ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කළ සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කළ සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

*********************************************

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කළ සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

(01.12.2020 – 06:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වන රංජන් සිල්වා මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එහි ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා අබුඩාබියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයට අනුකූලව අබුඩාබි පොලිසිය මගින් පෙරේදා (29) දිනයේ ඔහු එලෙස අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා මහතාගේ පියා වන රංජන් සිල්වා මහතා ඝාතනයට ලක් කෙරුණේ 2018 වසරේ මැයි 04 වැනිදායී.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගනු ලැබුවේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි ධර්මසිරි පෙරේරා හෙවත් රත්මලානේ ධර්මේ නැමැත්තායි. සැකකරු මෙම ඝාතනයෙන් පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පළාගොස් ඇති බවට තොරතුරු ලැබී තිබූ බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව පසුගියදා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන එය ජාත්‍යන්තර පොලිසියට යොමුකර තිබුණා.

ඒ අනුව පෙරේදා දිනයේදී ධර්මසිරි පෙරේරා නැමැත්තා අබුඩාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට පිහිටි ජාත්‍යන්තර පොලිසියේ ශාඛාවට දැනුම් දී ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කෙරෙමින් පවතින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඔහු මෙරට සිදුවූ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවටද තොරතුරු ලැබී තිබෙනවා.

***************************************

(01.12.2020 – 07:11 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරුන්ය. සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.

මහර බන්ධනාගාරයේ කොරෝන අසාදිත රැඳවියන් 187 දෙනෙකු කොළඹ බන්ධනාගාරයේ විශේෂ ඒකකයක් වෙත රැගෙනවිත් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්ප්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ සිද්ධියෙන් මියගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමේදී ඔවුන් හඳුනා ගැනීම සඳහා ලබාදී තිබූ අංක සහ අදාළ ලිපි ලේඛණ විනාශ වී තිබීම බාධාවක් වී ඇති බවයි.

පෙරේදා රාත්‍රියේ ඇති වූ මෙම සිද්ධියෙන් 08 දෙනෙකු මියගිය අතර 107 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් 10 දෙනෙකුගේ පමණ තත්වය බරපතල වන අතර 15 දෙනෙකුට ශල්‍යකර්ම සිදු කළ බවද රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා ෴

***************************************

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙනවා

(01.12.2020 – 07:52 +0530 – hirunews.lk/sinhala)

1988 වසරේ සිට සැමරෙන ලෝක ඒඞ්ස් දිනයේ මෙවර තේමාව එච්.අයි.වී. වසංගතය අවසන් කිරීම, ඔරොත්තු දීමේ හැකියාව සහ බලපෑම අවම කිරීම යන්නයි. මිලියන 38 ක් ජනයා ලෝකය පුරා එච්.අයි.වී. ආසාදිතයන් ලෙස අදටත් ජීවත් වනවා. පසුගිය වසරේදී ඒඩ්ස් ආශ්‍රිත රෝගවලින් පුද්ගලයින් 690,000 ක් මිය ගියා.

ශරීරයේ ප්‍රතිශක්තිය හීන කර, පහසුවෙන් රෝග බෝවීමේ හැකියාව ඇතිවීම එච්.අයි.වී. ඒඩ්ස් රෝගයේ තිබෙන සරළව ප්‍රකාශ කළ හැකි බරපතල තත්ත්වයයි.

1987 වසරේ දී පළමු එච්.අයි.වී., ආසාදිතයා ශ්‍රී ලංකාවෙන් සොයාගත් අතර, මේ වනවිට නිල වශයෙන් හඳුනා ගෙන ඇති සංඛ්‍යාව 3500 කට අධිකයි. ස්වයං විනය සුරක්ෂිත කර ගන්නේ නම්, මේ භයානක රෝගය අපට සදහටම තුරන් කළ හැකියි.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබූ අතර, එහි දැක්වෙන්නේ 2025 වසර වනවිට මෙරටින් ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ ඉලක්කයකට ගමන් කරමින් සිටින බවයි. එච්.අයි.වී. ආසාදනය වී සිටින පුද්ගලයන් සමාජයේ වෙනස්කම්වලට ලක් නොකර ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළා ෴

***************************************

(01.12.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

කොබෙයිගනේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී ජාවාරම්කරුවන් විසින් ටිපර් රථයකට යටකර ඝාතනය කරන ලද, පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

ඒ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුවයි.

පසුගිය 29 වැනිදා අලුයම මෙම පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට ලක්වුණේ දැදුරු ඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේදීයි.

ඒ, වැටලීම සිදුකිරීමට ගිය අවස්ථාවේදී එහි සිටි ටිපර් රථ රියදුරෙකු සිය රථයෙන් පොලිස් කොස්තාපල්වරයා යටකර පළා යෑම හේතුවෙන්. සිද්ධියට සම්බන්ධ ටිපර් රථය සහ එහි රියදුරා පසුව සිදුකළ විමර්ශනවලදී නිකවැරටිය සහ කුලියාපිටිය ප්‍රදේශවලදී සොයා ගනු ලැබුවා ෴

***************************************

(01.12.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 590 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, පද්ධතිය ඉදිරි පැය 06 තුළදී පීඩන අවපාතයක් බවට පත්වී ඉන් පසුව එළැඹෙන පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති.

මෙම සුළි කුණාටුව මඩකලපුව සහ මුලතිව් අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට (02) සවස් කාලයේ ඇතුළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් නැගෙනහිර මුහුද ඇතුළු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීම නැවත දැනුම් දෙනතුරු සිදු නොකරන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ ෴

(01.12.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 530 ක් දුරින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

එය ඉදිරි පැය 24 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරු තුඩුව අතරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට හෙට සවස් කාලයේ ඇතුළුවිය හැකියි.

ඒ අනුව, නැවත දැනුම්දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින ලෙසයි එම දෙපාර්තමේන්තුව යළි දැනුම් දෙන්නේ ෴

(01.12.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින්, දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (01) පෙරවරු 11:30 ට පමණ මෙම ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 500 ක් දුරින් ස්ථානගතව පැවති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහි බලපෑම හේතුවෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ සබරගමු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර පැයට කිලෝමීටර් 80 ත් 90 ත් දක්වා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි මෙන්ම එම ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර ප්‍රහාරාත්මක තද සුළං ඇතිවිය හැකි බැවින් අවධානයෙන් පසුවන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ ෴

(01.12.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (02) සිට ලබන සිකුරාදා දක්වා දින 3 ක් වසා තබන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කළා.

ඒ සුළි කුණාටු තත්ත්වයක් ඉදිරි පැය 24 තුල නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කිරීම හේතුවෙන්.

එමෙන්ම, සුළි කුණාටුව මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

(01.12.2020 – 08:19 +0530 – hirunews.lk/sinhala)

ලොව හුදෙකලාම හස්තියා ලෙස සැලකෙන පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක රඳවා සිටි ශ්‍රී ලංකාවේ කාවන් හස්තියා ගුවන් මගින් ඊයේ (30) කාම්බෝජයට ළඟා වුණා.

තිස්පස් (35) වසරක් විවිධ කායික හා මානසික පීඩාවන්ට ලක්ව සිටි කාවන් මුදා ගැනීමට සුප්‍රකට පොප් ගායිකා සහ හොලිවුඞ් සිනමා නිළි ෂර් ඇතුළු සත්ව අවිහිංසා සංවිධාන එක්වුණා.

රුසියානු ජම්බෝ ජෙට් යානයක රැඳවූ විශේෂිත කුටියකට ඇතුළු කළ කාවන් ඊයේ (30) කාම්බෝජයට ළඟා වූ අවස්ථාවේ හොලිවුඞ් සිනමා නිළි ෂර් ද ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

කාම්බෝජ බෞද්ධ භික්ෂූණ් වහන්සේ පිරිත් සජ්ජායනා කොට කාවන්ට ආශීර්වාද කළ අතර, අද (01) දිනයේ කාවන් උතුරුදිග කාම්බෝජයේ – සියම් රීප් හි අක්කර 25,000 ක අභය භූමියකට රැගෙන යනු ඇති.

දිගු ගුවන් ගමනකට පසු කාවන් සුපුරුදු ගුවන් මගියෙකු විලාසයෙන් විශේෂිත බහාළුම තුළින් ඉවතට පැමිණි බවයි කාම්බෝජ ගුවන් තොටුපල වෙත මෙම අවස්ථාව වාර්තා කිරීමට පැමිණි විදේශීය මාධ්‍යවේදියෙකු සඳහන් කළේ ෴

***************************************

(01.12.2020 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මාස දෙකකට (2) පසු වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාවක් ඊයේ (30) දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඊයේ (30) සිදුවූ මාරක රිය අනතුරු 06 කින් පුද්ගලයන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු කියා සිටියේ.

පසුගිය ඔක්තෝම්බර් 04 වනදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ මාරක රිය අනතුරුවල අඩුවක් දක්නට ලැබුණද, මෙම සතිය ආරම්භයත් සමග නැවතත් මාරක රිය අනතුරු ඉහළ ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

***************************************

(01.12.2020 – 09:42 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියත් සමඟ එහි අභ්‍යන්තර දේපලවලට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය පවසනවා. එම හානි වූ දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අද (01) දිනයේදී ලබාගැනීමට නියමිතයි.

එමෙන්ම, මෙම සිද්ධියෙන් බහුතරයක් තුවාල ලබා ඇත්තේ බන්ධනාගාර පරිශ්‍රය තුළදී එකිනෙකා ගැටීමෙන් යැයි මේ වනවිට අනාවරණ වී ඇති බවද පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත්, බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන් 400 ක බල ඇණියක් තවදුරටත් යොදවා තිබෙනවා ෴

(01.12.2020 – 10:13 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පෙරේදා රාත්‍රියේ සිදුවූ නොසන්සුන්තාවට ප්‍රධාන හේතුව වී ඇත්තේ රැදවියන් විසින් එහි ඖෂධ ගබඩාව බිඳ මානසික ව්‍යාකූලත්වය ඇතිවිය හැකි පෙති වාර්ග පානය කිරීම බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

විශාදය සහ කාංසාව ආදි මානසික තත්ත්වයන් වලදී භාවිත කිරීමට තිබූ පෙති 21,000 ක් පමණ අතුරුදන්ව ඇති බවයි හෙළි වී ඇත්තේ.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් පාලක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ ගැටුමේදී තුවාල ලැබූ සහ මියගිය සියලු රැඳවියන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයින් බවයි.

සිද්ධියෙන් මේ වනවිට රැඳවියන් 9 දෙනෙකු මියගොස් ඇති අතර, රැඳවියන් 106 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු (2) තවදුරටත් රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, ඇතිවූ කලහකාරි සිද්ධියත් සමඟ එහි අභ්‍යන්තර දේපලවලට දැඩි හානි සිදුව ඇති අතර, එම හානි වූ දේපළ සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අද (01) දිනයේදී ලබාගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මහර බන්ධනාගාරයේ රැඳවියන් 2780 දෙනෙකු රඳවා සිටින අතර ඉන් 585 දෙනෙකුම දඩුවම් විඳින සිරකරුවන්.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පත් කළ පංච පුද්ගල කමිටුවෙන් තමාව ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (01) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ යන මහත්වරු යි.

සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස අධිකරණ අමාත්‍යවරයා එම කමිටුවට උපදෙස් ලබාදී තිබෙනවා.

+++++++++++++++++

(01.12.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අදත් (01) පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති වුණා.

ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ ඉදිරිපත් කළ පැනයත් සමඟයි.

මේ එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය අලී සබ්රි සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන :

***************************************

(01.12.2020 – 12:12 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ දෙසැම්බරයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි 18 වනදා දක්වා කල් දමා තිබුණා.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එය එදිනට පැවැත්විය නොහැකි අතර, විභාගය පැවැත්වෙන නව දිනය එය පැවැත්වීමට සති 6 කට පෙර ප්‍රකාශයට පත් කරන බවයි.

***************************************

(01.12.2020 – 13:03 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (01) සිට ආරම්භ වුණා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ‘හිරු ප්‍රවෘත්ති’ අංශයට සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකෙරෙන මෙම පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මණ්ඩල 410 ක් යටතේ ක්‍රියාත්මක බවයි.

ලබන 14 වැනිදා දක්වා මෙම ඇගයීම් කටයුතු සිදු කෙරෙනවා. කෙසේ වෙතත්, කොළඹ, කළුතර, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (01) ආරම්භ නොවන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා ෴

***************************************

(01.12.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 17 ක් එක්ව අද (01) පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ සිදුකළ විරෝධතාවකට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට විරෝධයක් පළ වුණා.

මෙම විරෝධතාව පැවැත්වුණේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන වෙන් නොකළ බව පවසමින් ෴

***************************************

(01.12.2020 – 15:54 +0530 – hirunews.lk/sinhala)

තහනම් භාණ්ඩ බන්ධනාගාරයට ප්‍රවාහනයට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ බන්ධනාගාර නිලධාරින් 4 දෙනෙකුට අද (01) මීගමුව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකළා.

ඒ නීතිපතිවරයා විසින්.

ව්‍යාජ ලියකියවිලි සැකසීම හා භාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා ෴

***************************************

(01.12.2020 – 16:50 +0530 – hirunews.lk/sinhala)

බිලියන 1.2 කට ආසන්න මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් පොහොර ලේකම් කාර්යාලය 2018 සහ 2019 වසරේ සේවය කළ සහකාර අධ්‍යක්ෂවරුන් 3 දෙනෙකු සහ සංවර්ධන නිලධාරින් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර තිබෙනවා.

විගණකාධිපති වාර්තාවකට අනුව සිදුවූ මෙම පොහොර විෂමතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා විසින් පත් කළ කමිටුවක් විසිනුයි මෙම පස්දෙනාගේ (5) සේවය අත්හිටුවීමට නිර්දේශ කර ඇත්තේ ෴

=================================

(01.12.2020 – 08:02 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 20,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ දිනයේදී හඳුනාගත් නව ආසාදිතයින් 469 දෙනෙකු සමඟයි. ඒ අනුව මේ වනවිට එම පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 20,442 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,309 ක් ලෙසින්. වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 17,560 ක්.

එසේම, ඊයේ (30) දිනයේදී තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් (2) වාර්තා වුණා. ගලහ ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ අටලුගම ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔවුන් අතරින් පිරිමි පුද්ගලයා පේරාදෙනිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති අතර, මරණයට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොරෝනා ආසාදනය සමඟ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක්.

අටලුගම පදිංචි කාන්තාව නිවසේදී මියගොස් ඇති අතර, කොරෝනා සමඟ උග්‍ර වූ අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය මරණයට හේතුව ලෙස දැක්වෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ යනවා ෴

++++++++++++++++++++

(01.12.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය පාලනයට නිසි ක්‍රියාමාර්ග නොගතහොත් කොළඹ මහ නගර සභා සීමාවට එහා ගිය කොරෝනා අවදානමක් කළුතර දිස්ත්‍රික්කයට ඇතිවිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවනවා.

ඊයේ (30) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 503 දෙනෙකු හඳුනාගත් අතර, ඉන් 496 දෙනෙකුම වාර්තා වූයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන්. අනෙකුත් ආසාදිතයින් හත් දෙනා (7) විදේශ රටවල සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වන පුද්ගලයින්. ඊයේ (30) හඳුනාගත් ආසාදිතයින්ගෙන් 147 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 130 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ඊයේ (30) වාර්තා වී තිබුණා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 23,987 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,309 ක් ලෙසින්. වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 17,560 ක්.

මේ අතර, පොලිස් නිලධාරීන් ආශ්‍රිතව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට පහත වැටෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

(01.12.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මුළු රටම ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇති බැවින් සියළු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම අනිවාර්ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ගත වූ පැය 24 ක කාළය තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කල පුද්ගලයින් තිස්දෙදෙනෙකු (32) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රිකයේ පිටකොටුව පොලිස්බල ප්‍රදේශය හුදෙකළා බවින් නිදහස් කෙරුණද මැනිං වෙළෙදපොල , 4 වන සහ 5 වන හරේ වීදියේ තොග වෙළදසැල් විවෘත කිරීමට තවමත් අවසර හිමිවන්නේ නැහැ.

මේ අතර , දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සහ ඒ අවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් ඇතැම් පිරිස කටයුතු කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා.

මේ අතර බණ්ඩාරවෙළ පොලිසියේ නිළධාරීන් විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

මේ අතර මීටරෙන් ජීවීතේ දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයිනේ ප්‍ර දේශ කිහිපයකදී අදත් (01) දියත් කෙරුණා.

++++++++++++++++++++

(01.12.2020 – 14:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කෙරුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් සලකා බැලීම ඊයේ (30) සහ අද (01) දිනයේ සිදු වුණා.

අද (01) දින වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිපතිවරයා සහ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ කියා සිටියේ කොරෝනා ආසාදිතයෙකු මරණයට පත් වූ විට අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව කරුණු ඇතුළත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවයි.

ඒ තුළින් කිසිදු පාර්ශ්වයක ගේ මූලික අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් ඔහු අවධාරණය කළා.

ඉදිරිපත්වූ සියලු‍ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟතාවය මත මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

කොරෝනා වසංගතයෙන් මරණයට පත් වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන් ඇතුළු පාර්ශව 11 ක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *