වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [1]

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [1]

*********************************************

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [1]

කොවිඩ් හෙළ ඔසුව ගැන පරීක්ෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය

(01.11.2020 – 22:00 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරසයට එරෙහිව දේශීය ව නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳ වැඩිදුර පරික්ෂණය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබේ.

කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බළකාය අද (01) රැස්වූ අවස්ථාවේ දී දේශීය ඖෂධය පිළිබඳ සායනික පර්යේෂණ කටයුතු සිදු කිරීම ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පවරා තිබේ.

කොවිඩ්-19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමත් සමත්වූ බව පසුගිය 29 වැනිදා ‘අද දෙරණ’ රටට අනාවරණය කළේය.

දින තුනක් (3) ඖෂධ ලබා දීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් අනතුරුව රෝගීන්ගේ සිරුරෙන් කොවිඩ් වෛරසය විනාශ වන බව පළමු සහ දෙවන පරීක්ෂණ වලින් තහවුරු කර ගැනීමට එම වෛද්‍යවරුන්ට හැකි වුණි.

එවැනි පසුබිමක කොව්ඩ් මර්දනය සඳහා දේශීය වෙද මහතුන් විසින් සිදුකළ පර්යේෂණ පිළිබඳව සොයාබැලීමට නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය අද (01) පියවර ගත් අතර එම අවස්ථාවටද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සහභාගී විය.

‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහනට සහභාගි වෙමින් අදහස් දැක් වූ කොවිඩ් මර්ධනය සඳහා දේශීය ඖෂධයක් සොයාගත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා, “මම හිතන්නේ, මම මාර්තු මාසේ ඉඳලා ඖෂධ හදලා දුන්නා. මේ බෙහෙත බීලා කිසිම කෙනෙකුට වෙනත් ආසාදනයක් හැදෙන්නේ නැහැ. ඔබතුමා මේ බෙහෙත බොන්න. ඔබතුමාට ජීවිත කාලයටම ආයෙත් මේ වෛරසය හැදෙන්නේ නැහැ. සාමන්‍ය අයෙකුට මේස හැඳි එකක් (1) උදේ සවස දින දෙකක් (2) බොන්න. ඒ වාගේම රෝගය හැදුණ කෙනෙකුට මේස හැන්ඳෙන් එක (1) ගානේ උදේ – හවස දවස් තුනක් (3).”

ප්‍රශ්නය – එතකොට ඕකට බෙහෙත් ජාති කීයක් දැම්මා ද ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – බෙහෙත් ජාති මම විශේෂයෙන් දෙකයි ගත්තේ. තවත් බෙහෙත් වර්ග දෙකක් සමඟ භාවිතා කළා.

ප්‍රශ්නය – සම්පූර්ණ ඖෂධ 4 යි ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – හතරයි (4).

ප්‍රශ්නය – එතකොට එක බෙහෙත් බෝතලයක සාමාන්‍යයෙන් වාටිනාකම කොච්චරක් විතර වෙනවාද ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – ශ්‍රමය නොමැතිව මුදල විතරක් රු 6,500 ක් වැය වෙනවා.

ප්‍රශ්නය – එතකොට බෝතලයක් කී දෙනෙකුට බොන්න පුළුවන්ද ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – ලෙඩේ හැදුණු 15 දෙනෙකුට බොන්න පුළුවන්.

ප්‍රශ්නය – ඔබතුමා ප්‍රවෘත්ති විකාශයේ දී කිව්වා මී පැණියි, සාදික්කයි තියෙනවා කියලා.

ධම්මික බණ්ඩාර වෙද මහතා – ඔව් ඒ දෙක තමයි තියෙන්නේ.

ප්‍රශ්නය – තව දෙකක් තිබෙනවා ඒ දෙක කියන්නේ නැහැ ?

ධම්මික බණ්ඩාර වෙද මහතා – ඒ දෙක දැනට නොකියා ඉමු අපි.

මේ අතර ‘අද දෙරණ BIG FOCUS’ වැඩසටහන සහභාගි වෙමින් අදහස් දැක් වූ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුරුවේද රෝහල් සංවර්ධන හා ප්‍රාජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙසේ පැවසීය :

ප්‍රශ්නය – සායනික පරික්ෂාවට ගියත් කරපු ප්‍රමාණය මදි, එතකොට මීට වඩා වැඩිපුර මේක ලබාදිය යුතුයි ඊළඟ අදියරට යන්නට ඕනේ, එහෙමනම් කොහොමද දෙන තල්ලුව රජයක් විදිහට?

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩ් මහතා – අනිවාර්යෙන් හෙට (02) හවසට 2 කට සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අදාළ අංශවල බලධාරීන් සමඟ සකච්ඡාවක් මේ ඖෂධ වර්ගය පිළිබඳව සාකච්ඡා කරන්න වෙලාව වෙන් කරගෙන තියෙන්නේ.

ධම්මික බණ්ඩාර වෙද මහතා – “මම ඉල්ලීමක් කරනවා සියලුම බලධාරීන්ගෙන් මේ සඳහා තෙවැනි පරීක්ෂණයකට යන්න. එයටත් මම එකඟයි. ඒ පරීක්ෂණ කරලා හැකි ඉක්මනින් මේ වසංගතය තුරන් කරන්න. මේ බෙහෙත හදලා හැමෝටම දෙන්න – පිහිට වෙන්න කියලයි මම ඉල්ලන්නේ.”

එවැනි පසුබිමක මෙම පර්යේෂණය පිළිබඳව අද (01) කොවිඩ් මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

එහිදී ජනාධිපතිවරයා මෙම දේශීය ඖෂධය පිළිබඳ ව ඉදිරි පර්යේෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදුකරන ලෙස උපදෙස් ලබා දුනි.

ඊට සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනවල සහය දක්වන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

+++++++++++++++++++++++++++++++

01-12-2020

+++++++++++++++++++++++++++++++

කොරෝනාවට සැකසූ දේශීය ඖෂධය ගැන පරීක්ෂණයක්

(01.12.2020 – 23:01 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල ප්‍රදේශයේ දේශිය ආයුර්වේද වෛද්‍යවරයකු විසින් කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කළ ඖෂධය පිළිබඳ, කඩිනමින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (01) රැස්වූ අවස්ථාවේදී.

කොවිඩ්-19 වෛරසය මැඩපැවැත්විය හැකි දේශීය ඹෟෂධයක් නිෂ්පාදනය කිරීමට කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සමත් වූ අතර බටහිර වෛද්‍ය වරුන් කණ්ඩායමකගේ මැදිහත් වීමෙන් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක්ද සිදු කෙරුණා.

ඒ වතුපිටිවල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින රෝගීන් ස්වෙච්ඡාවෙන් ඉදිරපත් වූ කොවිඩ් රෝගීන් සඳහා එම ඹෟෂධය ලබාදෙමින්.

එලෙස ලබාදුන් රොගීන් කොවිඩ් වෛරසයෙන් සුව අතට පත් වූ තත්ත්වයක් වෛද්‍යවරුන් පරීක්ෂණ වලින් නිරීක්ෂණය කර තිබූ අතර ඒ පිළිබඳ අප පසුගියාදි හිරු ප්‍රවෘත්ති තුලින් පෙන්වා දුන්නා.

මෙම ඖෂධය සම්බන්ධයෙන් ඊයේ (30) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් දේශිය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ ඒ පිළිබඳ සිය අවධානය යොමු ව ඇති බවයි.

මේ අතර අද (01) ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේදී මෙම ඹෟෂධය පිළිබඳ සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

ඊට සහභාගී වූ ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පල කළා.

මෙම ඖෂධය සම්බන්ධයෙන් ඉදිරි පර්යේෂණ කටයුතු සිදුකරණ අකාරය පිළිබඳවද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පල කළා.

+++++++++++++++++++++++++++++++

කොවිඩ් මර්දනයට සමත් හෙළ ඔසුවක් ! – මුලික අත්හදාබැලීම් සාර්ථකයි !

(29.11.2020 – 20:23 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වෛරසය සම්පූර්ණයෙන් මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ.

මෙම ඖෂධය පිළිබඳ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක (2) දී 100% ප්‍රතිශතයකින් කොවිඩ් රෝගීන් සුවය ලබා ඇති බව පර්යේෂණය සිදුකළ වෛද්‍ය කණ්ඩායම පෙන්වාදෙයි !

කොවිඩ් මර්දනය උදෙසා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වූ ඖෂධයන් හා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ පසුගිය කාලය තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ අතර ලෝකය පුරාද විවිධ එන්නත් නිපදවමින් පර්යේෂණ ගණනාවක් මේ දිනවල විවිධ රටවල පර්යේෂණ කණ්ඩායම් සිදුකරමින් පවතී.

ඒ අතර කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෙදමහතෙකු විසින් නිර්මාණය කළ දේශීය ඖෂධයක් පරීක්ෂා කර බැලීමට බටහිර වෛද්‍යවරු කණ්ඩායමක් තීරණය කර තිබුණි.

ඒ අනුව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධිකාරී චූල බණ්ඩාර මහතා, කොවිඩ් ප්‍රතිකාර ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාර මහතා සහ කොළඹ ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකොන් මහත්මියගේ මැදිහත්වීමෙන් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 140 දෙනෙකු සම්බන්ධ කරගනිමින් පළමු පර්යේෂණය ආරම්භ කර තිබේ.

පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට තහවුරු වී දින 06 ක් ගතවූ රෝගීන්ට මෙලෙස දින 03 ක් අඛණ්ඩව දවසට දෙවරක් (2) බැගින් මෙම ඖෂධය පානය කිරීමට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව එම ඖෂධය පානය කළ රෝගීන් අතරින් අහඹුලෙස තෝරාගත් දස (10) දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය කණ්ඩායම කටයුතු කරනු ලැබීය.

ඒ අනුව පළමු පර්යේෂණය යටතේ සිදුකළ අත්හදා බැලීමට අනුව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ රෝගීන් දස (10) දෙනාගේම ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති බව පසුගිය 16 වැනිදා තහවුරු වී තිබේ.

අනතුරුව මෙම වෛද්‍ය කණ්ඩායම ගම්පහ මහ රෝහලේ කායික රෝග විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතාව ද සම්බන්ධ කරගනිමින් මෙම ඖෂධය පිලිබඳව 02 වන පර්යේෂණය ආරම්භ කරනු ලැබීය.

එහිදී ද වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් 50 දෙනෙකු පර්යේෂණය සඳහා සම්බන්ධ කර ගැණුනු අතර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව රෝගීන් 25 දෙනෙකුට නව ඖෂධය ලබාදීමත් අනෙක් රෝගීන් 25 දෙනාට ඖෂධීය ගුණයන් නොපෙන්වන ආදේශකයක් ලබාදීමත් සිදුකර තිබේ.

දෙවන පර්යේෂණය සඳහා ද පී.සී.ආර්. පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වී දින 03 ත් 04ත් අතර වූ රෝගීන් සම්බන්ධ කරගනු ලැබීය.

ඔවුන්ට ද දින 03 ක් එලෙස අඛණ්ඩව ඖෂධය ලබාදීමෙන් අනතුරුව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම සඳහා පසුගිය 25 වනදා එම රෝගීන්ගෙන් කොටසක් මහරගම අපේක්ෂා රෝහලටත් අනෙක් කොටස කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයනයටත් යොමුකර ඇති අතර මහරගම අපේක්ෂා රෝහලට යොමුකළ 31 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මේ වනවිට වෛද්‍ය කණ්ඩායමට ලැබී තිබේ.

එම අපේක්ෂා රෝහලේ පී.සී.ආර්. වාර්තාවලට අනුව නව ඖෂධය ලබාගත් රෝගීන් 16 දෙනෙකුගේ ශරීරවලින් කොවිඩ් වෛරසය ඉවත් වී ඇති අතර ආදේශකය ලබාදුන් රෝගීන් 15 දෙනෙකුගේ ශරීරයේ වෛරසය තවදුරටත් ඇති බව තහවුරු විය.

මේ අතර කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයනයට යොමුකළ රෝගීන් 19 දෙනාගේ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිතය.

ඒ අනුව පර්යේෂණ වට දෙකකදී සාර්ථකත්වයක් පෙන්වූ මෙම ඖෂධය සම්බන්ධයෙන් කෙරෙන 03 වන පර්යේෂණය රජයේ මැදිහත්වීමෙන් සිදුකිරීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා :

“කොවිඩ් 19 රෝගය සඳහා හෙළ වෙදකම ඇසුරෙන් නිෂ්පාදිත ඖෂධය පිළිබඳ අප යම් ආකාරයකට දැනුවත් වුණා. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණාත්මකව සොයා බැලිය යුතුයි යන අදහසේ අපි සිටිනවා. ඒ වගේම මේ ඖෂධයේ ඵලදායිතාව පිළිබඳ නිශ්චිත වශයෙන්ම අදහසක් ලබා ගැනීම සඳහා ඉදිරි කාලයේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

‘කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෙදමහතෙකු’ = වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා

+++++++++++++++++++

කොරෝනා නසන දේශීය ඖෂධයේ වාර්තා මෙන්න.. කොරෝනා නසන ලොව එකම බෙහෙත මෙය බව වෙදැදුරු කියයි.. රටටම නොමිලේ දෙන්න සූදානම්.. පරීක්‍ෂණවලට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් බාධා..

(30.11.2020 – 22:06 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය සුව කර පෙන්වූ එකම වෛද්‍යවරයා තමන් බව කොරෝනා වෛරසය සදහා ප්‍රතිකාර ක්‍රමයක් සොයාගත් ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් විසින් හඳුන්වා දුන් වෛද්‍ය ක්‍රමයෙන් දින 3 කින් පසු කොරෝනා ආසාදිතයන්ගේ වාර්තා සෘණාත්මක වන බවද ඔහු පවසයි.

දැනට ලෝකයේ කොරෝනා මර්ධන එකම සාර්ථක ප්‍රතිකාර ක්‍රමය මෙය බවද පැවසූ ඔහු මෙය දින දෙකක් (2) පානය කළහොත් කිසිදිනක නැවත කොරෝනා වළදෙන්නේ නැතැයිද සඳහන් කළේය.

තමන් විසින් සකස් කරන ලද මෙය දේශීය ඖෂධයක් බවත් පවසන ඔහු මෙරට ලෙඩුන් බේරා ගැනීමට මෙය ලබාදීම සූදානම් බවත් කියා සිටියේය.

මේ සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබා ගැනීමට තමනට උදව් කරන ලෙසද ඉල්ලා සිටින ඔහු මෙම ඖෂධ වට්ටෝරුව දැන්ම හෙළි නොකරන බවද සඳහන් කරයි.

මෙම ඖෂධය පරීක්ෂණ කිරීම සඳහා උදව් කරන ලද වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිදහසට කරුණු ඉල්ලමින් ලිපි ලිවීමට පටන් ගෙන ඇති බවත් ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

++++++++++++++++

කොවිඩ් හෙළ ඔසුව ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරේ

(30.11.2020 – 20:30 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව දේශීයව නිශ්පාදනය කළ ඖෂධය පිළිබඳ වැඩිදුර පරික්ෂණ කිරීමට තවදුරටත් බටහිර වෛද්‍යවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

‘අද දෙරණ’ ඊයේ (29) රට හමුවේ අනාවරණ කළ එම ඖෂධය පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව ලොව පුරා පරියේෂණ සිදුවන පසුබිමක මෙරට තුළද සිදුවන එවැනි පර්යේෂණයක් පිළිබඳව ‘අද දෙරණ’ ඊයේ (29) රටට අනාවරණය කළේය.

කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමත් සමත් වී තිබුණි.

දින තුනක් (3) ඖෂධ ලබා දීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුව රෝගීන්ගේ සිරුරෙන් 100% ක් කොවිඩ් වෛරසය විනාශ වන බව පළමු පරීක්ෂණයෙන් සහ දෙවන පරීක්ෂණයවලින් තහවුරු කර ගැනීමට එම වෛද්‍යවරුන්ට හැකි විය.

එවැනි පසුබිමක මෙම පර්යේෂණය පිළිබඳව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුරුවේද රෝහල් සංවර්ධන හා ප්‍රාජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (30) පාර්ලිමේන්තුවද දැනුවත් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සිසිර ජයකොඩි මහතා,

“ඊයේ (29) දවසේ අපි ‘දෙරණ’ රූපවාහිනිය නාලිකාවෙන් දැක්කා අරණායක ප්‍රදේශයේ සිටින බණ්ඩාර වෙදමහතාගේ සොයා ගැනීම පිළිබඳව. එම වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු ලැබුණ වහාම ගරු උදය කාන්ත මැතිතුමා සමග අපි සතියකට පෙර එම වෛද්‍යවරයා මුණගැසුණා. ඒ පිළිබඳ විශේෂ සායනික අධ්‍යයනයක් වතුපිටිවල රෝහලේ බටහිර වෛද්‍යවරුන් සිදුකරනු ලැබුවා. ඒ නිසා ඒ වෛද්‍යවරුන්ව අපි අගය කරනවා. ඒ වගේම ඒ වෛද්‍යවරුන්ට හානිකර කිසිදු දෙයක් කරන්න කටයුතු නොකරන්න කියන ඉල්ලීම මේ වෙලාවේ කරන්නත් අපි අවස්ථාවක් කර ගන්නවා. ඒ නිසා දේශීය වෙදකමත් බටහිර වෛද්‍ය කේෂ්ත්‍රයේ දැනුමත් පර්යේෂණ මාර්ගයෙන්, උපකරණ සහ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සම්බන්ධ කරගත් වැඩපිළිවලකින් තමයි අපේ රටට යහපත සහ ජයග්‍රහණය ලබාගන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා.”

මේ අතර පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද මේ පිළිබඳ මෙලෙස අදහස් පළ කළේය.

“වෛද්‍ය අධිකාරී චූලා බණ්ඩාරත් ඒ වගේම කොවිඩ් ප්‍රවර්ධන ඒකකය භාර වෛද්‍ය ධම්මික කුමාරත් යන වෛද්‍යවරු දේශීය ඔසුවක් හඳුන්වා දුන්නා කියලා ඊයේ (29) ‘දෙරණ’ ප්‍රවෘත්තිවල වාර්තා කළා. ඒ ප්‍රවෘත්තියෙන් පස්සේ වෛද්‍ය ධම්මික කුමාර මහතා එම තනතුරෙන් ඉවත් කරලා කියලා අපිට දැනගන්න ලැබුණා. මං හිතන්නේ මුළු ලෝකයම අද ජනතාව බේරගන්න උත්සහ ගන්නකොට මට තේරෙන්නේ නෑ ඇයි ලංකාව අඩියක් පස්සට තියන්නේ කියලා.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක් අත්හදා බැලීම සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා :

“මම හිතන්නේ ඊයේ (29) ජනමාධ්‍ය වාර්තා කළා ඔය සිද්ධිය. මේ කොවිඩ් සම්බන්ධයෙන් යම් සාර්ථක ප්‍රතිඵලයක් යම් අයෙකුට ගන්න පුළුවන් නම් ඒක විද්‍යාත්මකව තහවුරු වෙනවා නම්, ඒ ක්‍රමවේදය ආයුර්වේද වෛද්‍යකර්මය තුළ සිදුකිරීම සම්බන්ධයෙන් බටහිර වෛද්‍යවරු විදියට අපේ කිසිදු ගැටළුවක් නෑ.”

ප්‍රශ්නය – හැබැයි – මේ කොවිඩ්වලට හොයා ගත්ත දේශීය වෛද්‍ය – මෙච්චරම සාර්ථක වුණ පළමු බෙහෙත මේක?

“ඒ ගැන ජනමාධ්‍යයෙන් තමයි තහවුරු වුණේ, ඒ අධ්‍යයන පත්‍රිකා සම්බන්ධයෙන් අපි විශ්ලේෂණයක් කරන්නේ නැතුව හරි උත්තරයක් දෙන්න බෑ. මේ ප්‍රතිඵලය මුළු රටට විතරක් නෙමෙයි මුළු ලෝකයටම ඉතාමත් වැදගත් පරීක්ෂණයක් වෙයි සාර්ථක වුණොත්. අපේ මට්ටම තුළ දෙන්න පුළුවන් සහයෝගයක් මේ ක්‍රියාවලියට අද අපි විධායක සභාව තුළත් කථා කරන්න බලාපොරොත්තු වෙනවා.”

++++++++++++++++

+++++++++++++++++++++

(02.12.2020 – 07:58 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකු සොයාගත් බව කියන කොරෝනා වෛරසය සුව කරන ඖෂධයක් සම්බන්ධයෙන් අද (02) දිනයේදී විශේෂ සාකච්ඡාවක් සිදුකරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍ය මාහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට එම ඖෂධය කෙරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් 50 දෙනෙකුට පමණ ලබාදී ඇති බවයි ෴

+++++++++++++++++++

(02.12.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්ධනය සඳහා කෑගල්ලේ දේශිය වෛද්‍යවරයකු විසින් නිපදවූ ඖෂධය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකුගේ (5) සහභාගිත්වයෙන් අද (02) විශේෂ සාකච්ඡාවක් පවැත්වුණා.

බත්තරමුල්ලේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම සාකච්ඡාවට අදාළ ඖෂධය නිර්මාණය කළ දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතාද එක්ව සිටියා.

කොරෝනා වෛරසය මැඩපැවැත්විය හැකි දේශීය ඖෂධයක් නිෂ්පාදනය කිරීමට කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සමත් වූ අතර බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමකගේ මැදිහත් වීමෙන් ඒ පිළිබඳව මූලික පරීක්ෂණයක්ද සිදු කෙරුණා.

වතුපිටිවල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින ස්වෙච්ඡාවෙන් ඉදරිපත් වූ රෝගීන් සඳහා එම ඖෂධය ලබාදෙමින් පරීක්ෂණ සිදු කෙරුණු අතර ඒ පිළිබඳව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා පෙන්වා දුන්නා.

ඊයේ (01) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් රැස්වූ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේදී මෙම ඖෂධය පිළිබඳ සාකච්ඡාවට ලක් වී ඇති අතර ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී ඇත්තේ මෙම ඖෂධය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (02) පස්වරු 02:00 ට සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා.

මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලොවටම ලබාදීමට නම් විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුකූලව පර්යේෂණ සිදුකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් යෝජනා මාලාවක් සකස් කළ යුතු බවත් මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා.

එම යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කරන ලද අතර, එහි සභාපතීත්වය සඳහා මහාචාර්ය සේනක පිලපිටිය මහතා පත්කළා.

+++++++++++

කොවිඩ් හෙළ ඔසුව – ආසාදිතයින්ට ලබාදීමට ක්‍රමවේදයක් සෙවීමට මහාචාර්ය කමිටුවක්

(02.12.2020 – 19:27 +0530 – lankaleadnews.com)

කොවිඩ් මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් දේශීයව නිෂ්පාදනය කළ ඖෂධයට කොවිඩ් ආසාදිතයින්ට ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා වෛද්‍ය ‍ක්ෂේත්‍රෙය් මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත්කර තිබේ.

එම දේශීයව නිශ්පාදනය කළ ඖෂධය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අද (02) පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වූ බව පසුගිය 29 වැනිදා ‘අද දෙරණ’ රටට අනාවරණය කළේය.

ඉන් අනතුරුව මෙම දේශීය ඔෂෟධය පිළිබඳව ඉදිරි පර්යේෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදුකරන ලෙස ජනාධපතිවරයා ඊයේ (01) කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව අද (02) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවට විෂයභාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ එම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්, ඖෂධ නිෂ්පාදන – නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, ප්‍රථමික සෞඛ්‍ය සේවා – වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, නිපුණතා සංවර්ධන – වෘත්තීය අධ්‍යාපන – පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියේය.

එමෙන්ම මෙම ඖෂධය පිළිබඳව මූලික පර්යේෂණය දෙක සිදුකළ වතුපිටිවල රෝහලේ වෛද්‍ය කණ්ඩායම සහ එම ඖෂධය නිශ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාද එම සාකච්ඡාවට සහභාගී විය.

එහිදී මෙම ඖෂධය ශ්‍රී ලංකාවට මෙන්ම මුළු ලෝකයටම ලබා දීමට නම් විද්‍යානූකූල ක්‍රමවේදයන්ට අනුව පර්යේෂණ කිරීම සඳහා යෝජනා මාලාවක් සකස්කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

ඒ අනුව යෝජනා මාලාව කඩිනමින් සකස් කිරීම සඳහා විශ්වවිද්‍යාලවල වෛද්‍ය ක්ෂේත්‍රයේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

එම කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ :

  • මහාචාර්ය සේනක පිලපිටිය – සභාපති
  • විශේෂඳ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම – සාමාජික
  • මහාචාර්ය සිසිර සිරිවර්ධන – සාමාජික
  • මහාචාර්ය සරෝජ ජයසිංහ – සාමාජික
  • මහාචාර්ය ලේකම්වසම් – සාමාජික
  • මහාචාර්ය ජනක ද සිල්වා – සාමාජික
  • මහාචාර්ය සෑම් කුලරත්න – සාමාජික
  • මහාචාර්ය කමනි වනිගසූරිය මහත්මිය – සාමාජික

සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් දේශීය කොවිඩ් ඖෂධය පානය කරනු ලැබීය.

අද (02) පැවති මාධ්‍ය හමුවක දී වසංගතරෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.

“මෙය පර්යේෂණයක් ලෙස අත්හදාබැලීම සඳහා තීරණය කළා. ඒ සඳහා විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුත් ඇතුළත්ව විද්වත් කමිටුවක් සහයෝගය ලබාදීමටත් ඒ අනුව නිසි පරිදි පර්යේෂණ තත්ත්වයෙන් අත්හදාබලා ඒ පිළිබඳව තීරණයක් ගැනීමටත් එය කඩිනමින් කිරීමටත් තීරණය අරන් තියෙනවා. දේශීය ඖෂධ කොවිඩ්-19 එරෙහිව භාවිත කරන්නේ කියන එක පිළිබඳව විශේෂ අවධානයක් තියෙනවා. ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් ඒ වගේ දේවල් අත්හදා බලන විදිය ගැන නියාමනයක් කරලා තියෙනවා. ඒ අනුව කරන එක සුදුසුයි.”

+++++++++++++++++++++

“මට තියෙනවා දිෂ්ටි බලයක් තියෙනවා.. කොරෝනා රෝගීන් දින 4 කදී සුව කරනවා” – රාවණා රජු කල සිට එන හෙළ ඔසුව ගැන වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා කියයි

(03.12.2020 – am.lk)

කොරෝනා රෝගින් සියලු දෙනාට මෙම බෙහෙත් ලබාදී දින තුනක (3) දී නිට්ඨාවට සුව කළ හැකි බවත් නැවත කිසි දිනක කොරෝනා රෝගය නොවැලදෙන බවත් කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්ධ කාලී දේවාලයේ ධර්මාචාර්ය, පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ඩී.එම්. ධම්මික බණ්ඩාර මහතා පවසයි.

“මෙම බෙහෙත රාවණා රජු කල සිට පැවතෙන්නක්. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙතක්. අත්දුටු බෙහෙතක්. එම නිසා රාජ්‍ය හා සෞඛ්‍ය සම්බන්ධ ආයතනවල අනුග‍්‍රහයෙන් බෙහෙතට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දුන්නොත් දින හතරක (4) කාලයක් තුළදී දැනට ලංකාවේ සිටින කොරෝනා රෝගීන් සුව කිරීමට මට හැකියාවක් තියනවා” යැයි වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධව වැඩිදුරටත් ජාතික පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා මෙසේ ද සඳහන් කර තිබිණි.

“කොරෝනා වසංගතයට ගොදුරු වූ රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි (4) අරන් තියෙන්නේ. එකක් පිරිසිදු මී පැණි, මී පැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලු දෙනාටම බෙහෙත් දුන්නා. දින 4 ක් යන විට සුවවී තිබුණා. මේ සඳහා බිය වන්න අවශ්‍ය නැහැ. සත්තකින්ම මෙය ජීවමාන ඖෂධයක්. මෙම බෙහෙත් පාවිච්චි කරන්න සැක සිතන්න එපා, රෝගය සුව වෙනවා. අනිත් එක මේක නොමිලයේ ලබා දෙන්නේ.

මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසයි රාජ්‍ය අනුග‍්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන් මම ඉල්ලා සිටින්නේ පිරිසිදු මී පැණි හා සාදික්කායි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මී පැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු. ලංකාවේ අද වෙනකොට ආසාදිත රෝගීන් 5000 කට වඩා වාර්තා වෙනවා. මේ සියලු දෙනාට මෙම බෙහෙත් දීලා දින තුනක (3) දී නිට්ඨාවට සුව කරන්න පුලුවන්. ආයෙ කිසි දවසක හැදෙන්නේ නැහැ. මේක පුරාණයේ සිට පැවත එන්නක්. රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. එදා මහ රහතන්වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකෙ තියෙන්නේ බෙහෙත් හතරයි (4). ඒවා සජීවී බෙහෙත්.”

“නම් කියන්න බැරිද?”

“ඒවා පසුවට කියමු, වේලාවක් ආවොත් අපි කියමු.”

“මේ ඖෂධය වටිනා එකක්. මේක මේ රෝගයෙන් පෙළෙන ලෝකයේ ඕනෑම කෙනකුට දෙන්න. මම දිව්රා කියන්නම් දින තුනකින් (3) සුව වෙනවා. වැඩිහිටි රෝගියකුට මේස හැන්දෙන් හතරක් (4) දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අත්දුටුවයි. බිව්ව අය ඉන්නවා, සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට, ඈත පළාත්වල අයට දීලා තිබෙනවා. ඒ අය සුවවෙලා තිබෙනවා.”

“රජයේ අනුග‍්‍රහය ලැබෙනවා නම් රජයේ රෝහල්වල නේවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න පුළුවන්. ඒ සඳහා සැලසුම් කරන්න. මුදල් එපා. මෙම බෙහෙත් බෝතලයක් හදා ගන්න රුපියල් හයදහස් පන්සියයක් (6500) වියදම් වෙනවා. බෙහෙත් හොයන්න මහන්සි වෙන්න ඕනෑ. ශ‍්‍රමය යොදන්න ඕනෑ. එම මුදලවත් අපට ඵපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න.”

“මෙම බෙහෙත මගින් කී දෙනෙකූ සුවවෙලා ඉන්නවද?”

“මම අන්තිමට දුන්නේ වතුපිටිවල රෝහලට. එහි 146 ක් හිටියා කියලා මම කිව්වනේ. ඒ අයගේ පී.සී.ආර්. පරීක්ෂණ කළා. ප්‍රතිඵලය ‘සියලුදෙනාම සුවවෙලා’ යන්නයි. අම්බලන්තොට පැත්තටත් අරන් ගියා. ඒ අයත් සුවවෙලා තිබෙන බවට පණිවුඩ ආවා. මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදුනු සංචාරකයින් ගෙනයන මගපෙන්නන අයෙකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10 දෙනෙක් නිරෝධායනයට ලක් වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතයෙක්. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස, උණ තිබුණා. ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට, ඔහු සුව වුණා. දවස් දෙකයි (2), බේත් දුන්නේ හතර (4) වේලයි. ඉන් පසුව සුව වුණා. එතනින් පස්සේ තමයි මම අනිත් අයට ප‍්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දිෂ්ටි බලයක්. ඒකත් උපයෝගී කර ගන්නවා. මෙම බෙහෙත උපයෝගී කරගෙන අපි සියලු දෙනා නිදුක්වෙන්න නිරෝගිවෙන්න කටයුතූ කරමු” යැයි ද හෙතෙම පැවසීය ෴

++++++++++++++++++++++

කොවිඩ් හෙළ ඔසුව සාර්ථක වුවහොත් සියලුදෙනාට නොමිලේ දීමට සැලසුමක්

(04.12.2020 – 19:52 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වෛරසයට එරෙහිව කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු නිෂ්පාදනය කළ හෙළ ඔසුව පිළිබඳ අවසන් සායනික පරීක්ෂණවල නිගමනය ඉදිරි මාසය ඇතුළත රජයට දැනුම්දෙන බව ආයුර්වේද බලධාරීන් පවසයි.

හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා ඒ බව හෙළිකළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ එම ඖෂධය සාර්ථක වුවහොත් මෙරට ජනතාවට එය නොමිලේ ලබාදීම පිළිබඳ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවය.

කොවිඩ්-19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති අතර ‘අද දෙරණ’ ඉකුත් නොවැම්බර් 29 වැනිදා එය අනාවරණ කිරීමෙන් පසු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ අවධානය ඊට යොමු විය.

අනතුරුව, එලෙස දේශීයව නිෂ්පාදනය කළ හැකි ඖෂධය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ රාජ්‍ය අනුග්‍රහයෙන් මේ වනවිට සිදු කෙරෙමින් පවතී.

ඒ ඊට පත්කළ විද්වත් කමිටුවක අධීක්ෂණය යටතේ ය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගතරෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසූවේ “එක පැත්තකින් ආයුර්වේද විද්වත් කමිටුවක් හරහා මේ දේශීය ඖෂධයේ තිබෙන ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂණය කිරීමටත් අනෙක් පැත්තෙන් වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා නිසි ක්‍රමවේදයකට පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගැනීමටත් නිර්දේශ වුණා.” යනුවෙනි.

හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පෙන්වා දුන්නේ “මේ ඖෂධයේ විශාල ප්‍රතිඵලයක් තියෙනවා කියලා සහතිකය දීලා තියෙන්නේ බටහිර වෛද්‍ය කණ්ඩායමක්. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ බෙහෙත් වට්ටෝරු හැත්තදාහක් (70,000) විතර තියෙනවා. ඒ බෙහෙත් හදන්නේ වෛද්‍යවරුම නෙමෙයි,” යනුවෙනි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ මෙම ඖෂධය පිළිබඳව තවත් දින කිහිපයක් සායනික වශයෙන් අධ්‍යනය කරන බවය.

“මේ ගැන තවදුරටත් අධ්‍යනය කිරීමෙන් පසු රෝගීන් වෙත ලබා දීමට සුදුසුදැයි යන්න පිළිබඳ නිර්දේශය ලැබෙයි,” යනුවෙන් ද සඳහන් කළේය.

+++++++++++++++

++++++++++++++++++++++

දිෂ්ටි බලයෙන් බෙහෙත් කරන ධම්මික බණ්ඩාර ගැන නොදත් දේ

(05.12.2020 – 14:41 +0530 – aruna.lk)

‘ධම්මික බණ්ඩාර’ මේ දිනවල ලංකාව පුරාම කතා කරන නමකි. කෑගල්ල උඩුමාගම ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර කොරෝනා සඳහා ආයුර්වේද ඖෂධයක් නිෂ්පාදනය කර ඇති බව රටම දනියි. ඒ එම බෙහෙතට මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සහ රාජ්‍ය අනුග්‍රහය ලැබුණ බව ධම්මික බණ්ඩාර ප්‍රකාශ කිරීම හේතුවෙනි. මේ ‘ධම්මික බණ්ඩාර’ යන නාමයෙන් තමාව හඳුන්වා ගන්නා නිෂ්පාදකයා සොයා පසුගිය සිකුරාදා (04 දා) අපි කෑගල්ල උඩුවාගම ප්‍රදේශයේ සංචාරයක නිරත වූයෙමු.

එම ප්‍රදේශයේ කාලි මෑණියන්ගේ දේවාලයක් අසල අපි නතර වූයේ කථානායකයා සොයා ගැනීමේ අරමුණිනි. එහි වාහන රැසක්ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ පුද්ගලයෝද දේවාලය අසල පොරකමින් සිටියහ. ‘වෙද මහත්තයා ඉන්නවද?’ අපි විමසා සිටියේ දේවාලයේ සිටි පුද්ගලයෙකුගෙනි.

‘අද කාලි මෑණියෝ නැහැ. හදපු බෙහෙත් ඉවර වෙලා. හදන්න ගියා. ඇය අඟහරුවාදා තමයි බෙහෙත් දෙන්නේ’ ඔහු පැවසුවේය. කථානායකයා දේවාලයේ නොසිටි නිසා ගම් පියසේ සැරි සැරූ අපට තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි විය.

‘ධම්මික බණ්ඩාරගේ’ නියම නම ‘අප්පු කුට්ටි කංකානම්ලාගේ ධනපාලයි’ කෑගල්ල මාතුර හෙට්ටිමුල්ලේ උපන් ඔහු මේ වන විට උඩුමාගම අඹවල ප්‍රදේශයේ පදිංචිවසිටියි. වසර 25 ක කාලයක් මෙහි පදිංචිව සිටින ඔහු කලාකරුවෙකි. ගීත ගැයීමට, ඩොල්කි ගැසීමට, රූකඩ නැටවීමට මෙන්ම කැටයම්වලටද රුසියෙකි. වඩු වැඩ කරමින් සිය ජීවිකාව ගෙන ගිය ධම්මික බණ්ඩාර දෙදරු පියෙකි. වඩු වැඩ කරමින් සිටි මොහුට කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව කියමින් දේවාලයක් ඉදි කළේ මීට වසර කිහිපයකට පෙරයි.

‘මහත්තයො මෙහේ මිනිස්සු නම් ඔය මනුස්සයා ආශ්‍රය කරන්නෙ නැහැ. බෙහෙත් ගන්න යන්නෙත් නැහැ. හැබැයි එයාගේ බෙහෙත් බීලා කොරෝනා රෝගීන් සුව වෙනවානම් අපිත් කැමැතියි’

ගම්වැසියෝ අප හා පැවසූහ. ‘ගමේ වැඩවලට, විහාරස්ථානයේ වැඩවලටත් ධම්මික දායක වෙනවා.’ ගම් වැසියෝ තවදුරටත් පැවසූහ. භද්‍රකාලි මෑණියන්ගේ වරම් ලැබුවත් එම දේවාලයේ තිලෝගුරු බුදුපියාණන්ගේ දහම් ගුණ, සෙත් පිරිත් වැඩි වශයෙන් ඇසෙන බවද ගම්වාසීහු කියා සිටියහ. දකුණු පළාතේ භද්‍රකාලි මෑණියන් අදහන පිරිස් වැඩි වශයෙන් මෙම දේවාලයට පැමිණෙති. ඒ අතරේ ඔහු කොවිඩ්-19 සඳහා සකස් කළ බව කියන ආයුර්වේද ඖෂධය නොමිලේ දෙන අතර මුදල් අය නොකිරීමද විශේෂත්වයකි.

ධම්මික බණ්ඩාර හිටපු අමාත්‍යවරයකුද වන අතාවුද සෙනෙවිරත්න සමග සමීපව කටයුතු කළ පුද්ගලයෙකි. ඔහුගේ බෑණා කෙනකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය කාන්ත ගුණතිලක සමගද සමීපව කටයුතු කර ඇති මොහු තමන් සොයා ගත් ඖෂධය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටද රැගෙන එන්නේ එම සබඳතා හරහාය. මොහුට විරුද්ධව කෑගල්ල පොලිසියෙ නඩුවක්ද පවරා තිබේ. ඒ ඉඩම් නඩුවකි. රිමාන්ඩ් භාරයේද සිටි ධම්මික බණ්ඩාර නඩුවෙන්ද සමථයකට පත්ව භද්‍රකාලි දේවාලය පවත්වා ගෙන යාමට සමතෙකි.

‘ඔය මනුස්සයාට කපු මහත්තයා කීවම හොඳටම තරහා යනවා. කාලි මෑණියෝ කියනවා නම් කැමැතියි’ ගම්වැසියෝ ඔහුගේ පැටිකිරිය හෙළි කළහ. කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර යනු දේශීය වෛද්‍යවරයෙක් හෝ පාරම්පරික වෛද්‍යවරයෙක්ද නොවෙයි. තමන් නිෂ්පාදනය කළ බෙහෙත අවට පොලිස් ස්ථානවල නිලධාරීන්ටද පෙවීමට සමත් වූ පුද්ගලයෙකි. කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහටද මෙම නිෂ්පාදනය පෙවීමට ඔහු උත්සාහ කළත් ව්‍යාර්ථ විය. නමුත් මෙම නිෂ්පාදනයේ සත්‍ය අසත්‍යභාව සෙවීමට වෛද්‍යවරයාද සූදානමින් සිටියි.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා පිළිබඳ ආයුර්වේද ​වෛද්‍ය සභාවටද පැමිණිල්ලක් ලැබී තිබේ.

‘ප්‍රතිකාර කරන්න මම දිෂ්ටි බලයක් උපයෝගි කරගන්නවා………’
කොරෝනාවට බෙහෙත් සොයාගත් බව කියන ධම්මික බණ්ඩාර කියයි

කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්‍ර කාලී දේවාලයේ ධර්මාචාර්ය, පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් යනුවෙන් තමා හඳුන්වා ගන්නා ඩී.එම්. ධම්මික බණ්ඩාර මාධ්‍යයේ ප්‍රසිද්ධ වීමට පෙර අපේ වරකාපොළ මාධ්‍යවේදී නිමල් වසන්තට කියූ කතාව :

“කොරෝනා වසංගතයෙන් රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි අරන් තියෙන්නේ. පිරිසුදු මීපැණි, මීපැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතැන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලු දෙනාටම බෙහෙත් දුන්නා. දින හතරක් යනවිට සුව වී තිබුණා. මේක නොමිලයේ ලබා දෙන්නේ.

මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසයි රාජ්‍ය අනුග්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන් මම ඉල්ලා සිටින්නේ පිරිසුදු මීපැණි හා සාදික්කායි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මීපැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු.

ලංකාවේ අද වෙනකොට රෝගීන් පන්දහස් ගාණක් වාර්තා වෙනවා. මේ සියලු දෙනාට මම බෙහෙත් දීලා දින තුනකදී නිට්ටාවට සුව කරනවා. ආයෙ කිසි දවසක හැදෙන්නේ නැහැ. සෙම් රෝගයක්වත් හැදෙන්නේ නැහැ. නමුත් මට කියන්න බැහැ යමෙකුට උණ රෝගයක් හැදෙන්නේ නැහැ කියලා. සෙමෙන් හැදෙන රෝගයක් හැදෙන්නේ නැහැ. තවත් රෝග තිබෙනවා. දියවැඩියාව පාලනය කරන්න පුළුවන්, කොලෙස්ටරෝල් අඩුවෙනවා. මේක පුරාණයේ සිට එන, එනම් රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. එදා මහරහතන් වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකේ තියෙන්නේ බෙහෙත් හතරයි, ඒවා සජීවී බෙහෙත්.

වැඩිහිටි රෝගියකු මේස හැන්දෙන් හතරක් දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අත්දුටුවයි. බිව්ව අය ඉන්නවා, සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට, ඈත පළාත්වල අයට දීලා තිබෙනවා. ඒ අය සුවවෙලා තිබෙනවා.

රජයේ අනුග්‍රහයෙන් ලෑස්ති කරනවා නම් රජයේ රෝහල්වල නේවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න, ඒ සඳහා සැලසුමක් කර දෙන්න. මුදල් එපා. මෙම බෙහෙත් බෝතලයක් හදාගන්න රුපියල් හයදාස් පන්සීයක් වියදම් වෙනවා. බෙහෙත හොයන්න මහන්සි වෙන්න ඕනෑ, ශ්‍රමය යොදන්න ඕන. එම මුදලවත් අපට එපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න.

මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදෙන සංචාරකයන් ගෙන යන මගපෙන්වන අයකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10 දෙනෙක් නිරෝධායනයට ලක්වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතයෙක්. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස, උණ තිබුණා, ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත දුන්නේ ඔහුට. ඔහු සුව වුණා. දවස් දෙකයි බේත් දුන්නේ, හතර වේලයි. ඉන්පසුව සුව වුණා. එතැනින් පස්සේ තමයි මම අනිත් අයට ප්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දිෂ්ටි බලයක්. ඒකත් උපයෝගි කරගන්නවා.”

ධම්මික එන්න ඇවිත් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න…..

කොරෝනාවට තමා දේශීය ඔසුවක් සොයාගත් බව කියන කෑගල්ලේ, හෙට්ටිමුල්ලේ, උඩුමාගම ඩී.එම්. ධම්මික බණ්ඩාර හා ඔහුගේ ඖෂධය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට අපි ඔහුගේ ජංගම දුරකථනයට ඇමැතුම් ගණනාවක් දුන්නෙමු. එහිදී දුරකථනයට පිළිතුරු දුන් ඉන්දික නමැති අයෙක් කීවේ වෙද මහතා පත්තරවලට ‘ආටිකල්’ දීම නතර කර ඇති බවය. වෛද්‍යවරයෙක් බව කියාගන්නා ධම්මික බණ්ඩාරගේ වෛද්‍ය සුදුසුකම් ගැන විමසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඉන්දික නමැති අය සුදුසුකම් ඇති වෛද්‍යවරුන් මෙච්චර දවසක් කළේ කුමක්දැයි යනුවෙන් කියමින් දුරකථනය විසන්ධි කළේය. එබැවින් ධම්මික බණ්ඩාර නමැති අය පිළිබඳ පැන නැගී ඇති අනෙක් ප්‍රශ්න අසන්නට ඉඩක් නොලැබුණි. පාඨකයාගේ දැන ගැනීම පිණිස එම ප්‍රශ්න මෙසේ ඉදිරිපත් කරමු.

  • ඇත්තටම ඔබ ආයුර්වේද වෛද්‍යවරයෙක්ද?
  • ඔබ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක්ද? පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක්ද?
  • ඔබ ආයුර්වේද වෛද්‍ය උපාධිධාරියෙක් නම් එම උපාධිය ලැබුවේ කුමන ආයතනයකින්ද? කවදාද?
  • ඔබ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් නම් ඔබගේ වෙද පරම්පරාව කුමක්ද?
  • ඔබගේ පරම්පරාවේ අය කොපමණ කලක් රෝගීන්ට බෙහෙත් කර තිබේද?
  • ඔබ කොපමණ කලක් රෝගීන්ට ප්‍රතිකාර කර තිබේද?
  • රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පෙර ඔබ වෙනත් වෘත්තීන්වල යෙදී සිටියාද?
  • ඔබගේ නම ​දේශීය වෛද්‍යාචාර්ය ඩී.එච්. ධම්මික බණ්ඩාර නොවන බවත්, ඔබ කට්ටඩියෙක් බව පැවසෙන කතාවේ සත්‍යතාවක් තිබෙනවාද?
  • ඔබ දුන් බව කියන ප්‍රතිකාරවලින් කෙරෝනා රෝගීන් සුව වී ඇති බව කිසියම් පිළිගත් ආයතනයක් තහවුරු කර තිබෙනවාද?
  • එසේ නම් එම ආයතනය කුමක්ද?
  • තහවුරු කළ නිලධාරීන් කවුද?
  • ඔබ සොයාගත් බව කියන ප්‍රතිකාරයෙන් රෝගීන් සුව වූ බවට ඔවුන් නිගමනය කළ ක්‍රමවේදය කුමක්ද?

උදයජීව ඒකනායක
සාලිය ගමසිංහඅරච්චි – කෑගල්ල

+++++++++++++++++++

කොවිඩ් මට්ටුවට අපි හදපු අරිෂ්ඨයට මොකද වෙන්නේ?

(06.12.2020 – divaina.com)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් සුවපත් කිරීමට සහ වෛරසය වැළඳීම වැළැක්වීමට දේශීය වෙදකම තුළ ඖෂධ නැතිද යන පැනය ශ‍්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදන රැල්ල පළමු වතාවට නැගී ආ කාල වකවානුවේදී ආයුර්වේද මෙන්ම දේශීය වෛද්‍යවරුන් ඉතාම සංවිධානාත්මක්ව තම තමන් සොයා ගත් ඖෂධ සායනිකව ඔප්පු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියා. නමුත් එම ඉල්ලීමට අවනත වීමක් රජයේ පාර්ශ්වයෙන් සිදුවූයේ නැහැ. කෙසේ වුවත් ශ‍්‍රී ලංකාව පුරා විසිරී සිටින දේශීය මෙන්ම තවත් ගුරුකුලයන්ට අයත් වන වෛද්‍යවරු තමන් සොයා ගත් ඖෂධ රට පුරා බෙදා හැරීමට කටයුතු කළ බව රහසක් නොවේ. කොවිඩ්-19 වෛරසයේ පළමු රැල්ල තලා දැමීමට බටහිර වෛද්‍ය ක‍්‍රමයෙන් කළ හපන්කම් මෙන්ම අපේ සාකච්ඡාවට බඳුන් වන බටහිර නොවන දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍යවරු නිහඬවම කළ මෙහෙවර සුළුපටු නොවේ. එපමණක් නොව රෝග නිවාරණය පිණිස අපේ වැඩිහිටි පරපුර විසින් අපේ නිවෙස්වල භාවිත කරන ‘පස් පංගුව’ පැකට්ටුවේ සිට විවිධ අත් බෙහෙත් කොවිඩ්-19 වෛරස් පළමු රැල්ල මැඬ පැවැත්වීමට උපකාරී නොවූවා යැයි පැවසිය නොහැක්කේ කොවිඩ්-19 වෛරස් පළමු රැල්ල මතු වූ කාලයේ විකිණිනු කොත්තමල්ලි, වෙනිවැල්ගැට, පත්පාඩගම් ආදී වූ ඖෂධවල ප‍්‍රමාණය සලකා බැලීමෙනි. කෙසේ වුවද බටහිර විද්‍යාව ශුද්ධ විද්‍යාව යැයි කර පින්නාගත් සමහරුන්ට නම් අපගේ තර්කය මේ අයුරින්ම පිළිගැනීමට නොහැකිය.

අපේ රටේ සෞඛ්‍ය අංශ බලධාරීන් ඇතුළු අනෙකුත් බලධාරීන් දේශීය දැනුම කෙරෙහි ආකල්පය එසේ වුවද ලෝකයේ දෙවෙනි ආර්ථිකයට හිමිකම් කියන (සම්ප‍්‍රදායික වැඩවසම් දැනුම යැයි කියා දේශීය දැනුමට ගරහන චින්තනයෙන් හෙබි සමාජවාදීන් අපේ රටෙන් හමුවන විට) දේශීය දැනුමෙන් ඔපවත් වුණු සම්ප‍්‍රදායික චීන වෛද්‍ය ක‍්‍රමයේ සියලු ගුරුකුලයන් උපරිමයෙන් දායක කර ගනිමින් චීන සෞඛ්‍ය අංශ බලධාරීන් මෙන්ම දේශපාලන බලධාරීන් එක පෙළට හිටගනිමින් චීනය මුහුණ දුන් පළමු කොවිඩ්-19 වෛරස් ආසාදන රැල්ල මෙන්ම කොවිඩ්-19 වෛරස් ආසාදනයෙන් ඇතිවූ ආර්ථික පසුබෑම පවා සමනය කර ගැනීමට සමත් වූහ.

එපමණක්ද නොව චීන සෞඛ්‍ය අංශ විසින් කොවිඩ්-19 වෛරසය සාර්ථකව මැඬලීමෙන් පසු එම දැනුම බාහිර සමාජය සමඟ බෙදා ගැනීම වෙනුවෙන් රුසියාවට යැවූ දස දෙනකුගෙන් (10) සමන්විත වූ පළමු විශේෂඥ කමිටුවේ චීන දේශීය වෛද්‍ය විශේෂඥයන් තිදෙනකුම (3) සිටීමෙන් චීනය ප‍්‍රකාශ කර සිටියේ මෙවැනි රෝගයක් මැඬපැවැත්වීමට තම රටට අනන්‍ය වූ චින්තනය තාක්ෂණය සහ දැනුම තමන් නූතන ලෝකයේ කෙතරම් ඉදිරිගාමී පිමි පැන්නද අමතක නොකරන බවයි. චීනය, අනිත් අතට එම ක‍්‍රියාව මගින් ලෝකය මවිත කරවන නූතන විද්‍යාත්මක ජයග‍්‍රහණයන් සියල්ල දේශීය දැනුම හා මුහුකිරීම මත පදනම්ව ගොඩ නගා ඇති බව මොනවට තහවුරු කළේය.

කොවිඩ්-19 වෛරසය දෙවෙනි ආසාදන රැල්ල ආරම්භයේ පටන්ම පළමු රැල්ලට වඩා ආක‍්‍රමණශීලී විය. එසේම රජය පැත්තෙන් කොවිඩ්-19 වෛරසය දෙවෙනි ආසාදන රැල්ල මැඬපැවැත්වීමට ගන්නා ලද ක‍්‍රියා මාර්ග පළමු රැල්ල මැඬපැවැත්වීමේදී ගත් ක‍්‍රියාමාර්ග තරම් ජන ආකර්ෂණයක් දිනා නොගත් අතර ආසාදිතයන් ශීඝ‍්‍ර ලෙස වර්ධනය වූ අතර මරණ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යෑමට පටන් ගත්තේය. එසේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම කොවිඩ්-19 වෛරසය පාලනයේ නියුතු විවිධ අංශ වෙතින් වෛරසය පාලනය තමන්ගෙන් ගිලිහී ඇති බව ප‍්‍රකාශ වුණි. මෙවැනි අවස්ථාවක කොවිඩ්-19 සමඟ ජීවත් වීමටත් කොවිඩ්-19 වෛරසය හැකි උපරිමයෙන් මර්දනය කිරීමටත් වෙනත් මානයන් වෙත යොමු වීමේ අවශ්‍යතාව පැන නැගුණි. මෙහිදී ‘කොටුවෙන් පිටතට පැන’ විසඳුම් සෙවීමට වතුපිටිවල රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර තිබිණි. ඔවුන් කරනු ලැබුවේ ධම්මික බණ්ඩාර නම් වෙදමහතෙකු විසින් සොයා ගනු ලැබූ ඖෂධයක් වතුපිටිවල රෝහලේ ප‍්‍රතිකාර ගනු ලබන කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ට දෙනු ලැබීමය.

ඔවුන්ගේ උත්සාහය මූලික වටයේදී සාර්ථක වී තිබූ නිසා එම සාර්ථකත්වය තව තවත් තහවුරු කර ගැනීමේ වුවමනාව පෙරදැරි කොටගෙන ගම්පහ රෝහලේ මහාචාර්ය අරුණ මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායම ඉහත කී ඖෂධයෙහි ඇති සාර්ථකත්වය ආයුර්වේදයේ ඇති ‘අත්දුටුවයි ප‍්‍රත්‍යක්‍ෂයි’ යන ක‍්‍රමයෙන් බැහැර වී බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූලව කරනු ලබන සායනික පරීක්ෂණ කිරීමට පෙරමුණ ගත්හ. ඖෂධයේ ඇති සාර්ථකත්වය කෙසේ වුවද එවැනි ඖෂධයක් අත් හදා බැලීමට පෙළඹීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය එම වෛද්‍ය කණ්ඩායමෙන් නිදහසට කරුණු විමසීම් සිදුකර ඇති බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පසුගියදා අනාවරණය කර තිබුණි.

ඖෂධය සම්බන්ධයෙන් ලියුම්කරු විසින් දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසූ කල එතුමා පවසා සිටියේ ‘මම මේ ඖෂධය සම්බන්ධයෙන් දැනුවත්ව සිටියා. වතුපිටිවල රෝහලේ වෛද්‍ය ධම්මික ඇතුළු වෛද්‍ය කණ්ඩායම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූලව මේ ඖෂධය සම්බන්ධයෙන් මූලික වටයේ විද්‍යානුකූල පර්යේෂණය කරනු ලැබුවා. එය මුළුමනින්ම සාර්ථකයි. ඒ අනුව අපේ මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ජනාධිපතිතුමාගේ අවධානයට පවා මෙම ඖෂධයේ ක‍්‍රියාකාරිත්වය යොමු කරන්නට අපට හැකියාව ලැබුණා. දැන් අපට අවශ්‍ය වන්නේ මේ ඖෂධය විධිමත් ආකාරයට පර්යේෂණයට ලක් කොට රෝගීන් සුවපත් කිරීම සඳහා යොමු කිරීමටයි.’ යනුවෙන් පවසා සිටියේය.

මෙම ඖෂධය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරි පර්යේෂණ කටයුතු සිදු කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, ඇමැතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සහ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යන මහත්ම මහත්මීන්ගෙන් යුතුව රැස්වුණු කමිටුවක් මගින් ඖෂධය විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව පර්යේෂණ කොට රෝගීන්ට ලබා දීමට කටයුතු කිරීමට කමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටුව මහාචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු මහාචාර්යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරු හත් (7) දෙනකුගෙන් සමන්විත කමිටුවක් සකස් කරනු ලැබ තිබේ.

ඒ සම්බන්ධයෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍යයට පවසා සිටියේ ඉදිරි සති දෙකක (2) කාලය ඇතුළත සාර්ථක ප‍්‍රතිඵලයක් රට හමුවේ තැබීමට උත්සාහ කරන බවයි. දේශීය දැනුම් පද්ධතිය රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ ප‍්‍රයෝජනයට ගැනීමට කුමන හෝ උත්සාහයක් ගැනීම ලාංකිකයන් ලෙස අපට සතුටු වීමට තරම් කාරණයකි. නමුත් මේ වන විට මෙම ඖෂධය සොයාගත් පුද්ගලයාගේ පැටිකිරිය සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම විවිධ පුද්ගල චරිත විසින්ද ප‍්‍රශ්න කරන ස්වභාවයක් සමාජය තුළ මතුව ඇත. අප ඒ සම්බන්ධයෙන් හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරයෙකු වූ නිමල් කරුණාසිරි මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා.

එතුමා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස : “දේශීය වෙදකමේ මෙන්ම ආයුර්වේද වෙදකමේ මෙන්ම වෙනත් ලංකාවේ භාවිතයට ගන්නා බටහිර වෛද්‍ය ගුරු කුලයට අයත් නොවන වෛද්‍ය ක‍්‍රම කොවිඩ්-19 වෛරසය පාලනයට යොදා ගන්නා ලෙස අප කොළඹදී පසුගිය අපේ‍්‍රල් මාසයේ සමුළුවක් පවත්වා රජයෙන් ඉල්ලා සිටියා. නමුත් අපේ හඬට බලධාරීන්ගේ කන් යොමු වුණේ නැහැ. කෙසේ හෝ ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ ඖෂධය සායනික පර්යේෂණ සඳහා යොමුකර එහි සාර්ථක ප‍්‍රතිඵල තිබෙන බව මූලික වටයේ තහවුරු වී තිබෙනවා. ඔහුගේ එම ඖෂධය ආයුර්වේද සූත‍්‍ර කමිටුවටද යොමු කර තිබෙනවා. දැන් දැන් සමහර පිරිස් ධම්මික බණ්ඩාර මහතාගේ පැටිකිරිය සොයන්නට පටන් ගෙන තිබෙනවා. ඔවුන්ට මට කියන්නට තිබෙන්නේ අප රටේ ඉතිහාසය ඉතාම විචිත‍්‍රවත්ව ලියා තිබෙන රොබට් නොක්ස්ගේ ‘එදා හෙළදිව’ පොත කියවන ලෙසයි. එහිදී ඔහු කියනවා ලංකාවේ හැම මිනිහෙක්ම වෛද්‍යවරයෙක් කියලා. ඒ වගේම ඔය කියන මහත්වරුන්ට සුළු හෝ අවබෝධයක් නැතිද අපේ ගම්වල තවමත් අකුරු සාස්තරේ නොදන්නා නූගත් ගැමියෝ ශරීරයේ මතුවන ගෙඩි, ශරීරයේ හන්දිවල ඇතිවන උළුක්කු, කැස්ස, උණ වගේ නොයෙකුත් රෝග තමා ඉන්නා වට පිටාවෙන් සොයාගන්නා ශාක ආශ‍්‍රිතව හදාගන්නා අත් බෙහෙත් වලින් සුවපත් කරවන බව. ඔවුන් බොහෝ දෙනා සාමාන්‍ය රැකියාවන් කරන සාමාන්‍ය මිනිසුන් බව ඔවුන්ට අවබෝධයක් නැතිද?

ඊළඟට බටහිර වෛද්‍යවරු සුව කළ නොහැකියි පවසන දියවැඩියාව වැනි නොයෙකුත් රෝග නිට්ටාවටම සුව කරන වෙද මහත්වරු අපේ රටේ හතර දිග්භාගයේම ඉන්නා බව ඔවුන් නොදන්නේද? ඊළඟට සුද්දා විසින් කළ දැවැන්ත විනාශයෙන් පසුව ශාසනය ආරක්ෂා කළේ ඉනේ කහ නූලක් ඔතාගත් ගණින්නාන්සේලා විසින් බව ඔවුන් නොදන්නේද? ගනින්නාන්සේලා දරු පවුල් නඩත්තු කරමින් තමන් ජීවත්වන ගම් ප‍්‍රදේශයේ ‘පාංශු කූලයට’ පවා වැඩම කළ බව ඔය කියන මහත්වරු නොදන්නේද? මේ වන විට අපේ දේශීය වෛද්‍ය දැනුම මරණයට ලක් කර මිනී පෙට්ටියේ අන්තිම ඇණයත් ගහන්න සූදානිමිනුයි ඉන්නේ. ඉතින් ඒ දේශීය වෛද්‍ය දැනුම ආරක්ෂා වී තිබෙන්නේ ඔය කියන අය අතර වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. අනිත් අතට ධම්මික බණ්ඩාර මහත්තයාගේ ඖෂධය පමණක් නොවෙයි වෙනත් වෛද්‍යවරු නිපදවූ ඖෂධ රාශියක් කොවිඩ්-19 වෛරසය වැළඳුණු බොහෝ දෙනා සමහර විට තමන් සිටිනා නිරෝධායන මධ්‍යස්ථානයේ වෛද්‍යවරු දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතයට ගන්නවා. ඒ නිසයි බටහිර වෛද්‍ය ක‍්‍රමයේ කිසිදු ඖෂධයක් නොමැතිව නිරෝධායන මධ්‍යස්ථානවලට ගාල් කළ ආසාදිතයන් සුව වී ගෙදර යන්නේ. අනෙක් අතට මෙම භයානක යැයි කියන වෛරසය මැඬ පැවැත්වීමට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහ ආයුර්වේද කාර්ය මණ්ඩලය මෙන්ම ප‍්‍රජා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් දක්වන මෙහෙය සුළුපටු නැහැ.

ජනාධිපතිතුමාගේ සෘජු මැදිහත් වීමෙන් පමා වී හෝ මෙවැනි ප‍්‍රවේශයක් ගැනීම ඉතාම කාලෝචිතයි. මෙහිදී රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ මැදිහත් වීම ප‍්‍රශංසනීයයි. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ සම්බන්ධව දක්වන මැදිහත් වීම ඉහළින්ම අගය කළ යුතුයි. අපි විශ්වාස කරනවා ඊයේ (02) පත් කළ කමිටුව මගින් දේශීය වෛද්‍ය දැනුම් පද්ධතිය ‘හෙම්බිරිස්සා’ වෛරසය තරම්වත් බලවත් නැති වෛරසය මැඬලන්න උපකාර කර ගැනීමට අවශ්‍ය කටයුතු කරනු ලබයි කියා. අනිත් විශේෂ කාරණය නම් ධම්මික බණ්ඩාර මහතා මෙන් තවත් සිය ගණනක් දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ඖෂධත් භාවිතයට ගැනීමට ක‍්‍රමවේද සලසන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ‘කොටුවෙන් පිටතට විත්’ ප‍්‍රශ්නය දෙස විචාරශීලීව බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් අපි අපේ ගෞරවය පුද කරනවා”.

ජීවන්ත ජයතිස්ස

+++++++++++++++++++

05-12-2020
09-12-2020

+++++++++++++++++++++

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා ‘කොවිඩ් පැණිය’ නොමිලේ බෙදයි – තත්ත්වය පාලනයට පොලිසියෙන් 120 ක්

(08.12.2020 – 11:57 +0530 – hirunews.lk/sinhala)

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත ලබා ගැනීමට මේවන විශාල පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරු පවසනවා.

කෑගල්ල හෙට්ටිමුල්ල උඩුමාගම ප්‍රදේශයට 15,000 අධික පිරිසක් මේවන විට පැමින ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් නිරෝධායන නීතිවලට පටහැනිව මෙම ස්ථානයේ ජනතාව ඒකරාශී වී ඇති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා.

අදාල ස්ථානයේ ඇතිව තිබෙන තදබදය පාලනය කිරීම සඳහා පොලිසියේ 120 ක් යොදවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම දේශීය බෙහෙත නොමිලේ බෙදාදීම සිදුවන බවද අප වාර්තාකරු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

++++++++++++++

++++++++++++++

ඖෂධය දෙන්නේ නොමිලේ.. අකමැති නම් නොබී ඉන්න.. අපහාස කරන්න එපා.. – දස දහස් ජනතාව අමතමින් ධම්මික බණ්ඩාර කියයි..

(08.12.2020 – 14:13 +0530 – lankacnews.com)

කොරෝනා වසංගතය සුව වෙන බව කියන ආර්යුවේද බෙහෙතක් සකස් කරන ලද කෑගල්ල හෙට්ටිමුල්ල, උඩුමාගම පදිංචි ඩි.එම්. ධම්මික බණ්ඩාර මහතාගේ බෙහෙත් ලබා ගැනිමට අද (08) දිවයිනේ නම් දෙසින් විශාල පිරිසක් පැමිණ එම බෙහෙත් ලබා ගැනිමට සිටින අන්දම දැක ගැනිමට හැකි විය.

බෙහෙත් ලබා දිම මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද පිරිත් සංජ්ගයනා කිරිමෙන් පසුව සිදු කරන ලද අතර පොලිස් නිලධාරින් මෙන්ම යුධ හමුදා නිලධාරින් ඇතුලු රජයේ නිලධාරින් විශාල පිරිසක් බෙහෙත් ලබා ගැනිමට පැමිණ සිටින ලදි. බෙහෙත් ලබා ගැනිමට පොලිම් වල සිටින දිවයිනේ නන් දෙසින් පැමිණ බොහෝ දෙනෙක් සෞඛ්‍ය ආරක්ෂිතව එම බෙහෙත් ලබා ගැනිම වෙනුවෙන් පොලිම් වල තැබිමට එහි සිටි ආරක්ෂක අංශ වලට දැඩි වෙහෙසක් දැරිමට සිදු විය. සමහර පුද්ගලයන් මෙම බෙහෙත් ලබා ගැනිමට පැමිණ ඇත්තේ ඊට පෙර දින සිටයි. ඒ නිසා ඊයේ සිටම එම මාර්ග වල මාර්ග බාධක යොදා ජනතාව හසුරවන්නට පොලිසිය සිදු වි ඇත. උදෑසන එම මාර්ගවල වාහාන තදබදයක් තිබුණත් ආරක්ෂක අංශ මැදිහත් වි එම තදබදය මග හැරිමට කටයුතු කරන ලදි. රැය පහන් කරමින් වාහන වලින් සහ බස් රථ වලින් එහි පැමිණි බොහෝ දෙනෙක් බෙහෙත් ලබා ගැනිමට පොලිම් වල සිටිනු දැක ගත හැකි විය.

කෙසේ වෙතත් මෙම ඔසුව ලබා ගන්නා අයට බෙහෙත සකස් කරන මහත්මා විසින් උදෑසන ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් උපදෙස් ලබා දෙමින් පැවසුයේ,

“මේ බෙහෙත ඔනෑවට වඩා පාවිචිච් කලාට වැඩක් නැහැ. මෙම ඔසුව සටහන් කර ඇති මාත‍්‍රාවට අනුව තමයි ගන්න ඕනෑ. අසනීප වැළදුනු කෙනෙක් ඉන්නවා නම් ඒ වැළදුනු කෙනා දින තුනක් (3) උදේ – සවස මේස හැන්දෙන් එක (1) ගානේ දින තුන (3) කදි හය (6) වේලක් ගන්න. හැදුන්නේ නැති අය උදේ – සවස මේස හැන්දෙන් එක (1) ගානේ දවස් දෙකක් (2) බොන්න. ඒක ජිවිත කාලයටම ඇති”

කෙසේ වෙතත් මෙම බෙහෙත් ඔසුවට අනුග‍්‍රහය ලබා දිමක් සිදු වුවහොත් ලංකාවේ කොරෝනා රෝගීන් සියලු දෙනා දින 4 කදී සුව කරන බවත් ඊට මුදල් අවශ්‍ය නැති බව ඔහු විසින් පසුගිදා මාධ්‍ය ඔස්සේ පැවසු අතර ඊට පිරිසිදු මී පැණියි සාදික්කායි ලබා දිමක් සිදු කරන්න යැයිද කිය.

ඔහු පවසන විදිහට මෙම බෙහෙත රාවණා රජු කල සිට පැවත එන බවද කියයි. පෙර සිටි මහරහතුන් පවා වසංගත රෝග සඳහා පාවිච්චි කර තිබෙන වටිනා බෙහෙත් ඔසුවක් වන බව ද කියයි. මෙම බෙහෙත සකස් කිරිමට දේශිය ඹෟෂධ හතරක් (4) පමණ යොදා ගන්නා බව පවසන එතුමා පිරිසිදු මී පැණි ද යොදා ගන්නා බව කියයි. පසුගියදා වතුපිටිවල නිරෝධා මධ්‍යස්ථානයට මෙම ඔසුව ගැන විද්‍යාත්මක පරික්ෂණයක් සිදු කරන්නට ලබා දුන් බව පවසන අතර එහි රෝගීන් 146 දෙනෙකුගෙන් බෙහෙත් ලබා දි දින හතරකදි (4) සුව වු බවද කියයි.

මෙම බෙහෙත භාවිතා කිරිමට කිසිවෙකුත් බිය විය යුතු නැති බව පවසන ඒ මහතා බෙහෙත් තමා විසින් නොමිලේම ලබා දෙන බවද පවසයි. කෙසේ වෙතත් මෙම බෙහෙත් ලබා ගත් කොරෝනා රෝගීන් සුව අතට හැරි ඇති අතර ඔවුන්ගේ පී.සී.ආර්. වාර්තා වලින්ද රෝගය සුවපත් වි ඇති බවට වාර්තා විය.

නමුත් මෙම බෙහෙත නිල වශයෙන් රෝගීන්ට ලබා දිමට රජය විසින් තවමත් තීරණයක් ගෙන නැති ඇති අතර අද මෙම බෙහෙත ලබා දිමට කෑගල්ලට එක් රැස් වු විශාල පිරිස නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රම අනුව නොසිටිම ගැන රජයේ වෛද්‍ය අංශ චෝදනා එල්ල කරමින් කියා සිටියේ ඒ වගකිම ආරක්ෂක අංශ විසින් දැරිය යුතු බවයි.

කෙසේ වෙතත් අද (08) දිනයේ පැවැති කැබිනට් ප‍්‍රවෘත්ති සාකච්ජාවේදිද අදහස් දැක්වු අමාත්‍ය වෛද්‍ය රමෙෂ් පතිරණ මහතා පැවසුයේ ලංකාවේ දේශිය ආයුර්වේද නිෂ්පාදන හැටියට ලබා දි ඇති ඖෂධ පිළිබඳවත් රජය ධනාත්මක සලකා බලන බවයි.

කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර මහතාගේ මෙම ඔසුව පිළිබඳ අද වන විට විවිධ අදහස් කරලියට පැමිණෙමින් තිබෙන අතර එතුමා ජිවත් වන ගම්මානයේ සමහර දෙනෙකුට මෙම ඔසුව පිළිබඳ අවිශ්වාසයක් ද ඇත. මෙම බෙහෙත් ලබා දෙන මහත්මා කෙටි කාලයකින් මෙම බෙහෙත් නිෂ්පාදනය කරන ලද අතර ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙකු නොවන බවද පවසයි. කෙසේ වෙතත් මෙම බෙහෙත පානය කිරිම මගින් කිසිදු වෙනත් රෝගි තත්වයක් හෝ අසාදනයක් ඇති නොවන බවද ධම්මික බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍ය හමු කිහිපයකදි පැවසිය.

– මාවනැල්ල කෑගල්ල සමන් විජය බණ්ඩාර

+++++++++++++

ධමිමක බණ්ඩාරගේ කොරෝනා පැණියට ‘ආහාර අතිරේකයක්’ ලෙස අනුමැතිය දෙයි..

(08.12.2020 – 09:20 +0530 – lankacnews.com)

කොරොනා වෛරසය මැඩලීම සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති ඖෂධය ‘ආහාර අතිරේකයක්’ ලෙස හඳුනාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ප්‍රතිකර්ම පිළිබඳ ජාතික කමිටුව විසින් එම ඖෂධය ‘ආහාර අතිරේකයක්’ ලෙස හඳුනාගත් බවයි.

එය සකස් කර ඇත්තේ මී පැණි, සාදික්කා වැනි එදිනෙදා භාවිතා කරන ශරීරයට අහිතකර නොවන දේවලින් නිසා අමාත්‍යංශය යටතේ ඇති ඖෂධ අනුමත සූත‍්‍ර කමිටුව මගින් අනුමත කළ බවද ඔහු සඳහන් කළේය.

අදාළ ඖෂධය වතුපිටිවල රෝහලේ දී අවස්ථා දෙකකදී (2) සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් කොරෝනා ආසාදිත රෝගීන් සියයට සීයක්ම සුවපත් වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය ෴

++++++++++++++++++++++++++

කොවිඩ් හෙළ ඔසුව ගැනීමට විශාල පිරිසක් – සායනික පරීක්ෂණ තවදුරටත්

(08.12.2020 – 19:25 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වෛරසය ශරීරයෙන් ඉවත් කළ හැකි බව පැවසෙන හෙළ ඔසුව සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලයක් මගින් තවදුරටත් සායනික පරීක්ෂාවන් සිදු කෙරෙමින් පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

මේ අතර අදාළ හෙළ ඔසුව සොයාගත් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා අද (08) පළමුවරට එය ජනතාවට නොමිලේ බෙදාහැරීම සිදුකළේය.

ඖෂධය ලබාගැනීමට ජනතාව දිගු පෝලිම්වල රැඳීසිටි අතර ආරක්ෂක අංශවල සාමාජිකයින්ද ඒ අතර සිටිනු ලක්නට ලැබිණි.

එලෙස පැමිණි පුද්ගලයින්ට එම ඖෂධය බෝතලයකින් කාලක ප්‍රමාණයක් ලබාදීමට ධම්මික බණ්ඩාර මහතා පියවර ගත්තේය.

කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගනු ලැබ ඇති මෙම ඔසුව පිළිබඳව ‘අද දෙරණ’ ඉකුත් නොවැම්බර් 29 වැනිදා වාර්තා කළේය.

ඉන් පසු බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ එම ඔසුව සායනික පරීක්ෂණ දෙකකට (2) යොමුකළ අතර ඉන් ලද ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය අනූග්‍රහය යටතේ තවදුරටත් සායනික පරීක්ෂාවන්ට යොමුකර තිබේ.

එම ඖෂධය සකසන ආකාරය රූගත කිරීමට ‘අද දෙරණ’ට ඊයේ (07) අවස්ථාවක් උදාවුණි.

කෙසේ වෙතත් මෙම දේශීය ඖෂධය නොමිලේ නිකුත්කිරීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්ව විවේචන සිදුකර තිබූ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා එම විවේචන සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි.

මේ අතර මෙම දේශීය ඖෂධය සම්බන්ධයෙන් විශේෂඥ මණ්ඩලයක් මගින් තවදුරටත් සායනික පරීක්ෂාවන් සිදු කෙරෙමින් පවතී.

මේ අතර නිරෝධායන නීතීවලට අනුව ඉදිරියේදී මෙම ඖෂධය ලබාදීම සම්බන්ධයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය හා ආරක්ෂක ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් අද (08) සාකච්ඡාවක් පැවති බව අප වාර්තාකරු පැවසීය.

++++++++++++++++++++++++++

කෑගල්ලේ කොරෝනා ඖෂධය බෙදීම දිසාපති අත්හිටුවයි.. පොලීසිය වාර්තාවක් කැදවයි..

(08.12.2020 – 22:01 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සඳහා විධිමත් අවසරයක් ලබා දෙන තුරු තාවකාලිකව එම ඖෂධය බෙදාහැරීමේ කටයුත්ත අත්හිටවූ බවයි.

මේ සඳහා ධම්මික බණ්ඩාර මහතාද එකඟතාවය පළ කල බව ඔහු පැවසීය.

මෙම තීරණය ගන්නා ලද්දේ එම ප්‍රදේශයට අද (08) දිනයේ විශාල පිරිසක් පැමිණ නිසා බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.

අද (08) පස්වරුවේ ධම්මික බණ්ඩාර මහතා ද තම නිවසේ දී කියා සිටියේ එම ඖෂධය බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ඖෂධය නිෂ්පාදන කටයුතු තව දුරටත් සිදු කරමින් පවතින බවත් රජයේ අවසර ලැබුණු පසු එය විධිමත් ආකාරයෙන් බෙදා හැරීමට සූදානම් බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අතර එම ස්ථානයට අද (08) පැමිණි පිරිස් සම්බන්ධයෙන් ප්‍රදේශය බාර පොලිස් නිලධාරීන්ගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ වසංගත තත්වයක් ප්‍රකාශ කර ඇති තිබියදී කුමන හෝ කරුණක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවයි.

ඖෂධ බෙදා දීමේ වැඩපිළිවෙළ ගැන දැනුවත් වීමෙන් පසු එහි රාජකාරියට පොලිස් නිළධාරින් යෙදූවද බලාපොරොත්තු වූවාට වඩා විශාල පිරිසක් එකවර පැමිණි නිසා පාලනය කරගත නොහැකි තත්ත්වයක් ඇතිවු බවද ඔහු තවදුරටත් පැවසීය ෴

++++++++++++++++++++++++++

කොවිඩ් පැණිය බෙදාදීම අත්හිටුවයි

(08.12.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපද වූ කොවිඩ් ඖෂධය බෙදා හැරීම අද (08) පස්වරුවේ අත්හිටුවීමට තීරණය කෙරුණා.

මෙම ඖෂධය නොමිලේ ලබා දෙන බවට ප්‍රචාරය කිරීමත් සමඟ අති විශාල පිරිසක් අද (08) කෑගල්ල – උඩුමාගම ප්‍රදේශයට පැමිණ සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශද කඩකරමින්.

කොව්ඩ් වෛරසය මර්දනය කළ හැකි බවට ඉදිරිපත්වී ඇති ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවා ඇති දේශීය ඖෂධය මේ වන විටත් පවතින්නේ සායනික පර්යේෂණ මට්ටමේයි.

කෙසේ වෙතත් අදාළ ඖෂධය නොමිලේ ලබා දීම ධම්මික බණ්ඩාර වෙද මහතාගේ මූලිකත්වයෙන් කෑගල්ල – උඩුමාගම කාලි මෑණියන්ගේ දේවාල පරිශ්‍රයේ දී අද (08) සිදු කෙරුණා.

ඖෂධය ලබා ගැනීම සඳහා උඩුමාගම ප්‍රදේශයට අති විශාල පිරිසක් පැමිණ සිටියා.

මෙහිදී සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනතාව කටයුතු කරන ආකාරයද දක්නට ලැබුණා.

ජනතාව අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට ද සිදු වුණා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ධම්මික බණ්ඩාර වෙද මහතා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබුණා.

එහිදී තීරණය කර ඇත්තේ අදාළ ඖෂධය බෙදාදීම තාවකාලිකව අත්හිටුවීමටයි.

මෙම ඖෂධය නොමිලේ ලබා දීම සඳහා අද සංවිධාන කර තිබූ දන්සැල සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ කෑගල්ලේ අද (08) පැවැති තත්ත්වය හරහා කෑගල්ල ජනතාවගේ සෞඛ්‍ය අවදානම් තත්ත්වයට පත්විය හැකි බවයි.

මේ අතර කොවිඩ් වෛරසය සඳහා නිපදවෙන දේශීය ඖෂධය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අදහස් පළ කළා.

++++++++++++++++++++++++++

ධම්මික බණ්ඩාරගේ කොරෝනා බෙහෙත පරීක්‍ෂා කරන්න පත් කර ඇත්තේ බටහිර මහාචාර්ය කමිටුවක්.. එකම දේශීය වෙදෙක් නෑ… අල කරන්න සූදානමක්…

(08.12.2020 – 22:28 +0530 – lankacnews.com)

ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය සම්බන්ධව පරීක්‍ෂා කිරීමට බටහිර වෙදමහතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරල. ඒ අය බටහිර වෙදකම හා සම්බන්ධ මහාචාර්යවරු කියනවා. මේක හරි පුදුම කතාවක්. හෙළ වෙදකමේ බෙහෙතක් ගැන පරීක්‍ෂා කරන්න බටහිර මහාචාර්ය වෙදමහත්වරු කිහිප දෙනකු පත් කරල. ඔය මහාචාර්යවරුන් ගෙන් කී දෙනකු මොකක් හරි ලෙඩකට මොකක් හරි බේතක් කවද හරි ඉදිරිපත් කරල තියෙනවා ද? එහෙමත් නැත්තන් ඔවුන්ගෙ භාෂාවෙන් කිවුවොත් හොයා ගෙන තියෙනවා ද? බටහිර වෙදකමේ බෙහෙත් වෙනත් වෛද්‍ය ක්‍රමයකට අනුව පරීක්‍ෂා කරනවා ද?

මහාචාර්යවරුන් ඊනියා පර්යේෂණ සඟරාවල පත්‍රිකා පළ කරල ඇති. අපි නොදන්න පත්‍රිකා. මාත් එකමත් එක කාලයක මහාචාර්යවරයකු වුණාට ඔය මහාචාර්යවරුන් තරම් පත්‍රිකා පළ කරල නැහැ. ඒත් මා දන්නවා පත්‍රිකාවල තත්ත්වය. බටහිර විද්‍යාවෙ මට ඇතිවෙල තියෙන්නෙ අදහස් පහක් (5) විතරයි. එකක් භ්‍රමණය වන (කැරකෙන) වස්තුවක් කැරකෙන පැත්තට විරුද්ධ පැත්තට අංශුවක් ප්‍රක්‍ෂෙපණය කළොත් (විසි කළොත්) ඒ අංශුව ටික වෙලාවකින් පස්සෙ අර කැරකෙන වස්තුව පැත්තට ම වස්තුව වටේ කැරකැවෙන්න පටන් ගන්න ඕන කියන එක, දෙක (2) දුර තියෙන මන්දාකිණියකින් අප වෙත එන ආලෝකය වෙනත් මන්දාකිණියක් මැද්දෙන් එන විට ප්‍රතිබිම්බ දෙකකට වඩා හැදෙන්න පුළුවන් බව, තුන (3) ක්වොන්ටම් භෞතිකයට නව අර්ථකථනයක් දීම (අංශුවකට එක වර සිදුරු දෙකකින් යා හැකිය ආදී වශයෙන්), හතර (4) අයින්ස්ටයින්ගෙ විශ්වවවේදී නියතය නියතයක් වීම අනවශ්‍ය බවට වූ අදහස අවකාශ කාලයත් තවත් ශක්ති විශේෂයක් වීම නිසා. පස්වැන්න (5) ගණිතයේ ඊනියා සත්‍යයක් නැතැයි කියන්න හා බටහිර විද්‍යාවෙ අදහස් පහළ වීම ගැන අදහස. පළමු අදහස් දෙක මා උපාධිය කරන කාලයෙ ලැබුණු දේ. තුන්වැනි හා හතරවැනි අදහස් දෙක කැලණියේ සිසුන්ට පශ්චාත් උපාධි සඳහා උපදෙස් දෙන්න ගිහින් ලැබුණු දේ. පස්වැන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ උපාධියකට සම්බන්ධවීමෙන් ලැබුණු අදහසක්. පළමු අදහස් තුන ම අද පිළිගැනී තියෙනවා. හතරවැන්න ඇදි ඇදී යනවා. පස්වැන්න ගැන තමයි අද ටිකක් ලියන්න හිතුණෙ.

මා බටහිර විද්‍යාව ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් මා එහි අලුත් දේ කියවනවා. ඒ මොන පට්ටපල් බොරු ද කියා හිතනවා. මා ඉදිරිපත් කර ඇති අදහස් පහත් (5) පට්ටපල් බොරු. ඒකට කමක් නැහැ. මේ හැම තැන ම තියෙන්නෙ යම් අදහසකට විශ්වාසය ඇති කිරීම නැත්නම් දිනා ගැනීම පිළිබඳ කතාව. මිනිසුන්ට අදහස් පහළ වෙන්නෙ කොහොම ද කියන එක ගැන කිසිවකුට කිසිම අදහසක් නැහැ. අපට පුරුදු කරල තියෙනව විශ්වාසය ඇති කර ගන්න නම් බටහිර ක්‍රමයට ඒ කළ යුතුයි කියා. අප මහාචාර්ය කමිටුවට කියල පැණිය ගැන විශ්වාසය හරි අවිශ්වාසය හරි ඇති කරන්න කියා.

අප යමක් ගැන කල්පනා කරන විට එක එක අදහස් එනවා. ඒක හොරකමක් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්තන් හඳට යන එක ගැන වෙන්න පුළුවන්. කෙක්‍යුලෙට බෙන්සීන් අණුව පිළිබඳ අදහස ඇවිත් තියෙන්නෙ හීනෙන්. ඒකෙ ඇති ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් නැහැ. හැබැයි එයා බෙන්සීන් ගැන කල්පනා කර කර ඉඳලා තියෙන්න ඕන. එහෙම නැතුවත් අදහස් එන්න පුළුවන් ද කියන එක ගැන කල්පනා කරන්න ඕන. ඒ අතර වෙනත් අයගෙන් ද අදහස් ලැබෙනවා. ඒ වෙනත් අය අදාළ ප්‍රශ්නය ගැන හිතල තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කොහෙ හරි අදහස අහල දැකල තියෙන්න ඕන.

ධම්මික බණ්ඩාර වෙද මහත්තයාට අදහසක් ලැබිල තියෙනවා. ඒ මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන්. අදහස හීනෙන් ලැබුණ ද භූතයකුගෙන් ලැබුණ ද යන්න ප්‍රශ්නයක් නො වෙයි. අවශ්‍ය වන්නේ ලැබුණු අදහස අදාළ ගැටළුව සම්බන්ධයෙන් වැඩ කරනව ද යන්න. වෙනත් මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් වෙනත් අදහසක් ලැබුණොත් එයත් වැඩ කරනව නම් අපට තෝරා ගැනීමකුත් තියෙනවා. අපට වඩා ගැලපෙන අදහස යොදා ගන්න පුළුවන්.

දැන් අදහසක් වැඩ කරනවා ද නැද්ද යන්න තීරණය කරන්නෙ කොහොම ද? ඒකටත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. හරියන එකක් ලැබෙන කම් නැහැසුම් සැහුම් ක්‍රමය ක්‍රියාත්මක කරනවා. රෝගයක් සම්බන්ධයෙන් නම් රෝගීන් සුව වෙනව ද කියල බලන එක. එය බලන්න බටහිර වෙදකමේ යම් ක්‍රමයක් තියෙනව කියනවා. අප ඒ ක්‍රමය ම අනුගමනය කරන්න ඕන ද? බටහිර ක්‍රිස්තියානි දැනුම් යටත්විජිතවාදයෙන් අපට කියන්නෙ ඒ ක්‍රමය ම පමණක් යොදා ගන්න ඕන කියල. ඔය මහාචාර්යවරුන්ගෙ කමිටුව පත් කරල තියෙන්නෙ ඒ සඳහා.

මේ මහාචාර්ය පරීක්‍ෂාවෙන් පස්සෙ පැණිය අසාර්ථක කියල තීරණය වෙන්න (කරන්න) පුළුවන්. එය ධම්මික බණ්ඩාර වෙද මහතාට ප්‍රශ්නයක් නොවෙයි. ඔහු ගැන විශ්වාසයක් ඇති අය ඔහුගෙන් බේත් ගනීවි. ඔහුට වඩා මහාචාර්යවරුන්ගෙ පරීක්‍ෂාව ගැන විශ්වාසයක් ඇති අය බෙහෙත් නොගෙන සිටීවි. එහෙත් අනෙක් පැත්ත වුණොත් ඒක බටහිර වෙදකමට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බටහිර වෙදකමට කොවිඩ්-19 ට මොන අර්ථයකින්වත් බෙහෙතක් ප්‍රතිකාරයක් නැහැ. එන්නත් කිහිපයක් ගැන නම් කියැවෙනවා. ඒත් ඔය එන්නත් අප වැනි රටවලට ලැබෙයි ද? ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා අපට පහසුකම් තියෙනවා ද? බටහිර රාජ්‍ය පාලක පාලිකාවන්ට අනේ දිළිඳු රටවලට එන්නත යොදා ගන්න බැහැ කියල කිඹුල් කඳුළු හෙළන්න නම් පුළුවන්.

පැණිය සාර්ථක කියල පෙනුණොත් බටහිර වෙදකමේ ගෞරවය, පිළිගැනීම, මහේශාක්‍යභාවය ආදියට ප්‍රශ්න ඇති වෙනවා. මහාචාර්යවරු තමන්ට ම ප්‍රශ්න ඇති කර ගනීවි ද? සියතින් ගෙළ සිඳ ගනීවි ද? පැණිය අසාර්ථක කියල පෙන්නුවොත් ධම්මික වෙදමහතාට ප්‍රශ්නයක් වන්නෙ නැහැ. එහෙත් පැණිය සාර්ථක වුණොත් බටහිර වෙදකමට ප්‍රශ්නයක් වෙනවා. බටහිර වෙදකමේ මහාචාර්යවරුන්ට ප්‍රශ්නයක් වෙනවා.

ධම්මික වෙදමහතා තම වට්ටෝරුව අනෙක් අයට නොදීම පිළිබඳ ව මහා දාර්ශනිකයාට මහා ප්‍රශ්නයක් වෙලා. ඔහු පේටන්ට් ගන්නෙ නැත්තෙ මොකද වගේ බටහිර ක්‍රමයෙ ප්‍රශ්න අහනවා. අපේ ක්‍රමයෙ පේටන්ට් නැහැ. දැනුම පොදුවෙ බෙදා හැරීමක් ගැනත් කතාවක් නැහැ. අපට එක ප්‍රශ්නයකට විසඳුම් රාශියක් තියෙන්න පුළුවන්. ඒ වගේ ම අප දන්නවා නුසුදසු පුද්ගලයන් අතට විසඳුම්, අදහස් හා පොදුවේ දැනුම ගියොත් වෙන්න පුළුවන් දේ. අපේ ගුරුමුෂ්ටි කියල කතාවක් තියෙනවා. දැනුම දෙන්න ඉස්සෙල්ල පරීක්‍ෂා කරනවා. ඒව බටහිර පරීක්‍ෂා ක්‍රම නො වෙයි. උසස් පෙළ ඒ සාමාර්ථ තුනක් නො වෙයි. මතක නේ ගුත්තිල ඇදුරන් මූසිලට දැනුම දෙන්න ප්‍රතික්‍ෂෙප කළා. දුදනන් හට පිහිට වීමෙන් නරකක් වෙන බව දැක්ක. එහෙත් දෙමව්පියන්ට කීකරු වුණා. මූසිලයෙක් බිහි වුණා.

බටහිර ඖෂධ අදාළ සමාගම් සමග බැඳිලා. ආයුධ වෙළඳාම හා ඖෂධ වෙළඳාම අධික ලාභ උපයනවා. රොකෆෙලර්ලා අධික ධනවත්තු. පේටන්ට් අවසාන වශයෙන් ක්‍රියාත්මක වෙන්නෙ ඔවුන් වෙනුවෙන්. බටහිර වෙදකම ධනපති ක්‍රමය සමග ඔවුන්ගෙ භාෂාවෙන් ම කියනව නම් ඓන්ද්‍රිය (organic) ව බැඳිල. බටහිර වෙදමහත්වරුත් සෑහෙන පිරිසක් බැඳිල. බටහිර දැනුම ධනපති ක්‍රමය සියල්ල එක ම චින්තනයක ක්‍රියාත්මක වෙන්නෙ. මහාචාර්ය පරීක්‍ෂාව දිහා අපි ඕනෑකමින් බලා ඉන්නවා. ඕනෑකම මොන නෑකමටත් වඩා ඉහළයි කියනව නෙ.

ආචාර්ය නලින්ද සිල්වා
– kalaya

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [2]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *