මිල්කො සමාගම 2020 වසරේදී රුපියල් මිලියන 400 ක වාර්තාගත ලාභයක් උපයයි !

මිල්කො සමාගම 2020 වසරේදී රුපියල් මිලියන 400 ක වාර්තාගත ලාභයක් උපයයි !

*********************************************

මිල්කො සමාගම 2020 වසරේදී රුපියල් මිලියන 400 ක වාර්තාගත ලාභයක් උපයයි !

(28.12.2020 – 15:55 +0530 – lankaleadnews.com)

2017, 2018 සහ 2019 වර්ෂවල එක් වර්ෂයකට මිලියන රුපියල් මිලියන 600 කට වඩා පාඩු ලැබූ මිල්කෝ සමගම 2020 වසරේදී රුපියල් මිලියන 400 ක ලාභයක් අත්පත් කරගෙන ඇති බව මිල්කෝ සමාගමේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පවසයි.

එහිදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් මිල්කො සමාගමේ සභාපති තුමා පවසා සිටියේ සමාගම මෙම ලාභය අත්පත් කර ගත්තේ කිරි ගොවීන්ට ලබා දෙන මිලද ඉහළ දමමින් බවයි.

මිල්කෝ සමාගම මෙම ජයග්‍රහනය අත්පත් කර ගැනීම පිළිබඳව මිල්කො සමාගමේ සේවකයන් පවසන්නේ සභාපති තුමාගේ දැක්ම පෝෂණය කරනු ලබන කාර්යක්ෂම අධ්‍යක්ෂක මණ්ඩලයක් මිල්කො සමාගම සතු වීම මෙම ජයග්‍රහනයේ පිටුපස ඇති රහස බවයි ෴

***************************************

සීනි බදු වංචාවට චෝදනාවට ලක්වී සිටින නුෂාඩ් පෙරේරා ප්‍රමිති ආයතනයට දැමීම ඉබ්බා දියට දැමීම වැනි වැඩක් ජාතික සංවිධාන කියයි

(28.12.2020 – 13:35 +0530 – lankaleadnews.com)

සීනි ආනයන කරුවන්ට අයුතු බදු සහනයක් ලබා දීමට මැදිහත් වී රජයට කෝටි දාහක (1000) පාඩුවක් සිදු කළ බවට බරපතළ බරපතළ චෝදනාවට ලක්ව සිටින සතොස සභාපති නුෂාඩ් පෙරේරා එම තනතුරින් ඉවත්කොට ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් කිරීම ගැන ‘ජාතික සංවිධාන’ මතය වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගෙන් :

“ප්‍රමිති ආයතනයේ කියන්නේ ඉතාම දූෂිත ආයතනයක් බවට පසුගිය දිනවල විමල් විරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ඒ, ශරීරයට අහිතකර ව්‍යාජ සබන් වර්ගයක් සඳහා බහු බහුජාතික සමාගමක උවමනාව අනුව නව ප්‍රමිතියක් හඳුන්වා දීමය. ඒ මගින් එම සමාගම වාර්ෂිකව රුපියල් මිලියන 3000 ක ලාභයක් උපයන බවට චෝදනා ඉදිරිපත් වී තිබෙනවා. ඊට අමතරව කිරිපිටි ආනයනය කරන සමාගම් වල උවමනාවකට පාම් තෙල් මිශ්‍ර කළ කිරිපිටිවල ප්‍රමිතිය බලන්න ව්‍යාජ පරීක්ෂණ යොදා ගත් බවට ප්‍රමිති ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියාට චෝදනා එල්ල වී ඇත. දැන් ඒ නුෂාඩ් පෙරෙරා කියන පුද්ගලයා සහ එහි සිටින දූෂිත නිලධාරියා එකට එකතු උනාම කොහොම තියෙයිද?”

(28.12.2020 – 17:26 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සහ සතොස සභාපතිවරයා ලෙස නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා පත්කර ඇති බව කර්මාන්ත අමාත්‍යංශය පවසනවා ෴

***************************************

දේශීය ඇඳුම් සතියට එක් දිනක් හෝ අඳින්නැයි රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක්

(28.12.2020 – 17:09 +0530 – sinhala.adaderana.lk)

2021 වර්ෂයේදී සතියේ එක් දිනක් දේශීයව නිෂ්පාදනය කරන ඇඟලුම් භාවිත කරමින් සේවයට වාර්තාකරන ලෙස බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

දේශීය ඇඟලුම් නිෂ්පාදිතයින් ආරක්ෂා කිරීම, දේශීය වශයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ නව රැකියා උත්පාදනය, ඇඟලුම් සඳහා වාර්ෂිකව විදේශයන්ට ගලා යන දේශීය විනිමය නතර කරගැනීම යන කරුණු අපේක්ෂාවෙන් මෙම ඉල්ලීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, මිලියන තුනකට (3) ආසන්න රාජ්‍ය සේවයේ යෙදෙන සියලු දෙනාගේ සහය මේ සඳහා ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටියේ ය ෴

***************************************

(28.12.2020 – 18:06 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර තිබෙනවා.

එසේම, ගොවීන්ගේ කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන ලෙසයි ජනාධිපතිවරයා විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරින්ට නියම කර ඇත්තේ.

ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

එසේම, 2021 – 2022 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු බීජ රැස්කිරීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙන්ම, අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

***************************************

(28.12.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජෙනරාල් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍යප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා ෴

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ජෙනරාල් නිලයට උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශයක චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා ෴

***************************************

(28.12.2020 – 21:17 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා ක්‍රමය කිසිසේත්ම රටට නොගැළපෙන බැවින් එය වහාම අහෝසි කරන ලෙස පැවිදි හඬ සංවිධානය අද (28) කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රජයෙන් ඉල්ලා සිටියා.

***************************************

(28.12.2020 – 22:17 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – මොල්ලිගොඩ ප්‍රදේශයේ ගල් කොරියක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායම් 5 ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම ගල් කොරියට අයත් ගබඩාවේ තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන්ව තිබුණේ ඉකුත් 22 වැනිදා රාත්‍රියේයි.

***************************************

(29.12.2020 – 06:45 +0530 – hirunews.lk/sinhala)

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට (29) යෙදී තිබෙනවා.

සංඝමිත්තා මහ රහත් තෙරණිය ඇතුළු මෙහෙණින් වහන්සේ 11 නමක් ප්‍රමුඛ දූත පිරිස, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන දිවයිනට වැඩම කළේ අද (29) වැනි දිනක වීම විශේෂත්වයක්.

බුද්ධ බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන ශ්‍රී පාදය වන්දනා සමය ආරම්භ වන්නේද උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන්.

මෙය වර්ෂයේ අවසන් පොහෝ දිනයයි ෴

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය මෙත් සිතින් සංවිධාන කරන හිරු සීල පාරමිතාව හිරු ලයිෆ් මැදිරි සංකීර්ණයේ සිට අද (29) දිනය පුරා ක්‍රියාත්මකයි.

රට තුළ පවතින තත්ත්වය හමුවේ මෙවන් කටයුත්තක් සංවිධාන කර ඇති අතර, ඒ සඳහා සියලුදෙනාට නිවසේ සිට එක්වීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව අද (29) උදෑසන 06:00 ට පෙහෙවස් සමාදන් කිරීම සිදු කෙරෙණු අතර, එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කරනු ලැබුවේ පූජ්‍ය වරායායේ සමිත ස්වාමින් වහන්සේ විසින්.

උදෑසන 07:30 ට පූජ්‍ය පූජ්‍ය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ විසින් පෝදා කාලීන ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 08:30 ට ඉවසීම පිළිබඳ විග්‍රහ කෙරෙන කාලීන ධර්ම සාකච්ඡාව සිදු කෙරෙනවා.

ඊට පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියන් සහ පූජ්‍ය වල්පොල ගෝතම හිමියන් එක්වීමට නියමිතයි.

පෙරවරු 10:00 ට පෝදා ධර්ම දේශනාව සිදුකරන්නේ පූජ්‍ය බොරැල්ලේ අතුල නායක ස්වාමින් වහන්සේ විසින්.

කවිබණ දේශනාව පෙරවරු 11:00 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ කාව්‍ය විශාරද ශාස්ත්‍රපති පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින්.

දහවල් 12:30 ට කාලීන ධර්ම සාකච්ඡාවක් ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා පූජ්‍ය පුලියද්දේ සුදම්ම හිමියන්, පූජ්‍ය වාඩිගල සමිතඥාන හිමියන් සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා එක්වනවා.

මෙම සියලු වැඩසටහන් සජීවී ලෙස හිරු එෆ්.එම්. සහ හිරු ටී වී ඔස්සේ විකාශය කිරීමටද සියලු කටයුතු සූදානම් කර තිබෙනවා ෴

(29.12.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වනවා.

ඒ අනුව චාරිත්‍රානුකූලව පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, සමන්දෙව් ප්‍රතිමාව සහ දේවාභරණ ඊයේ (28) සිරිපා මළුව වෙත පෙරහරින් වැඩම කරවනු ලැබුවා.

මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේ ජනවාරි මාසය තුළ සිරිපා වන්දනාවේ පැමිණිමෙන් වළකින ලෙසයි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙවර සිරිපා වන්දනා සමයේදී බැතිමතුන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ දක්වා තිබෙනවා.

ඒ අනුව සිරිපා වන්දනාවේ පැමිණීමට අදහස් කරන පිරිස් තම වන්දනා නඩවල තොරතුරු ඉදිරිපත් කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී එහි සහතිකයේ පිටපතක් රැගෙන ආ යුතුයි.

එමෙන්ම, ශ්‍රීපාදස්ථාන ගමන් මාර්ගයේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු අතර අම්බලම්, විශ්‍රාම ශාලා ආශ්‍රිත ප්‍රදේශවල යාචකයින් විසින් සිඟමන් යැදීම හෝ සිඟමන් ලබාදීම් සිදුනොකළ යුතු බවද අදාළ ගැසට් පත්‍රයේ දැක්වෙනවා.

එමෙන්ම, සිරිපා මළුව, විශ්‍රාම ශාලා ප්‍රදේශයන් හි මෙන්ම ගමන් මාර්ගයේද සංචාරක වෙළඳාම තහනම් කර තිබෙනවා.

මේ අතර, නව වසරේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණෙන විට ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණෙන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව දළඳා මාලිගාවේ පාලන අංශය සඳහන් කළා.

***************************************

(29.12.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඊයේ (28) පැවති ආණ්ඩු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී නිශ්චිත තීරණයකට පැමිණීමට නොහැකි වූ බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා.

ඒ, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සහය දක්වන පක්ෂ නායකයින් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළා ෴

***************************************

මහාචාර්ය අනුර මනතුංග නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

(29.12.2020 – 09:57 +0530 – lankadeepa.lk)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත.

එහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා බැවින්, පුරප්පාඩු වන තනතුර සඳහා මෙම පත්වීම සිදුකෙරේ.

මහාචාර්ය අනුර මනතුංග මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. විශ්වවිද්‍යාලයේ ‘උරුම අධ්‍යයන කේන්ද්‍රයේ’ අධ්‍යක්ෂවරයා ද ඔහු වෙයි.

ඒ අනුව, මහාචාර්ය මනතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනවාරි 01 වැනි දින සිට පත්කෙරෙනු ඇත ෴

***************************************

නැගෙනහිරින් නව අන්තවාදී සංවිධානයක් බිහිවේ.. ඉස්ලාමය බේරාගන්න සංවිධානය වේ.. ආධාර අරාබියෙන්..

(29.12.2020 – 10:40 +0530 – lankacnews.com)

නැගෙනහිර පළාත මූලික කරගෙන අලුතින් මුස්ලිම් අන්තවාදී සංවිධානයක් බිහි වී ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් එම සංවිධානය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වා ගෙන යමින් ඇතැයිද සඳහන් වෙයි.

මුස්ලිම් ආගම විනාශ කිරීමට අනාගතයේ දී බිහිවෙන බව කියන නායකයෙකුට විරුද්ධව දැන් සිටම මුස්ලිම් ජනතාව දැනුවත් කිරීම මෙම සංවිධානයේ අරමුණ යැයිද අනාවරණය කරගෙන තිබේ.

මෙම නව සංවිධානයේ නායකයා ලෙස වෛද්‍යවරයෙකු කටයුතු කරන බවටත් දැනට එහි සාමාජිකයන් 30 දෙනෙකු පමණ සිටින බවටත් තොරතුරු හෙළි කරගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ එම නව සංවිධානය විසින් ක්‍රියාකාරිකයන් ප්‍රවර්ධනය කිරීමට යෙදී සිටින බවටද කරුණු අනාවරණය වී තිබේ.

සංවිධානය පවත්වා ගෙන යාම සඳහා අරමුදල් මැදපෙරදිග රටකින් ලැබෙන බවට ද තොරතුරු හෙළි වී ඇත ෴

***************************************

අපේ උරුමය උඩ මිරිස් අඹරන එක නතර කරනවා – MP Vidura Wikramanayake

(26.12.2020 – 09:27 +0530 – lankaleadnews.com)

=======================================

(28.12.2020 – 18:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 366 ක් හඳුනාගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 41,420 ක් දක්වා ඉහලගොස් ඇති බවයි සඳහන් වන්නේ ෴

++++++++++++++++++++++

(28.12.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කොවිඩ්-19 වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය මර්දනය සඳහා ඔක්ස්ෆර්ඩ් කොවිඩ් මර්දන එන්නතට හැකියාව පවතින බව එම එන්නත නිෂ්පාදනය කරන ඇස්ට්‍රා සෙනිකා සමාගම පෙන්වා දෙනවා.

කොවිඩ්-19 නව ප්‍රභේදය මේ වනවිට ලොවපුරා රටවල් 16 ක ව්‍යාප්තව පවතින අතර දකුණු කොරියාවෙන් ද අද ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

කොවිඩ්-19 වෛරසය චීනයේ හුබෙයි පළාතෙන් ලොව පළමු වරට වාර්තා වී අදට වසරක් ගත වනවා.

එය ඒ වනවිටත් හඳුන්වා තිබුණේ හඳුනා නොගත් රෝග තත්ත්වයක් ලෙසයි.

මේ වනවිට කොවිඩ්-19 වෛරසයේම විකෘති වූ නව ප්‍රභේදයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීම නිසා ලොවපුරා රටවල් 16 කට බලපෑම් එල්ල වී තිබෙනවා.

නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින් දෙදෙනෙක් දකුණු කොරියාවෙන් ද අද පළමු වරට වාර්තා වුණා.

කොවිඩ්-19 මර්දනය සඳහා මේ වනවිට ලොව නිෂ්පාදනය කර ඇති ෆයිසර්, ස්පුට්නික්, සිනෝවැක් යන එන්නත් නව ප්‍රභේදය මර්දනයට ඵලදායී ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිසි වාර්තා පෙන්වා නැහැ.

එවන් පසුබිමක බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනිකා සමාගම නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන එන්නතට මෙම නව ප්‍රභේදය මර්දනය කිරීමේ හැකියාව පවතින බවයි නිෂ්පාදන සමාගම පෙන්වා දෙන්නේ.

තවමත් කොවිඩ්-19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ අමෙරිකාවට වන අතර එරට 14 ලක්ෂයකට අධික පිරිසකට රැකියාව අහිමි වී සිටිනවා.

මේ හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඩොලර් ට්‍රිලියන 2.2 ක සහන මුල්‍ය පැකේජයකට ඊයේ අත්සන් තැබුවා.

ජාත්‍යන්තර විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සහන මූල්‍ය පැකේජයට අත්සන් නොකළේ නම් අමෙරිකානු රජය අර්ධ වශයෙන් වසා දැමීමේ බරපතළ තත්ත්වයක් උද්ගතවීමේ අවදානමක් පැවති බවයි ෴

++++++++++++++++++++++

(28.12.2020 – 20:04 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල් ජනවාරි 11 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ නිසි සැලැස්මකට අනුව බව, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.

කොළඹ අද (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි දින කිහිපය තුළ එම වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කරන බවයි.

එසේම ප්‍රාථමික අංශයේ සිසුන් කොටස් දෙකකට බෙදා පාසල් වෙත කැඳවා ගැනීමේ වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා ෴

+++++++++++++++++++++

(28.12.2020 – 20:32 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ මෙන් ශ්‍රී ලංකාවෙන්ද කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේද බිහිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගර්භනී මව්වරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවම කටයුතු කළ යුතු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන්න දෙවොලගේ මහතා පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

අද (28) දිනයේදී තවත් ආසාදිතයින් 520 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තිස්තුන් දහසේ (33,000) සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 33,221 ක් ලෙස සටහන් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,002 ක් පමණයි.

එසේම, අද (28) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 366 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 41,420 ක්.

පොලිසිය ආශ්‍රිතව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1812 දෙනා අතරින් මේ වනවිට 1613 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා.

එසේම, පිටකොටුව – මිහිඳු මාවතේ පිහිටි පොලිස් හදිසි ඇමතුම් කොට්ඨාශයේ නිලධාරීන් 25 දෙනෙකුටද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අදාළව බන්ධනාගාරගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි මුන්දලම සින්නපාඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

29 හැවිරිදි ඔහු මේ මස 17 වැනිදා සිට 31 වැනිදා දක්වා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණත්, ඔහු සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් අසල වෙනත් ගම්මානයක නිවෙස් කිහිපයකට සහ සූදු පොලකට ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් වූ පවුල් 08 ක සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමටයි මුන්දලම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කටයුතු කර ඇත්තේ.

තවත් කොරෝනා ආසාදිතයන් 164 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 41,584 දක්වා ඉහලගොස් තිබෙනවා ෴

++++++++++++++++++++++++

(28.12.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදාන කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට භික්ෂු සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් ජනපති කාර්යාලය ඉදිරිපිට අද (28) විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ජාතික සංවිධාන එකමුතුව, නව සිහල රාවය, සිංහලේ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් අද (28) පෙරවරුවේ ගාලුමුවදොර පිටිය ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළා.

පසුව පාගමනින් ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට පැමිණි අතර ඔවුන් සකස් කළ සංදේශයක් ජනාධිපතිවරයා වෙත භාරදීමටයි කටයුතු සූදානම් කර තිබුණේ.

කෙසේ වෙතත්, එම අවස්ථාවට ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැමිණි අතර, භික්ෂුන් වහන්සේ ඔහුට සංදේශය භාරදී තිබුණේ නැහැ.

පසුව එම පිරිස ජනාධිපති කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය සහ භික්ෂුන් වහන්සේ අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

අනතුරුව, එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට, අදාළ සංදේශය භාර දෙනු ලැබුවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් යාපනය සහ පුත්තලමේ අද (28) විරෝධතා පැවැත්වුණා.

++++++++++++++++++++

+++++++++++++++++++++

++++++++++++++++++++

++++++++++++++++++++

‘එක් රටක් එක නීතියක්’ නම් ඥාණක්කාගෙන් අසා රට කරවන්න එපා.. ආණ්ඩුව ෆේල්.. පැවති යහපාලනේ මීට වඩා හොදයි.. – පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි..

(28.12.2020 – 22:02 +0530 – lankacnews.com)

එක් රටක් එක නීතියක් යටතේ රට පාලනය කරන බවට පොරොන්දු වූයේ නම් අනුරාධපුරයෙන් ඥානක්කාගේ උවමනාවට අනුව රට පාලනය නොකර ජනවරමට අනුව රට පාලනය කරන්නැයි ඉල්ලා සිටින බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

කොරෝනා මෘත දේහයන් ආදාහනය කරන්නැයි බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවති විරෝධතාවයේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ රටක් ලෙස මෙම වෛරස් සහිත මෘතදේහ භූමදානය කලහොත් එම අන්තවාදීන් විසින් මල සිරුරු ගොඩගෙන වෛසරය කුමන ත‍්‍රස්ත කටයුත්තකට භාවිත කරාවිදැයි කිව හැක්කේ කාට දැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ.

මේ සම්බන්ධයෙන් සංඝයා වහන්සේලාට පාරට බහින්නට සිදුවීම ගැන ආණ්ඩුව ලැජ්ජාවට පත්විය යුතු යැයිද භික්ෂූන් වහන්සේලා පාරට බැසීමම, පාරේ රස්තියාදු කරවීමම වත්මන් ආණ්ඩුව අසමත්කමට හොඳම නිදර්ශණය යයිද උන්වහන්සේ කියා සිටියහ.

ආණ්ඩුව වලලනවාද වැලලෙනවාද මෙම මෘත දේහ සම්බන්ධ ප්‍රශ්නයේදී තීන්දු කර ගන්නා ලෙසද ආණ්ඩුවට දන්නවා සිටින බව ද උන්වහන්සේට දැඩිව කියා සිටියහ.

එක රටක් එක නීතියක් නම් ආගම් අනුව නීති වෙනස් විය නොහැකි බවත් පැවසූ එහිමියෝ එසේ වන්නේ නම් පැවති යහපාලනය මීට වඩා හොද යයිද පැවහූහ ෴

++++++++++++++++++++++++++

(28.12.2020 – 20:51 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමා ග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම නිවේදනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉක්මන් හා සාධාරණ සෞඛ්‍ය සම්පන්න තීරණයක් ගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ සාමාග්‍රී මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය මගින් ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා.

පළමු කරුණ වන්නේ කොවිඩ්-19 මෘතදේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් භූවිද්‍යා හා වසංගත රෝග සම්බන්ධ විශේෂඥවරුන්ගෙන් හා ඒ හා දැනුම ඇති වෛද්‍යවරුන්ද ආගමික නායකයින්ද ඇතුළුව කමිටුවක් පත්කොට නොපමාව තීරණයක් ගන්නා ලෙසයි.

විෂබීජ භූගත නොවන ලෙස ශක්තිමත් කොන්ක්‍රීට් ආවරණයක බහා භූමදානය කිරීමට හෝ කමිටුව නිර්දේශ කරන ඒහා සමාන වෙනත් ක්‍රමවේදයක් සලකා භූමදානයට අවසර දෙන ලෙස කරන සංවේදී ඉල්ලීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවීම දෙවැනි කරුණයි.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

එහි නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා එම නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු සම්බන්ධ තීරණය සියලු ජන කොටස් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පොදු එකඟතාවකට පැමිණ කඩිනමින් ගතයුතු බවයි.

පසුගිය 23 වැනිදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදාළ යෝජනාව ඒකමතිකව අනුමත වූ බව ද එම නිවේදනයේ සඳහන්.

මෘත දේහ ආදාහනය කරන්නේද? භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජන කොටස්වල අයිතිවාසිකමක් බවත්, විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර සියලු ආගමික නායකයින් සමඟ සාකච්ඡා කළ යුතු බවත් එම පක්ෂයේ ස්ථාවරය වී තිබෙනවා.

මේ අතර, කොවිඩ්-19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ දේහ ආදාහනය කරන්නේද, භූමදානය කරන්නේද යන්න සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේ ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා.

++++++++++++++++++++

(28.12.2020 – 23:22 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 03 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහලගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මියගිය පුද්ගලයන්ගේ තොරතුරු ඇතුලත් අදාළ නිවේදනය පහතින් :

++++++++++++++++++++++

(29.12.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් 549 දෙනෙකු ඊයේ (28) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,603 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 37,890 දෙනෙකු වනවා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 8,188 ක් පමණයි.

ඊයේ (28) දිනයේදී තවත් ආසාදිතයින් 520 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තිස්තුන් දහස (33,000) ඉක්ම වනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 33,221 ක් ලෙසයි.

මේ අතර, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 03 ක් ඊයේ (28) දිනයේදී වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 194 දක්වා ඉහළ ගියා.

දර්ගා නගරයේ පදිංචි 90 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කළුතර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, කොරෝනා ආසාදනය සමඟ ඇති වූ ලේ විෂවීම සහ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් ඔහුගේ මරණයට හේතුවී තිබෙනවා.

ඊයේ (28) තවත් කොරෝනා මරණයක් වාර්තා වූයේ තෙල්දෙනිය ප්‍රදේශයෙන්.

83 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ තෙල්දෙනිය රෝහලේදීයි.

කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ උග්‍ර වකුගඩු රෝගී තත්ත්වයක් ඔහුගේ මරණයට හේතු වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, දකුණු කළුතර පදිංචි 57 හැවිරිදි කාන්තාවක්ද කළුතර දිස්ත්‍රික් රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඇයගේ මරණයට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදනය සමඟ ලේ විෂවීමයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ඊයේ (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් ගෙන්වීම මෙරට පරිසරයට සහ ජනතාවට ගැලපෙන ආකාරයට සිදුකළ යුතු බවයි ෴

++++++++++++++++++++

(29.12.2020 – 09:41 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන් සදහා ‘රැපිඩ් ඇන්ටිජෙන්’ පරික්ෂාවන් දසදහසකට (10,000) අසන්න සංඛ්‍යාවක් මේ වනවිට සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ අනුව ඊයේ (28) සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජෙන්’ පරික්ෂාවන් 1359 කදී පුද්ගලයන් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හදුනා ගනු ලැබුවා.

ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර, මේ වනවිට එලෙස බස්නාහිර පළාත් සීමාවන්හිදී හඳුනා ගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 61 ක්.

ඔවුන්ගේ ආශ්‍රිතයන් 315 දෙනෙකු හඳුනාගෙන නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++++

ආදාහනයද..? භූමදානයද..? තිස්ස ජනනායක ගෙන් වීඩියෝවක්..

(29.12.2020 – 11:20 +0530 – lankacnews.com)

කොරෝනා ආසාදිත මෘත දේහයන් භූමදාන කරන්නේද ආදාහනය කරන්නේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇත.

ඔහු එමඟින් පෙන්වා දෙන්නේ ආසාදිත මෘත දේහවල ඇති වෛරස ප්‍රමාණය මෙරට භූගත ජලයට එක් වීමේ අවදානම බැහැර කළ නොහැකි බවයි.

එනිසා මෙම තීන්දුව වෛරස් විද්‍යාඥයන් භූ විද්‍යාඥයන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් විසින් ඉතා දැඩිව සලකා බලා ගත යුතු තීන්දුවක් ඇයි ද ඔහු කියා සිටියි.

කිසිසේත්ම මෙය දේශපාලඥයන් විසින් සාකච්ඡා මේසයට ගෙන ආ යුතු මාතෘකාවක් නොවන බවද ඔහු පවසයි.

එම මෘතදේහ භූමදානය කළ පසු භූගත ජලයට එක්වුවහොක් නැවත පිරිසුදු කර ගන්නේ කෙසේදැයි ඔහු එමගින් ප්‍රශ්න කරයි.

+++++++++++++++++++++

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ ගේ ‘ලස්සන ෆ්ලෝරා’ ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද?

(28.12.2020 – colombotoday.com)

භුමිදානයට පක්ෂව අදහස් දැක්වීම නිසා මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියගේ ‘ලස්සන ෆ්ලෝරා’ ආයතනයට අධිකරණ අමාත්‍යංශයේ මල් කොන්ත්‍රාතුව දුන්නාද? යැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රශ්න කරමින් පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය මගින් පහත කරුණු විමසා ඇත :

  • අධිකරණ අමාත්‍යංශයේ මල් සැරසිලි සදහා වන කොන්ත්‍රාත්තුව ලබා දී ඇති සමාගම කුමක්ද?
  • එම සමාගම සදහා අදාල කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ කුමන පදනම යටතේද?
  • එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ‘ලස්සන ෆ්ලෝරා’ ආයතනයට බවත් එහි අයිතිකරු හෝ අයිතිකරුවන් හා සම්බන්ධ අයෙකු වන මහාචාර්යය නිලීකා මලවිගේ යන අය කොරෝනා වෛරසය වැළදී මියයන මුස්ලිම් ජාතිකයින් භූමිදානය සිදු කිරීම අහිතකර නොවන බවට ප්‍රකාශ කිරීම නිසා වන බවත් පැතිර යන ආරංචිය සත්‍යයක්ද ?
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *