පිළිකා සඳහා ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයා ගැන ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

පිළිකා සඳහා ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයා ගැන ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

*********************************************

පිළිකා සඳහා ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයා ගැන ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

(03.01.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම දියස්යාය ප්‍රදේශයේ පිළිකා සඳහා ප්‍රතිකාර කළ ව්‍යාජ වෛද්‍යවරයා පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ හිරු CIA හරහා එම පුද්ගලයා පිළිබඳ හෙළි කළ තොරතුරු පදනම් කරගෙනයි.

***************************************

(03.01.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශවාසීන් භීතියට පත් කරමින් අම්පාර – කුඩුම්බිගල අභය භූමිය ආශ්‍රිතව සැරිසරන කොටියා සෙවීමේ මෙහෙයුම් වලට සහය වීම සඳහා වනජිවි දෙපාර්තමේන්තුවේ විශේෂ පශු වෛද්‍ය කණ්ඩායමක් අද (03) පිටත්ව යනවා.

පසුගියදා ආරම්භ කළ එම මෙහෙයුම් යුද හමුදාව සමඟ එක්ව අද (03) දිනයේත් ක්‍රියාත්මක බවයි වනජිවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කුඩුම්බිගල අභය භූමියේ කිලෝමීටර් 14 ක පමණ දුරකින් පිහිටි පාරම්පරික කුඹුරු යායක ගොවිතැන් කටයුතු වල යෙදුණු දෙදෙනෙකුට (2) මෙම කොටියා පසුගියදා පහරදී තිබූ අතර එහිදී 56 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට ද පත්ව තිබුණා.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වනවිට පොතුවිල් රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, මෙම සිද්ධිය මුල් කර ගනිමින් අම්පාර – පානම ප්‍රදේශවාසීන් පිරිසක් පෙරේදා (01) රාත්‍රියේ පානම වනජීවී කාර්යාලට හානි සිදුකර තිබුණා.

එහිදී ගම්වාසීන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ ෴

***************************************

(03.01.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – හිඟුල – මොල්ලිගොඩ ප්‍රදේශයේ කළුගල් කොරියක තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හතරදෙනා මේ මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය දෙසැම්බර් 20 වනදා කළුගල් ව්‍යාපාරිකයෙකු පොලීසියට පැමිණිලි කර තිබුණේ තම ගල් කොරියේ තිබූ ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ 15 ක්, වෝටර්ජෙල් ග්‍රෑම් 750ක්, ඩෙටනේටර් 20 ක්, වෙඩි බෙහෙත් නූල් මීටර් 35ක් සහ ගල් සිදුරු කරන උපකරණ කිහිපයක්ද අතුරුදන් වී ඇති බවටයි.

පසුව ඒ පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණා.

මෙම සිද්ධිය ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාවක් නොවන බව අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සේවකයෙකු කළ සොරකමක් ලෙස මෙය විමර්ශනවලදී අනාවරණවී ඇති බවයි ෴

***************************************

(03.01.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පවතින පොල් හිඟයත් සමඟ ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන් මුහුණදී ඇති ගැටලු අවම කර ගැනීම සඳහා ශීතකල පොල්මද ආනයනය කිරීමේ වැඩපිළිවෙල මේ සතියේ සිට ආරම්භ කරන බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ පී. එදිරිමාන්න මහතා කියා සිටියේ ඉන්දුනීසියාව, පිලිපීනය හා වියට්නාමය යන රටවලින් එලෙස ශීතකළ පොල්මද ආනයනය කිරීම ආරම්භ කරන බවයි.

පසුගිය වසරේ පැවති අයහපත් කාලගුණයත් සමඟ පොල් ඵලදාව අඩු වීම නිසා මේ වනවිට රට තුළ පොල් හිඟයක් මතුවී ඇති අතර, පොල් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා ෴

***************************************

(03.01.2021 – 09:03 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ අන්තරායකර තියුණු ආයුධ දෙකක් (2) සමඟ සැකකරුවෙකු වැල්ලම්පිටිය – සිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු පසුගිය 1 වනදා සිංහපුර ප්‍රදේශයේ නිවාස තුනකට (3) ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක් අනුව ආධාරකරුවෙකුද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

***************************************

(03.01.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

කොටදෙණියාව – කරබොටුවාව ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය උණුකරන කර්මාන්තශාලාවක බොයිලේරුවක් පුපුරායාමෙන් එහි සේවය කළ ඉන්දියානු ජාතිකයෙකු මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

අද (03) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේද ඉන්දීය ජාතිකයන් දෙදෙනක් (2).

ඉන්දියානු සමාගමක් මගින් අදාළ කර්මාන්තශාලාව පවත්වාගෙන යන අතර, පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් තුන්දෙනා (3) මීරිගම රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී එක් අයෙකු (1) මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා ෴

***************************************

(03.01.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව තිබෙනවා.

2010 ජනාධිපතිවරණ සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහය දැක්වූ උන්වහන්සේට කොළඹ මහාධිකරණය මගින් පසුගිය වසරේ ජූනි 1 වනදා ජීවිතාන්තය දක්වා මෙලෙස සිර දඬුවම් නියම කරනු ලැබුවේ ටී 56 වර්ගයේ ගිනි අවි සහ ජීව උණ්ඩ ළඟ තබාගැනීමේ චෝදනාවටයි.

උන්වහන්සේ වැඩ සිටි මාළිගාවත්ත – බෝධිරාජාරාම විහාරස්ථානයේ තිබී මෙම ගිනි අවි සොයාගැනුනු අතර, අත්බෝම්බ 50 ක්, ජීව උණ්ඩ 210 ක් පමණ ළඟ තබාගත් බවට උන්වහන්සේට චෝදනා එල්ලවූ නමුත් පසුව ඒවා ඉවත් කෙරුණා.

***************************************

(03.01.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

විවිධ වර්ගයේ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් නිවසේ සඟවාගෙන සිටි හිටපු වාරිමාර්ග ඉංජිනේරුවරයෙකු තංගල්ල දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙලිඅත්ත – තාරපේරිය – මිහිලුව ප්‍රදේශයේදී ඊයේ (02) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 72 හැවිරිදි දෙදරු පියෙක්.

ඔහුගේ නිවසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් (2), එම උණ්ඩ 30 ක්, ගල් කටස් වර්ගයේ ගිනි අවියක කොටස් කිහිපයක්, ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 15 ක්, මිලිමීටර 9 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 7 ක් ඇතුලු අවිආයුධ තොගයක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ අම්පාර – මහඔය ඇතුලු ප්‍රදේශවල රාජකාරි කළ සමයේ ගිනි අවිවලට ඇති ආශාව නිසා මේවා රැස් කර නිවසට රැගෙන ආ බවයි.

කෙසේ වෙතත් මෙම ගිනි අවි යොදාගෙන සැකකරු අපරාධ සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව තංගල්ල කොට්ඨාස දූෂන මර්දන ඒකකය සඳහන් කළා.

***************************************

(03.01.2021 – 13:28 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් යුක්රේනයේ සිට පැමිණි සංචාරකයින් කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද (03) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

(03.01.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

බඩ ඉරිඟු ඇතුළු වගාබිම් රැසකට හානි සිදු කරන සේනා දළඹුවන් පළමු වරට බලංගොඩ – කූරගල ප්‍රදේශයේ අමු මිරිස් වගා බිමකින් ද හමුවී තිබෙනවා.

මේ අතර, බදුල්ල – මීගහකිවුල – කැටවත්ත – ඌරුපිටිය ප්‍රදේශයේ වගා කර ඇති බඩඉරිඟු අක්කර 100 කට වැඩි ප්‍රමාණයක් ද සේනා දළඹු උවදුරින් විනාශ වී ඇති බවයි ගොවීන් කියා සිටියේ.

සේනා දළඹුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම රුවන්ඩාවෙන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති අතර එම කණ්ඩායමෙන් ලබා ගන්නේ තාක්ෂණ සහය පමණක් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අලුත්ගමගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එවන් පසුබිමකයි බලංගොඩ – කූරගල ප්‍රදේශයේ අමු මිරිස් වගාවට ද සේනා දළඹු උවදුරට ලක්වී ඇත්තේ.

***************************************

(03.01.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ඉපැරණි වටිනාකමින් යුත් කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති රජපිහිල්ල උද්‍යානයේ තිබූ විශාල ගස් 32 ක් මහ නගර සභාව විසින් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කපා දමා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

වසර 300 කට ආසන්න පැරණි මෙම ගස් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපදෙස් මත මෙලෙස කපා දමා ඇති බවටයි ප්‍රදේශයේ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන චෝදනා කරන්නේ.

මේ ඒ පිළිබඳව අදහස් දක්වන වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා, මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී රනුක සණංජය මහතා සහ කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා සඳහන් කළේ මෙම ස්ථානයේ විශාල පරිසර හානියක් සිදුවන බවයි.

රජපිහිල්ල උද්‍යානය විනාශයට එරෙහිව විරෝධය පළ කරන බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගෙන්ද විමසීමක් කළා.

රජපිහිල්ල උද්‍යානය සංවර්ධන කටයුත්තක් සිදුවන බවත් එහි ඇති අනවශ්‍ය ගස් කපා ඉවත් කිරීමක් පමණක් සිදුවන බවත් එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියා. විපක්ෂය මේ සම්බන්ධයෙන් අනවශ්‍ය චෝදනා සිදුකරන බවද කුරුණෑගල නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

(03.01.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

පොල්පිතිගම ප්‍රාදේශීය සභාවට අයත් මඩගල්ල ඉබ්බාගමුව ප්‍රධාන මාර්ගයේ අතුරු මාර්ගයක් වන මණ්ඩාපොල හරහා පලුගහකන්ද, ගැටඹුලායාය ගම්මානයට පිවිසෙන මාර්ගය දැඩි අබලන් තත්වයේ පවතිනවා.

වී ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් පවුල් 500 ක් පමණ මෙම ප්‍රදේශයේ ජීවත් වනවා.

පොල්පිතිගම සහ කුඹුක්ගැටේ යන නගරවෙත යාම සඳහා ඔවුන්ට මෙම අබලන් මාර්ගය භාවිත කිරීමට සිදුවී ඇති අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ අවුරුදු ගණනාවක සිට මාර්ගය ප්‍රතිසංස්කරණය කර නොමැති වීම මෙම තත්වයට හේතුව බවයි.

***************************************

(03.01.2021 – 14:44 +0530 – hirunews.lk/sinhala)

හිසට නිවහනක් සෑම දෙනෙකුගේම බලාපොරොත්තුවක්.

නමුත් ඒ සිහිනය සිහිනයක් ලෙසින්ම බොඳ වී යන ජීවිත ද අප අතර නැතුවාම නොවේ.

අනාගත අපේක්ෂාවන් අතරමග නැවතුනු මේ තරුණයාගේ ඉල්ලීම තමන්ගේ ඒ බලාපොරොත්තුව වෙනුවෙන් ඔබෙන් අස්වැසිල්ලක්.

***************************************

(03.01.2021 – 16:19 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (03) සිදුකළ වැටලීමකදී තණමල්විල ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වගා කර තිබූ ගංජා හේන් 03 ක් වටලා සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ වගා කර තිබූ ගංජා පැළ 17,000 ක් පමණ මෙම වැටලීම්වලදී සොයා ගත් බවයි ෴

***************************************

(03.01.2021 – 16:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකුට කොරෝනා ආසාදනයවී ඇති බව එහි ආරංචි මාර්ග පවසනවා.

මේ හේතුවෙන් සේවකයින් ගෙන්වා ගැනීම සීමාකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කෙසේ වෙතත් එම ආයතනයේ කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යන බවයි.

මේ අතර අද (03) දිනයේදී තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමද දිවයිනට පැමිණියා ෴

***************************************

(03.01.2021 – 16:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 28 වනදා මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයින් ඉදිරි දින කිහිපය තුළ දී දඹුල්ල හා මහනුවර යන ප්‍රදේශවල ද සංචාරය කිරීමට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළා.

ඔවුන් හෙට (04) පොළොන්නරුව සංචාරක ව්‍යාපෘතියට අයත් පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළදා මළුව, ශිව දේවාලය අංක දෙක, රන් කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහෙර මෙන්ම ගල් විහාරය වෙත පැමිණෙන බැවින් පස්වරු 1 න් පසු එම ස්ථාන දේශීය සංචාරකයින් හට විවෘත නොකරන බවයි එම අරමුදල කියා සිටියේ.

මීට අමතරව අනිද්දා (05) මෙම සංචාරකයින් සීගිරිය සංචාරක කලාපය නැරඹීමට පැමිණෙනවා.

එම නිසා එදින මධ්‍යහන 12 දක්වා එම කලාපය ද දේශීය සංචාරකයින් සඳහා විවෘත නොකරන බව මධ්‍යම සංස්කෘතික අරමුදල කියා සිටියා ෴

***************************************

(03.01.2021 – 17:35 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හෙට (04) ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිතයි.

එහි පළමු අදියර ලෙස නිවාස 3000 ක් ඉදිකරන බවයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය සඳහන් කර සිටියේ.

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

නියමිත ප්‍රමිතියට අනුකූලව වඩාත් ආකර්ෂණීය ලෙස මෙම නිවාස සාදා නිම කරන ලෙසට නිවාස විෂය භාර අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර නිවාස නොමැති මධ්‍යම පාන්තික පවුල්වල ජනතාවගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුන්ට සරිලන ආකාරයෙන් මෙම නිවාස ඉදිකරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ප්‍රථම අදියර යටතේ මධ්‍යම පාන්තිකයින් වෙනුවෙන් ඉදිකෙරෙන මෙම නිවාස ඒකක කොළඹ දිස්ත්‍රික්කයේ ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, මාලඹේ, මාකුඹුර සහ බොරලැස්ගමුව ප්‍රදේශවල ද ගම්පහ දිස්ත්‍රික්කයේ පෑලියගොඩ ප්‍රදේශයේ ද මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ යන ප්‍රදේශවල ද ඉදිකිරීමට නියමිතයි.

මෙම නිවාස ව්‍යාපෘතියේ විකුණුම් මිල තීරණය කිරීම සඳහා ඉඩම්වල මිල ඇතුළත් නොකරන අතර ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා බදු සහන ලබාදීම සිදුකරනු ඇති.

මේ අතර වසර 25 ක කාලයකට රජයෙ බැංකු විසින් 6.25% ක පොළි අනුපාතයක් යටතේ ගැණුම්කරුවන්ට ණය පහසුකම් ලබාදීම තුළින් මෙම නිවාස මිලදී ගැනීමට අවස්ථාව ද හිමිවනවා.

තරුණ වෘත්තිකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන් සහ මධ්‍යම පාන්තිකයින් ඉලක්කරගෙන මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වනවා ෴

===========================================

(03.01.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් ඉලක්ක කර ඊයේ (02) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 108 කින් එක් ආසාදිතයෙකු (1) පමණක් හදුනාගෙන තිබෙනවා.

මෙතෙක් සිදුකර ඇති අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගණන 13,137 ක් වන අතර ඉන් ආසාදිතයින් 103 ක් හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

එම ආසාදිතයන් 103 දෙනා සමග සිටි සමීප ආශ්‍රියන් 604 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.

තවදුරටත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

එමෙන්ම බස්නාහිර පළාතේ පිහිටි මත්ස්‍ය වෙළඳසැල් ආශ්‍රිතව ද තවදුරටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකෙරෙනවා.

ඊයේ (02) දිනයේදී එම සේවකයන් 23 දෙනෙකු පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර මේවන විට පරීක්ෂණ 180 ක් පමණ සිදුකර තිබෙනවා.

මත්ස්‍ය වෙළඳසැල් ආශ්‍රිතව හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ ෴

++++++++++++++++++++++

(03.01.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

අද (03) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ විදේශ ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 358 දෙනෙකු ගුවන් යානා 12 කින් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මගීන් 148 දෙනෙකු සහ ජපානයේ සිට මගීන් 48 දෙනෙකු ලෙසයි.

එමෙන්ම තවත් මගීන් 279 දෙනෙකු මෙම කාලය තුළ යානා 7 කින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ මාලදිවයින වෙත මගීන් 48 දෙනෙකු සහ කටාර් වෙත මගීන් 53 දෙදෙනෙකු බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ ෴

+++++++++++++++++++++

(03.01.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

ටෙස්ට් තරග දෙකකට (2) සහභාගිවීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අද (03) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

අප වාර්තාකරු සඳහන් කළේ බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් ඔවුන් පැමිණි බවයි.

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගැනුනු නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් එරට සිට දිවයිනට පැමිණෙන සියළු ගුවන් යානා නවතා දැමීමටයි පසුගිය දා කටයුතු කළේ.

කෙසේ වෙතත් අද (03) දිවයිනට පැමිණි එංගලන්ත කණ්ඩායම මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කරමින් සිටින බවයි මත්තල ගුවන් තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.

අනතුරුව ඔවුන් හම්බන්තොට හෝටලයක දින 7 ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට ද නියමිතයි.

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පළමු තරගය ජනවාරි 14 වනදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

එම තරග දෙකම (2) පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

[ සේයාරූ ]

ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ඇතුලු පිරිසට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් පැමිණි බ්‍රිටිෂ් එයාර්වේස් යානයේ සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනාද ඊට ඇතුළත්.

ඊට අමතරව ක්‍රිඩකයින් ඇතුලු ඔවුන් සමඟ පැමිණි 40 දෙනෙකුද ඒ අතර සිටින බවයි මත්තල ගුවන් තොටුපලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැනස්බර්ග් හිදී මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ටෙස්ට් වරම් දිනාගත්තා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටිනවා ෴

++++++++++++++++++++

(03.01.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසිදු කිරීමේ නිරත කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මීට පෙර එම ප්‍රාදේශිය සභාවේ ගණකාධිකාරිවරයාට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ 150 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ.

එහිදී පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත අක්මීමන – නියාගම පදිංචි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඒ ආශ්‍රිත 15 දෙනෙකුද නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම ගාල්ල – කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විෂබීජහරණයට ලක් කළ බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කළා ෴

+++++++++++++++++++++++

(03.01.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට (04) සිට වැඩි කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 64 ක්,

මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර 74 ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර 12 ක් සහ උතුරු දුම්රිය මාර්ගයේ ගමන් වාර 6 ක් මෙන්ම පුත්තලම මාර්ගයේ ගමන් වාර 26 ක් මෙම සතියේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කළේ.

මෙම ගමන් වාර දුම්රිය කාලසටහනට එක් කර ඇති අතර, දුර ගමන් සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළා ෴

++++++++++++++++++++

අනිල් ජාසිංහ, ‘දූවිල්ලෙන් සැදුණු ලිය’ හා කුරාණය

(03.01.2021 – Nalin de Silva FB)

සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට විරුද්ධ බවක් දැන ගන්න නැහැ. කොහොමත් අනිල් ජාසිංහ වෙද මහතා හඳුන්වා දුන් පැණියක් නැහැ. බටහිර වෙද මහතුන් බටහිරින් එන පැණි නම් නියම කරනවා.

මා හිතන්නේ එකල සෝවියට් දේශයට ගිය සිසුන් කාටත් අපෝහක ද්‍රව්‍යවාදය හදාරන්න සිදු වෙන්න ඇති. මිථ්‍යා ගැනත් සමහර විට උගන්නන්න ඇති. සෝවියට් දේශයේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික සාම්ප්‍රදායික වෙදකම තියෙන්න ඇති. ඒත් ඒ වෙදකම් යුක්රේනයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගැන්නුවා ද යන්න සැක සහිතයි. සෝවියට් දේශය අංක එකේ බටහිර විද්‍යා රටක්. ඔවුන්ට විද්‍යාව ආගමක්.

බොහෝ දහම්වල ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ දැනුම් පද්ධතිය පමණක් හරිය කියා ඇදහීම. වෙනත් දැනුම් පද්ධතිවලට තැනක් නැහැ. සමහර රටවල රෝහල්වල බටහිර වෙදකම සමග තමන්ට ආවේණික වෙදකම් ද කිරීමට අවසර තියෙනවා. එහෙත් බොහෝ රටවල තත්වය එසේ නො වෙයි.

අනිල් ජාසිංහ බටහිර වෙදකමට සම්බන්ධ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ව හිටියා. දැන් පැණිය බටහිර රෝහල්වල ඊනියා සායන නැහැසුම් වලට භාජනය කරන්න යනවා. අනිල් ජාසිංහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ව හිටිය නම් කුමක් වෙන්න තිබුණ ද? ඔහු කොවිඩ්-19 මුල් අවධියෙහි යම් සේවයක් කළා. ඒ බටහිර වෙදකම පැත්තෙන්. ඒ දවස්වල පැණිය ප්‍රසිද්ධ වෙලා තිබුණෙ නැහැ.

ජාසිංහ කතා කරන්නෙ අධිපති මතවාදයෙ නියෝජිතයෙක් ලෙස. බටහිර විද්‍යාව අද ක්‍රියා කරන්නෙ ආධිපත්‍ය මතවාදයක් හිසේ දරා ගෙන. එය දැන් වෙනත් බොහෝ ආගම්වලින් එකක් වගේ. ජාසිංහ ඒ දවස්වල බටහිර වෙදකමේ ‘ආච්බිෂොප්වරයෙක්’.

ලංකාවෙ පඬි නැට්ටන් නම් කියන්නෙ මේ රටේ තියෙන්නෙ සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් කියල. මුස්ලිම් කොවිඩ් ආදාහනයත් ඒ ස්වොත්තමවාදය නිසා ඇති වූවක් බවයි කියන්නෙ. ඒත් කලකට පෙර ‘මේ සිංහල අපගෙ රටයි’ කියන ගීය ගැයීම අර ස්වොත්තමවාදයට පයින් ගහල නතර කෙරුණා. ඒත් අපි තාමත් ‘දූවිල්ලෙන් සැදුණු ලියේ බාලොලියේ’ ගීතය ගායනා කරනවා. වෙද හාමිනේ අප අතිනුත් අගය කෙරී තියෙනවා. මා හිතන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි එයට පළමු අනුග්‍රහය ලැබුණෙ කියල.

අප කවුරුන්වත් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතයෙ තියෙන්නෙ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක් නිසා එය තහනම් කරන්න කියල. එහෙමත් නැත්නම් ජයන්ත චන්ද්‍රසිරිගෙන් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතය ඉවත් කරන්න කියල. ඝරසර්ප චිත්‍රපටයෙ සංස්කෘතික පසුබිම මොකක් වුණත් අප එය අගය කළා. එහෙත් හඳගම වැන්නන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන විට අප ඒවාට තනි තට්ටෙන් යන්න පහර දුන්න.

දූවිල්ලෙන් තමයි දෙවියන් වහන්සෙ මිනිසා මැවුවෙ. දූවිල්ලෙන් සැදුණු ලිය එන්නෙ එතැනින්. දූවිල්ලෙන් දූවිල්ලට අළුවලින් අළුවලට. මේ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක්. අද මුස්ලිම් බැතිමතුන් අතර ප්‍රශ්නයක් ඇති කෙරිල ආදාහනය පිළිබඳ ව. එය දේශපාලනඥයන්ගෙ වැඩක්. ඔවුන් තම දේශපාලන බලය රැක ගැනීමට මුස්ලිම් බැතිමතුන් උගස් තියනවා. මා කුරාණයත් බයිබලයත් කියවල තියෙනවා. ඒත් සූත්‍ර පිටකයෙ සූත්‍ර කිහිපයක් පමණයි කියවල තියෙන්නෙ. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. සූත්‍ර පිටකයෙ හරය මට වැටහෙනවා. මා බෞද්ධයකු ලෙස පෙර භවවලත් ඉන්න ඇති.

මට බටහිර වෙදකම මත පදනම් වෙලා ආදාහන ප්‍රශ්නය ගැන කතා කරන්න ඕන නැහැ. බටහිර වෙදකම කොවිඩ්-19 ගැන දන්න ඉටි ගෙඩියක් නැහැ. ඒත් රෝගය පැතිරීම වැළැක්වීමට අප ක්‍රියා කරන්න ඕන. භූමදානය නිසා රෝගය පැතිරීමට ඉඩක් තියෙන බවට අඩු තරමෙන් සැකයක් තියෙනවා. සැකය නැති වූ දාක භූමදානයට කවුරුත් එකඟ වේවි. මා ආගමික විශ්වාසවලින් පහර දෙන්නෙ බටහිර විද්‍යාවට පමණයි. ඒ ඔවුන් එය ආගමක් නොවන බව කියන නිසා.

මුස්ලිම් බැතිමතුන්ට ආදාහනය කළ පමණින් ස්වර්ගයට යෑම ප්‍රශ්නයක් වෙනවා කියා මා හිතන්නෙ නැහැ. කුරාණයෙ අල්ලා දෙවියන් වහන්සේ තමයි ජීවිතය දෙන්නෙ, මරණයට පත් කරන්නෙ, පුනරුත්ථානය කරන්නෙ. කුරාණයෙ 36:79 පාඨයෙ අහනව අස්ථි දිරාපත් වුණාට පස්සෙ ජීවය දෙන්නෙ කවුද කියල. එයට පිළිතුර අල්ලා දෙවියන් වහන්සෙ කියන එකයි. 37:17 පාඨයෙත් එවැන්නක් කියනවා. භූමදාන කළත් ආදාහන කළත් මේ සිරුර විනාශ වෙලා යනවා. පිරමිඩ්වල තියල තියෙන සිරුරු හැර අපට බලන්න පුළුවන් සිරුරු කීය ද තියෙන්නෙ. ලෙනින්ගෙ සිරුර තාම තියෙනවා ද? භූමදානය කළත් ආදාහනය කළත් සිරුරු එක්කෝ දූවිලි වෙනවා නැත්නම් අළු වෙනවා. ‘දූවිල්ලෙන් සැදුණු ලිය’ මිය ගිහින් අවුරුදු කිහිපයකින් අපට හොයා ගන්නවත් බැහැ. ඒ තැන්වල තිබුණු ගසුත් මැරිල ගිහින්. ඒත් භූමදානය කළත් ආදාහනය කළත් ආත්මය නැතිවෙන්නෙ නැහැ. බෞද්ධයන් කලබල වෙන්න ඕන නැහැ මා ආත්මයක් ගැන කතා කරනව කියල.

මේ නැති නොවන ආත්මය අර පුනරුත්ථාන දිනයෙදි සුර දූතයන් දෙදෙනකු අල්ලා දෙවියන් වහන්සේ ළඟට එක්ක යනවා. කුරාණයෙ 50:21 ඒ බව කියැවෙනවා. 50:18 තවත් කතාවක් කියනවා. සුර දූතයන් දෙදෙනා පුද්ගලයාගෙ දෙපසින් ඉඳන් හොඳ නරක ලියා ගන්නව කියල. බෞද්ධයන් අතරත් එවැනි කතා තියෙනවා. ආත්මයක් නැති වුණා ට චිත්ත පරම්පරාවක් තියෙනවා. මා කලින් කිවුවට මා පෙර භවවල බෞද්ධ වෙලා නැහැ. චිත්ත පරම්පරාවෙ බෞද්ධ කමක් තියෙනවා.

ආදාහනය කළාට අල්ලා දෙවියන් වහන්සේ මවපු ආත්මය පිච්චෙන්නෙ නැහැ. එහෙම නම් අර බෝම්බ පුපුරවාගෙන මැරුණු හාදයන්ගෙත් ආත්ම පිච්චෙන්න ඕන නෙ. දෙවියන් වහන්සෙ මවපු දේ මිනිසුන්ට නැති කරන්න බැහැ. කොයි එකටත් තව සැරයක් නිවාඩු පාඩුවෙ කුරාණය කියවන්න ඕන ෴

(‘නැහැසුම් සෑහුම් ක්‍රමය’ = trial and error method)

++++++++++++++++++++++

කොවිඩ් දේහ සමාජ ප්‍රශ්නයක් කළේ රජය – පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(03.01.2021 – 19:14 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ආසාදිත දේහ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සමාජ ප්‍රශ්නයක් බවට පත්කළේ රජය විසින් බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

උන්වහන්සේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධ තීරණය කිසිදු අන්තවාදි බලවේගයකට යටත් නොවී ගතයුතු බවය.

“කොරෝනා වෛරසය තාම අපි හඳුනගෙන අවසාන නෑ. කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳ විද්‍යාඥයින්ටත් තාම හරියට අවබෝධයක් නෑ. මේක තාම ලෝකයට අලුත්. ඒ නිසා මේ පිළිබඳව ගතයුත්තේ ජාතිවාදීන්ට හෝ අන්තවාදීන්ට යටත් වෙච්ච තීරණ නෙමෙයි,” යනුවෙන් ද පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පෙන්වා දුනි.

+++++++++++++++++++++++

(03.01.2021 – 16:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 535 දෙනෙකු අද (03) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 37,000 ඉක්මවා ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ එය මේ වනවිට 37,252 ක් ලෙස දැක්වෙන බවයි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 6908 ක් ෴

හුදෙකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් හෙට (04) අලුයම පහේ (05:00) සිට හුදෙකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

++++++++++++++++++++++

(03.01.2021 – 18:04 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 215 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

මේ අතර කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 535 දෙනෙකු අද (03) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *