බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ

*********************************************

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිතයෙක් ශ්‍රී ලංකාවේ

(13.01.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මෙලෙස එම නව වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායම සිදුකළ පර්යේෂණවලදී තහවුරු වී ඇති බවයි.

මේ අතර, ඊයේ (12) දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 588 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 158 ක්. ඉන් 38 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ බියගම ප්‍රදේශයෙන් වන අතර, දොම්පේ ප්‍රදේශයේද කොරෝනා අවදානම ඉහළ ගොස් ඇති බවයි එහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ.බණ්ඩාර මහතා කියා සිටියේ.

ඊයේ (12) දිනයේදී මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් 147 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබූ අතර, ඉන් 33 ක් වූ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොල්ලුපිටියෙන්.

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43 දෙනෙකු ඊයේ (12) වාර්තා වී තිබූ අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ ආසාදිතයින් සංඛ්‍යාව 41 ක්.

මේ අතර, මොණරාගල ප්‍රදේශයේ බැංකුවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඇයගේ ආශ්‍රිතයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (13) පෙරවරුවේ ආරම්භ කෙරුණා.

ඒ අනුව මේ වනවිට කාර්ය මණ්ඩලයේ සියයකට ආසන්න පිරිසකගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම සිදුකෙරුණු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද පැමිණ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාදී තිබෙනවා.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන්නේ.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීම මේ වනවිට පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා යළිත් අද (13) දිනයේ සිට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් සිදුකිරීම ආරම්භ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර තෛපොංගල් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සමරන ලෙස සෞඛ්‍ය බලධාරීන් සහ හින්දු ආගමික පූජකයින් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

++++++++++++++++++

(13.01.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 21 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීම සඳහා මේ වනවිට සියයට 90 ක වැඩ කොටසක් අවසන් බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (12) එක්වෙමින්.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් කරමින් සහතිකයක් ද ලබාදී තිබෙනවා.

ඒ ගුවන්තොටුපලේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සහ ඒ වෙනුවෙන් ගෙන ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාපිලිවෙත් ඇගයීමට ලක් කරමින්.

පසුගිය 11 වනදා ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාට ලබා දුන් එම සහතිකය ඊයේ (12) ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා වෙත පිළිගැන්වුණා.

++++++++++++++++

++++++++++++++++

(13.01.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් 463 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (13) සිදුකෙරුණා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර, ඔවුන් ජනවාරි මස 05 වැනිදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට පැමිණ තිබුණා.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනාගත් ගත් අතර, පසුව ඔවුන්ට ස්වයං නිරෝධායනයට ලක්වී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස දැනුම් දුන්නා ෴

+++++++++++++++

(13.01.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 646 ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43,267 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය කියාසිටියේ.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6026 ක් වන අතර, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 49,537 ක් ෴

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(13.01.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවේ චූදිතයන් පස් දෙනා (5) නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද (13) නියෝග කළා.

ඒ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. සුසෙයිදාසන් අද (13) උදෑසන එම නියෝගය නිකුත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුවයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී ඝාතනයට ලක්වුණා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදායි.

පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු පසුගිය වසරේ නොවැම්බර් 24 වනදා ඇප මත මුදා හැරුණා.

***************************************

(13.01.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

වනජීවී නිලධාරීන් සිදුකළ වැටලීමකදී මුව මස් සන්තකයේ තබාගත් හමුදා සැරයන්වරයෙකු සහ සෙබලුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු (2) ද වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිවිල් පුද්ගලයන් 7දෙනෙකු වැටලීමේදී පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.

ලුණුගම්වෙහෙර දෙමලිය ප්‍රදේශයේ වන රක්ෂිතය තුල සිදුකළ හදිසි වැටලීමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සතුව තිබූ වියලි මුවමස් කිලෝ 2.5 ක්, මුවමස් කිලෝ 58 ක්, තරාදියක්, යතුරුපැදියක්, පිහියක් වනජීවී භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් පැමිණි ත්‍රිරෝදරථයක් සහ යුද හමුදා ජීප් රථයක් ද එහිදී වනජීවීභාරයට ගෙන තිබෙනවා.

නීති විරෝධීව මුව මස් සන්තකයේ තබාගෙන විකිණීම සදහා සුදානම් කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

අපකළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය විසින් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ෴

***************************************

(13.01.2021 – 12:30 +0530 – hirunews.lk/sinhala)

ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කර ඇති බැවින් මල්වතුඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව, අවධානයෙන් පසුවන ලෙසටයි එම මධ්‍යස්ථානය මල්වතු ඔය අවට පහත්බිම් වල වාසය කරන ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර, උතුර, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට අද (13) පස්වරුවේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා ෴

***************************************

(13.01.2021 – 12:39 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල 40 කණුව ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු (2) රැගෙනයමින් තිබූ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක (1,20,00,000) පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ලකා පළාගොස් තිබෙනවා.

එම කාන්තාවන් දෙදෙනා (2) ගමන්කරමින් සිටි මෝටර් රථය හරස් කළ තවත් මෝටර්රථයකින් පැමිණි පිරිසක් මෙලෙස රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් විසින් අදාළ කාන්තාවන් සතුව තිබූ පවුම් 120 ක් පමණ බරැති රන් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ලකා පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී සැකකරුවන් විසින් කාන්තාවන් ගමන්කරමින් සිටි රථය පසුපස ලුහුබැඳ පැමිණ ඔවුන් බියගන්වා මෙලෙස රන් භාණ්ඩ පැහැරගෙන ඇති බවයි එම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට තොග සහ සිල්ලර වෙළඳසැලක හිමිකරුවෙකුගේ බිරිඳකගේ රන් භාණ්ඩ තොගයක් මෙලෙස කොල්ලකා ඇති බවයි වාර්තාවන්නේ.

ඇය එම ව්‍යාපාරිකයාගේ දෙවන බිරිඳ බවටත් මීට මාස කිහිපයකට පෙර ඔවුන් විවාහ වී ඇති බවටත් විමර්ශනවලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පැමිණිලිකාරිය ගෙන් මෙන්ම ඇය සමග පැමිණි ඥාති කාන්තාවගෙන්, මංකොල්ල කෑ බව කියන කාන්තාවගේ සැමියා සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ ෴

***************************************

(13.01.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු ලබන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ අද (13) ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙහිදී යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අය අතර, කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ බිරිඳ ද සිටින බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

(13.01.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත ඔන්ලයින් ලොතරැයියක් අතරමැදියෙකු හරහා අලෙවි කිරීම හේතුවෙන් රුපියල් මිලියන 673 ක මුදලක් මහපොල භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබෙනවා.

මෙය මහපරිමාණ දූෂණයක් වන බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයා දැනුවත්කොට විධිමත් පරීක්ෂණයක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලෙස කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ.එම්.භද්‍රානි ජයවර්ධන මහත්මිය වෙත දැනුම්දී තිබෙනවා.

පසුගිය 8 වනදා කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා නැගූ ප්‍රශ්නවලට මහපොල අරමුදලේ අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර පිළිතුරු ලබාදුන්නා.

***************************************

(13.01.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක, මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ වෙනම කාමරයක් තුල මේ වනවිට රඳවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ බන්ධනාගාර ගත වූවන් සම්පූර්ණ කළ යුතු අනිවාර්ය නිරෝධායන කටයුතු සඳහායි. එහි දින 14 ක් රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට පී.සී.ආර්. පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ඔහු වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන එන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඒකමතික තීන්දුවක් ලෙස බරපතල වැඩ සහිත සිව් (4) වසරක සිරදඩුවම් නියම කළේ සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

මේ අතර, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සහ ඔහුට සිරදඬුවම් නියම වීමෙන් අහිමිවන මන්ත්‍රී ධුර පුරප්පාඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමගි ජනබලවේගය ලබන සඳුදා (18) පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.

සිය පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ නීතිඥවරුන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

සිරදඩුවම් නියම වීමෙන් පසු අහිමිවන රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරයට ගම්පහ දිස්ත්‍රික් ඡන්ද මනාප ලැයිස්තුව අනුව, සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අජිත් මාන්නප්පෙරුමයි.

හිරු ප්‍රවෘත්ති අංශ ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ පක්ෂය විසින් තමන්ට ඒ පිලිබඳව මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් සිදුනොකළ බවයි.

+++++++++++++++++

(13.01.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

උසාවියට අගෞරව කරනවා නම් එතනින් එහාට රටක පැවැත්මක් නොමැති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

රිදීගම රම්බඩගල්ලේ පිහිටි විසිතුරු මත්ස්‍ය අභිජනන හා පුහුණු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පසුගිය යහපාලන රජය විසින් රටට වැඩ කළ මිනිස්සුන් සිරගත කර ව්‍යාපෘති වලින් හොරකම් කරමින් මහ බැංකුව දෙවතාවක් කැඩූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු :

“ඇත්ත වශයෙන්ම මම කණගාටු වෙනවා. මොකද මම කවුරුත් හිරේ යනවට කැමති නැහැ. යහපාලන ආණ්ඩුවෙන් බොරු පැමිණිලි බොරු සාක්ෂි හදලා, විනිශ්චයකාරතුමන්ලාට කතා කරලා එෆ්.සී.අයි.ඩි. යට කතා කරලා මොනතරම් අපරාධ කළාද පහුගිය අවුරුදු පහේ (5). රටට වැඩ කරපු මිනිස්සු හිරේ දාලා ව්‍යාපෘති වලින් හොරකම් කළා. මහ බැංකුව එක වතාවක් නෙමෙයි දෙවතාවක් කඩලා හොරකම් කළා. ආර්ථිකය විනාශ කළා. අපි හොඳට අත්දැකීම් ලබපු අය. අපිට තියෙන ශක්තිය නිසා තමයි අපි මේවට එඩිතරව මුහුණ දුන්නෙ. රන්ජන් රාමනායක ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. මට කියන්න තියෙන්නේ එක දෙයයි. එතුමාගේ ආණ්ඩුව කාලයේ තමයි මේකට විරුද්ධව නඩු දැම්මේ. අපහාස කරන එකේ සීමාවක් තියෙන්න ඕනේ. අපි කවදාවත් අපහාස කළේ නෑ. අපි හැමදාම උසාවියට ගෞරව කළා. අපි උසාවි පටන් ගන්නකොටම උසාවිය ඇතුලට ගිහින් ඉන්නවා. තාමත් යනවා මම. මට නඩු එකොළහක් (11) දැම්මා තව හතරක් (4) තියෙනවා ඒ නිසා උසාවියට අගෞරව කරනවා නම් එතනින් එහාට රටක පැවැත්මක් නැහැ. හැබැයි ගැහුවෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි අපේ ආණ්ඩුවටයි හිටපු අග්‍රවිනිශ්චයකාරතුමිය අයින් කෙරුවා කියලා උසාවියට ඇඟිලි ගැහුවා කියලා. හැබැයි අපි එහෙම කෙරුවේ නැහැ. අපි රටේ නීති අනුව තමයි ඒක පාර්ලිමේන්තුවෙන් කළේ. ඔවුන් තමයි නීතිය අවනීතිය කෙරුවේ. මොහාන් පීරිස් අයින් කෙරුවෙ අසාද් සාලි ගිහිල්ලා තර්ජනය කරලා. ඒවා ගැන හොයන්න ගත්තොත් ගොඩක් අය හිරේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය හා මනුස්සකම නිසා තමයි ගොඩක් අය බේරිලා ඉන්නේ. හැබැයි රන්ජන් රාමනායක මහත්තයා හිරේ ගියේ උසාවියට අපහාස කරලා. විනිශ්චකාරවරුන්ට දුරකථන ඇමතුම් දීලා, තව ඒවා හුඟක් තියෙනවා හොයනවා නම්. මම නම් කණගාටු වෙනවා ඇත්තටම. මම කවුරුත් හිරේ යනවට කැමති වෙන කෙනෙක් නෙවෙයි.”

++++++++++++++++

***************************************

(13.01.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 32 කට අධික මුදලක් උපයා ගැනීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන මාර්තු පළමුවනදා (01) සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළා.

ඒ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

අදාළ නඩුව පසුගිය දිනවල කැඳවීමට නියමිතව තිබුණ ද කොරෝනා ව්‍යාප්තිය හමුවේ එය කල් දැමුණා.

ඒ අනුව, මේ සඳහා දින නියම කළ විනිසුරුවරයා, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යොමු කිරීමට ද නියෝග කර තිබෙනවා ෴

***************************************

(13.01.2021 – 14:22 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් මඩකලපුවේ සිට හම්බන්තොට සහ ගාල්ල හරහා පුත්තලම දක්වා මුහුදේ සුළං වේගය ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහිදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

ඒ හේතුවෙන් ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

උදෑසන කාලයේදී දකුණු පළාතේ වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

(13.01.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

විරෝධතාවක් හේතුවෙන් කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය මහවැව නගරයෙන් අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පැය 2 කට ආසන්න කාලයක් එම මාර්ගය අවහිරව පැවති බවයි.

***************************************

(13.01.2021 – 14:31 +0530 – hirunews.lk/sinhala)

නාගරීකරණය, ජනගහනය අධික වීම, මිනිස් සමාජයේ අවශ්‍යතා වැවිඩීම හා ඉඩකඩ සීග්‍රයෙන් ඇහිරී යාම වැනි කරුණු මත අද වන විට දිවයිනේ ප්‍රධාන නගර බොහොමයක කැලි කසළ ගැටලුව දැඩි අර්බුදයක් බවට පත්ව තිබෙනවා.

දිනෙන් දින උග්‍රවන මේ ගැටලුවට ලෝකයේ දියුණු රටවල් සාර්ථක විසඳුමක් ලෙස අනුගමනය කරනු ලබන්නේ කසළ ප්‍රතිචක්‍රීයකරණයයි.

අපේ රට තුළද අවස්ථා ගණනාවදී කැලි කසළ ගැටලුවට විවිධ පැලැස්තර යෙදුවද එය අද දක්වා සාර්ථක වී නොමැති බවට තවත් එක් කදිම උදාහරණයක් මේ.

බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩා සංකීර්ණය මෙන්ම බදුල්ල උද්භිත උද්‍යානය මධ්‍යයේ දිනෙන් දින ලියලන මෙම කසළ කන්ද අද වනවිට නගරයටම දැඩි සෞඛ්‍ය මෙන්ම පාරිසරික ගැටලු රැසක් මතුකරනවා.

***************************************

(13.01.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය බලපෑම් එල්ල කළේ මෙරට ජනතාවගේ සෞඛ්‍යයට පමණක් නොවේ බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය මාර්ගයන්ට ද මේ වසංගතයෙන් බලපෑම් මතුවුණා.

මේ විමසා බැලීම කොවිඩ් වසංගතය හමුවේ සිය ජීවනෝපාය මාර්ගයන්ට බලපෑම් එල්ල වූ නිර්මාණකරුවන් පිරිසක් පිළිබඳවයි.

***************************************

(13.01.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8.26 ක ආධාරයක් පිරිනමා තිබෙනවා.

යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අධිකරණ, ආහාර සුරක්ෂිතතා හා දේශගුණික විපර්යාස වළක්වා ගැනීම වෙනුවෙන් මෙම මුදල් ලබා දී ඇති බවයි.

මෙම මුදල් පිරිනැමීමට අදාළ ගිවිසුම් 3 ක් අත්සන් කිරීම සඳහා යුරෝපා සංගමය පසුගියදා කටයුතු කළ අතර, ඒ සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආටිගල මහතා සහභාගි වී තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *