ගල්වලයාය වන රක්ෂිතයේ අක්කර 5400 ක් නීතිවිරෝධීව සමාගම් වලට ලබා දේ

ගල්වලයාය වන රක්ෂිතයේ අක්කර 5400 ක් නීතිවිරෝධීව සමාගම් වලට ලබා දේ

*********************************************

ගල්වලයාය වන රක්ෂිතයේ අක්කර 5400 ක් නීතිවිරෝධීව සමාගම් වලට ලබා දේ

(03.12.2020 – 15:06 +0530 – lankaleadnews.com)

ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, ‘ගල්වලයාය වන රක්ෂිතය’ ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් ‘වටවලකණ්ඩිය රජයේ වනාන්තරයේ’ හෙක්ටයාර 2233 ක් නැතහොත් අක්කර 5400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය යටතේ සමාගම් වලට ලබා දීමට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් නීතිවිරෝධීව කටයුතු කර තිබෙන බව ‘ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය’ මාධ්‍ය නිවේදනයක් මගින් පවසා සිටී.

= සම්පූර්ණ මාධ්‍ය නිවේදනය =

අම්පාර දිස්ත‍්‍රික්කයේ මහඔය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, ‘ගල්වලයාය වන රක්ෂිතය’ ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිත හෙක්ටයාර 6790 ක් වන වනාන්තර පද්ධතියට අයත් ‘වටවලකණ්ඩිය රජයේ වනාන්තරය’ ලෙස වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ පාලනය වන වනාන්තර ඇතුළු ව හෙක්ටයාර 2233 ක් නැතහොත් අක්කර 5400 ක් පමණ පොල්ලේබැද්ද-රඹකැන්ඔය, කෘෂි බෝග හා සත්ව ගොවිපොළ ව්‍යාපෘතිය යටතේ සමාගම් වලට ලබා දීමට ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් නීතිවිරෝධීව කටයුතු කර තිබේ. එසේ බදු දී ඇති භූමි ප‍්‍රදේශයෙන් කොටසක් මේ වනවිට ඩෝසර් යන්ත‍්‍ර භාවිත කර එළිපෙහෙළි කර තිබේ. ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය යටතේ කෘෂි බෝග සඳහා හෙක්ටයාර 1821 ක්, සත්ත්ව ගොවිපොළ සඳහා හෙක්ටයාර 352 ක් හා කෘෂි සංචාරක ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර 60 ක් වශයෙන් ඉඩම් වෙන් කර ඇත.

අක්කර 5400 ක් පමණ වන මෙම භූමි ප‍්‍රදේශය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර හා ඌවපතන් බිම් නැතහොත් සැවානා තෘණ භූමි වලින් සමන්විත ය. මෙම ප‍්‍රදේශය ආදිවාසි ජනතාව ජීවත්වන මුල්ලේගම, ගල්වලයාය හා පොල්ලේබැද්ද යන ගම්මාන වලට යාබද ව පිහිටා ඇති අතර එම ජනතාව විසින් භාවිත කරන ප‍්‍රධාන වනාන්තර පද්ධතියකි. මීට අමතර ව මෙම ප‍්‍රදේශයේ පාරම්පරික කිරි හරක් පට්ටි හිමිකරුවන් 30 ක් පමණ සිටින අතර එම වනාන්තර හා තෘණ භූමි කිරි ගවයින් 1500 කගේ පමණ ප‍්‍රධාන ආහාර බිමක් වේ. මෙම ප‍්‍රදේශයේ නිල්ගල සැවානා තෘණභූමි පද්ධතිය හා සම්බන්ධ අලි–ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වේ. එපමණක් නොව රඹකැන් ඔය ජලාශයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් වන අතර ප‍්‍රංශ රජයේ ආධාර යටතේ ඇල්ලේගොඩ ප‍්‍රදේශයේ වේල්ලක් සකස් කර ඉදිකිරීමට යෝජිත මුන්දෙනිආරු ජලාශයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශය වන්නේ ද මෙම වනාන්තර හා තෘණ බිම් පද්ධතියයි.

ජනතාව හා සොබාදහම අවතැන් කිරීම

සමාගම් විසින් විදුලි වැටවල් සකස් කර මෙම වනාන්තර හා තෘණ බිම් පද්ධතිය එළිපෙහෙළි කර අලි–ඇතුන්ට අහිමි කිරීමෙන් වරාපිටිය, මහඔය නගරය, පදියතලාව, ගල්ලෝඩය, කැකිරිහේන හා සේරන්කඩ ආදී ප‍්‍රදේශ වලට එම සතුන් පිවිසීමෙන් උග‍්‍ර අලි–මිනිස් ගැටුමක් නිර්මාණය වනු ඇත.

ප‍්‍රධාන වශයෙන් ම බඩඉරිඟු වගාව සඳහා මෙම භූමිය සමාගම් වලට ලබා දී ඇති අතර එම ප‍්‍රදේශයේ කිරිගව පාලනයේ නිරත ජනතාව ඉවත් කර දීමට පොලීසිය විසින් සමාගම් වලට පොරොන්දු වී ඇත.

මුන්දෙනිආරු හරහා මීටර 1097 ක් දිග වේල්ලක් ඉදිකර රුපියල් මිලියන 3970 ක් වැය කර ඝනමීටර් මිලියන 56 ක ජල ධාරිතාවක් සහිත රඹකැන්ඔය ජලාශය ඉදිකිරීමේ දී එහි ජල පෝෂක ප‍්‍රදේශය ලෙස සමාගම් වලට ලබා දී ඇති වනාන්තර හා තෘණ භූමි පද්ධතිය ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස ගණනය කර ඇත. එපමණක් නොව මෙම ජලාශයේ කිලෝමීටර 7.6 ක් දිග ප‍්‍රධාන වේල්ල මගින් ජලය ලබා දී ගොවි පවුල් 2300 කට හෙක්ටයාර 1423 ක භූමියක් වගා කිරීම සඳහා ජලය ලබා දීමට නියමිත ය. එපමණක් නොව යෝජිත මුන්දෙනිආරු ජලාශයේ ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශයක් ලෙස මෙම වනාන්තර හා තෘණ භූමි පද්ධතිය හඳුනාගෙන තිබේ. නමුත් ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් අදාළ සමාගම් වලට දැනුම් දී ඇත්තේ ජලාශ වල උපරිම ජල සීමාවේ සිට මීටර 200 ක කොටසක් වෙන්කර ඉතිරි සෑම ප‍්‍රදේශයකම බඩඉරිඟු වගාව සිදු කරන ලෙස ය.

රඹකැන්ඔය මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙන භූමි ප‍්‍රදේශයේ අලි–ඇතුන් ඇතුළු ජෛව ප‍්‍රජාවගේ රැකවරණය සඳහා හා රඹකැන්ඔය ජලාශයේ හා මුන්දෙනිආරු ජලාශයේ ජල පෝෂක ප‍්‍රදේශ ලෙස සංරක්ෂණය කළ යුතු ව ඇති වනාන්තර හා තෘණ භූමි මේ ආකාරයෙන් සමාගම්වලට ලබා දීම මගින් අලි–මිනිස් ගැටුම උග‍්‍රවීම පමණක් නොව මෙම ජලාශ දෙක මගින් ජලය ලබා දීමට සැලසුම් කළ ප‍්‍රදේශ වල ජනතාව ජල හිඟය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්වනු ඇත. එපමණක් නොව මෙම ප‍්‍රදේශයේ තෘණ භූමි ගව පාලනයේ නිරත ජනතාවට නීත්‍යනුකූල ව භාවිත කිරීමට ලබා දීමට යෝජිත ව තිබූ නමුත් එම ඉඩම් සමාගම් වලට ලබා දීමෙන් ගව පාලනයේ නිරත ජනතාව දැඩි අසීරුතාවකට පත් වී ඇත.

පසුගිය දිනවල ජනතාවට ඔප්පු ලබාදෙන මුවාවෙන් ආණ්ඩුව සිදු කළේ මේ ආකාරයෙන් සමාගම් වලට ඉඩම් ලබා දීමේ යාන්ත‍්‍රණය හා ව්‍යුහය ශක්තිමත් කිරීමට ය. එම්.සී.සී. ගිවිසුමෙන් සැලසුම් කළ සියල්ල අද වනවිට ගිවිසුම් ගත වීමකින් තොර ව ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කරමින් තිබේ. මේ නිසා අවසානයේ සිදුවන්නේ සුළු පරිමාණ ගොවීන් හා සත්ව පාලනයේ නිරත ජනතාව පමණක් නොව ආදිවාසී ජනතාවට උන්හිටිතැන් අහිමි වී ඔවුන් සමාගම්වල වහලුන් බවට පත් කිරීම ය. මේ යතාර්ථය බොහෝ ජනතාවක් තේරුම් ගෙන නොමැති වීම කණගාටුවට කරුණකි. ආණ්ඩුව විසින් සිදු කරන්නේ ගොවි ජනතාව ඍජු ව භාවිත කරන ඉඩම් පමණක් නොව කෘෂිකර්මාන්තයේ ජල සුරක්ෂිතතාව රැඳී පවතින පොදු භාවිත ඉඩම් වන ජලපෝෂක වනාන්තර ගොවි ජනතාවට අහිමි කර, ජල හිඟයන් ඇති කර ඔවුන් ව තම ගොවි බිම් වලින් ඉවත් වීමට පසුබිම සැකසීම ය. එපමණක් නොව අලි–ඇතුන්ගේ වාසස්ථාන සමාගම් වලට ලබා දී අලි–ඇතුන් ගොවි ජනතාවගේ බිම් වලට පිවිසීමට සලස්වා ගොවි ජනතාවට කෘෂිකර්මාන්තයේ නිරත වීමට බාධා ඇති කර ඔවුන් ව වගා බිම් වලින් පළවා හැරීමට කටයුතු කිරීම ය. ගොවි ජනතාව ඉවත් වන ගොවිබිම් අවසානයේ සමාගම් විසින් නිරායාසයෙන් අත්පත් කර ගැනීම සිදු වේ. මේ සිදුකරමින් පවතින්නේ එම කි‍්‍රයාවලිය බව බොහෝ දෙනෙක් නොදනිති. සමාගම් ඉතා සූක්ෂම ව මේ ක්‍රියාමාර්ග ආණ්ඩුව සමග සිදුකරන්නේ ආරක්ෂක අංශ හා රාජ්‍ය ආයතනවල සහයෝගය ද ලබාගනිමිනි. සමාගම් වලට අවශ්‍ය ඉඩම් වලින් ජනතාව ඉවත් කිරීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ යොදාගනිමින් පවතී.

මේ සියල්ල ම මහවැලි අධිකාරිය මගින් සිදු කරමින් ඇත්තේ නීතියේ ආධිපත්‍යය සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් ජනතාවට නීතිය පිළිබඳ ව ඇති විශ්වාසය ද පලුදු කරමිනි.

නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කිරීම

සමාගම් වලට ඉඩම් ලබා දීමේ දී මහවැලි අධිකාරිය විසින් පාරිසරික අණ පනත් බොහොමයක් උල්ලංඝනය කර තිබේ. 2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය සම්පූර්ණයෙන් උල්ලංඝණය කරමින් වනාන්තර ඉඩම් සමාගම් වලට ලබා දී ඇත. සමාගම් වලට ලබා දුන් ඉඩම් වල වනාන්තර එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හා තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම යන සියල්ල නීති විරෝධී වේ. එවන් නීති විරෝධි ක‍්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු හෝ ඒ සඳහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක‍්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත‍්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරණ ලද හානිය සඳහා අධිකරණය මඟින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය. මේ දඩුවම් වලට රජයේ වනාන්තර ඉඩම් සමාගම් වලට බදු දුන් ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය හා රජයේ වනාන්තර එළිපෙහෙළි කිරීමේ නිරත සමාගම් වැරදිකරුවන් බවට පත් කළ හැකි ය.

මෙවන් ඉඩම් මහ පරිමාණයෙන් සංවර්ධන ව්‍යාපෘති සඳහා සමාගම් වලට ලබා දීමට ප‍්‍රථමයෙන් ඉන් සිදු වන හානිකර බලපෑම් හඳුනාගැනීම හා ඊට පිළියම් යෙදීම, ව්‍යාපෘතියේ යෝග්‍යතාවය නිවැරදිව හඳුනා ගැනීම මෙන් ම ව්‍යාපෘතියේ තිරසර පැවැත්ම හඳුනා ගැනීමට කටයුතු කළ යුතු ය. ඒ සඳහා සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනය වැදගත් වේ. ඒ අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර වනාන්තර නොවන වෙනත් සංවර්ධන ක‍්‍රියාවලීන් සඳහා යොදා ගැනීමට හෝ අක්කර 50 කට වැඩි භූමියක් එළිපෙහෙළි කර සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් කි‍්‍රයාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ කි‍්‍රයා පටිපාටියෙන් තොර ව මහවැලි අධිකාරියට සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට වනාන්තර ඉඩම් ලබාදිය නොහැකි ය.

ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු කි‍්‍රයාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන අවස්ථාවක මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට පනතේ 31 වගන්තියට අනුව රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.

මීට අමතර ව සංශෝධිත 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනතේ 43අ සහ 47 වන වගන්ති වලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝබර් මස 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශිත 2000 අංක 01 දරන ව්‍යාපෘති වල කාර්යය පටිපාටි නියෝග වලට අනුව හෙක්ටයාර 2 ක් ඉක්මවා භූමි ප‍්‍රදේශ එළිකිරීමට ප‍්‍රථමයෙන් පුරාවිද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා පුරාවිද්‍යා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මේ කිසිදු අනුමැතියකින් තොර ව මහවැලි අධිකාරිය මගින් සමාගම් වලට වනාන්තර හා තෘණ භූමි ලෙස පිහිටි ඉඩම් ලබා දී ඇත. එමගින් සිදු කර ඇත්තේ නීතිය අතික‍්‍රමණය කිරීමකි. එලෙස අණ පනත් උල්ලංඝනය කරමින් සමාගම්වලට ඉඩම් ලබා දීමට හා සංවර්ධන කටයුතු සිදු කිරීමට මහවැලි අධිකාරියට අයිතියක් නැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

මේ ආකාරයෙන් කටයුතු කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 12 (1) උප ව්‍යවස්ථාවේ සඳහන් නීතිය පසිඳලීම හා නීතිය ක‍්‍රියාත්මක කිරීම ද, නීතිය රැකවරණය ද සර්ව සාධාරණ ව සිදු විය යුතු ය යන්න උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් මස 10 වන දින සම්මත කරගත් වගන්ති 30 කින් යුත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ 7 වන වගන්තියට අනුව සියල්ලෝ ම නීතිය ඉදිරියේ සමාන වෙති යන්න උල්ලංඝනය කිරීමකි. 1955 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබු රටක් ලෙස මෙම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය අනුව කටයුතු කිරීමට අප රට බැඳී සිටී. දේශපාලන බලය මත මහවැලි අධිකාරියට හෝ සමාගම්වලට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, පාරිසරික නීති හා ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කරමින් ඉඩම් අවභාවිතා කිරීමට කිසිඳු හැකියාවක් නොමැත.

ගොවි ජනතාව, සත්ත්ව පාලනයේ නිරත ජනතාව හා ආදිවාසී ජනතාව සෘජුව හා වක‍්‍රව භාවිතා කරන මෙම ඉඩම් මහවැලි අධිකාරියේ අභිමතය පරිදි සමාගම් වලට ලබා දීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මුලික අයිතිවාසිකම් බොහෝමයක් ජනයාට අහිමි කර ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) හා (ඌ) උප ව්‍යවස්ථාවල සඳහන් පරිදි නීත්‍යනුකූල වෘත්තීයක, කර්මාන්තයක නිරතවීමේ අයිතිය හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස මෙම ඉඩම් සමාගම් සතු කිරීම හේතුවෙන් ජනතාවට අහිමි වී තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් කොටසෙහි 27(14) උප ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර සුරක්ෂිත කර වැඩිදියුණු කළ යුතු බව සඳහන් වේ. නමුත් සිදු කර ඇත්තේ ජනතාවට ජීවත් වීමට ඇති අයිතිය අහිමි කරමින් පරිසරය විනාශ කර අවතැන් කිරීමට හා පරිසරයේ සුරක්ෂිතතාව බිඳ දැමීමට වනාන්තර හා තෘණ භූමි සමාගම් වලට ලබා දීම ය. මේ නිසා ආණ්ඩුවේ වුවමනාව මත මහවැලි අධිකාරිය විසින් රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීම් මූලධර්ම ද උල්ලංඝනය කර ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) උප ව්‍යවස්ථාවට අනුව ස්වභාවධර්මය හා ස්වාභාවික සම්පත් රැකගැනීම ශ‍්‍රී ලංකාවාසී සෑම තැනැත්තෙකුගේ ම යුතුකම වන බව සඳහන් වේ. එපමණක් නොව 28 (ඉ) උප ව්‍යවස්ථාවට අනුව සෙසු අයගේ අයිතිවාසිකම් හා නිදහස වෙනුවෙන් කටයුතු කිරීමට හැකි යාව ද සෑම පුරවැසියෙකුට ම තිබේ. ඒ අනුව මහවැලි අධිකාරිය හා පෞද්ගලික සමාගම් විසින් සිදු කරන ස්වාභාවික සම්පත් අයුතු භාවිතයට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජනතාවට ඇත. එම බලය පුරවැසියන් වන අප භාවිතා කළ යුතු ය.

සෞභාග්‍යයේ දැක්මෙන් ජනතාව මුලා කිරීම

මෙවර ජනාධිපතිවරණයේ දී ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ ‘තිරසර පරිසර ප‍්‍රතිපත්තියක්’ කොටසෙහි සඳහන් වන්නේ ‘මිනිසාට මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු බව ය.’ මේ ආකාරයෙන් ජනතාව සමඟ සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව අද වන විට සත්ත්වයන්ට අයිති භූමිය සමාගම් වලට ලබා දීමෙන් ජනතාව සමග ඇති සම්මුතිය කඩකර ඇත.

එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් ලෙස සඳහන් කොටසේ තවදුරටත් දක්වා ඇත්තේ ‘වර්තමානයේ සිදු වන බොහෝ මනුෂ්‍ය කි‍්‍රයාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදු වන විනාශය අති විශාල ය. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ’ යනුවෙනි. එපමණක් නොව එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ භූමිය භාවිතාව පිළිබඳ ව සඳහන් කර ඇත්තේ ‘ශී‍්‍ර ලංකාවේ භූමිය භාවිතා කළ යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයන්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය කි‍්‍රයා කළ යුතු ය. එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ, එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය කි‍්‍රයා කළ යුතු ය’ යනුවෙන් හා ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා වර්ධනය කරන බව ද සඳහන් කර ඇත.

මේ සියල්ල අද වන විට වචන වලට පමණක් සීමා වී ඇත. ආණ්ඩුවේ වුවමනාව මත මහ පරිමාණ සමාගම් වලට ඉඩම් ලබා දෙමින් ශී‍්‍ර ලාංකීය පුරවැසියන්ට හා ජෛව ප‍්‍රජාවට භූමියට ඇති අයිතිය සීග‍්‍රයෙන් අහිමි කරමින් ඇත. මෙය වහා ම නතර කළ යුතු ය. එය නතර කිරීමට අවශ්‍ය බලපෑම පුරවැසියන් වන අප නිරන්තරයෙන් ම සිදු කළ යුතු ය.

අපගේ අවධාරණය

රටට ආදරය කරන පුරවැසියන් ලෙස අප අවධාරණය කරන්නේ මිනිසාට මෙන් ම සතා සිව්පාවුන්ට භූමියට ඇති අයිතිය අහිමි කිරීම, ජනතාවගේ සෘජු හා වක‍්‍ර භාවිත භූමිය සමාගම් වලට ලබා දීම නතර කිරීම මෙන් ම ජනතාවගේ පාරම්පරික හා සාම්ප‍්‍රදායික භූමි භාවිත අයිතිය තහවුරු කරන ලෙස ය. ඒ තුළින් කෘෂිකර්මාන්තයේ හා සත්ත්ව පාලනයේ අයිතිය සුරක්ෂිත කරන ලෙස ය. ඒ සඳහා මහවැලි අධිකාරියෙන් සමාගම් වලට ලබා දුන් සියලු ඉඩම් නැවත ජනතා අයිතියට පත් කළ යුතු ය. එපමණක් නොව 2006 වසරේ දී ප‍්‍රකාශයට පත් කළ ‘වන අලි සංරක්ෂණය හා කළමනාකරණ ජාතික ප‍්‍රතිපත්තියට’ අනුව අලි–ඇතුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කර අලි–මිනිස් ගැටුම පාලනයට කටයුතු කළ යුතු අතර ජල සුරක්ෂිතතාවය සඳහා ජල මූලාශ‍්‍ර වල ජල පෝෂක බිම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු ය. මෙම කරුණු පිළිබඳ ව දැඩි අවධානය යොමු කරන ලෙස රජයට අප අවධාරණය කර සිටිමු.

සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *