වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [3]

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [3]

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [2]

*********************************************

කෑගල්ලේ කොවිඩ් පැණියට තවත් අනුමැතියක්

(30.12.2020 – 14:08 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වෛරසය මර්දනයට ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධයට රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි බවට කෑගල්ල ප්‍රදේශයේ වෙද මහතෙකු වන ධම්මික බණ්ඩාර මහතා විසින් නිර්මාණය කළ ඖෂධයක් අත්හදා බැලීමට වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වූ බව පසුගිය 29 වැනිදා ‘අද දෙරණ’ රටට අනාවරණය කළේය.

ඉන් අනතුරුව මෙම දේශීය ඔෂෟධය පිළිබඳව ඉදිරි පර්යේෂණ කටයුතු ඖෂධ නිෂ්පාදන, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය මට්ටමින් සිදුකරන ලෙස ජනාධපතිවරයා කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බලකාය රැස් වූ අවස්ථාවේදී උපදෙස් ලබාදුන්නේය ෴

+++++++++++++++++++++

කොවිඩ් පැණියේ ගුණ අගුණ පිළිබඳව සති දෙකක් (2) තුළ නිශ්චිතව කිව හැකියි – මහාචාර්ය චන්න ජයසුමන

(30.12.2020 – 19:26 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වෛරසය මර්දනයට ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් අත්හදා බලා ඇති දේශීය කොවිඩ් ඖෂධය පිළිබඳ ගුණ අගුණ සති දෙකක් (2) වැනි කාලයක් තුළ නිශ්චිතව පැවසිය හැකි බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

අද (30) ඒ සඳහා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිවු බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ පිළිබඳ අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් මෙසේ කියාසිටියේය :

“මෙය වරදවා තේරුම් ගත යුතු නෑ පැණිය අනුමත කිරීමක් ලෙස. ඇත්තටම පැණිය පරීක්ෂාවට ලක්කිරීම සඳහා රජය රෝහලක රෝගීන්ට පර්යේෂණාත්මකව ලබා දීලා එහි ගුණ අගුණ බැලීම සඳහා ලැබුණ අනුමැතියක් තමයි අද දිනයේ දී ඒ ආචාර ධර්ම කමිටුව මඟින් ලබාදීලා තියෙන්නේ. වැඩිම උනොත් සති දෙකක (2) වගේ කාලයක් තුළ ගුණ අගුණ පිළිබඳව නිශ්චිත වශයෙන් ම ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි.”

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, කුමාරි වීරසේකර මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, දේශීය කොවිඩ් ඖෂධය සායනික පරීක්ෂණය සඳහා යොමුකිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු කුමාරි වීරසේකර මහත්මිය :

“කෑගල්ලේ ධම්මික මහතා විසින් ඉදිරිපත් කරන ලද ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව, එය ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබුවා. දැනට අපිට වාර්තා වී තිබෙනවා එයට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය ලැබී තිබෙන බව. ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව ඉදිරියේ දී සායනික පරීක්ෂණ කිරීම සඳහා අවස්ථාව එළඹිලා තියෙනවා. ඒ සඳහාත් අප මුලික කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ අනුව ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය අප විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරනු ලබනවා. ඔහු තමා සායනික පරීක්ෂණය සඳහා අනුමැතිය ලබා දිය යුත්තේ. ඒ අනුමැතිය ලැබුණු පසු සායනික පරීක්ෂණ අදාළ විද්වත් කමිටුව විසින් ආරම්භ කරනු ඇත.”

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ දේශීය කොවිඩ් ඖෂධය ලබාගන්නා රෝගීන් දින 03 ක් තුළ සුව වන බවට මීට මාසයකට පෙර වතුපිටිවල රෝහලේ සිදුකළ සායනික පරීක්ෂණ 02 කදී ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වූ බව ‘අද දෙරණ’ රටට අනාවරණය කළේය.

ඉන් අනතුරුව මෙම ඖෂධය ගැන පරීක්ෂණ ජනාධිපතිවරයා විසින් ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පවරනු ලැබීය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අචාර්ය සේනක පිලපිටිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙරට වෛද්‍ය විද්‍යාල 08 ක මහාචාර්යවරුන් 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට පියවර ගත්තේය.

+++++++++++++++++++++

එන්නතට වඩා සිංහල බෙහෙත් සාර්ථකයි, විශේෂ හේතුව මෙන්න (29-12-2020)

+++++++++++++++++++++

කොවිඩ්-19 සහ දේශීය වෙදකම – Derana TV : Big Focus

31-12-2020

+++++++++++++++++++++

කොවිඩ් පැණිය – සායනික පරීක්ෂණ සඳහා අනුමැතිය සඳුදා (04)

(31.12.2020 – 19:10 +0530 – sinhala.adaderana.lk)

කෑගල්ලේ ධම්මික වෙද මහතා අත්හදා බැලු කොවිඩ් දේශිය ඖෂධය යොදාගෙන රජයේ රෝහලක සායනික පරීක්ෂණ සිදුකිරීමට ලබන සඳුදා (04) වන විට අනුමැතිය ලබාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

‘අද දෙරණ’ කළ විමසීමක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, කොවිඩ් දේශීය ඖෂධය සඳහා ආචාර ධර්ම කමිටුව අනුමැතිය ලබාදුන් ලේඛන මේවන විට තමාට ලැබි ඇති බවය.

අදාළ ලේඛන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා වෙත යොමුකිරීමෙන් පසු ඒ පිළිබඳ පුළුල් අධ්‍යනයක් සිදුකර සායනික පරීක්ෂණය සඳහා අනුමැතිය ලබාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා අත්හදා බැලු දේශීය ඖෂධය සඳහා ඊයේ (30) ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිවිය.

ඒ අදාළ ඖෂධය යොදා ගනිමින් රජයේ රෝහලක සායනික පරීක්ෂණ සිදුකිරීම සඳහාය.

එලෙස කොවිඩ් දේශිය ඖෂධය යොදාගෙන සායනික පරීක්ෂණයක් සිදුකිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ආචාර ධර්ම කමිටුව අද (31) කරුණු පැහැදිලි කළේය.

මේ අතර කොවිඩ් දේශිය ඖෂධය සම්බන්ධයෙන් ‘අද දෙරණ’ BIG FORCUS වැඩ සටහනේ දී ද අදහස් පළවිය.

https://www.youtube.com/watch?v=S6pWOtNofTw#t=5

+++++++++++++++++++++

(01.01.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ දේශීය ඖෂධයට ආචාර ධර්ම කමිටුව අනුමැතිය ලබාදී ඇත්තේ එය සායනික පරීක්ෂාවක් කිරීමට මිස, සායනිකව භාවිත කිරීමට නොවන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨයේ පීඨාධිපති විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා ප්‍රකාශ කළා.

ඒ, ඊට අදාළව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

අදාළ ඖෂධය සායනික පරීක්ෂාවක් සිදුකිරීම සඳහා යොදා ගැනීමට අවසර ලබාදුන්නේ සංශෝධන ගණනාවක් සහ කොන්දේසි කිහිපයකට යටත්ව බවද එහි දැක්වෙනවා.

එම ඖෂධය පරීක්ෂා කිරීමට උතුරු මැද පළාතේ රෝහල් දෙකක් (2) තෝරාගත් බැවින්, පළාතේ පිහිටි එකම වෛද්‍ය පර්යේෂණ ආචාර ධර්ම කමිටුව වන රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ධර්ම සමාලෝචන කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඊට අදාළව පත්කළ විශේෂඥ කමිටුව, මෙම ඖෂධය ඉදිරිපත් කළා.

ඒ අනුව අදාළ පරීක්ෂණය, කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයක් බවත්, එය රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණයක් නොවන බවත්, පීඨාධිපති වෛද්‍ය සේනක පිලපිටිය මහතා අවධාරණය කරනවා.

+++++++++++++++++++++

‘ධම්මික පැණිය’ වෙනුවෙන් ජාතික සංවිධාන කොන්දේසි විරහිතව පෙනි සිටියි

(01.01.2021 – 20:09 +0530 – lankaleadnews.com)

පසුගියදා ‘රන්ගිරි’ රූපවාහිනියේ වැඩසටහනකට සහභාගි වෙමින් වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා, ධම්මික වෙද මහතාගේ කෝවිඩ් පැනිය හෙලා දකින පිරිස් වලට ප්‍රහායක් එල්ල කරමින් දේශිය දැනුම් පද්ධතිය ආරක්ෂා කිරිම වෙනුවෙන් දිර්ඝ කරුණු දැක්විමක් සිදු කොට ඇත.

එවැනි විරෝධතා හමුවේ දේශිය දැනුම් පද්දතියට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නන් අඩියක් පිටුපසට තබා ඇති බව දැනගන්නට ඇත.

+++++++++++++++++++++

සායනික අත්හදා බැලීම් අවසන් වනතුරු ‘ධම්මික පැණියේ’ ප්‍රගතිය ගැන තොරතුරු හෙලි නොකිරීමට විශේෂඥ කමිටුව තීරණය කරයි

(02.01.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ දේශීය ඖෂධ පැණිය සායනික පරික්ෂාවට යොමු කිරීමේ නිර්දේශය ලබාදීමට නම් පළමුව සායනික ලියාපදිංචිය ලබාගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

අදාළ පැණිය සඳහා ‘රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ පර්යේෂණ ආචාර ධර්ම කමිටුව’ පසුගියදා අනුමැතිය ලබාදී තිබුණේ කොන්දේසි කිහිපයක් යටතේයි.

උතුරුමැද පළාතේ පිහිටි එකම වෛද්‍ය පර්යේෂණ ආචාරධර්ම කමිටුව වන රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ පර්යේෂණ ආචාරධර්ම සමාලෝචන කමිටුව කොන්දේසි කිහිපයකට යටත්ව ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ පැණියේ සායනික පරීක්ෂාවන් සඳහා පසුගියදා අවසර ලබා දී තිබුණා.

අදාළ අවසර හිමිවීමෙන් පසු එම පැණිය සායනිකව අත්හදා බැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමැතිය ලබා දිය යුතු වනවා.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාල පැනිය සායනික අත්හදා බැලීම් සදහා යෙදවීමට පෙර සායනික ලියාපදිංචිය ලබා ගත යුතු බවයි.

ඉන්පසු අදාළ පැණිය සායනිකව අත්හදා බැලීම සඳහා තමන්ට නිර්දේශ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියා.

එසේම, කොවිඩ්-19 ආසාදනයට එරෙහිව ශ්‍රී ලංකාවේ ආයුර්වේද සහ සාම්ප්‍රදායික ඖෂධ පිළිබදව විද්‍යාත්මක අධ්‍යනයක් සිදු කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්කළ විශේෂඥ කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය සේනක පිලපිටිය මහතා අද (02) නිවේදයක් නිකුත් කර තිබුණා.

මෙම අධ්‍යනය අවසන් කර දත්ත විශ්ලේෂණය කරන තෙක් පර්යේෂණ ප්‍රගතිය පිළිබද තොරතුරු ප්‍රසිද්ධියේ අණාවරණ නොකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඕනෑම ආකාරයේ පර්යේෂණයක ප්‍රතිඵල පක්ෂාග්‍රාහී වීම වළක්වා ගැනීම සඳහා එය අත්‍යවශ්‍ය පියවරක් බව එම නිවේදයේ වැඩිදුරටත් සඳහන්.

+++++++++++++++++++++

‘ධම්මික පැණිය’ ශරීරයට අහිතකර නැති බව තහවුරු වේ

(02.01.2021 – 13:24 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය ශරීරයට අහිතකර නැති බව පර්යේෂණ වාර්තා 3 කින් තහවුරු කරගෙන තිබේ.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සාමාන්තර විද්‍යා පීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුව විසින් ඒ බව අවධාරණය කරයි.

ආචාරධර්ම කමිටුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සායනික පර්යේෂණයක් කිරීමට අවසර ලබාදීම පිළිබඳව කරුණු පැහැදිලි කර තිබුණි.

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සාමාන්තර විද්‍යා පීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුව කොවිඩ් වෛරසය මර්දනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදන කළ දේශීය ඖෂධය හෙවත් ‘ශ්‍රී වීරභද්‍ර ධම්ම ප්‍රතිශක්ති ජීව පානය’ කොඩිව් ආසාදිතයින් අතර සායනිකව පරීක්ෂා කිරීම සඳහා පමණක් කොන්දේසි සහිතව අනුමැතිය ලබා දීමට තීරණය කර තිබේ.

නමුත් එය කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ කොවිඩ්-19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස පිළිගැනීමක් නොවන බවද එම කමිටුව අවධාරණය කර ඇත.

ඉහත සංයෝගය සායනික පරීක්ෂා කිරීමට ආචාරධර්ම සමාලෝචනය සඳහා යොමුකළ ඉල්ලුම්පත සලකා බැලීමට කමිටු සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සහ භාහිර විශේෂඥයින් දෙදෙනෙකුගෙන් (2) සමන්විත අනු කමිටුවකක් මඟින් සිදුකළ අතර ආචාරධාර්මික හා තාක්ෂණික අඩුපාඩු මත මුල් අයැදුම්පත ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් බව ආචාරධර්ම සමාලෝචන කමිටුව පවසයි.

සංශෝධන සහිත දෙවන (2) අයැදුම්පත එම අනුකමිටුව මුලින් සමාලෝචනයට ලක්කිරීමෙන් පසු සියලු ගැටලු නිරාකරණය කිරගැනීමෙන් අනතුරුව කොන්දේසී සහිතව අනුමැතිය ලබා දීමට එම කමිටුව පියවර ගෙන තිබේ.

එමෙන්ම එම කොන්දේසි සඳහා අනුගත නොවන්නේ නම් ඉදිරියේදී ආචාරධර්ම අනුමැතිය ඉවත්කර ගැනීමට කමිටුව හැකියාව ඇති බවද එම කමිටුව විසින් නිකුත් කළ නිර්දේශවල සඳහන් වේ.

මෙම සංයෝගය ඖෂධයක් ලෙස දීර්ඝකාලීනව භාවිතාකර නොමැති අතර ආයුර්වේද හෝ වෙනත් පිළිගත් වෛද්‍ය ක්‍රමයකයට අයත් වට්ටෝරුවකට අනුව සෑදූවක්ද නොවන බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තු මඟින් එම සංයෝගයට ලබාදුන් ලියාපදිංචිය මත පදනම්ව මෙම පර්යේෂණ අයදුම්පත කමිටුව විසින් පිළිගත් බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සාමාන්තර විද්‍යාපීඨයේ ආචාරධර්ම සමාලෝචන කමිටුව පවසයි.

එමෙන්ම උක්ත සංයෝගයේ නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම එම සංයෝගය සහ එහි සංඝටකවල ඖෂධීය වටිනාකම පිළිබඳව නිගමනයකට පැමිණීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාවද පදනම් කර ගත් බව කමිටු නිර්දේශවල සඳහන් වේ.

එලෙසම එම සංයෝගය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සේ අප රටේ ජනතාව භාවිතකරන ආහාරමය ද්‍රව්‍ය වන නමුත් සංයෝගයක් ලෙස ක්‍රියාත්මක වීමේදී හා නිෂ්පාදනය වීමේදී හානිකර රාසායනිකයන් නිපදවීමේ විභවයද එම කමිටුව මඟින් සැලකිල්ට ගෙන තිබේ.

ඒ අනුව කැලණිය විශ්වවිද්‍යාලීය රාසායන විද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් රාසායනික ප්‍රතිඔක්සිකාරක පිළිබඳව වාර්තාවත් කාර්මික පර්යේෂණ ආයතනය ලබාදුන් හානිකර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රමාණික වාර්තාවත් පදනම්ව මෙම සංයෝගය මනුෂ්‍ය පරිබෝජනය සඳහා හානිකර නොවන බවට නිගමනය කළ බවද එම කමිටුව නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

+++++++++++++++++++++

(06.01.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිපදවූ කොරෝනා මර්ධන ඖෂධය සායනික පරීක්ෂණ සඳහා යොමුකිරීමට අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++++

ධම්මික පැණිය පානය කර කොරෝනා වැළදුණු, කෑගල්ලේ මන්ත්‍රී හිරුට කතා කරයි

(18.01.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා ප්‍රකාශ කළා.

මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන ඇඹිලිපිටියේ පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, කෑගල්ල ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකු ද ධම්මික බණ්ඩාර නැමැත්තාගේ කොරෝනා වෛරසයට එරෙහි පැණිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පල කළා.

ඔහු කියා සිටියේ රුපියල් දස දහසක මුදලක් ගෙවා පැණි බෝතලයක් මිලදී ගෙන පානය කළ ද තමා ඇතුලු පවුලේ සියළු දෙනාට කොරෝනා වෛරසය වැළදුණු බවයි ෴

+++++++++++++++++++++

ධම්මික පැණිය බීපු මන්ත්‍රී ට මොකද උනේ ? (18-01-2021)

+++++++++++++++++++++

(20.01.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තා කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ බව කියන ඖෂධය පානය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය වැළදීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් විමසීමක් කළා.

එහිදී ධම්මික බණ්ඩාර කියා සිටියේ තමා ප්‍රකාශ කරන අන්දමට අදාළ ඖෂධය පානය කළේ නම් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදීම සිදුනොවන බවයි.

කෙසේ වෙතත්, ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන සියළුම ක්‍රමවේද අනුගමනය කරමින් පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා ප්‍රකාශ කළා.

මෙම පැණිය පානය කළ පුද්ගලයින්ට කොරෝනා වෛරසය වැළදීම සම්බන්ධයෙන් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. හේවාගමගේ මහතා කියා සිටියේ අදාළ ඖෂධය, ඖෂධයක් ලෙස කිසිදු ආයතනයක ලියාපදිංචි වී හෝ නොමැති බවයි.

බොහෝ විට ව්‍යාපාරික අරමුණක් හේතුවෙන් මෙවැනි කටයුතු සිදුකරනු ඇති බවට ද ප්‍රකාශ කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++

කෑගල්ලේ ධම්මික බණ්ඩාර අදත් (21) පැණි බෙදයි

(21.01.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

සායනික කටයුතු අවසන් නොමැති අවස්ථාවක කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ පැණිය අදත් (21) ජනතාව වෙත බෙදා හැරීම සිදුකෙරුණා.

ඔහුගේ කෑගල්ල උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි නිවසේදී පැණි බෝතල් 5,000 ක් ලබාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ පැණියේ සායනික කටයුතු මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට අනුයුක්ත මෙත්සිරි සෙවන ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මෙන්ම නොච්චියාගම ප්‍රාදේශීය රෝහලේදී සිදුකෙරෙනවා.

ඒ අනුව වයස අවුරුදු 18 ඉක්ම වූ සහ වයස අවුරුදු 80 නොඉක්ම වූ කොරෝනා ආසාදිත පුද්ගලයින් සඳහා අදාළ රෝහල්වලදී මෙම පැණිය ලබාදෙන බව සඳහන්.

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව සිදුකරන ලද දෙවන පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුවයි මෙම පැණිය රෝගීන්ට ලබාදෙනු ලබන්නේ.

ගර්භනී මව්වරුන්ට, අදාළ පැණිය මීට පෙර පානය කරන ලද අයට හෝ දියවැඩියාව වැනි නිධන්ගත රෝග පවතින පුද්ගලයින්ට සායනික පරීක්ෂණවලදී මෙම පැණිය ලබාදීම සිදු කෙරෙන්නේ නැහැ.

එමෙන්ම රෝගියාට මෙම පැණිය ලබාදීමට නම් ඔහුගේ කැමැත්ත අනිවාර්ය වනවා.

රෝගීන් 128 දෙනෙකු ඉලක්ක කරගනිමින් මෙම පැණිය ලබාදීමට කටයුතු සූදානම් කර ඇති අතර, වරකට මිලිලීටර 15 බැගින් දිනකට දෙවරක් (2) මෙය ලබාදෙන අතර, එලෙස දින තුනක් (3) අදාළ පැණිය සායනික පරීක්ෂණ සඳහා රෝගීන්ට ලබාදෙනු ලබනවා.

මේ අතර ධම්මික බණ්ඩාර මහතා තමාට පහරදුන් බවට ප්‍රකාශ කළ පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමා ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවකදී ඔහු විසින් තමාට පහර දුන් බවයි.

ඒ පිළිබදව ඔහු පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ද ගොනු කර තිබෙනවා. තමාට දඬුවම් ලැබුණු බවට ප්‍රකාශ කරන වීඩියෝව ධම්මික බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසින් පහරදීමෙන් අනතුරුව තර්ජනය කර ලබා ගත් වීඩියෝවක් බවයි අදාළ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

++++++++++++++++

සායනික පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු තම ඖෂධය විවේචනය නොකරන්නැයි ධම්මික බණ්ඩාර ඉල්ලයි

(21.01.2021 – 13:21 +0530 – sinhala.adaderana.lk)

සායනික පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු කොවිඩ් වෛරසයට එරෙහිව තමා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය විවේචනය කිරීමෙන් වළකින ලෙස කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලා සිටී.

කෑගල්ලේ දී අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මහතා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අද (21) නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව ඖෂධ බෝතල් 5000ක් නොමිලේ බෙදාදීමට පියවර ගනු ලැබීය.

ඒ කෑගල්ල උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදීය.

පොලිස් නිලධාරීන්ද ආරක්ෂාව සඳහා එම ස්ථානයේ යොදවා තිබුණි.

මේ අතර, පේරාදෙණිය පොලීසියේ වෛද්‍යවරයෙකු විසින් ගොනුකළ පැමිණිල්ල පිළිබඳව මාධ්‍යවේදින් විසින් ධම්මික බණ්ඩාර මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ධම්මික බණ්ඩාර මහතා :

“පසුගිය දිනක මම දන්න කියන වෛද්‍යවරයෙක් – කාලයක් තිස්සේ ආපු අනුරාධ කොළඹගේ කියලා වෛද්‍යවරයෙකුත් තව පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුත් හා හෙදියන් දෙදෙනෙකුත් රෑ වෙලා 07:30 – 08:00 වගේ මගේ ස්ථානයට ආවා. ඇවිත් මගෙන් නොයෙක් ප්‍රශ්න ඇහුවා. ටික වෙලාවකින් මට දැනුනා කවුරුහරි එක්කෙනෙක් මේ කතාව රෙකෝඩ් කරනවා වගේ. එතුමාගේ දුරකථනය ගෙන පරීක්ෂා කරද්දි එතුමා දීර්ඝ වේලාවක් මේක රෙකොඩ් කරලා තිබුණා කතාව සම්පූර්ණයෙන් වගේ. අපි අවවාද කළා ඔබතුමා වෛද්‍යවරයෙක් ලෙස මේ කරන දේ වැරදි කියලා. එතනට ආපු වෛද්‍යවරු කිව්වා මේක පොලීසියට දෙන්න එපා කියලා. පොලීසියෙන් ඒ වෙලාවේ මෙතෙනට ආවා. වැඳලා ඉල්ලුවා මේක පොලීසියට කියන්න එපා රැකියාවට බාධාවක් කියලා. ඒ නිසා අපි පොලීසියට පැමිණිලි කරේ නෑ. නීතියෙන් මගේ තැනට ඇවිල්ලා මටම හානියක් කරන කෙනාට ද වරද තියෙන්නේ නැතිනම් ඒ කෙනා ගිහින් දාන බොරු චෝදනාවට ද වරද තියෙන්නේ. මේ කරන සායනික පරීක්ෂණය නිමවෙන තුරු කාටවත් චෝදනාවක් එල්ල කරන්න බැහැ මේ බෙහෙත හරි ද වැරදි ද කියලා. එතුමාගේ සියලු කතා අපේ ළමයි වීඩියෝ ගත කළා ඒවත් අද අපි මාධ්‍යයට මුදා හරින්න කැමති.”

එම සිදුවීම සිදුවන අවස්ථාවේ දී වීඩියෝ ගත කරන ලද දර්ශන පෙළෙක් ඒ අනුව මුදාහරිනු ලැබීය.

එහිදී පේරාදෙණිය පොලීසියට පැමිණිලි කළ බවට පැවසෙන වෛද්‍යවරයා මෙසේ සඳහන් කරයි :

“අපේ සර් අද දවල් කිව්වා හදිසි ගමනක් යනවා යමුද කියලා. මම නෝනට කිව්වහම එයා කිව්වා ඔයා යන්න, ගිහින් බලන්න, ගියාම ඔයාට ම සත්‍ය තේරෙයි කියලා. ඇත්තටම මම ආවේ, යමක් බලන්න තමයි. ඇත්තටම සත්‍ය තේරුණා දැන්. මට සත්‍ය තේරෙනවා. නෝනා විසින් මාව මෙතෙනට එවලා මට දඬුවම් දුන්නාද කියලා මට හිතෙනවා. මම දඬුවම් වින්දා. මින් ඉදිරියට සමහරවිට මෑණියන්ගේ මේ කර්තව්‍යයට වෛද්‍යවරු විරුද්ධ වුණත් මම ඒකට නැඟීසිටි කියලත් මම දැන් බලාපොරොත්තු වෙනවා උපරිමයෙන්. මම එහෙම විරුද්ධව කතා කරලත් නෑ කොහෙවත්. මම ෆේස් බුක් එකේ ෂෙයා කරා විතරයි. නෝනා මාව එව්වේ අම්මලටත් එක්ක පැණි ගේන්න කියලා. ඒ හින්දා මම දඬුවම් වින්දා. නෝනට පෙන්නන්න තමයි මම ඕක වීඩියෝ කෙරෙත්. ඒක නිසා මට සමාව දෙන්න. මින් ඉදිරියට එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ.”

+++++++++++++++++++++

නිරෝධායන නීති කැඩූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගැන පරීක්ෂණ

(22.01.2021 – 09:42 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිපද වූ කොරෝනා පැණිය බෙදා දීමේදී නිරෝධායන නීති රීති කඩවී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු බලධාරීන් කිහිප දෙනෙකුට ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙලෙස ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ධම්මික බණ්ඩාර මහතා කෑගල්ලේ පිහිටි සිය නිවසේදී ඊයේ (21) කොරෝනා පැණිය බෙදා හැරීමේදී නිරෝධායන නීති රීති කඩ කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු කඩිනමින් රැස් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++++++

කෑගල්ලේ ධම්මික බණ්ඩාර අත්අඩංගුවට ගත යුතුයි – දන්ත ශල්‍ය වෛද්‍යවරුන් කියයි

(22.01.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකුට කළ බව කියන පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය අද (22) ප්‍රකාශ කළා.

එසේ නොවන්නේ නම් ඉදිරියේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ.

ධම්මික බණ්ඩාරගේ පැණිය පානය කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට මෙන්ම තවත් කිහිපදෙනෙකුට පසුගියදා කොරෝනා වැළඳී ඇති බව පසුගියදා තහවුරු වුණා.

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල මහතා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයින්ද ඊට අයත්.

එසේම ධම්මික බණ්ඩාර විසින් අදාළ පැණිය අඩංගු බෝතලයක් රුපියල් දස දහසක (10,000) මුදලකට අලෙවි කරන බවට පසුගියදා මාධ්‍ය මගින් කරුණු අනාවරණ කළ අතර, ඉන් අනතුරුවයි ඊයේ (21) දිනයේදී ඔහු පුද්ගලයින් පිරිසකට නොමිලේ අදාළ පැණිය ලබාදීමට පියවර ගෙන තිබුණේ.

පසුගියදා ධම්මික බණ්ඩාර හමුවීමට ගිය වෛද්‍යවරයෙකුටද ඔහු ඇතුලු පිරිසක් පහරදී තර්ජනය කර තිබූ අතර, අදාළ වෛද්‍යවරයා ඒ පිළිබඳව පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක්ද සිදුකළ බවයි වාර්තාවූයේ.

අදාළ කරුණු සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන වරකාපොල – උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ (21) දිනයේ පිටත්වුණා.

ධම්මික බණ්ඩාර පෙරවරු 10 ට පැමිණෙන ලෙසට දැනුම්දී තිබුණද හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායම එම ස්ථානයට ළඟාවූයේ තරමක් ප්‍රමාදවීයි.

කෙසේ වෙතත් නිවසේ සිටි තරුණයෙකු කෑගල්ල හිරු වාර්තාකරු සාලිය ගමසිංහ මහතාට, ධම්මික බණ්ඩාර දුරකථනයෙන් සම්බන්ධ කරදුන් අතර, තමන් නිවසට පැමිණෙන තෙක් එහි රැඳී සිටින ලෙස ධම්මක බණ්ඩාර දැනුම්දී තිබුණා.

ඒ අනුව හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායම පැය කිහිපයක් නිවස ආසන්නයේ රැඳී සිටි අතර, පස්වරු 05:28 ට පමණ ධම්මික බණ්ඩාර අපගේ කණ්ඩායමේ සාමාජිකයෙකු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී ප්‍රකාශ කළේ තමන් අදාළ පැණිය බෙදාදීමට වරකාපොල පොලීසිය වෙත පැමිණි බවයි.

එසේම නිට්ටඹුව පොලීසියට යාමට නියෝගයක් ලැබී ඇති බව ප්‍රකාශ කළ ඔහු අදාළ සාකච්ඡාව ලබාදීමට කොන්දේසි රැසක් ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් දුරකථන ඇමතුම ලබාදී ටික වේලාවකට පසු ධම්මික බණ්ඩාර සිය සුඛෝපභෝගී රථයෙන් නිවසට පැමිණි අතර, නිවස තුළ සිටි තරුණයින් දෙදෙනෙකු (2) ඔහු පැමිණි විගසම ගේට්ටුව වසා දැමුවා.

ඇතුළතින් විශාල ලෑලි වැනි යමක් තබා ගේට්ටුවේ ඇති සිදුරුද වසා දැමුවේ පිටත සිටින පුද්ගලයින්ට නිවස ඇතුළත නොපෙනෙන පරිදියි.

අනතුරුව වරකාපොල පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු (2) පැමිණ ධම්මික බණ්ඩාරගේ නිවසට ඇතුලුවූ අතර, කෙටි වේලාවක් තුළදී ඔවුන් පිටතට පැමිණ හිරු ප්‍රවෘත්ති අංශයේ කණ්ඩායමට සඳහන් කළේ ධම්මික බණ්ඩාර මේ වනවිට අසනීප තත්වයක පසුවන බැවින් එම ස්ථානයෙන් පිටත්ව යන ලෙසයි.

අනතුරුව මේ සම්බන්ධයෙන් අප කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා වෙත දැනුම් දුන් අතර, ඒ සමගම වරකාපොල පොලීසියේ නිලධාරීන් දෙදෙනා (2) පැමිණි ජීප් රථයෙන් පිටත්ව ගියා.

අනතුරුව දැදිගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ පිටව යන අයුරු දක්නට ලැබුණා.

+++++++++++++++++++++

මගේ ජිවිතේ දැන් අනතුරේ – ධම්මික බණ්ඩාර මාව ප්‍රාණ ඇපයට ගත්තා : විශේෂ හෙළිදරව්ව මෙන්න

(23.01.2021 – am.lk)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර භාර ගත යුතු බව ඔහු කියා සිටී.

ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු තමන්ට පහර දුන් බවත් තම දරුවා මරා දමන බවට තර්ජනය කළ බවත් ඒ මහතා පැවසීය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

22-01-2021

+++++++++++++++++++++

වෛද්‍යවරයාට පහර දුන් බව ධම්මික බණ්ඩාර පිළිගනී – ප්‍රසිද්ධියේ සමාව අයැදීමටත් එකඟවේ

(23.01.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

තම නිවසට පැමිණි පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයාට පහර දුන් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර අද (23) කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේදී පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස පහර දුන්නේ තමා නොව කාලි ආරූඪ වීමෙන් බවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.

මෙලෙස ධම්මික බණ්ඩාරගෙන් පහර කා තිබුණේ පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍ය එස්.ඒ.ආර්. මද්දුමබණ්ඩාර මහතායි.

පසුගියදා ධම්මික බණ්ඩාරගේ නිවසට ගිය අවස්ථාවේදී තමන්ට ඔහු පහරදුන් බවට ද මෙම දන්ත වෛද්‍යවරයා පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

පසුව පැමිණිල්ල කෑගල්ල පොලීසියට මාරු කෙරුණු අතර, එම පැමිණිල්ල ඉන් අනතුරුව වරකාපොල පොලීසියට මාරුකර තිබුණා.

පසුව ඔවුන් විසින් එය කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ පවතින කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන කාර්යාංශයට යොමුකර තිබූ අතර, ඒ අනුවයි දෙපාර්ශවය අද (23) එහි කැඳවා තිබුණේ.

ධම්මික බණ්ඩාර විසින් අදාළ දන්ත වෛද්‍යවරයා විසින් තමා වරදක් කළ බවට පාපොච්චාරණය කරන වීඩියෝවක් ද පෙරේදා මාධ්‍යයට මුදා හැරියා.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ධම්මික බණ්ඩාර කියා සිටියේ තමා අදාළ වෛද්‍යවරයාට අවවාද කිරීමක් පමණක් සිදුකළ බවයි.

කෙසේ වෙතත් තමා විසින් වෛද්‍යවරයාට පහරදුන් බවත් බලහත්කාරයෙන් වෛද්‍යවරයා ස්වයං පාපොච්චාරණ සිදුකරන වීඩියෝවක් පටිගත කළ බව ධම්මික බණ්ඩාර අද (23) පොලීසියේදී පිළිගෙන තිබෙනවා.

මෙහිදී සිදුකළ වරදවල්වලට ධම්මික බණ්ඩාර මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ සමාව ගන්නා බවට ප්‍රකාශ කිරීම නිසා පැමිණිල්ල සමථයකට පත් කිරීමට කටයුතු කළ බවයි පහර කෑමට ලක්වූ වෛද්‍යවරයා සඳහන් කළේ.

සමථයකට පත්වීමෙන් අනතුරුව ධම්මික බණ්ඩාර විසින් මාධ්‍යයට අදහස් නොදක්වා තමාගේ සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයෙන් පොලීසියෙන් පිටව ගියා.

කොරෝනා වෛරසය මර්දනය වන බවට පවසමින් ධම්මික බණ්ඩාර විසින් පැණියක් නිපද වූ අතර, එය පානය කළ බොහෝ පිරිසකට කොරෝනා වෛරසය වැළදී තිබුණා.

ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන අන්දමට නිර්මාංශ වී, අදාළ පැණිය පානය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුම අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තමාට කොරෝනා වෛරසය වැළදුණු බවටයි.

එම පැණිය පානය කළ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට පසුගිය දා කොරෝනා වෛරසය වැළදුණු අතර, ධම්මික බණ්ඩාරගේ කොරෝනාවට එරෙහි බව පැවසෙන පැණිය පානය කළ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [4]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *