණේ රෝගීන් රෝහල් ගත කිරීමකින් තොරවයි.

එමෙන්ම, මීගමුව – කදිරාන – වෙස්ටර් සීඩන් වත්තේ දෙවන පටුමගේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා ඇති වී තිබුණ ද රෝහල් ගත කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසියෙකු චෝදනා කළා.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ රෝගීන් රෝහල්ගත කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වගකීම භාර ගතයුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පෙන්වා දෙන්නේ ෴

+++++++++++++++++++++

(27.11.2020 – 10:52 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඊයේ (26) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මොවුන්ට මෙම වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව බූස්ස බන්ධනාගාරයේ කොරෝනා වැළදුණු කොරෝනා රැඳවියන් සංඛ්‍යාව මේ වන විට 70 ඉක්මවා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *