අලි සබ්රිට තවත් බාල්දියක්.. දෙමල භාෂාව කතා කරන නීතීඥයන් 150 ක් ASP ලා කිරීම අන්තවාදී කුමන්ත‍්‍රණයක් යයි චෝදනා…

අලි සබ්රිට තවත් බාල්දියක්.. දෙමල භාෂාව කතා කරන නීතීඥයන් 150 ක් ASP ලා කිරීම අන්තවාදී කුමන්ත‍්‍රණයක් යයි චෝදනා…

*********************************************

අලි සබ්රිට තවත් බාල්දියක්.. දෙමල භාෂාව කතා කරන නීතීඥයන් 150 ක් ASP ලා කිරීම අන්තවාදී කුමන්ත‍්‍රණයක් යයි චෝදනා…

(14.01.2021 – 16:40 +0530 – lankacnews.com)

හෙළ බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ගරු ජනාධිපතිතුමා
ජනාධිපති කාර්යාලය
කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි,

නීතිඥයන් පොලිස් පරික්ෂකවරුන් ලෙස බදවා ගැනීම

වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත කරන ලද ඉල්ලීමකට අනුව නීතිඥවරුන් 150 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ජනමාධ්‍යවල හා සමාජ මාධ්‍යවල සදහන් වෙයි. එලෙස බඳවා ගන්නා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකන බව කියවේ. මෙම නිළධාරින් බඳවා ගැනීමේ දී සම්මුඛ පරීක්ෂණයක් මගින් බඳවා ගැනීමෙන් පසුව පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිතය. විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කීරිම ගැටළු සහගතයි. ජාතිය,ආගම සහ භාෂාව මත විශේෂතාවයක් දක්වා රජයේ නිළධාරින් බදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය.

ගරු ජනාධිපතිතුමනි, මේ රට පාලනය කිරිමට ඔබතුමාට වසර 5 කට බාරකර ඇත. ලෝකයේ බහුතර සිංහල ජනතාවක් ජීවත් වන රටක් වන්නේ අප රට පමණි. ලෝකයේ බලවත් ජාතින් ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව නැති කිරිමේ උපක්‍රම භවිතා කරන බව ඔබ තුමා නොදන්න කරුණක් නොවේ. මේ ආකාරයට පොලිස් පරික්ෂකවරුන් ලෙස බඳවා ගැනීමේ දි අති බහුතරයක් දෙමළ හා මුස්ලිම් තරුණ නීතිඥයන්ට මෙම අවස්ථාව ලැබෙයි. එක යුගයක මෙවැනි උපක්‍රමයකින් නීති විද්‍යාලයට බහුතර නීති ශිෂ්‍යන් බඳවා ගත් ආකාරයටම මුස්ලිම් නීතිඥයක් පත්වීමත්, වසර 10 ක් 15 ක් යන විට සියලුම පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් ඉහළ පොලිස් නිළධාරින් වන්නේ ඔහුන්ය . අප රට දෙවිදියටක ත්‍රස්වාදයට මුහුණ දුන් රටකි. කොටි ත්‍රස්වාදයට උදව් කල ඉහළ පොලිස් නිළධාරින් සිටි ඇත. අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ, මෙම නිළාධාරින් එවැනි සිදු විමකට සම්බන්ධ වන බවට. එහෙත් අප රට තුළ ඉදිරියේ ත්‍රස්වාදයක් ඇති විමට කිසිම ඉඩක් තබා ඔබතුමාගේ පාලනය අවසන් කළ යුතු නැත. ඔබතුමා මහා ත්‍රස්වාදයක් රට තුළින් අවසන් කිරීමට උරදුන් නායකයෙකි. එබැවින් මෙවැනි ජාතිවාදි අදහසකින් රාජ්‍ය නිළධාරින් බඳවා ගැනීම කිසිසේත්ම සුදුසු නැත.

දැනටමත් නීතිවේදය හැදැරූ උපාධිධාරීන් සංවර්ධන නිළධාරින් ලෙස බඳවා ගෙන ඇත. නීතිඥයන් හො සිවිල් නිළධාරින් ලෙස පොලිස් ස්ථානවලට බදවා ගැනි ඉතාම සුදුසුය. එයට හේතුව මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ කරුවන් අල්ලාගෙන අව්දින් සාමන්‍ය පෙල දක්වා උගත් පොලිස් නිළධාරින් විසින් අපරාධකරුවන්ගේ තොරතුරු හා අපරාධය සිදු කළ ආකාරය ලියනු ලබයි. ඉන්පසුව එම ලියවිල්ල අපරාධයේ ප්‍රධාන සාක්ෂියකි. එම ලියවිල්ල හරියට නොලියන අවස්ථාවල දි අපරාධකරුවන් නීතිය හමුවේ නිවැරදිකරුවන් බවට පත්වෙයි.

එම නිසා පොලිස් පරික්ෂකවරුන් ලෙස නොව සිවිල් නිළධාරින් ලෙස බඳවා ගෙන මෙම සිදු කරන මත්ද්‍රව්‍ය, ඇතුළු සියලු අපරාධ කරුවන් නීතියේ රැහැනට හසු කරගැනිමට කටයුතු කිරිම ද එයට එක් භාෂාවක ප්‍රමුඛස්ථානය ලබා නොදි සමස්ත රටේම ජනතාව විභාග දෙපාර්මේන්තුවේ විභාග පටිපාටියට අනුව සිදු කරන ලෙසත් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි.

බුදුගල ජිනවංස හිමි
සභාපති

+++++++++++++++++

අනාගතයේ භයානක පොලිස් ජිහාදයක් බිහිවේවිදෝ සැකයක් මතුවෙනවා – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

(14.01.2021 – rivira.lk)

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රිගේ ඉල්ලීමක් අනුව පොලිස් දෙපාර්තුමේන්තුවට දෙමළ භාෂාව කතා කරන අයට ප්‍රමුඛත්වය ලබා දෙමින් නීතීඥවරුන් 150 ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ජනවාරි 13 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා.

එහිදී, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ, මෙවන් තීරණයක් ගතහොත් අනාගතයේ දී ‘පොලිස් ජිහාදයක්’ඇති වේවිදෝ යැයි සැකයක් මතු වන බවයි.

එමෙන්ම, සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් ප්‍රමුඛත්වය ගෙන පැවැත්විය යුතු සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යවරයා විසින් පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

“පොලිස් දෙපාර්තුමේන්තුවට උප පොලිස් පරීක්ෂකවරු හෝ පොලිස් පරීක්ෂකවරු, නීතීඥවරු හැටියට බඳවා ගැනීමේ ප්‍රශ්නෙට වඩා බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අධිකරණ දෙපාර්තුමේන්තුව සරත් වීරසේකර මහතාගේ යටතේ වෙනම අමාත්‍යාංශයක් බවට පත් කරලා තිබියදී සරත් වීරසේකර මහත්මා විසින් පැවැත්විය යුතු සාකච්ඡාවක් අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයා විසින් පවත්වන්නේ කෙසේ ද කියන එක අපි ප්‍රශ්න කරනවා.

දෙමළ භාෂාව කතා කරන උදවියට ප්‍රමුඛතාවය දීලා 150 ක් නීතීඥවරු බඳවා ගන්නේ කිනම් අරමුණකින් ද කියන එකත් සොයා බැලිය යුතුයි. මොකද දිවයිනේ විවිධ පළාත්වලට මේ උදවිය පත් කර හැරීමට බලාපොරොත්තු වෙනවා. මෙය පොලිස් දෙපාර්තුමේන්තුව තවත් ජිහාදයක් බවට පත් කිරීමේ උත්සාහයක් තියෙනවා ද කියලා සැක සංකා මතුවෙනවා. මොකද රාවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයාව සිටියදී නීති විද්‍යාල ප්‍රවේශය හොරකම් කරලා දෙමළ භාෂාව කතා කරන නීති ශිෂ්‍යයන් නීති විද්‍යාලයට බඳවා ගන්නට යෙදුනා. එමඟින් විශාල ආන්දෝලනයක් ඇති වුනා. විශාල කතාබහක් ඇති වුනා.”

එබැවින් මෙය හුදෙක්ම යටි කුමන්ත්‍රණයක් හා භයානක විපතක් බවත් මෙම නිලධාරීන් අනාගතයේ දී රටේ නීතිය බලාත්මක කෙරෙන බලය සම්පූරණයෙන්ම පැවරෙන බවත් සුදත්ත හිමියන් පෙන්වා දෙයි.

“දෙමළ භාෂාව කතා කරන මේ නිලධාරීන් 150 ක් එකවරම බඳවා ගත්තොතින් අනාගතයේ දී ඇති විය හැකි ව්‍යසනය පිළිබඳව අපිට සැක සංකා මතුවෙනවා. මොකද හේතුව අවුරුදු 20 ක් 25 ක් දෙපාර්තුමේන්තුවේ පරිනත නිලධාරීන් බවට මේ නිලධාරින් පත්වෙනකොට පොලිස් අධිකාරිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් බවට මේ නිලධාරීන් පත් වෙනවා. එතකොට ලංකාවේ සතර දිග්භාගයේ මේ නිලධාරින් ජ්‍යෙෂ්ඨ උසස් නිලධාරීන් බවට පත් වීම් ලැබුවහොත් අන්තවාදීන්ගේ ගොදුරක් බවට මේ නිලධාරින් පත් වුවහොත් රටට අත්වන ඉරණම ඉතාමත් බරපතල ව්‍යසනකාරී තත්ත්වයක් බවට පත්වෙනවා. මොකද හේතුව සහරාන්ගේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච කෝටිපති ව්‍යාපාරිකයන්, කෝටිපති ව්‍යාපාරිකයන් සහරාන්ගේ ගොදුර බවට පත්වුනා. ඒ විතරක් නෙවෙයි ඊබ්‍රාහිම් කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ පවුලේ උදවිය මේ දැවැන්ත සාහසික ප්‍රහාරයට හසු වුනා. ගොදුරු බවට පත් වුනා. එහෙම වාතාවරණයක් තියෙද්දී ඒ ඇතැම් ආගමික ඉගැන්වීමක් නිසාවෙන් කෝටිපති ව්‍යාපාරිකයින් එවන් තත්ත්වයකට පත් වුනා නම් මේ නිලධාරීන් එවන් තත්ත්වයකට පත් නොවේවී යි කියලා අපට පූර්ව නිගමනයක් කරන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා මේක අනාගත ව්‍යසනයක පෙර නිමිත්තක් හැටියට දකින්නේ.

අනික තමයි එකවර නීතීඥවරු 150 ක් බඳවා ගැනීමෙන් පොලිස් දෙපාර්තුමේන්තුවෙත් යම් අර්බුදයක් ඇති විය හැකියි. පොලිස් දෙපාර්තුමේන්තුවේ බොහොම දක්ෂ, පක්ෂ, විමර්ශන නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරින් කාලයක් තිස්සේ පොලිස් දෙපාර්තුමේන්තුවේ රාජකාරී කරලා උසස්වීම් බලාගෙන ඉන්න නිලධාරීන්. එකවර 150 ක පිරිසක් මේ වගේ බඳවා ගත්තොතින් අර උසස්වීම් බලාගෙන ඉන්න නිලධාරීන්ට ලොකු අසාධාරණයක් සිදුවෙනවා. ඒ පිළිබඳවත් කරුණු කාරණා කතා කරන්න ඕනේ. දේශපාලනික වශයෙන් මේ දෙපාර්තුමේන්තු පිළිබඳව තීන්දු තීරණ ගත යුතු නැහැ.

අනික තමයි මේ අධිකරණ දෙපාර්තුමේන්තුවේ පැවති සාකච්ඡාව පැවැත්වුණේ සරත් වීරසේකර අමාත්‍යතුමාගේ අනුදැනුම මත ද කියලා අපි ප්‍රශ්න කරනවා. එහෙනම්, සරත් වීරසේකර අමාත්‍යතුමාගේ යටතේ පවතින දෙපාර්තුමේන්තුවක නිලධාරීන් කැඳවා සාකච්ඡා කරන්නේ නම් ඇයි සරත් වීරසේකර මහත්තයාගේ අමාත්‍යාංශයේ, අමාත්‍යාංශ නිලධාරීන් මේ සඳහා සම්බන්ධ නොවුනේ? මොකක් හෝ යටි කුමන්ත්‍රණයක් මේ තුළ තිබිය හැකියි.”

දෙමළ භාෂාව හැසිරවිය හැකි අයට ප්‍රමුඛත්වයක් ලබා දීම සහ අදාළ බඳවා ගැනීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන තරඟකාරී විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කර තිබීම යන කරුණුවල පවතින ගැටළු සහගත බව පිළිබඳව ද සුදත්ත හිමියන් මෙහිදී අදහස් පළ කළා. එමඟින් ජාතිය, ආගම සහ භාෂාව මත විශේෂතාවයක් ලබා දීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වනු ඇති බවට පූර්ව උපකල්පනයක් ඇති වීම නොවැළැක්විය හැකිවනු ඇති බවට නීතීඥවරුන් විසින් පෙන්වා දී ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වී ඇති බවද සුදත්ත හිමියන් සඳහන් කළා.

ඒ අනුව, මෙම බඳවා ගැනීම් ජන අනුපාතයට අනුව බඳවා ගත යුතු බවත්, ජන අනුපාතයට සරිලන පරිදි නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බවත්, ජන අනුපාතයට අනුව බලය ලබා දීම ලෝකයේ ඕනෑම රටක පිළිගත් ක්‍රමවේදය බවත් උන්වහන්සේ අවධාරණය කළා.

පාස්කු ප්‍රහාරය වැනි භයානක අවස්ථාවකට අනාගතයේ දී මං පෙත් විවර කරන තීන්දු තීරණ නොගෙන මේ ගැටලුව සම්බන්ධයෙන් සේනාධිනායකයා හැටියට ජනාධිපතිවරයාගේත්, සරත් වීරසේකර අමාත්‍යවරයාගේත්, පොලිස්පතිවරයාගේත් අවධානය යොමු විය යුතු බවට සුදත්ත හිමියන් ඉල්ලීමක් සිදු කළා.

අවසාන වශයෙන් උන්වහන්සේ සඳහන් කළේ, ‘භයානක පොලිස් ජිහාදයක් ඇති වෙයිදෝ කියලා සැක හිතන්න සිද්ධ වෙනවා. සැකයට භාජනය වෙනවා. අපි එවන් භයානක තත්ත්වයන්ට ගොදුරු වෙච්ච ජාතියක්. පාස්කු ප්‍රහාරය වැනි භයානක ප්‍රහාරයන්ට අපි ගොදුරු වෙච්ච ජාතියක්. ඒ නිසා එවන් අවස්ථාවලට මං පෙත් විවර කරන තීන්දු තීරණ ගන්න එපා කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා’ යනුවෙන් ය ෴

***************************************

වරාය සාමාන්‍යය අධිකාරී මාධ්‍යයට ගල් පැලෙන බොරු කියයි!

(14.01.2021 – 12:07 +0530 – lankaleadnews.com)

දෙරණ රූපවාහිනි මාධ්‍යය ජාලය විසින් ඊයේ (13) විකාශනය කළ ‘අළුත් පාර්ලිමේන්තුව’ වැඩ සටහනට සහභාගි වෙමින් වරාය අධිකාරියේ සාමාන්‍යාධිකාරී එච්.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා ‘ගල් පැලෙන’ බොරුවක් පවසමින් දූෂණ වංචා චෝදනා වලින් ගැලවීමට අසරණ උත්සාහයක් ගත් බව වරාය වෘත්තීය සංගම් නියෝජිතයෝ චෝදනා කරති.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා ඇනවුම් කළ ගැන්ට්‍රි දොඹකර (Gantry crane) පද්ධතිය ආනයනය කිරීම අත්හිටුවීම නිසා රටට බරපතල අලාභයක් සිදුවූ බවට සහ එසේ එම ඇණවුම් අවලංගු කිරීම වර්තමාන සාමාන්‍යය අධිකාරිවරයා විසින් සිදුකළ බවට එම සාකච්ඡාවේදී චෝදනා එල්ල විය. එම චෝදනා වලට පිළිතුරු දෙමින් වරාය අධිකාරියේ සාමාන්‍යාධිකාරී එච්.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා පවසන්නේ එය තමාට පෙර සිටි නිළධාරියා විසින් සිදු කළ බවය.

නමුත් වරාය සේවකයන්ට අනුව ඔහු විදේශගතව සිට පැමිණ සේවයට වාර්තා කරන්නේ 2015 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බවත් ගැන්ට්‍රි දොඹකර ඇනවුම අවලංගු කරන්නේ 2016 වර්ෂයේ මුල් මාස කිහිපය තුළ බවත්ය.

එච්.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා විසින් හිතාමතාම ප්‍රසිද්ධියේ පවසන ලද මෙම බරපතල මුසාව සම්බන්ධයෙන් කිර්තිමත් නීතිවේදියෙකුගෙන් අප කළ විමසීමට පිළිතුරු දෙමින් එතුමා , “අප රටේ අල්ල්ලස් හා දූෂණ නීතිය අනුව ශ්‍රී ලංකා රජයට මෙවැනි බරපතළ පාඩු කිරීම මගින් වෙනත් පාර්ශවයන්ට (ඉන්දියාවේ අදානි සමාගමට) වාසි සැලසීම දූෂණය නැමැති වරදට යටත් වනවා. එම චෝදනාවට එච්.ඩී.ඒ.එස්. ප්‍රේමචන්ද්‍ර මහතා වරදකරුවෙකු වුවහොත් ඔහු වසර හතරහමාරක (4½) සිර දඬුවමකට යටත් වනවා” යනුවෙන් පැහදිළි කළේය.

++++++++++++++++++

නැගෙනහිර පර්යන්තයට අදානි දෙන මුදල අවුරුදු පහෙන් (5) අපට හොයන්න පුළුවන් ඉංජිනේරු යෝජනාව මෙහෙමයි

(04.01.2021 – anidda.lk)

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට නොදී ශ්‍රී ලංකා වරාය අධිකාරියටම සංවර්ධනය කරගත හැකි බවට එහි වෘත්තීය සමිති පෙරමුණ ලෙස ඉංජිනේරු සංගමය විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට ලබාදුන් යෝජනාව මෙහි සාකච්ඡා කෙරේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් වූ කතාබහ දිනෙන් දින අලුත් වෙමින් පවතී. ඒ වරාය වෘත්තීය සමිති ඒ සම්බන්ධයෙන් සිය විරෝධයන් ඉදිරියට ගැනීමත්, වරාය සේවක විරෝධතා උත්සන්න වීමට නොදී අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා යළිත් වරක් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟය.

ආණ්ඩුවේ එම තීරණය සාධාරණය කරමින් විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කීවේ නැගෙනහිර පර්යන්තය සඳහා ඩොලර් මිලියන 750 ක් ආයෝජනය කළ හැකි ශ්‍රී ලංකා ආයෝජකයකු සිටී නම් පෙන්වා දෙන ලෙසය. මෙම කතාව සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නය වන්නේ එවැනි ආයෝජනයක් කළ හැකි ආයෝජකයකු රට තුළ සිටිනවාද යන්න ගැන ආණ්ඩුව සොයා නොබැලීමය. එසේ සොයනවා නම් සිදුකළ යුත්තේ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන්නැයි ප්‍රසිද්ධියට පත්කිරීමය.

ලාංකික ආයෝජකයන්ට ඩොලර් මිලියන 750 කජ්ජක්දැයි සිතෙන්නේ යෝජනා කැඳවීමකින් තොරවම ‘කොළඹ පෝට් සිටි’යට එල්.ඕ.එල්.සී. සමාගම වෙනුවෙන් එහි ආයෝජන සමාගම වන ‘බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්’ සමාගම ඩොලර් බිලියනයක ආයෝජනයක් කිරීම තුළින්ය. එම ඓතිහාසික අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමෙන් පෙන්නුම් කළේ රෝහිත අබේගුණවර්ධන මහතා නොදන්නවාට ශ්‍රී ලංකා ආයෝජකයන්ගේ හැකියාව ගැන ළඟින් ඇසුරු කිරීම තුළින් අගමැතිවරයා දන්නා බවය.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනයට ඩොලර් මිලියන 750 ක මුදලක් වැය නොවන බවත්, එය සංවර්ධනය කිරීමට ගතවන අවුරුදු 7 ක කාලයේදී සම්පූර්ණයෙන් වැයවන්නේ ඩොලර් මිලියන 556 ක මුදලක් බවට වූ වාර්තාවක් එම පර්යන්තය රැකගැනීම සඳහා ඒකාබද්ධ වූ එහි වෘත්තීය සමිති පෙරමුණ දෙසැම්බර් 22 වැනිදා පැවති සාකච්ඡාවකදී රෝහිත අබේගුණවර්ධනට බාර දී ඇත. (මෙම වාර්තාව සකස් කර ඇත්තේ එම පෙරමුණ තුළ කටයුතු කරන වරාය ඉංජිනේරු සංගමයයි.)

එම මුදලින් ඩොලර් මිලියන 65 ක මුදලක් මේ වනවිටත් වරාය අධිකාරිය එම කටයුතු සඳහා වෙන්කර ඇති බවත්, තවත් ඩොලර් මිලියන 5 ක් වරාය අධිකාරිය ඒ සඳහා වෙන් කළ යුතු බවත් එහි සඳහන්ය. ඉතිරි ඩොලර් මිලියන 486 ක මුදල පර්යන්තයේ කටයුතු ආරම්භ කර ලැබෙන ආදායමින් සිදුකළ හැකි බව එම වාර්තාවේ විස්තර කර තිබේ. මෙම ලිපියේ අවධානය යොමුකරන්නේ එම වාර්තාවේ ඇති කරුණු පිළිබඳවය.

පළමු අදියර 2021

එස්.ටී.එස්. යනුවෙන් හඳුන්වන, නැවේ සිට ගොඩබිමට කන්ටේනර් මෙහෙයුම් සිදුකරන දොඹකර 4 ක් හා ආර්.ටී.ජී. යනුවෙන් හඳුන්වන, රබර් ටයර් යෙදූ ගැන්ට්‍රි දොඹකර 12 ක් එම අදියර සඳහා අවශ්‍ය බවත්, ඒ සඳහා වැයවන රුපියල් මිලියන 13,728 ක මුදල (ඩොලර් මිලියන 65) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2020/2021 ප්‍රතිපාදන යටතේ දැනටමත් වෙන්කර ඇති බවත් එහි සඳහන්ය. එමෙන්ම එම මුදල 2021 දී ඩොලර් මිලියන 13 ක්, 2022 දී 46 ක් හා 2023 දී 6 ක් වශයෙන් වියදම් වීමට නියමිත බව සඳහන් කර ඇත.
මීටර් 600 ක දිගකින් යුත්තව දැනට නිමකර ඇති නැගෙනහිර පර්යන්තයේ අග ඇති මීටර් 160 කින් යුත් කොටස ගොඩකර නිමකිරීමට ඩොලර් මිලියන 5 ක් වැය වන බව සඳහන් කර ඇත. ඒ සඳහා වරාය අධිකාරිය මුදල් යෙදවිය යුතුය. එම කටයුත්තෙන් පසු දැනට එහි සවිකර ඇති එස්.ටී.එස්. වර්ගයේ දොඹකර 3 න් හා ආර්.ටී.ජී. වර්ගයේ දොඹකර 12 කින් නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කළ හැකි බව සඳහන් කර තිබේ.

පළමු වසර වූ 2021 වසරේදී වැය වන මුදල ඩොලර් මිලියන 18 ක් බවත්, එම වසරේදී ඩොලර් මිලියන 50 ක ආදායමක් ඉපැයිය හැකි බවත් එහි සඳහන්ය. එමෙන්ම දෙවන වසර වන 2022 දී ඩොලර් මිලියන 46 ක් වැයවන බවත් එම වසරේදී ඩොලර් මිලියන 55 ක ආදායමක් වශයෙන් මුළු ආදායම ඩොලර් මිලියන 105 ක් ඉපැයිය හැකි බව පෙන්වාදී ඇත.

දෙවන අදියර 2023

නැගෙනහිර පර්යන්තයේ දිග තවත් මීටර 750 කින් ගොඩකර දිගු කළ යුතු බව හා මීටර් 600 ක දිගකින් යුත් වත්මන් පර්යන්තය තවත් මීටර් 450 ක ප්‍රමාණයකින් පළල් කළ යුතු බව පෙන්වාදී ඇත. එම පළල් කිරීම මඟින් කන්ටේනර් මෙහෙයුම් කළ හැකි හෙක්ටයාර් 27 ක භූමියක් නිර්මාණය වන බව පෙන්වාදී ඇත. මේ සඳහා වැයවන මුදල ඩොලර් මිලියන 200 ක් වශයෙන් පෙන්වාදී ඇත. එම වැය 2023 දී ඩොලර් මිලියන 40 ක්, 2024 දී 80 ක්, 2025 දී 70 ක් හා 2026 දී 10 ක් වශයෙන් වැයවන බවත් එය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආදායමෙන් කළ හැකි බවත් පෙන්වාදී ඇත.

2023 වසරේදී පමණක් නැගෙනහිර පර්යන්තයෙන් ලැබෙන ආදායම ඩොලර් මිලියන 70 ක් බවත්, ඩොලර් මිලියන 40 ක් එම වසරේ වැයවන බවත්, එම වසර වන විට ලැබෙන මුළු ආදායම ඩොලර් මිලියන 175 ක් බවත් එහි පෙන්වාදී තිබේ.

තුන්වන අදියර 2024/2025

එම අදියර ආරම්භ වන 2024 වර්ෂයේ සිට නැගෙනහිර පර්යන්තය සඳහා එස්ටීඑස් වර්ගයේ දොඹකර 10 ක් හා ආර්.ටී.ජී. වර්ගයේ දොඹකර 30 ක් ස්ථාපිත කළ යුතු බවත් ඒ සඳහා වැයවන ඩොලර් මිලියන 161 ක මුදල ඒ වනවිටත් නැගෙනහිර පර්යන්තයෙන් උපයාගෙන ඇති ආදායමෙන් වැයකළ හැකි බව පෙන්වාදී ඇත. මෙම වැය 2024 දී ඩොලර් මිලියන 33 ක්, 2025 දී 113 ක් හා 2026 දී 15 ක් ලෙස වියදම් වන බව පෙන්වා දී ඇත.

ඊට අමතරව නැගෙනහිර පර්යන්තයේ දිගුකළ මීටර් 750 ක කොටසද මීටර් 450 ක පළලින් යුක්තව 2025 වර්ෂයේදී තවදුරටත් ගොඩකර නිර්මාණය කරගත යුතු බව පෙන්වාදී ඇත. ඒ මඟින් තවත් හෙක්ටයාර 26 ක භූමියක් ලැබෙන බවත් අංගණ හා සේවා කටයුතු සඳහා එය යොදාගත හැකි බවත් පෙන්වාදී ඇත. ඒ සඳහා වැයවන ඩොලර් 120 මුදලද නැගෙනහිර පර්යන්තයේ ආදායමෙන්ම කළමනාකරණය කරගත හැකි බව පෙන්වාදී ඇත. එම වැය කිරීම්ද 2025 දී ඩොලර් මිලියන 44 ක්, 2026 දී 70 ක් හා 2027 දී 6 ක් ලෙස වැයවන බව පෙන්වා දී ඇත.

තුන්වන අදියර ආරම්භ වන 2024 සිට එය අවසන් වන 2027 දක්වා පිළිවෙළින් ඩොලර් මිලියන 90 ක්, 110 ක්, 130 ක් හා 170 ක් වශයෙන් ආදායම් ඉපැයීමට හැකි බව එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. එම අවසන් වසර වනවිට පමණක් නැගෙනහිර පර්යන්තයෙන් වරාය අධිකාරිය ලබන මුළු ආදායම ඩොලර් මිලියන 675 ක් වන අතර සංවර්ධනය සඳහා පර්යන්තයෙන් උපයා වැයකළ මුදල් අඩුකිරීමෙන් පසු ලබන ලාභය ඩොලර් මිලියන 194 කි. වසර දහයක කාලයේදී එනම් 2030 දී උපයන ලාභය ඩොලර් මිලියන 764 කි.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජනය යැයි කියමින් ඉන්දියාවේ අදානි සමාගමට අවුරුදු 35 ක කාලයකට ලබාදෙන්නේ ඩොලර් මිලියන 750 කට නම් වරය ඉංජිනේරුවන් ඉදිරිපත් කර ඇති මේ සංඛ්‍යා දත්ත සමඟ සැසඳූ කළ එම තීරණය කොතරම් අපරාධයක් දැයි තේරුම් ගැනීමට අපහසු නැත. මන්ද අවුරුදු 7 ක කාලයකදී එම පර්යන්තයෙන්ම උපයන ආදායමෙන් එහි සම්පූර්ණ සංවර්ධන කටයුතු වරාය අධිකාරියට කර ගැනීමේ හැකියාව තිබියදී, ජාතික සම්පත් නොවිකුණනවා යැයි කී හා විකුණූ සම්පත්ද නැවත පවරා ගන්නවා යැයි කී ආණ්ඩුවක් මේ ආකාරයට කටයුතු කරන නිසාය.

ලසන්ත රුහුණගේ

***************************************

(14.01.2021 – 08:05 +0530 – hirunews.lk/sinhala)

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රත්මලානේ කුඩු අංජුගේ සමීපතමයෙකු හෙරොයින් ග්‍රෑම් 102 ක් සමඟ මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහාතා සඳහන් කළේ කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඊයේ (13) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු 22 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු සිදුකළ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සහ ජාවාරම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

***************************************

(14.01.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ රැඳවියෙකු හට ලබාදීමට රැගෙන ආ බවට සැක කෙරෙන ජංගම දුරකථන දෙකක් (2) සොයා ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ මහර බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකු දුරකථන ඇමතුමක් මගින් බන්ධනාගාර රැඳවියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකුට ආහාර පාර්සලයක් රැගෙන ප්‍රධාන දොරටුව වෙත යාමට අවසර ලබාදී ඇති බවයි.

පසුව එම පුද්ගලයා ආහාර පාර්සලය තබා පිටව ගොස් ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී සූක්ෂමව සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් සහ දුම්කොළ කුඩු පාර්සලයක් සොයාගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බන්ධනාගාර බුද්ධි ඒකකයට නියෝග කර ඇති බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

***************************************

(14.01.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මාතලේ ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය නීතිවිරෝධී බීඩි නිෂ්පාදනාගාරයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වටලා තිබෙනවා.

සුරාබදු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ මෙම වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගත් බවයි.

එහිදී නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ බීඩි 150,000 ක් සහ බීඩි එතීම සඳහා ගන්නා කොළ සහ කැපූ දුම්කොළ කිලෝග්‍රෑම් 100 ක් ද සොයා ගෙන තිබෙනවා.

බීඩි නිෂ්පාදනය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මගින් බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වුවත්, මොවුන් බලපත්‍ර ලබාගැනීමකින් තොරව කලක සිට මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ෴

@@@@@@@@@@@@@@@@@@@@@

විදෙස් සංචාරකයන්ට පමණක් වෙනම සෞඛ්‍යය මාර්ගෝපදේශ සැකසීම සුදුසු නැහැ – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය

(14.01.2021 – 19:36 +0530 – lankaleadnews.com)

සංචාරකයන්ට ශ්‍රි ලංකාව තුළදී කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ලිහිල් කොන්දේසි අනුගමනය කිරීම ඇතුළු රට තුළ කොවිඩ් වෛරසය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ‘ලංකා ලීඩ්’ පුවත් වෙබ් අඩවියට දැක්වූ අදහස් මෙසේයි.

කොවිඩ් පාලන රාජ්‍යය ඇමතිනිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා කොවිඩ් දෙවෙනි රැල්ල රට තුළ ව්‍යාප්ත වූයේ යුක්‍රේනයෙන් පැමිණි පිරිසක් නිසා බවට. මෙවැනි තත්වයක් තිබියදී රටතුලට සංචාරකයන් රැගෙන ඒමේදී ලිහිල් සෞඛ්‍යය ප්‍රතිපත්ති අනුගමනය කිරීම එතරම්ම සුදුසු නැහැ යන්න අපගේ හැඟීමයි. සංචාරක ව්‍යාපාරය තුළින් සෘජු හා වක්‍රව යැපෙන පුද්ගලයන් ලක්ෂ තිහක් පමණ සිටින බව පැවසෙනවා. මේ අයගේ රැකියා නැවත ආරම්භ කිරීමට ක්‍රමවේදයක් සැකසිය යුතුයි යන්න වාදයක් නැහැ. නමුත් එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, යුක්‍රේනය වැනි රටවල කොරෝනා නව ප්‍රභේද හට ගෙන ඇතැයි පැවසෙන මොහොතක ලිහිල් සෞඛ්‍යය ආරක්ෂණ මාර්ගෝපදේශ සංචාරකයන් සඳහා අනුගමනය කිරීම සුදුසුයි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. සිනමා ශාලා නැවැත ආරම්භ කිරීමට මාර්ගෝපදේශ සකස් කළා.

අද වාර්තා වුනා සිනමා ශාලා දෙකක් ‘හවුස් ෆුල්’ තත්වයෙන් ක්‍රියාත්මක කර තිබෙන බවට. ඒ අනුව පැහැදිලියි එක් එක් ක්ෂේත්‍ර සඳහා ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කළ හොත් මහජනයා කොවිඩ් වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දක්වන සහයෝගය සහ උනන්දුව අත හරිනු ලබන බව. සංචාරකයන්ට රටට ඇතුළු වූ වහාම පීසීආර් පරීක්ෂණ කිරීම අපහසුනම් ඔවුන් සංචාරය සඳහා යාමට පෙර ඔවුන් ලැගුම් ගන්නා හෝටලය තුලදී පීසීආර් පරීක්ෂණ කළ යුතුයි.

එලෙස අප කළ නිසා තමයි එංගලන්තයෙන් පැමිණි නව වෛරසය හඳුනා ගැනීමට හැකි වුනේ. මෙතෙක් පැමිණි යුක්‍රේන සංචාරකයන් රට තුළට ඇතුළු වූ මොහොතේ සිට සංචාරකයන් සහ ඔවුන්ගේ ශ්‍රී ලාංකික ආශ්‍රිතයන් හැසිරුණු ආකාරය රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ලැබුණු දායකත්වය පිළිබඳව අපට සෑහීමකට පත් වන්නට බැහැ.

මෙම තත්වයත් ලිහිල් කිරීම තුළ රට තුළ ඇතිවන තත්වය සම්බන්ධයෙන් වගකීම බලධාරින් ගත යුතු වෙනවා. දැන් දැන් සෞඛ්‍යය අංශවල සේවය කරන අයටත් වෛරසය ආසාදනය වන තත්වයක් උද්ගතව ඇති නිසා මෙතැනින් එහාට තත්වය වර්ධනය වුවහොත් අපේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට එය දරාගත නොහැකි තත්වයක් උදා වෙනවා.

මහජන පරීක්ෂකවරුන් යනු කොවිඩ් පාලනය සම්බන්ධව බිම් මට්ටමේ කටයුතු කරන රාජ්‍යය නිළධාරින්. අපි සෑහෙන කාලයක සිට ඉල්ලීමක් කර තිබෙනවා අඩුම තරමේ අප සංගමයේ එක් නිළධාරියෙකුටවත් යුද හමුදාපතිවරයාගේ නායකත්වයෙන් යුතු කොවිඩ් පාලන ජාතික කමිටුවට නියෝජනයක් දෙන ලෙස. නමුත් මේ දක්වා අපට ඉඩක් ලබා දී නැහැ. අපට සිදුවී තිබෙන්නේ එම කමිටුවට සහභාගි වන සෞඛ්‍යය අමාත්‍යාංශයේ ඉහළ නිළධාරින් ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණයි. එබැවින් අපට හැකියාව තිබෙන්නේ ඔබ වැනි මාධ්‍යය මගින් රටේ ජනතාවට කරුණු පැහැදිලි කිරීම පමණයි ෴

++++++++++++++++++++

(14.01.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගියා.

ඒ, ඊයේ (13) දිනයේදී නව ආසාදිතයින් හයසිය අනූ දෙදෙනෙකු (792) හඳුනා ගැනීමත් සමඟයි.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 50,229 ලෙසයි.

නව ආසාදිතයින් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 46,457 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් වෛරසය ආසාදනය වූවන් 6715 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, ඊයේ (14) දිනයේදී 646 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 43,267 ක් වනවා.

මේ අතර, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 03 ක් ඊයේ (14) දිනයේදී වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 247 ක්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66 පුද්ගලයෙකු හෝමාගම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩි වෛරසය ආසාදනය වීම නිසා උත්සන්න වූ හෘද රෝගි තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පුද්ගලයෙකුද ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී ජීවිතක්ෂයට පත් ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ ශ්වසන පද්ධතියේ උග්‍ර අසාදනය හේතුවෙන්.

කොවිඩ් වෛරසය ආරම්භයේ සිට මේ දක්වා සිදු කර ඇති මුළු පී.සී.ආර්. පරීක්ෂණ ගණන 1,427,366 ක් වනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ දුර ගමන් සේවා සඳහා බස්රථ ආශ්‍රිතව සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණද තවදුරටත් සිදුකරන බවයි.

ඒ අනුව පෙරේදා සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 100 කින් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු (2) හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

මේ අතර, අදට (14) යෙදෙන තෛපොංගල් උත්සවය නිවසේ සිටම සමරන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මේ අතර, තමන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ්-19 සඳහා දේශීය ඖෂධයක් ලබාදුන් බව රිටිගල පරපුරෙන් පැවත එන බව පවසන දේශීය වෛද්‍ය දේවින්ද ලක්ෂිත රණසිංහ පවසනවා.

කොවිඩ් ආසාදිතව නිරෝධායනයට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හිරු ප්‍රවෘත්ති අමතමින් සදහන් කළේ තමන්ට දේශීය ඖෂධයක් ලබාදුන් බවට සිදුකරන ප්‍රකාශය අසත්‍ය බවයි ෴

යුක්රේන ජාතිකයින් ගෙන්විමේදී සිදු වූ අඩුපාඩු හදුනාගෙන, සෞඛ්‍ය උපදෙස් අනුව සංචාරකයින් මෙරටට ගෙන්විමට ඉදිරියේදී කටයුතු කරනු ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්ත මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Tamil speaking ASPs and Chief Inspectors? What Next? We will soon have LTTE and IS operating from within the government institutes. Ali Sabri has come and will depart after a few years, 4-years maximum, but it is long enough for him to plant the germs of terrorist and subversion cancer within our government infrastructure that will destroy the Sinhala nation and Buddhism. Not bad to have a Trojan Horse planted at one of the most critical ministries of the country. Abuddhassa Kalaya of course! The President might have misplaced his loyalties to his old legal advisor, if not wake up and beware!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *