මහර සිද්ධිය ගැන රහස් පොලිස් පරීක්ෂණ සති දෙකකින් (2) අවසන් – දේපළ හානි කළ අයටත් ඉදිරි පියවර

මහර සිද්ධිය ගැන රහස් පොලිස් පරීක්ෂණ සති දෙකකින් (2) අවසන් – දේපළ හානි කළ අයටත් ඉදිරි පියවර

*********************************************

මහර සිද්ධිය ගැන රහස් පොලිස් පරීක්ෂණ සති දෙකකින් (2) අවසන් – දේපළ හානි කළ අයටත් ඉදිරි පියවර

(04.12.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාර සිද්ධියෙන් කිසිඳු රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ හෝ විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරවලින් මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊයේ (03) පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ සිද්ධියෙදී දේපළ හානි සිදුකළ පුද්ගලයින්ට එරෙහිවද කටයුතු කරන බවයි.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්, රැඳවියන් ඇතුළු 56 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියේදී රැඳවියන් 11 දෙනෙකු පිවිතක්ෂයට පත් වු අතර, බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු (2) ඇතුළුව තුවාල ලැබු සංඛ්‍යාව 108 ක් ෴

***************************************

(04.12.2020 – 08:22 +0530 – hirunews.lk/sinhala)

2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඉන් බහුතරය රාජ්‍ය ආයතන විසින් ගෙවිය යුතු ඒවා බවයි.

ඇතැම් ආයතන බදු ගෙවීම සඳහා සුදුසු මූල්‍ය තත්ත්වයක දැනට නොසිටින බව ස්වාධීන මණ්ඩලයක් විසින් තීරණය කර ඇති බවද, මෙහිදී ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පෙන්වා දුන්නා.

ඒ අනුව, ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන ලෙසයි කාරක සභාව නිර්දේශ කර ඇත්තේ.

මෙම හිඟ බදු ආදායමට තවත් හේතුවක් ලෙස රුපියල් බිලියන 3 ක වටිනාකමින් යුත් චෙක්පත් 8060 ක් අගරු වීම ද බලපා ඇති බව මෙහිදී විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

2017 වසරේ පටන් බදු අය කිරීම විධිමත් කිරීම සඳහා පරිගණක පද්ධතියක් හඳුන්වා දී ඇති බව මෙහිදී දෙපාර්තමේන්තු නිලධාරින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ගිණුම්කාරක සභාවේ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ඒ සඳහා රුපියල් බිලියන 4 කට වැඩි මුදලක් වැය කර ඇතත්, බදු සංශෝධනයන් සිදුවන අවස්ථාවන්වලදී ඒවා පද්ධතියට එක් කිරීමට අදාළ සිංගප්පූරු සමාගමට රුපියල් බිලියන 3 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම ගැටලු සහගත බවයි.

මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස එච්.එම්. ඩබ්ලිව්.සී. බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

***************************************

(04.12.2020 – 09:05 +0530 – hirunews.lk/sinhala)

‘බුරවි’ සුළි කුණාටුව මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කළද, එහි බලපෑම හේතුවෙන් අදත් (04) දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළේ අද (04) දිනයේත් උතුරු සහ වයඹ පළාත්වල කුණාටුවේ බලපෑම හේතුවෙන් තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, පුත්තලමේ සිට මන්නාරම, කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලඟේ වේගය ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටීමට කටයුතු කිරීම වඩාත් උචිත බවයි ඔහු ප්‍රකාශ කළේ.

‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට එක් පුද්ගලයෙක් (1) අතුරුදන්ව ඇති අතර, පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 44,848 ක්.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 කට බලපෑම් එල්ල වූ අතර, ඉන් පුද්ගලයින් 06 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිවාස 50 කට එහිදී පූර්ණ හානි සිදුව ඇති අතර, තවත් නිවාස 2,148 කට අර්ධ හානි සිදුව තිබෙනවා ෴

***************************************

(04.12.2020 – 13:16 +0530 – hirunews.lk/sinhala)

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝක වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන්ගේ වඩාත් සමීප දසුනක් දැක ගැනීමේ අවස්ථාවක් මේ මස අගභාගයේදී පෘතුවි වාසීන්ට උදාවන බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සූරිය මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මෙම ග්‍රහලෝක ද්විත්වය අතර පෙළගැස්ම වසර 20 කට වරක් සිදුවන දුර්ලභ සංසිද්ධියක් බවයි.

බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන් මෙලෙස එකිනෙකා මතින් ගමන් කිරීමේ දර්ශනය මේ මස 16 සිට 25 දක්වා සෑම සන්ධ්‍යාවකම පැයක පමණ කාලයක් ඉතාමත් පැහැදිලිව දර්ශනය වනු ඇති ෴

***************************************

(04.12.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

‘බුරවි’ සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර, පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 44,848 ක්.

පසුගියදා යාපනය – පොන්නාලෙයි ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළසිරුර හමුව ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 කට බලපෑම් එල්ල වූ අතර, ඉන් පුද්ගලයින් 06 දෙනෙකුද තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

නිවාස 50 කට එහිදී පූර්ණ හානි සිදුව ඇති අතර, තවත් නිවාස 2,148 කට අර්ධ හානි සිදුව තිබෙනවා.

මේ අතර මන්නාරම් බොක්කේ සිට බුරවි සුළි කුණාටුව දකුණු ඉන්දියාවේ සිට ලංවද්දී තමිල්නාඩුවේ සහ කේරළයේ ගුවන්තොටුපල 3 ක් ආරක්ෂාකාරි පියවරක් ලෙස තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ සුළි කුණාටුවත් සමඟ අද (04) දිනයේ චෙන්නායි ඇතුළු තමිල්නාඩු දකුණු ඉන්දීය ප්‍රදේශයට මහවැසි ඇද හැලෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව හරහා ගමන් කළ බුරවී සුළි කුණාටුව මන්නාරම් බොක්කේ දී දුර්වල වූ මේ වනවිට දැඩි අවපීඩනයක් බවට පත්ව තිබෙනවා.

එය නැවතත් වර්ධනය වී අද (04) පස්වරුවේ රාමනාදපුරම් සහ ටියුටිකොරීන් හරහා ගමන් කරනු ඇති බවයි ඉන්දීය කාලගුණ අංශ ප්‍රකාශ කළේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ බුරවි සුළි කුණාටුව මේ වනවිට මන්නාරම් බොක්කේ සිට කිලෝමීටර් 143 ක දුරකින් පවතින බවයි.

එහි වක්‍ර බලපෑම හේතුවෙන් තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව ද ඔහු සඳහන් කළා.

***************************************

(04.12.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයට තුඩුදී ඇති, පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය හරහා මාර්ගයක් ඉදිකරන බවට වන වාර්තා සම්බන්ධයෙන් අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඒ සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ පැනයක් යොමුකළ අතර, ඊට විෂය භාර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පිළිතුරු ලබාදුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් ද එහිදී මැදිහත් වුණා.

මේ අතර, කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේදි ක්ලේමෝ බෝම්බයක් සමඟ යුවලක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරින්ට විශේෂ උසස් වීම් හා ත්‍යාග මුදල් ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

***************************************

(04.12.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

යහපාලන සමයේ රණවිරුවන් සහ දේශපාලනඥයින් සිරගත කිරීමට විපක්ෂ දේශපාලනඥයින් ඇතැම් දූෂිත රාජ්‍ය නිළධාරීන් සමග එක්ව කටයුතු කල බව , පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා.

ඊයේ (03) රාත්‍රි විකාශය වූ ‘හිරු ටී.වී බලය’ දේශපාලන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

(04.12.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජයේ ප්‍රබලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කර ඇතැමුන්ගෙන් දේශපාලනික පලිගැනීම් සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (04) කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

***************************************

(04.12.2020 – 13:55 +0530 – hirunews.lk/sinhala)

සෝජාන් නමින් හැඳින්වෙන වගා ක්‍රමය යටතේ වෙල් යායක පවත්වාගෙන යන අපූරු ගොවිපොළක් පිළිබඳ ගාල්ල – හෝළුවාගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

පසෙහි ආම්ලිකතාව හේතුවෙන් කුමන අයුරකින් හෝ වී වගා කළ නොහැකි වෙල්යායක් වන මෙහි සෝජාන් නම් වගා ක්‍රමය යටතේ අක්කර හතරක පමණ එළවළු සහ පලතුරු ඉතා සාර්ථක ලෙස වාගා කර තිබෙනවා.

සෝජාන් වගාක්‍රම යේදී සිදුකෙරෙන්නේ ජලය බැස නොයන වගාබිම්වල ජලය බැසයාමට පහසුවන අයුරින් බිම් තීරු දෙකක් අතර අගල් සකස් කිරීමයි.

වගා කටයුතු සඳහා බිම් තීරු දෙක අතර, ආරුක්කු සකස් කිරීම මෙහි විශේෂත්වයක්.

මෙම වගා ක්‍රමය ඉන්දුනීසියානුවන් විසින් හඳුන්වා දුන් බවටයි සැලකෙන්නේ.

=========================================

(04.12.2020 – 09:08 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 627 දෙනෙකු ඊයේ (03) දිනය තුළ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 26,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 26,038 ක් ලෙසයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,488 ක්.

මේ වනවිට, දිවයිනේ රෝහල් රැසක කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 6,877 ක් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඊයේ (03) දිනයේදී වෛරසය ආසාදනය වී සුවය ලැබූ 728 දෙනෙකු රෝහල් වලින් නික්ම යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19,032 ක් වනවා.

මේ අතර, ඊයේ (03) දිනයේත් මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගියේ අලුතින් වාර්තා වූ මරණ 05 ත් සමඟයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති අතර, හෘද රෝගයක් සහ දියවැඩියාව නිසා ඇති වූ සංකූලතා සමඟ කොරෝනා ආසාදනය වීම මරණයට හේතුව ලෙස සඳහන් වනවා.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද කොරෝනා ආසාදනය වීම සහ අධික රුධිර පීඩනය සමඟ මොලය අභ්‍යන්තරයට රුධිරය වහනය වීම හේතුවෙන් මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) ද මියගොස් ඇති බව ඊයේ (3) වාර්තා වුණා.

ඉන් එක් අයෙකු 85 හැවිරිදි අයෙකු වන අතර, ඔහු මියගොස් ඇත්තේ කොරෝනා ආසාදනය වීමත් සමඟ උග්‍ර වූ බැක්ටීරියා ආසාදනයක් නිසා ඇති වූ සංකූලතාවලින්.

එම ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා 71 වන වියේ පසුවන අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය වීමත් සමඟ හෘදයාබාධ තත්ත්වයක් ඇති වීමයි.

කොළඹ 02 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් තිබෙනවා.

කොරෝනා නියුමෝනියාව සමඟ ශ්වසන මාර්ගයේ ඇති වූ අකර්මන්‍යවීමක් එම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දක්වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, පවතින කොරෝනා තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (03)ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කළේ විභාග සහ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග විධිමත් භාවයකින් තොර බවයි ෴

+++++++++++++++++++

(04.12.2020 – 09:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වාහන ආනයනය නතර කිරිමට රජය ගත් තීරණයත් සමඟ ජපානයේ වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ජපානයේ වාහනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති නිශාන්ත මීගල්ල මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සිය සංගමයේ එරට සිටින සමාජිකයින් මෙරටට ආනයනය කිරිමට සුදානම් කර ඇති වාහන එරට වරායන් තුළ ගාල් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ දී ඇති අතර, පසුගිය මාර්තු මාසයට පෙර මෙරටට ආනයනය කිරිමට ඇනවුම් කර තිබූ වාහන පමණක් ගෙන්වීමට කටයුතු කරන ලෙසයි ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(04.12.2020 – 09:38 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු සුව අතට පත්වූ පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසුවයි.

පෙරේදා (02) දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණා.

මේ අතර, මුහුණු ආවරණ නොපැළඳීම සහ දුරස්ථභාවය ආරක්ෂා කර නොගැනීම සම්බන්ධයෙන් ඊයේ (03) දිනය තුළද පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් 30 වැනිදා සිට මේ දක්වා එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 1,014 ක්.

(04.12.2020 – 11:53 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එළඹෙන 17 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

ඒ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

පෙරේදා (02) දිනයේ අදාළ කොරෝනා ආසාදිතයා අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදී තිබුණා.

+++++++++++++++++++

(04.12.2020 – 10:05 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශ රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 476 දෙනෙකු මත්තල සහ කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණියා. එලෙස පැමිණි පිරිස අතර, ශ්‍රී ලාංකිකයින් 294 දෙනෙකු අද (04) අලුයම පැමිණ ඇත්තේ මත්තල ගුවන්තොටුපල හරහායි.

එමෙන්ම, කටුනායක ගුවන්තොටුපලෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු, කටාර්හි සිට 45 දෙනෙකු සහ ජපානයේ සිට 7 දෙනෙකු පැමිණ තිබෙනවා.

එසේම, විදේශ රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 288 දෙනෙකු පිටව ගිය බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(04.12.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය බස් රථයක් සහ සාමාන්‍ය බස් රථයක් එකිනෙක ගැටීමෙන් පොළොන්නරුව-මඩකළපුව ප්‍රධාන මාර්ගයේ නාමල්ගම හා අසේලපුර අතර අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මරදාන සිට කොරෝනා රෝගීන් රැගෙන ආ බස් රථයක් සහ කල්මුණේ කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් බවයි සඳහන් වන්නේ.

අනතුර හේතුවෙන් බස්රථ දෙකෙහි රියදුරන් දෙදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තාවන්නේ.

අනතුර සිදුව අවස්ථාවේ කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය බස් රථයේ ආසාදිතයන් 23 ක් ගමන්කර සිට ඇති බවද සඳහන්.

අනතුරින් ඔවුන්ට හානියක් සිදුව නොමැති බවද සඳහන්.

වැලිකන්ද පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

+++++++++++++++++++++

(04.12.2020 – 11:28 +0530 – hirunews.lk/sinhala)

විදේශිය සංචාරකයින් මෙරටට ගෙන්වා ගෙන සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ගුවන්තොටුපල විවෘත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරින් රැසක් එක්ව සිටි බව සඳහන්.

සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මූලික සැලසුම් සකස් කිරීමට ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමටයි එහිදී තීරණය වී ඇත්තේ.

එමෙන්ම, ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ජනතාවට www.immigration.gov.lk හරහා දිනයක් වෙන් කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ සැලස්මකට අනුව දෙපාර්තමේන්තුවේ කාර්යයන් සිදුකිරීම හේතුවෙන් දින වෙන් කරවාගෙන පැමිණීම සිය කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++++

(04.12.2020 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරි සිදුවීම් පිළිබඳව සිදුකරන විමර්ශනවලට අදාළව අද (04) දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම බන්ධනාගාරයට යාමට නියමිතයි.

ඒ සිදුකරන විමර්ශනවලට අදාළව ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීම සහ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

ඊයේ (03) සහ පෙරේදා (02) දිනවල ද බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ඇතුළු 56 දෙනෙකුගෙන් අදාළ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ අදාළ සිද්ධියේදී බන්ධනාගාරයේ ගබඩා කර තිබූ පෙති වර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඒ අදාළ පෙති පානය කිරීමෙන් බන්ධනාගාර රැඳවියන් ආවේගශීලි ලෙස හැසුරුනු බවට පළ කෙරෙන මත සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීම සඳහායි.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කැඳවා තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 150 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ අතර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ද සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම, බන්ධනාගාරයේ සියලු රැඳවියන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

පසුගිය ඉරිදා (29) රාත්‍රියේ සිදුවූ මෙම නොසන්සුන්කාරි සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ඇතුළු 108 දෙනෙකු තුවාල ලැබූ අතර, රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අදාළ සිද්ධියේදී මියගිය රැඳවියන්ගේ දේහ නිරෝධායන නීතිවලට අනුව ආදාහනය කිරීම සම්බන්ධයෙන් සිරකරුවන් සුරැකීමේ සංවිධානයක් විසින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඊට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කරුණු දැක්වීම සඳහා පැමිණ නොසිටීම හේතුවෙන් එය දෙසැම්බර් 11 වනදා දක්වා කල් දමනු ලැබුවා.

+++++++++++++++++++++

(04.12.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලැබුනහොත් කොරෝනා ව්‍යාප්තිය ඉදිරි සති කිහිපය තුළදී පාලනය කරගත හැකි බවට විශ්වාසය පළ කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (04) මේ බව කියා සිටියා.

මේ අතර, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් ඊයේ (03) වාර්තා වූ ආසාදිතයින් 627 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ එම සංඛ්‍යාව 402 ක් බවයි.

ඒ අතර කොළඹ රිමාන්ඩ් සහ වැලිකඩ බන්ධනාගාරවලින් වාර්තා වන ආසාදිතයින් 104 දෙනෙකුද වනවා.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 66 දෙනෙකු සහ රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වී තිබුණා.

ඊයේ (03) වාර්තා වූ ආසාදිතයින් අතර කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් 30 දෙනෙකුද වනවා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 26,038 ක් වාර්තා වන අතර, ඉන් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති සංඛ්‍යාව 19,032 ක්.

තවදුරටත් ආසාදිතයින් 6,877 දෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම, කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් අතරින් දහසක පමණ පිරිසක් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, බණ්ඩාරගම – අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන වීඩියෝ තාක්ෂණය ඔස්සේ පානදුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අටලුගම – බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් ඇතුළු වූ පොලිස් නිලධාරියෙකු ඔහු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව එම පුද්ගලයා අටලුගම – අලෝතියාව ප්‍රධාන පොලිස් මුරපොල වෙත රැගෙන එනු ලැබුවා.

ඉන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා හමුවට සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කර තිබුණේ.

එසේම, සෞඛ්‍ය අංශවලට සහයෝගය දක්වන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අටලුගම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට (2) සහ මුළුතැන්ගෙයි නිරීක්ෂිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ද තහවුරු වුණා.

කොරෝනා ආසාදිතයින් පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බස් රථයක් සහ කාත්තන්කුඩි සිට පොලොන්නරුව බලා ධාවනය වූ බස් රථයක් වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී අද (04) පෙරවරුවේ එකිනෙක ගැටී අනතුරට ලක්වුණා.

ආසාදිතයින් රැගත් බස් රථයේ පුද්ගලයින් 23 දෙනෙකු සිට ඇති අතර, දෙදෙනෙකුට සුළු තුවාල සිදුව තිබුණා.

ඔක්තෝම්බර් 04 වැනිදායින් පසු වාර්තා වූ කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් අතරින් 116 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතරින් 47% ක් වන මරණ 55 ක් සටහන් වන්නේ වයස අවුරුදු 71 ට වැඩි පුද්ගලයින් කාණ්ඩයෙන්.

වයස අවුරුදු 61 ත්, 70 ත් අතර වයස කාණ්ඩයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 23 ක්. මරණ 18 ක් වයස අවුරුදු 51 ත්, 60 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වී තිබෙනවා.

වයස අවුරුදු 41 ත්, 50 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 13 ක්. එසේම, මරණ 4 ක් වයස අවුරුදු 31 ත්, 40 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වන අතර, වයස අවුරුදු 10 ත්, 30 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 03 ක්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *