ඊයේ (03) හඳුනාගත් ආසාදිතයිගෙන් වැඩිම පිරිසක් කොළඹින් – පලාගිය රැඳවියන් සිව්දෙනා (4) සොයා තවදුරටත් මෙහෙයුම්

ඊයේ (03) හඳුනාගත් ආසාදිතයිගෙන් වැඩිම පිරිසක් කොළඹින් – පලාගිය රැඳවියන් සිව්දෙනා (4) සොයා තවදුරටත් මෙහෙයුම්

*********************************************

ඊයේ (03) හඳුනාගත් ආසාදිතයිගෙන් වැඩිම පිරිසක් කොළඹින් – පලාගිය රැඳවියන් සිව්දෙනා (4) සොයා තවදුරටත් මෙහෙයුම්

(04.01.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන සංචාරක කණ්ඩායම අද (04) සහ හෙට (05) පොළොන්නරුවේ සහ සීගිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කොරෝනා වෛරසය හමුවේ බිද වැටී ඇති සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීම සඳහා දියත් කර ඇති නියමු ව්‍යාපෘතියට අනුවයි මෙම සංචාරක කණ්ඩායම පසුගිය දා දිවයිනට පැමිණියේ.

ඔවුන් අද (04) පස්වරුවේ පොළොන්නරුව සංචාරක කලාපයේත් හෙට සීගිරිය සංචාරක කලාපයේත් සංචාරය කිරීමට සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ අද (04) සහ හෙට (05) සිදු කෙරෙන සංචාරයන් අත්හිටුවා ඇති බවට අදාළ නියමු ව්‍යාපෘතිය සිදුකරන සංචාරක අමාත්‍යාංශය දැනුම්දී ඇති බවයි.

මෙරටට පැමිණි යුක්රේන ජාතික සංචාරකයන් අටදෙනෙකුට (08) කොරෝනා ආසාදනය වී ඇති බවට මීට පෙර හඳුනාගැනුනා.

එමෙන්ම අදාළ සංචාරක කණ්ඩායම ප්‍රවාහනය කළ යාල ජාතික වනෝද්‍යානයේ සෆාරි ජීප් රථ රියදුරන් 28 දෙනෙකු ද නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

කෙසේ වෙතත් අදාළ නිරෝධායන ක්‍රියාවලියට සෆාරි ජීප් රථ රියදුරන් දැඩි විරෝධයක් පළ කළ අතර, ඇතැම් සංචාරකයන් යාල සංචාරය අතරතුර මුව ආවරණ පවා නොපැළඳ සිටි අවස්ථා දක්නට ලැබුණා.

මතුව ඇති මෙම තත්වයන් සම්බන්ධයෙන් සහ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශවල සහභාගීත්වයෙන් අද (04) පස්වරුවේ සංචාරක අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, යුක්රේනයේ සිට තවත් 95 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අදත් (04) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඊයේ (03) දිනයේ වාර්තාවූ මෙරට ආසාදිතයන් 403 දෙනා අතරින් වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම් 81 දෙනෙකු වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

බස්නාහිර පළාතෙන් බැහැරව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් ඊයේ (03) වාර්තාවී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ආසාදිත සංඛ්‍යාව 56 ක්.

ගම්පහින් 30 දෙනෙකු, කළුතරින් 27 දෙනෙකු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු ඊයේ (03) වාර්තාවී තිබෙනවා.

එමෙන්ම හඳුනා නොගත් ප්‍රදේශ වශයෙන් වෙන් නොකළ තවත් 85 දෙනෙකුද ඊයේ (03) වාර්තාවූ ආසාදිතයන් අතර වන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දෛනිකව නිකුත් කරන වාර්තාවේ දැක්වෙන්නේ.

මේ අතර මහනුවර මහ නගර සභාවේ ලේකම් අංශයේ සුළු සේවකයෙකුට කොරෝනා ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් එම අංශය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණා.

අදාළ සේවකයාගේ පුත්‍රයා විදේශගතවන අවස්ථාවේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් නගර සභා සේවකයාට ද සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකිනුයි ඔහු ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

එමෙන්ම ගාල්ල – උණවටුන ප්‍රදේශයේ රෙදි පිරිසිඳු කිරීමේ ආයතනයක සේවකයෙකුට කොරෝනා ආසාදිත බවට ඊයේ (03) තහවුරු වූ බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.

පසුගිය දෙසැම්බර් 28 වනදා ද එම ආයතනයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනුනු අතර, මේ දක්වා හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තාවී ඇති මුළු ආසාදිත සංඛ්‍යාව 11 ක්.

මේ අතර, පොළොන්නරුව – ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පසුගිය 31 වනදා අලුයම පලාගිය රැඳවියන් පස්දෙනා (5) අතරින් 4 දෙනෙකු තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

ඔවුන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මාලිගාවත්ත එන්.එච්.එස්. මහල් නිවාස සංකීර්ණය හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මාස තුනකට (3) ආසන්න කාලයක් පනවා තිබූ හුදකලා භාවය ඉවත් කරන ලෙස ඉල්ලා මෙම නිවාස සංකීර්ණයේ පිරිස් ඊයේ (03) විරෝධතාවකද නිරත වුණා ෴

++++++++++++++++++++

(04.01.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් නිවේදනයක් නිකුත් කිරීම එහි මහ සභාවේ මෙන්ම විධායක සභාවේ ද අනුමැතියක් තොරව සිදුකර ඇති බවට ‘සිංහලේ අපි ජාතික සංවිධානය’ පවසනවා.

එහි මහලේකම් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් කෑගල්ල ප්‍රදේශයේ අද (04) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ දේශපාලන අරමුණු පදනම් කරගෙන වෛද්‍ය සංගමය මෙලෙස කටයුතු කරන බවයි.

එමෙන්ම, වෛද්‍ය සංගමයේ සාමාජිකයින් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුවේ සාමාජිකයින් වීම ද ගැටළුකාරී තත්ත්වයක් බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මේ අතර, කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් නිර්දේශ කිරීම සඳහා තමා විසින් කමිටුවක් පත් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි.

එහෙත් කොවිඩ්-19 සම්බන්ධයෙන් මුල් කාලීනව පැවති වෛද්‍ය විශේෂඥ මතයන් වෙනස් විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව එවැනි මතයන් ඉදිරිපත් විය හැකි බව ද ඇය අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

එමගින් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ තවදුරටත් දක්වා ඇත්තේ එවැනි තත්ත්වයන් පිළිබදව අධ්‍යයනය කර තමන්ට විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වෛරස් විශේෂඥයින් සහ වෛද්‍ය විශේෂඥයින් වෙත දන්වා ඇති නමුත් කොවිඩ් මරණ ආදාහනය හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කිසිදු කමිටුවක් තමන් විසින් පත් කර නොමැති බවයි.

කෙසේ වෙතත්, කොරෝනා පාලනය කිරීමේදී ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද, මිත්‍යා මතවාද පදනම් කරගෙන කිසිවිටෙක තීන්දු නොගත යුතු බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කරන ලද කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය වන බවයි සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ෴

+++++++++++++++++

(04.01.2021 – 14:23 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සංචාරකයින් ඇතුළු සියළු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වන දායින් පසු ගුවන් තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළා.

දැනට යුක්රේන සංචාරකයින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන බවයි කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++++

(04.01.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 50 වටිනාකමකින් යුත් පී.සී.ආර්. යන්ත්‍රයක් අද (04) ප්‍රධානය කර තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වනතෙක් රත්නපුර රෝහල මගින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇත්තේ පහතරට තේ පර්යේෂණ ආයතනයෙන් සහ සබරගමුව විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් උපකරණ භාවිතා කරමින්.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල ධන පරිත්‍යාගයෙන් පී.සී.ආර්. යන්ත්‍රයක් රත්නපුර ශික්ෂණ රෝහලට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ස්ථාපිත කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ රසායනාගාරය මාස 5 ක කාලයක් තුළ පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂයක් සිදුකර තිබෙනවා.

එම රසායනාගාරයේ සේවය කරන පිරිස ඇගයීම සඳහා වැඩසටහනක් ද ගුවන් තොටුපළ ශ්‍රවණාගාරයේ අද පැවති බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ ෴

===========================================

(04.01.2021 – 11:39 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ සිට බලන්ගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් හල්දුම්මුල්ල – වල්හපුතැන්න ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා ළමයින් 07 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඉන් කිහිප දෙනෙකු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යැවුණේ දියතලාව මුලික රෝහලටයි.

හපුතලේ – ලිප්ටන් සීට් නැරඹුම් මධ්‍යස්ථානය වෙත ගොස් ඊයේ (03) රාත්‍රියේ නැවත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා ෴

***************************************

බටහිර මුහුදේ නාවික හමුදා මෙහෙයුමකින් රුපියල් කෝටි 60 කට අධික මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04 ක් නීතියේ රැහැනට

(04.01.2021 – navy.lk/si/)

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජනවාරි 04) දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමේ රජයේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් මුහුදු මාර්ගයෙන් සිදු වන මත් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව මුර සංචාර වැඩි කර දැඩි අවධානයෙන් මුර සංචාර සිදු කරනු ලබයි. ඒ අනුව, පසුගිය දා ගාල්ල දොඩංන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ අතර, එලෙසින්ම බටහිර නාවික විධානය විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එහි උර 09 ක ප්ලාස්ටික් ඇසුරුම් හා පැකට් වශයෙන් සූක්‍ෂමව අසුරා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 60 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

සියළුම බුද්ධි සේවාවන් සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සමඟ සහයෝගීත්වයෙන් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හලාවත තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේද සහය ලැබුණි.

තවද, කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය තොගය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සියළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා මුර සංචාර තව දුරටත් වැඩිකරමින් නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් සිදු කරනු ලබයි.

[ සේයාරූ 14 ක් ]

+++++++++++++

‘කොණ්ඩ රංජි’ මෙහෙයවූ රුපියල් කෝටි 130 මත්ද්‍රව්‍ය ජාවාරම

(04.01.2021 – 19:10 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 130 ට වැඩි වටිනාකමට මිල කරන ලද අයිස් සඑ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 214 ක් සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශ අද (04) සමත්වුණි.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ බන්ධනාගාරගතව සිටින ‘කොණ්ඩ රංජි’ නම් පුද්ගලයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වා ඇති බවය.

මීගමුවට හා මාරවිලට කිලෝමීටර 25 ක පමණ දුරින් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අද (04) මෙම මත්ද්‍රව්‍ය වැටලීම සිදුකෙරිණි.

මෙහෙයුම දියත් කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය, නාවික හමුදාව සහ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඒකාබද්ධව ය.

මාසයක පමණ කාලයක් ඒකාබද්ධව සිදුකළ එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද (04) මෙම මත්ද්‍රව්‍ය තොගය සිය බාරයට ගනු ලැබුවේ බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබියදී ය.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 126 ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 88 ක් එහිදී සොයාගත් අතර ඒ සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු (4) ද අත්අඩංගුවට ගැනුණි.

පොලීසිය පැවසුවේ මාරවිල තෝඩුවාව ප්‍රදේශයේ පදිංචි මෙම ධීවර යාත්‍රාවේ හිමිකරු, එය මෙහෙයවූ පුද්ගලයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවටගත් බවය.

පාකිස්තාන ජාතිකයෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය මෙරටට එවා ඇති අතර මෙහි ප්‍රධාන ගැණුම්කරු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙක් බව හෙළි වී තිබේ.

+++++++++++++

***************************************

(04.01.2021 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් අද (04) නීතිපති දප්පුල ලිවේරා මහතා වෙත සංදේශයක් භාර දුන්නා.

ඒ, ටෙක්නිකල් මං සන්ධියේ සිට විරෝධතා පා ගමනකින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් අනතුරුවයි.

සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනී අනූෂා ජයන්ති මහත්මිය කියා සිටියේ ඊ.ටී.අයි. ආයතනයේ සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කොමිසමේ නිර්දේශයන්ට අනුව තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු විය යුතු බවයි.

***************************************

(04.01.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට දේශපාලන පක්ෂ අතර ගැටලු පවතින බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් පළ කිරීම යුක්ති සහගත නොවන බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබෙන අඩු සැලකිලි පිළිබඳව එහි හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පළ කළා.

***************************************

(04.01.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සඳහා වගකිවයුතු සියලුදෙනාටම නිසි දඬුවම් කඩිනමින් ලබාදෙන්නැයි පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ ජනතාව රජයෙන් ඉල්ලීමක් කරනවා.

ඔවුන් මේ අදහස් පළ කළේ මීගමුව – කටුවාපිටිය දේවස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

(04.01.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට සිදුකළ දේශපාලන අතපෙවීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

***************************************

(04.01.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

රටේ පරිපාලන ව්‍යූහය සඳහා හමුදා නිලධාරීන් යෙදවීම බරපතල තත්ත්වයක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළා.

***************************************

(04.01.2021 – 14:12 +0530 – hirunews.lk/sinhala)

මාතර නගරයේ ක්‍රියාත්මක වූ බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමේ ජාවාරමට සම්බන්ධ තවත් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ජාවාරම මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් විසින් වටලනු ලැබුවේ ‘හිරු CIA’ සිදුකළ අනාවරණයකට අනුවයි.

පැතුම් මල් ගණිකා නිවාසය – පොල්හේන, මාතර

***************************************

(04.01.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුල්ම සිංහල පුවත්පත මුද්‍රණය කළ මුද්‍රණ යන්ත්‍රය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ හබරාදූව – කතලුව පිහිටි ඓතිහාසික රන්වැල්ල විහාරස්ථානයේදීයි.

***************************************

(04.01.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

මිනිසාගේ මූලික අවශ්‍යතාවන් අතර හිසට සෙවනක් යන්නද ප්‍රධාන අංගයක්.

එහෙත් එම අයිතිවාසිකමට උරුමකම් කියන්න නොහැකිවූ අසරණවූ පවුලක් පිළිබඳ අපට වාර්තා වූයේ ඇල්පිටිය හිපන්වත්ත දියපරදූව ප්‍රදේශයෙන්.

දක්ෂිණ අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි මේ ඉටිකොළ පැල්පතේ මව්පියන් වාසය කරන්නේ දියණියන් තිදෙනෙකු (3) ද සමගින්.

වසර ගණනාවක සිට කුලී නිවාසවල ජීවත්ව සිටිමින් පසුව විවිධ රෝගාබාධවලින් අසරණවීම හේතුවෙන් කුලී ගෙවා ගත නොහැකිව ඔවුන්ට අවසානයේ හිමීවී ඇත්තේ මහ ඟමයි.

***************************************

(04.01.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

තිරිඟු පිටි ආනයනය කරන මුවාවෙන් මෙරටට ගෙන්වූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා කහ කිලෝග්‍රෑම් 7500 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

රුපියල් එක්කෝටි පනස් පන් ලක්ෂයක් (1,55,00,000) වටිනා තිරිඟු පිටි කිලෝග්‍රෑම් 19,350 ක් ගෙන්වන මුවාවෙන් මෙම කහ තොගය ගෙනවිත් ඇති අතර, එහි තිබී තිරිඟු පිටි කිලෝග්‍රෑම් 11,850 ක් ද සොයාගත් බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉන්දියාවේ සිට මේවා ආනයනය කර ඇත්තේ මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්.

ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

[ සේයාරූ ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *