119 ට ව්‍යාජ තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු 18 තෙක් රිමාන්ඩ්

119 ට ව්‍යාජ තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු 18 තෙක් රිමාන්ඩ්

*********************************************

119 ට ව්‍යාජ තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු 18 තෙක් රිමාන්ඩ්

(07.01.2021 – 10:10 +0530 – hirunews.lk/sinhala)

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

දෙහිවල – කල්දේරා පාරේ පදිංචි 40 හැවිරිදි මෙම සැකකරු චේතනාන්විතව පොලිසිය නොමග යවා ඇති බවටයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා :

***************************************

(07.01.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

වැඩිමහල් පුත්‍රයා එල්ල කළ පොලු පහරකින් බරපතල තුවාල ලැබූ පියා, මුත්තනුවන් සහ මිත්තනියන් රෝහල් ගතකිරීමේ පුවතක් මීගහකිවුල ප්‍රදේශයෙන් වාර්තාවනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරු ඊයේ (06) අලුයම ඔවුන් පදිංචි නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

මොවුන් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර පිණිස බදුල්ල මහ රෝහලට මාරුකර යැවුණා ෴

***************************************

(07.01.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තුන්දෙනා (3) සහ සැකකාරිය හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම නඩුව මේ මස 19 වනදා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිත බවයි ඔහු කියා සිටියේ ෴

+++++++++++++++++++

උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතන සිද්ධියට තවත් 4 ක් අත්අඩංගුවට

(07.01.2021 – 10:30 +0530 – sinhala.adaderana.lk)

හංවැල්ල, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති හිමිනම පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබේ.

මිරිහාන විශේෂ විමර්ශන ඒකකය සහ හංවැල්ල පොලීසිය විසින් සිදු කළ විමර්ශනයේදී ඊයේ (06) දිනයේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව මේ වනවිට සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුලු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සිව් දෙනෙකු අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මීටපෙර අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තුන්දෙනා (3) සහ සැකකාරිය (1) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.

උඩුවිල ධම්මසිරි හිමියන් සහ එහි සාමණේර භික්‍ෂුවකගේ මව සමඟ බහින්බස්වීමක් සිදුව ඇතිබව එම සිද්ධිය පිළිබඳව සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ.

පොලිසිය පැවසුවේ, එම බහින්බස් වීමෙන් පසුව සාමණේර හිමිගේ මව තම අනියම් සැමියා යැයි පැවසෙන පුද්ගලයෙක් ඇතුළු දස දෙනෙකු (10) ගෙන් පමණ සමන්විත සන්නද්ධ පිරිසක් ආරණ්‍ය සේනාසනයට පසුගිය 2 වැනිදා පැමිණ උඩුවිල හිමියන්ට පහරදී පැහැරගෙන ගොස් ඇති බවය.

ඔවුන් එම පැහැරගත් හිමිනමව ගෙනැවිත් ඇත්තේ, කඩවත පිහිටි දෙමහල් නිවසකටය.

එහිදී සාමණේර හිමිගේ මව හා ඇයගේ අනියම් සැමියා සිදුකළ දරුණු පහරදීමකදී කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති වහන්සේ අපවත්වී ඇති බව වාර්තා වේ.

ඉන්පසු උන්වහන්සේගේ සිරුර කොටදෙණියාව නාවාන පොදු සුසාන භූමියේදී පුළුස්සා තිබේ.

එය චීවරධාරියෙකුගේ දේහයක් බව හඳුනාගෙන ඇත්තේ, පිළිස්සුණු සිරුරේ රැඳී තිබූ සිවුරු කොටසකිනි ෴

***************************************

(07.01.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ විස්සකට (20) ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.

මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ඊයේ (06) සිදුකළ වැටලීමකදී මෙම අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව සඳහන්.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 197 යි මිලිග්‍රෑම් 340 ක් සොයාගෙන ඇති අතර, සැකකරුවෙකු නොමැතිව සිය භාරයට ගත් එම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම පොලීසියට භාරදී තිබෙනවා ෴

***************************************

(07.01.2021 – 08:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මුල්ලේරියාව – කැළණිමුල්ල පාලම අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ (06) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරු කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙම ගිනි අවිය ළඟ තබාගෙන ඇති බවටයි සැක පලකරන්නේ.

මොහු මීට පෙර, 2005 වසරේ කැළණිය – පට්ටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ප්‍රින්ස් කොලම්’ගේ සමීපතම ආධාරකරුවෙකු වන ‘වීරසිංහ ආරච්චිලාගේ සංඛ’ නොහොත් ‘ලාරා’ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී සිරදඩුවම් නියමව නිදහස් වූ අයෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එමෙන්ම මෙම සැකකරු 2018 වසරේ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ චෝදනාවට ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාළව ඔහුට කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ද විභාගවෙමින් පවතිනවා ෴

***************************************

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය වෙනුවෙන් නව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කෙරේ

(07.01.2021 – army.lk/si/)

අතිගරු ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතිය ගොඩනැගීමේ කාර්යභාර්ය යථාර්තයක් බවට පත් කරමින්, රටේ කෘෂිකර්මික අංශය නව මඟකට ගෙනයන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් බ්‍රහස්පතින්දා (07) දින නව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කරන ලදී.

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ ජෙනරල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් කඳනආරච්චි විසින් කරන ලද ආරාධනයට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණිමෙන් අනතුරුව නව බලකාය ස්ථාපිත කිරීමේ උත්සව කටයුතු ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන්, යුද්ධ හමුදාධිපතිතුමන් කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් අඛණ්ඩව සිදුකළ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සොයබැලීමට මෙහිදී ප්‍රදර්ශනය කර තිබු ආදර්ශ කෘෂි ව්‍යාපෘති නිරීක්‍ෂණය කළේය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යභාර්ය පිළිබඳ වාර්තාමය කෙටි විඩියෝ පටයක් මෙහිදී ප්‍රදර්ශනය කෙරිනි. ඉන් අනතුරුව පිළිගැනීමේ දේශනය සිදුකළ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් කඳනආරච්චි, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත ජාතිය ගොඩනැගීමේ කර්තව්‍ය පුළුල් කරමින් කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘතින් පිළිබඳ කෙටි විස්තරයක් සිදු කළේය.

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය යටතේ නාගරික අලංකරණය, පැළ රෝපණය කිරීම, වැව් ප්‍රතිසංස්කරණය, ව්‍යායාම මංතීරු ඉදිකිරීම, පොදු පහසුකම් සංවර්ධනය, මාර්ග ඉදිකිරීම ඇතුළු විවිධ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හමුදාවේ හැකියාවන් විදහා දක්වමින් ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයට නව බලකායන් ස්ථාපිත කිරීමේ අභිලාෂය පෙරදැරීව මහඟු මෙහෙවරක් ඉටුකරන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කිරීම සඳහා වූ ලේඛණයට අත්සන් තැබීය.

ඉන් අනතුරුව, ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතිය යටතේ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති කෘෂිකාර්මික ව්‍යාපෘති මාලාව ඇතුළත් පොතේ පිටපත් මේජර් ජෙනරල් කඳනආරච්චි විසින් යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සමභාවනීය ආරාධිතයින් වෙත මෙහිදි පිළිගැන්විණි.

මෙහිදි සියලුදෙනා ආමන්ත්‍රණය කරමින් මෙම බලකාය ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සඳහා සහය දක්වන ගමනේදී, තවත් අභියෝගයක් ලෙස හමුදාවට සිය බහුවිධ හැකියාවන් විදහා දැක්වීමේ සහ සියලු ගොවිජන පාර්ශවකරුවන් සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කිරීමේ ආකර්ෂණීය කීර්තිය ද අත්කරගැනීමට ත්‍රිවිධ හමුදාව කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම කටයුතු භාරදී ඇති බව පැවසීය.

නව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය ස්ථාපිත කිරීම තුළින් කෘෂි සම්පත් මධ්‍යස්ථාන පිහිටුවීම, ශිතාගාර පහසුකම් ඇති කිරිම, මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය දියුණු කිරීම, ත්‍රිවිධ හමුදා කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මුලිකත්වයෙන් ගොවිජන අංශ තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා උපරිම සහාය ලබාදීමට අපේක‍්ෂා කෙරේ.

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය යුද්ධ හමුදාව සතු භූමි ප්‍රමාණයන් ප්‍රයෝජනයට ගනිමින් නවීන තාක්‍ෂණය හා දැනුම උපයෝගි කරගනිමින් කෘෂි හා සත්ත්ව නිෂ්පාදන ඉහළ නැංවීමට කන්දකාඩු, මැණික්ෆාම්, වෙල්ලම්කුලම්, ගල්කන්ද, පලටුපාන, ආඩ්යාපුලියන්කුලම්, බලල්ල සහ නිරාවිය යන ප්‍රදේශයන්හි යුද්ධ හමුදා ගොවිපලවල් ස්ථාපිත කර ඇත. මේ වනවිට භටපිරිස් තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතිය යටතේ සහල් නිෂ්පාදන, අක්කර 1,000 කින් යුත් පොල් වගා, අක්කර 500 කින් යුත් TEJC අඹ වගා, අක්කර 2000 කජු වගා, අක්කර 200 කින් යුත් මිරිස් වගා, ගව පාලනය (ජිවානුහරිත කල්කිරි, යෝගට්, මුදවාපු මිකිරි), ලේයර් සතුන් 100,000 කින් යුතු බිත්තර නිෂ්පාදන, දේශිය කැලෑ සලාක මළු නිෂ්පාදනය, ලූණු නිෂ්පාදන, තක්කාලි සෝස් නිෂ්පාදන, කොම්පෝස්ට් නිෂ්පාදනය සහ කහ පැළ 100,000 වගා කිරීම ආදී ව්‍යාපෘතින් රැසක් යුද්ධ හමුදා ගොවිපලවල් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇත.

නව බලකාය ස්ථාපිත කිරීමේ අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටම්පිටිය, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

[ සේයාරූ 27 ක් ]

***************************************

(07.01.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීමේ චෝදනාව මත දොම්පේ පොලීසියේ අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔහු සමඟ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල ප්‍රදේශයේදී අනෙක් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴

***************************************

(07.01.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

සියළු වතු රෝහල් රජයට පවරා ගැනීමට කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් මේ වන විට යොමු කර ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴

***************************************

(07.01.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

චෝදනා එල්ල වී සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළ ඉල්ලීමක් පිළිබඳව පෙබරවාරි මස 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයා වෙත නොතීසි නිකුත් කළා.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ඉදිරිපත් වූ මෝසමක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහාමඩ් මිහාර් විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සමාගමට අදාළ නීතිඥ ගාස්තු ගෙවීම සඳහා මුදල් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් සිය බැංකු ගිණුම් මේ වනවිට තහනමට ලක් කර ඇති හෙයින් එම මුදල් සපයා ගැනීමට නොහැකි වී ඇති බවත් ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ මුදල් ලබා ගැනීම සඳහා සිය ගිණුම් වලට පනවා තිබෙන තහනම ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන ලෙසයි එම නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ෴

***************************************

(07.01.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදීයි.

මෙම හමුවේදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් හුවමාරු වූ බවයි සාකච්ඡාවෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේ.

මේ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී අද (07), ලංකා වතු කම්කරු කොංග්‍රසයේ සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජිතයින්, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජෙයිශංකර් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා ෴

***************************************

(07.01.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන්ගේ සෞඛ්‍යරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ගිවිසුම් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (07) අත්සන් තබනු ලැබුවා.

ඒ අනුව ප්‍රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ පැවති ගිවිසුම ලබන දෙසැම්බර් 1 වනදා දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

මීට පෙර මෙම ගිවිසුම අත්සන් කර තිබුණේ 2020 මැයි 31 වනදා සිට 2020 සැප්තැම්බර් 30 වනදා දක්වායි.

එමෙන්ම පසුගිය වසරේ මැයි මස 30 වන දිනෙන් පසු සිදුවීම්වලට අදාළ සුරක්ෂා ප්‍රතිලාභ දීමනා ලබාගැනීම් සඳහා අදාළ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ෴

***************************************

(07.01.2021 – 14:08 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික වටිනාකමින් යුත් රජපිහිල්ල උද්‍යානයේ ඉපැරණි ගස් කපා දැමීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් ඊයේ (06) කුරුණෑගල නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වුණා.

මෙම උද්‍යානයේ තිබූ ගස් 28 ක් කපා දැමීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ කුරුණෑගල මහ නගර සභාවටයි.

මේ අතර, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ද රජපිහිල්ල උද්‍යානය ඊයේ (06) නිරීක්ෂණය කළා.

***************************************

(07.01.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවත් එය රැක ගැනීම සඳහා කටයුතු කළයුතු බවත් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කොළඹදී කැඳවා තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

+++++++++++

***************************************

(07.01.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala)

නීති ක්‍රියාත්මක වීමේදී ජනතා අවශ්‍යතාවන් කෙරෙහිද අවධානය යොමුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අරලිය ගහ මන්දිරයේදී ‘ගම සමඟ පිළිසඳරක්’ තුළින් ‘වැඩ සමඟ යළි ගමට’ වැඩසටහනට අද (07) එක්වෙමින්.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තවත් මැති ඇමතිවරුන් රැසක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද එක්ව සිටියා.

***************************************

(07.01.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ලද විගස ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැදිහත් වුණා.

+++++++++

==============================================

(07.01.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනයට ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග යම් සාර්ථක මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත රාසියා පෙන්සර් මහත්මිය ප්‍රකාශ කළා.

ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ මෙරට කොරෝනා තත්වය පාලනය කළ හැකි මට්ටමක තිබෙන බවයි.

කෙසේ වෙතත් පසුගිය සමයේ ඇතිවූ කොරෝනා පොකුරු තුළින් වෛරසයේ ව්‍යාප්තිය කොතරම් ඉක්මණින් වෙනස් වනවාද යන්න අවබෝධ වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව වෛරස් ප්‍රභේද මගින් කොරෝනා වෛරසයේ කාලීන වෙනස්කම් පිළිබඳව බරපතල පණිවුඩයක් ලබාදුන් බවට අමතක නොකළ යුතු බව ඇය කියා සිටියා ෴

++++++++++++++++++++

(07.01.2021 – 12:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙරටට පැමිණෙන සියළු සංචාරකයින් සිය රටින් පිටවීමට පැය 96 කට පෙර කොවිඩ් ආසාදිත නොවන බවට පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් තහවුරු කර ගත යුතුයි.

ඔවුන් රුපියල් ලක්ෂ 50 කට නොඅඩු වූ කොවිඩ් ආවරණ සහිත රක්ෂණාවරණයක් ද ලබා ගත යුතු වන අතර මෙරට දී පී.සී.ආර්. පරීක්ෂණ දෙකකට (2) හෝ තුනකට (3) පෙර ගෙවීමක් ද සිදුකළ යුතු වනවා.

මීට අමතරව රැදී සිටින කාලය තුළ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු අතර ඔවුන් සියළු දෙනාට පළමු දින 14 සිය හෝටල් තුළම රැදී සිටීම ද අනිවාර්ය වනවා.

සංචාරක මඟ පෙන්වන්නන්, රියදුරන් සහ සහායකයින්ද පූර්ණ ලෙස ආරක්ෂිත උපාංගවලින් සැරසී සිටිය යුතු වන අතර එසේ නොමැති වන අවස්ථාවලදී ඔවුන් දින 14 ක් නිරෝධායනය කළ යුතුයි.

මේ අතර, යුක්රේනයේ සිට තවත් සංචාරකයන් 183 දෙනෙකු අද (07) මත්තල ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි අතර, එරට සිට පැමිණි පස්වන (5) කණ්ඩායම මෙය වනවා.

මේ අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමේ ගුවන් ගමන් ඉදිරි සතියේ සිට ඉහළ නංවන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ එලෙස ගෙන්වන ශ්‍රී ලාංකිකයන් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි.

එම මාර්ගෝපදේශ සංග්‍රහය පහතින් :

+++++++++++++++++++++

++++++++++++++++++++++

(07.01.2021 – 12:47 +0530 – hirunews.lk/sinhala)

තවත් යුක්‍රේන සංචාරකයින් 183 ක් රැගත් ගුවන්යානයක් මත්තල ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා ෴

++++++++++++++++++++++

(07.01.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල නගරයේ පිහිටි තානායමේදී මියගොස් සිටි රත්නපුර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ සමඟම දඹුල්ල පොලීසියේ, දඹුල්ල මහ නගර සභාවේ, දඹුල්ල රෝහලේ මෙන්ම මෙම පුද්ගලයා මියගොස් සිටි තානායමේ සේවකයින්ද නිරෝධායනයට යොමුකළ බවයි නාගරික සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

40 හැවිරිදි මියගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ සිරුර ඊයේ (06) සොයාගැනුනු අතර, සියදිවි නසාගැනීමක්ද යන්න පරීක්ෂණ පැවැත්වෙන අතරතුර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහිදීයි මෙම පුද්ගලයාට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වුණේ.

මේ අතර මාතර මහ රෝහල ආසන්නයේ පිහිටි පෞද්ගලික උපස්ථායක සේවා ආයතනයක සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මාතර මහ රෝහලේ අක්ෂි රෝග වාට්ටුවක ප්‍රතිකාර ලැබූ රෝගියෙකුගේ සාත්තු සේවය සඳහා ඇය නැවතී සිට ඇති අතර, එම රෝගියා කොළඹ අක්ෂි රෝහල වෙත ඊයේ (06) මාරුකළ අවස්ථාවේ සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයෙන් අදාළ සේවිකාව ආසාදිත බවට හඳුනාගෙන තිබුණා.

ඒ අනුව එම සේවිකාව සේවය කරන පෞද්ගලික උපස්ථායක සේවා ආයතනය තාවකාලිකව වසා දමා එහි කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

එමෙන්ම ආසාදිත කාන්තාව විසින් රැක බලාගත් රෝගියා නතර වී සිටි මාතර මහ රෝහලේ 15 වන වාට්ටුවේ රෝගීන්ද එම වාට්ටුව තුළම නිරෝධායනට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර කෑගල්ල ප්‍රදේශයේ දානමය පිංකමකට සහභාගිවූ සිව්දෙනෙකු (4) පසුගිය හතරවනදා (04) ආසාදිතයන් බවට හඳුනාගැනීමෙන් පසු සිදුකළ පී.සී.ආර්. සහ ‘රැපිඞ් ඇන්ටිජන්’ පරීක්ෂණවලින් ඊයේ (06) තවත් ආසාදිතයන් 17 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට පටහැනිව මෙම දානමය පිංකම පවත්වා ඇති බවයි කෑගල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක මහතා කියා සිටියේ.

මේ අතර ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර අංශයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ගාල්ල – කොටුවේ පෞද්ගලික බැංකුවක සේවය කරන පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනුනා.

බෝපේ – පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මාම්පිටිය ප්‍රදේශයේ පදිංචි මොහු පසුගියදා ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර, කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට සහ පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගැනීමට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසකට ඊයේ (06) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.

ඊයේ (06) වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 522 ගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා. එම සංඛ්‍යාව 206 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (06) ආසාදිතයන් 97 ක්, කළුතරින් 81 ක්, ගාල්ලෙන් 28 ක්, කුරුණෑගලින් 27 ක්, අම්පාරෙන් 24 ක්, පොළොන්නරුවෙන් 17 ක්, කෑගල්ලෙන් 13 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 12 දෙනෙකු වශයෙන් වාර්තාවී තිබෙනවා.

මේ අතර ගතවූ පැය විසි හතර (24) තුළ කොරෝනා ආසාදිතයන් 780,857 දෙනෙකු අලුතින් හඳුනාගැනීමත් සමඟ ලොව පුරා සමස්ත ආසාදිත සංඛ්‍යාව 87,619,505 ක් දක්වා ඉහළ ගියා.

සමස්ත මරණ සංඛ්‍යාවද 1,890,786 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව මරණ 14,121 ක් වාර්තාවීමත් සමඟයි.

ගතවූ පැය විසි හතර (24) තුළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම් 260,973 ක් ඇමරිකාවෙන් වාර්තාවී තිබෙනවා.

එරට සිදුව ඇති දෛනික මරණ සංඛ්‍යාව 4,100 ක්.

එමෙන්ම නව කොරෝනා වෛරසය පැතිර යන බ්‍රිතාන්‍යයෙන් අලුතින් ආසාදිතයන් 62,322 ක් හමුවී ඇති අතර, ගතවූ පැය විසි හතර (24) තුළ එරටෙහි සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

++++++++++++++++++++

(07.01.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට වෛරස් පිළිබඳ විශේෂඥවරුන් පිරිසක් රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට වාර්තාවක් ලබාදී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව මෘත දේහ ආදාහනය කරන්නේ ද, භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පවත්වන විශේෂඥ කමිටුවට අදාළ වාර්තාව ලබාදෙන බවයි ඇය සඳහන් කළේ.

+++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *